‘‘බුද්ධි අංශ සාමාජිකයින් සිරගත කිරීම හා ත්‍රස්ත ප්‍රහාරය අතර සම්බන්ධයක් නැහැ‘‘ - මංගල


පාස්කු දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය හා බුද්ධි අංශ සාමාජිකයින් සිරගත කිරීම අතර කිසිදු සම්බන්ධයක් නැති බව අමාත්‍ය මංගල සමරවීර අද (26) පැවති මාධ්‍ය හමුවකදී විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේය. 

මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ,

‘‘ඒ කතාවට මම විරුද්ධයි. බුද්ධි අංශයේ හිටපු සාමාජිකයන් අත්අඩංගුවේ ඉන්නව නම් ඔවුන් ඒ ඉන්නේ බුද්ධි
අංශයේ රාජකාරි කටයුතු කිරීම නිසා නොවෙයි. සාමාන්‍ය නීතිය යටතේ වරදක් සිදු කරලා හෝ ඊට සැක පිට
තමයි ඔවුන් අත්අඩංගුවේ ඉන්නේ. නීතිය කාටත් පොදුයි. බුද්ධි අංශ නිලධාරීන්ද රටේ සාමාන්‍ය නීතියට යටත්.
එහෙම නැති වුණොත් වෙන්නේ බුද්ධි අංශ නිලධාරීන්ට ඕනෑම වරදක් කරන්න පුළුවන් කියලා මතයක් ඇති වෙන එකයි.‘‘ යන්නයි

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ, 

මෙය ජාත්‍යන්තර ත්‍රස්ත ජාලයක ක්‍රියාවක්

‘‘වසර 30ට වැඩි කාලයක් පැවැති යුද්ධයෙන් පසු රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ සංවර්ධනය ක්‍රමානුකූලව ගොඩනගමින් තිබූ අවස්ථාවකයි මේ සිද්ධි මාලාව ඇති වුණේ. ඒ වගේම මෙය රට තුළින් ම ඇති වූ තත්ත්වයක් නොව ජාත්‍යන්තර ත්‍රස්තවාදී ජාලයක ක්‍රියාකාරකමක්. 2000 වසරෙන් පස්සෙ ගෙවී ගිය අවුරුදු 19ක විතර කාලය තුළ ජාත්‍යන්තර ත්‍රස්ත ක්‍රියාකාරකම් පස් ගණයකින් විතර ඉහළ ගිහින් තියෙනවා. ස්පාඤ්ඤය, ඊජිප්තුව, ඉන්දුනීසියාවේ බාලි දූපත්, ටියුනිසීයාව, මාලදිවයින වගේ රටවල් රැසකට මේ වගේ ප්‍රහාර එල්ල වුණා. අමෙරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ප්‍රහාරය එල්ලවෙන තුරු ඉතා දියුණු බද්ධි අංශ පවා ඒ ප්‍රහාරය ගැන දැනගෙන හිටියෙ නෑ.

ගෝලීය ත්‍රස්තවාදී දර්ශයකට අනුව (Global Terrorism Index) ලෝකයේ සෑම රටක්ම පාහේ ප්‍රහාරයක් එල්ලවීමේ යම් අවදානම් මට්ටමක තිබෙනවා. සෑම රටක්ම ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්වීමේ අවදානමක ඉන්නේ. ඒ නිසා මේ රට ඇතුළෙ නැවත යුද්ධයක් ඇතිවීමේ අවධානමක් නෙවෙයි ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා රට පුරා මුරපොළවල් දාල රට යුධ මානසිකත්වයකට පත් විය යුතු අවස්ථාවක් නෙවෙයි මේ. අපි කළ යුත්තේ අපේ එදිනෙදා කටයුතු ඒ ආකාරයෙන් ම සිදු කරන ගමන් දැඩි අවධානයෙන් පසුවීමයි. එහෙම නැතුව රජයට දොස් නගලා හෝ බුද්ධි අංශවලට දොස් නගලා මේ ප්‍රශ්නයට විසදුම් හොයන්න බෑ. ඒ නිසා රට තුළ ගොඩනැගෙමින් තිබුණ සහෝදරත්වය විනාශ කිරීමට කිසිවෙකුටත් ඉඩ දෙන්න බෑ. අපි ලෝකය සමග එක්ව මේ ත්‍රස්තවාදය අතුගා දැමීමට අත්වැල් බැඳගත යුතුයි.

අපි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා - සංහිඳියාව ඇතිකළා 

අපි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා. සංහිඳියාව ඇති කළා. ඒ නිසා ලෝකය හමුවේ ගෞරවයට පාත්‍ර වුණ රටක්. ඒ නිසා තමයි අපි ලෝකය සමග බද්ධ වෙලා තියෙන්නෙ. ඔක්තෝබර් 26 වැනි පත් වුණ දින 51 ආණ්ඩුව තිබුණ නම් අපේ රටේ තත්ත්වය කුමක් ද? ඒ පත් වුණ රජයට ජාත්‍යන්තර වශයෙන් එක රටක් සුබ පැතුව ද? අපි මේ මොහොතේ කළ යුත්තේ මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීන්ගේ ගොඩට තල්ලු කරල දැමීම නෙවෙයි. ඔබේ මුස්ලිම් සොයුරා ආරක්ෂ කර ගැනීම කළ යුතුයි. මුස්ලිම්වරුන් වසර 1000ට අධික කාලයක් තිස්සේ රටේ සංස්කෘතියට, ආර්ථිකයට වගේ ම සංවර්ධනයට දායක වූ ජනතාවක්. ඔවුන් ශ්‍රී ලාංකිකයන්. ධම්ම පදයේ දේශනාවන්ට සමාන දේශනාවන් ශුද්ධ වූ කුරාණයේ සටහන් වෙලා තියෙනවා. ඒකෙ කියනවා එක මිනිසෙක් ඝාතනය කිරීම සමස්ත මිනිස් වර්ගයා ඝාතනය කිරීමට සමානයි කියලා. ඒ වගේ ම එක මිනිසෙක් ජීවත් කරවීම සමස්ත මිනිස් වර්ගයාම ජීවත් කරවීමක් ලෙසයි කුරාණය පෙන්වා වන්නේ. ඒ වගේ ම කෙනෙක් සිය දිවි නසා ගැනීම බරපතලම වරද ලෙස එහි හඳුන්වල තියෙනවා. ඒ නිසා මේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදු කරන්නේ කිසිදු ආගමකට අනුව නෙවෙයි. මුස්ලිම් ජනතාවගෙන් 99%ක් මේ දේවල්වට විරුද්ධයි.

මේ සිද්ධියෙන් වැඩිම හානිය වුණේ ආර්ථිකයට 

මේ සිද්ධිය සමග වෙන්න පුළුවන් අනිත් දේ තමයි අපේ ආර්ථිකයට වෙන හානිය. විශේෂයෙන් ම සංචාරක කර්මාන්තය බිඳ වැටීමෙන් ඒ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. සංචාරකයන්ගේ පැමිණීම 10%කින් පහළ වැටුණොත් අපට ඇ.ඩො මිලියන 500ක පමණ පාඩුවක් සිදු වෙනවා. අපි හිතනවා මේ සිද්ධිය නිසා සංචාරකයන්ගේ පැමිණීම 30% වගේ ප්‍රමාණයකින් අඩුවෙයි කියල. ඒ අනුව ඇ.ඩො. බිලියන 1.5ක වගේ ප්‍රමාණයක් පාඩුවක් සිදු වෙයි කියලා අපි හිතනවා. නමුත් අපේ ආර්ථිකය පවතින තත්ත්වයන් එක්ක මේ තත්ත්වයන්ට මුහුණ දීල ඉක්මණින් අපට යථා තත්ත්වයට පත් වෙන්නට පුළුවන්. ඊජිප්තුව වසර එකහමාරක වගේ කාලයක් තුළ යථාතත්ත්වයට පත් වුණා. ඉන්දුනීසියාව, ටියුනීසියාව වගේ රටවල් යථාතත්ත්වයට පත් වුණා. උද්දමයනය අඩු වෙමින්, බැංකු පොලී අනුපාත අඩු වෙමින්, රුපියල ශක්තිමත් වෙමින්, අපනයන ශක්තිමත් වෙමින් තියෙන මේ මොහොතේ අපට මේ තත්ත්වයන් පහසුවෙන් මුහුණ දෙන්න හැකියි.‘‘ යන්නයි.