ආගමික අන්තවාදියෙකුට වෙනස් වෙන්න පුළුවන්



ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන 



අඳුරු හෝරාවක අනුප්‍රාණය දල්වන කතාවක් . ආගමික අන්තවාදියෙකුට වෙනස් විය හැකිද ? මේ සත්‍ය කතාව පවසන්නේ ' ඔව් ! කියායි .

නයිජීරියාව අප්‍රිකාවේ විශාලතම ජනගහනයක් සිටින රට. එහි ජනගහනයෙන් 50% පමණ සම්ප්‍රදායික මුස්ලිම්වරුන් වන අතර , 40 % පමණ ක්‍රිස්තියානි වෙති . 1990 ගණන් මුල වන විට මේ කණ්ඩායම් දෙකෙහිම අන්තවාදී ප්‍රවණතාවන් බිහිවී දරුණු ගැටුම් තත්වයක් පැන නැගින. සැමුවල් හටින්ග්ටන් නමැති අමෙරිකානු දේශපාලන විද්වතාගේ 'ශිෂ්ටාචාර ඝට්ටනය' (Clash of Civilizations, Samuel P. Huntington)' පිළිබඳ භයානක ප්‍රවාදය තහවුරු කිරීම සඳහා භාවිතා කරනු ලැබූ එක් සටන් බිමක් වූයේ නයිජීරියාවයි. 

මුහමඩ් අශාෆා නමැති ඉමාම් වරයාත්, ජේම්ස් වූයේ නමැති දේවගැතිවරයාත් නයිජීරියාවේ මෙම අන්තවාදී කණ්ඩායම් ජාල දෙකක් එකිනෙකාට එරෙහිව මෙහෙයවූ, අර කී ශිෂ්ටාචාර ඝට්ටනයේ ප්‍රතිමූර්ති බඳු නායකයින් දෙදෙනකු වූහ. ගැටුමින් ඔවුන්ට පුද්ගලිකව ම අහිමිවීම් සිදුව තිබිණ, ජේම්ස් ට එක් ගැටුමකදී අතක් අහිමිවිය. ඉමාම් අශාෆා ට සිය ගුරුවරයා හා ඥාති සොයුරන් දෙදෙනකු අහිමි විය, ඉතිං ඔවුන් පුද්ගලිකවම එකිනෙකා විනාශ කරන්නට ශපථ කොට තිබුණි. 

නමුත් මේ මිනිස්සු දෙදෙනාම අවංක මිනිසුන් වූහ. නායකයින් ලෙස ඔවුන්ට තම ප්‍රජාවන්ගේ ජීවිතය ගැන සැබෑ වගකීමක් දැනුණි. එමෙන්ම ඔවුන් සිය දහමේ මුල් සොයන්නට බිය නොවූ නිර්භීත මිනිසුන් බවද පෙනේ. 

කෙසේ හෝ යම් සිදුවීම් ගණනාවකට පසු මේ දෙදෙනා 1995 දී මුහුණට මුහුණ ලා හමුවූහ. එතැන් සිට ඔවුන්ගේ සම්බන්ධය හෙමි හෙමින් පෙරළීමකට ලක්විය. තවත් වසර තුනක් පමණ ගතවන විට මේ දෙදෙනා සාමය හා සංහිඳියාව සඳහා එකිනෙකා සමග සන්ධානගතව එක්වූහ, ඉන්පසු හොඳම මිතුරන් බවට පත් වූහ.

නමුත් ඔවුන්ගේ මිත්‍රත්වයේ හා සාමයේ ගමන වහාම පහසු වූයේ නැත, ඔවුන් විසින්ම ගොඩනැගූ වෛරය එන්නත් කළ අන්තවාදීන් ගේ ජාල දැන් ඔවුන්ට එරෙහිව නැගී ආහ. එහෙත් එක්ව සිටගනිමින් නායකයින් ලෙස ඔවුන් සතුවූ ශක්තිය, අප්‍රතිහත කැපවීමකින් සාමය ගොඩ නැගීම සඳහා ද යෙදවීම නිසා නයිජීරියාවේ කතාන්දරය කිසිවෙක් විශ්වාස නොකළ පරිදි වෙනස් මාවතකට හැරිණි. ඒ සමග හටින්ටන්ගේ එක තුරුම්පුවක් අහෝසිවිය.