‘‘රටේ සාමය ආරක්ෂා කරගන්න‘‘ - අගමැති


අද (21) දින දිවයිනේ ස්ථාන කිහිපයක ඇතිවී තිබෙන පිපිරීම් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළ අගමැති රනිල් වික්‍රමසිංහ පවසන්නේ රටේ සාමය ආරක්ෂා කිරීමට සියලුදෙනා එක්වන ලෙසයි. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ, ‘‘ස්ථාන කිහිපයක අද උදෑසන ඇති වූ පිපිරීම් නිසා ජීවිත හානි වූ සියලූ දෙනාට සහ ඔවුන්ගේ පවුල්වල සියලූ දෙනාටත්, තුවාල සිදු වූ සියලූ දෙනාටත් රජය වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කිරීමට කැමතියි. එසේම මේ සිදුවීම රටත්, එමෙන්ම රටේ ආර්ථිකයත් අස්ථාවර කිරීමේ බරපතල තත්වයක් ලෙස මා දකිනවා.

විශේෂයෙන්ම ආගමික සිද්ධස්ථාන සහ ප්‍රධාන හෝටල් කිහිපයක් ඉලක්ක කොට ගෙන එල්ල වූ මෙම ප්‍රහාර මා තරයේ හෙලා දකිනවා. නීතිය ආරක්‍ෂා කිරීමට අප සියලූ දෙනා කටයුතු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය සියලූම පියවර ගන්නා ලෙස මා ආරක්‍ෂක ලේකම් වෙතත්, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පති වෙතත් උපදෙස් ලබා ලබා දුන්නා. මමත්, ඒ වගේම අනෙක් ඇමතිවරුනුත්, ජනාධිපතිතුමා සමග ගත යුතු ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කළා. මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති ලේකම්, නීතිපති, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ ලේකම් ඇතුලූ නිලධාරීන් සහභාගී වුණා.

දැනට මේ සිදුවීම් ගැන පැවැත්වෙන පොලිස් පරීක්‍ෂණවලින් අනතුරුව මේ සඳහා වගකිව යුතු පුද්ගලයින් කුමන තරාතිරමකට අයත් වුවත් ඔවුනට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව සඳහන් කරන්නට කැමතියි. ඒ සඳහා අවශ්‍ය බලතල අප ආරක්‍ෂක අංශවලට ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ අප සැවොම මේ ජාතික  අර්බුදකාරී අවස්ථාවේ ඉවසීමෙන් කටයුතු කර සාමය ආරක්‍ෂා කරමු.‘‘