ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අනිද්දා



උසස් මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා මාධ්‍යවේදීන් විසින් සිදු කරනු ලබන මෙහෙවර සහ ඔවුන්ගේ නිර්මාණශීලි දායකත්වය ඇගයීම සඳහා පැවැත්වෙන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් 2019.04.10 දින (බදාදා) ප.ව. 4.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

සමාජ වගකීමෙන් යුතු මාධ්‍ය කලාවක් වෙනුවෙන් 

සමාජ වගකීමෙන් යුත් මාධ්‍ය කලාවක් බිහි කිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා, හැකියාවන් හා සුවිශේෂීි නිපුණතා ඇගයීම මෙම සම්මාන උළෙලේ මුඛ්‍ය පරමාර්ථය වන අතර මෙය වාර්ෂිකව පැවැත්වීමට රජය විසින් තීරණය කර ඇත.

ජනමාධ්‍යවේදීන්ගේ විවිධ දක්ෂතා, කුසලතා, හැකියාවන් හා සුවිශේෂී නිපුණතා හඳූනාගනිමින් ඒවා ඇගයීිමට ලක්කිරීම, වෘත්තීය මට්ටමේ මාධ්‍යවේදීන් බිහිකිරීම සඳහා පසුබිම නිර්මාණය කරනුවස් නිසි මඟපෙන්වීම් ලබාදීම හා අභිප්‍රේරණය කිරීම, සමස්ත ජනමාධ්‍ය ක්ෂේත්‍රය, හොඳින් දැනුම්වත් වූ සිවිල් සමාජයක් ගොඩනැගීම සඳහා සවිබල ගැන්වීම, ජනමාධ්‍යවේදීන් විසින් සමස්ත සමාජය වෙනුවෙන් හිතකරවූ ද, නිදහස්වූ ද, සංවර්ධනාත්මක දෘෂ්ටි කෝණයකින් යුතුවූ ද මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීම සඳහා පෙළඹවීම් කිරීම සහ සමස්ත ජනමාධ්‍ය ක්ෂේත්‍රය ආවරණය වන පරිදි කරනු ලබන කාර්ය සාධන ඇගයීම තුළින් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ජනමාධ්‍යවේදීන්ට ලබාදීම මෙම උළෙලේ ප්‍රධාන අරමුණු වේ.

සම්මාන සඳහා ඉදිරිපත් කළ අයදුම්පත් ස්වතන්ත්‍ර නිර්මාණ විය යුතු වූ අතර හැකිතාක් දුරට ආයතන ප්‍රධානීන් මඟින් එවීමට කටයුතු කළ යුතු බව දන්වන ලදී. ස්වාධීනව තමාම සහතික කර වුවද අයදුම්පත් එවීමට හැකිවීම විශේෂ කරුණක් විය. ඒ අනුව, සම්මාන සඳහා සලකා බලනු ලැබූවේ 2017.01.01 දින සිට 2017.12.31 දක්වා නිර්මාණ පමණි. ස්වතන්ත්‍ර නිර්මාණ වීම, විදේශීය රටවල නිර්මාණයන් නොවීම, ලාංකේය ප්‍රේක්ෂකයාට යෝග්‍ය ලෙස සකසන ලද නිර්මාණ වීම සම්මාන සඳහා සලකා බැලීමට සුදුසුකම් ලෙස සලකන ලදී. 

මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ නිර්දේශ සහිතව අමාත්‍යංශය මඟින් පත්කරන ලද සුදුසුකම් සහිත සහ වෘත්තීය වශයෙන් ප්‍රවීණ පුද්ගලයන්ගෙන් සමන්විත අනුකමිටු මඟින් සම්මාන සඳහා නිර්දේශ කරනු ලබන නාමලේඛන ප්‍රධාන කමිටුවට ඉදිරිපත් කෙරුණු අතර එම කමිටුවේ තීරණය අවසන් තීරණය විය.

ජූරියේ විශේෂ සම්මාන හතරක් 

2018.07.13 දින පුවත්පත් දැන්වීම් පළ කරන ලද අතර, අගෝස්තු 31 දින වන විට අයඳුම්පත්‍ර භාරගැනීම අවසන් කරනු ලැබිණි. ඒ අනුව අයඳුම්පත් 1674 ක් ලැබිණි. සම්මාන පිරිනැමීම භාෂාත්‍රයෙන්ම රූපවාහිනි, ගුවන්විදුලි, පුවත්පත් හා වෙබ් මාධ්‍ය යන ක්ෂේත්‍ර සදහා  සිදුකෙරේ. ඒ අනුව  ජුරියේ විශේෂ සම්මාන හතර සමඟින් සම්මාන 51ක්  පිරිනැමීමට නියමිතය. 
ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන ජූරියේ විශේෂ සම්මාන 

මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී මෙහෙවරක් සිදුකළ ප්‍රවීණයන් සඳහා, දිවියේ එක් වරක් පමණක් පිදෙන ජූරියේ විශේෂ සම්මාන” හා මුදල් ත්‍යාග පුවත්පත් ක්ෂේත්‍රය සඳහා කලාකීර්ති ආචාර්ය එඞ්වින් ආරියදාස මහතාට ද, ගුවන් විදුලි ක්ෂේත්‍රය සදඟා කරුණාරත්න අමරසිංහ මහතාට ද, රූපවාහිනී ක්ෂේත්‍රය සඳහා  ලූෂන් බුලත්සිංහල මහතාට සහ වෙබ් ක්ෂේත්‍රය සඳහා ලක්ෂ්මන් ජයවර්ධන මහතාට ද පිරිනැමීමට තීරණය කර ඇත.

මෙම ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල ගරු ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමාගේ මඟ  පෙන්වීම යටතේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්  සුනිල් සමරවීර මහතාගේ අධීක්ෂණය යටතේ සහ ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින්  සියළු කටයුතු සංවිධානය කර ඇත.