මනුෂ්‍යත්වය බෙදාහදා ගමු



යටලමත්තේ කුසලානන්ද හිමි 



ගෝලීය ත්‍රස්තවාදය මනුෂ්‍යත්වයට අභීයෝග කරමින් සිටින අසීරු අවස්ථාවක අපි සිටිමු. ත්‍රස්තවාදින්ගේ උපත සිදුවනුයේ ආගම, ජාතිය වැනි මිනිසුන් වෙන් කරන සාධක මගිනි. ඔවුන්ගේ සතුරා වන්නේ මනුෂ්‍යත්වය යි. මිනිසුන් තුළ ඇති ආදරය, ගෞරවය, බෙදාහදා ගැනීම, එකමුතුකම, විශ්වසනීයත්වය ත්‍රස්තවාදයේ සතුරන් ය. ඔවුන් ත්‍රස්තවාදයේ සතුරා වන මනුෂ්‍යත්වයට එළව එළවා පහර දෙති.

සතුරු බල වේගවලට අප මුහුණ දිය යුත්තේ කෙසේ ද ?

ඇති දේ ඇති සැටියෙන් දැකීම වෙනුවට දෘෂ්ටි හෙවත් මතවාද දරන්නන්වුන් අතර ගැටුම් සුලභ ය. ලෝකයේ බහුලව දක්නට ලැබෙන්නේ දෘෂ්ටි හා බැදුණු ගැටුම් ය. නිදසුන් ලෙස ලංකාව අයත් වන්නේ සිංහල ජාතියට අයත් ය, ලංකාව දෙමළ ජාතියට අයත් ය, දෙවියන් විසින් ලෝකය මවන ලදී, මුස්ලිම් ජාතිකයන් අන්තවාදීන් ය, වැනි ප්‍රකාශ දෘෂ්ටි හෙවත් මතවාදය.

ඇති දේ ඇති සැටියෙන් නොදැකීම හෙවත් මිනිසා විසින් ගොඩනගා ගත් බෙදිම් නිසා දෘෂ්ටි අන්ධතාව නිර්මාණ වේ. මේ නිසා මිනිසුන් විසින් අනෙක් මිනිසුන් තමා සේම මිනිසෙකු ලෙස නොදැකීමේ රෝගය ඇති වේ. ඒ නිසා සාමාජීය වශයෙන් ඇතිවන ගැටුම් නිර්මාණය වේ. මර්දනය, පීඩනය, පිටමංකිරීම, අවතැන් කිරීම් ආදී සියල්ල, යුද්ධ හා වෙනත් ව්‍යසනයන් මෙලෙස ඇතිවන සමාජීය ගැටුම් ය. මේ සමාජිය ගැටුම්වලට හේතුව භේදය යි.

ගැටුම් නිරාකරණය කළ හැකි වනුයේ ගැටුම් ඇතිවීමට වීමට බලපාන හේතු සාධක ඉවත් කිරීමේ හැකියාවක් ලැබේ නම් පමණි. ප්‍රතිඑලය ඉවත් කිරීමට නම් ඊට සම්බන්ධ හේතු සාධක ඉවත් කළ යුතුමය.

1. ගැටුම නීතිමය වශයෙන් පාලනය

මේ සදහා පළමු කොට ප්‍රතිපත්ති, නීතිරීති, දඩුවම් ක්‍රියාත්මක කිරීමෙන් මූලික වශයෙන් ගැටුම් ඇති වීම වැලැක්විය හැකිය. මෙමගින් තරමක් දුරට පාලනය කළත් ස්ථීර ප්‍රතිකර්ම නොවේ.

ගැටුමක් ඇති වූ විට භේද ඉස්මතු නොකිරීම ගැටුම් නිරාකරණය සදහා මග සලසයි. (පන්තිය, ජාති, ආගම්, කුල සමාජීය භේද ඇති කරන සාධක ය.)

2. සමාජ ආකල්ප මතවාද වෙනස් කිරීම.

දීර්ඝ කාල සීමාවකට ප්‍රතිකර්මය අවශ්‍ය නම් දෘෂ්ටි හෙවත් මතවාදවලට හෙතු වන වැරදි අවබෝධ වෙනුවට නිවැරැදි අවබෝධය අත්‍යවශ්‍ය ය. ප්‍රඥාව යනු නිවැරැදි අවබෝධය යි. නිවැරැදි අවබෝධය සදහා නිරාකූල මනසක් අවශ්‍යය ය. අවුල් වූ චංචල වූ මනසක් ඇති වන්නේ අන්තගාමී වැරදී අවබෝධයන් නිසා ය.

එනිසා දෙවැනි අධියරේ දී සිත සංවර කිරීම අවශ්‍යය ය. ගැටුම්වලට යොමු කරන අරමුණු වෙනුවට නිරාකරණය සදහා මැදිහත් වන යහපත් අරමුණුවලට පුද්ගලයා යොමු කළ යුතු ය. ගැටුම් ඉපදීමට බලපාන අරමුණු වෙනුවට යහපත් අරමුණු නිතර මෙනෙහි කරණු ලබයි නම් ඔහු එතුලින් යහපතටම යොමු වෙයි.

භේද ඇති කරන සාධක වෙනුවට මනුෂ්‍යත්වයෙන් කටයුතු කිරීම. වෛරය වෙනුවට ප්‍රේමය මෛත්‍රී වැනි සංකල්ප සමාජගත කිරීම. භෙදීම වෙනුවට සමගිය සමානාත්මතාව යන සංකල්ප සමාජගත කිරීම තුළින් සමාජ ආකල්ප මතවාද යහපත් දිශාවට යොමු කළ හැකිය.

3. ගැටුමට මුලික වන්නේ තමා බව හදුනා ගැනීම

තමාගේ අභ්‍යන්තරික සිත ප්‍රඥා ආලෝකයෙන් අලෝක කරගෙන ජාති ආගම් කුල භේද මමත්වය ආදීය මුල් කොට ගත් කිලිටි සිතුවිලි වලින් සිත මුදා ගෙන, පිරිසිදු කර ගෙන, සියලු සත වෙත පතල මෛත්‍රිය කරුණාව දයාව වර්ධනය කරගත් සිතක් ඇති අයෙකුට, සැකයෙන් බියෙන් සන්තාපයෙන් දුකින් තොර ජීවිත සහනය නිරායාසයෙන්ම ලගා කර ගත හැකිය. එවන් ප්‍රඥාවන්ත සිතකින් ගැටුම්වලට හේතුවන සිතුවිල්ලක් පවා උපදින්නේ නැත.

එය සියලු දෙනාට එක සැටියෙන් කළ හැකි දෙයක් නොවන නිසා තම තම නැණ පමණින් භේදවලින් මිදි සියලු සතුන් වෙත මෛත්‍රීය කරුණාව දයාව පිරුණු සිත් සතන් ඇති කර ගැනීමට කට යුතු කළ යුත්තා හ.

පළමු හා දෙවන පියවරයන් දෙකම බාහිර කරුණු උපයෝගී කරගන්නා වූ කෘතීම උපක්‍රමයන් ය. ගැටුම නිරාකරණය කිරීමේ සාර්ථකම විසදුම නිවැරැදි අවබෝධ එනම් යමක් ඇත්ත ඇති සැටියෙන් දැකීමේ උත්සාහය නිසා වර්ධනය වන ප්‍රඥාව යි.

ඒ අනුව ඔහුට ගැටුම කුමක් ද ? එහි පදනම කුමක් ද? එය නිරාකරණය කරන්නේ කෙසේ ද ? යන ප්‍රශ්න මනාව වටහා ගත හැකිය.

මෙම සියලු ප්‍රශ්න නිරාකරණය කරගත් පසු ප්‍රශ්නය නිරාකරණය කිරීමේ ක්‍රමය පවතිනුයේ අන්තැනක නොව තමා තුළම බව ඔහු හදුනා ගනියි. එලෙස ගැටුමින් මිදුණු තැනැත්තා නිදහස් පුද්ගලයයෙකු වෙයි. අන් අය ඔහු සමග ගැටුණත්, ඔහු ඔවුන්ට ගැටුම් නිරාකරණයට මග පෙන්වන්නෙක් වෙයි.