ශක්තික වරදක් කළාද ? - පොලීසිය ලබාදුන් තොරතුරු අසාධාරණද ? 


ශක්තික සත්කුමාර සමාජ මාධ්‍ය තුළ පළකරන ලද ‘‘අර්ධ‘‘ කෙටිකතාව හේතුවෙන් පසුගිය අප්‍රේල් (1) දින අත්අඩංගුවට ගෙන ලබන අප්‍රේල් 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලද අතර මෙහි නඩුව ඊයේ (9) දින පැවැත්වුණි. 

මේ නඩුවට පෙනී සිටි නීතිඥයන්ගෙන් එක් අයකු වන අථිල අතාවුද පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී එදින සිදුවූවේ කුමක්දැයි යන්න සිය මුහුණු පොතේ පළ කළ සටහන පහතින් දැක්වේ.



ස්වාමීන්වහන්සේලා අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයේ 

''ශක්තික සත්කුමාර විසින් රචිත 'අර්ධ' නම් කෙටිකතාවේ යම් කොටසක් මගින් බෞද්ධාගමට බලපෑමක් විනැයි පොල්ගහවෙල පොලීසිය මගින් පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව අද (9) දිනයේ කැදවන ලදී. එහිදී උදෑසන පටන්ම ⁣පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය ඉදිරිපිට ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් ඇතුලු පිරිසක් නිහඩ විරෝධතාවයක යෙදනු දක්නට ලැබුණි. මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්ද විරෝධතාකරුවන්ගේ ඡායාරූප ගැනීමෙහි යෙදී සිටිනු දක්නට ලැබුණි.

නඩුව අධිකරණයේ කැඳවූ අවස්ථාවේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පොල්ගහවෙල පොලීසියේ නිලධාරීන් පිරිසකුත් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ මහේෂ් හේරත්, නීතිඥ උපුල්සරා ජයසිංහ, නීතිඥ පද්මසිරි හේරත් යන මහත්වරුන් සමග නීතිඥ සරත් දසනායක ⁣මහතා පෙනී සිටින ලදී.

ශක්තික සත්කුමාර වෙනුවෙන් නීතිඥ නිහාර රන්දෙණිය, නීතිඥ අථිල අතාවුද, නීතිඥ සංජය විල්සන්, නීතිඥ සී.ඩබ්.ඩබ්. රත්නායක, නීතිඥ බුද්ධදේව ගුණරත්න, නීතිඥ තුෂාර ද සිල්වා සහ නීතිඥ එස් කොටගොඩහෙට්ටි යන මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ එස්.ටී. ජයනාග මහතා පෙනී සිටියේය.

දණ්ඩ නීති සංග්‍රහයේ 291 හා ICCPR 3 වැනි වගන්තිය අනුව වරදක් 

පොල්ගහවෙල පොලීසිය විසින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම නඩුවට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් මෙය දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්තර සම්මුති පනතේ 3 වැනි වගන්තිය යටතේ කරන ලද වරදක් වන හෙයින් ඇප ලබාදීමේ බලය මෙම අධිකරණයට නොමැති හෙයින් සැකකරු දිගටම රක්ෂණ භාරයට පත්කරන මෙන් ඉල්ලා සිටියෝය.

ඡායාරූපය නිසා කැළඹීමක් ඇතිවෙලා 

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සරත් දසනායක මහතා කරුණු දක්වමින් ප්‍රකාශනයේ සහ භාෂණයේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇතත්, ඒ සදහාද සීමාවන් පවත්නා බව සදහන් කලේය. වැඩිදුරටත් කරුණු දැක්වූ ඒ මහතා මෙම කෙටි කතාව මුහුණු පොතේ පළකිරීමට යොදාගෙන ඇති ආවරණ ඡායාරූපය අඩ නිරුවත් එකක් බවත් එය බෙහෙවින් අනුචිත බවත් මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව අතර ඉමහත් කැළඹීමක් ඇතිවී තිබෙන බවත් එම ජනතාවගෙන් කොටසක් අද දිනයේ අධිකරණය ඉදිරිපිට විරෝධතාවයක යෙදෙන බවත් කියා සිටියේය.

සැකකරු කවුද ? 

සැකකරු වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ එස්.ටී. ජයනාග මහතා පළමුවෙන්ම සැකකරු කවරෙක්ද යන්න පිළිබදව අධිකරණයට හැදින්වීමක් කලේය. ඔහු සාහිත්‍යකරුවෙකු බවත් සාහිත්‍ය විචාරකයෙකු බවත් දැනට පොත් ගණනාවක් ලියා පළකල ගත්කතුවරයකු බවත් අධිකරණයේ අවධානයට යොමු කරමින් ඔහු විසින් රචනා කරන ලද ⁣පොත් ලැයිස්තුවක්ද එම පොත් වලින් 3ක පමණ පිටපත්ද අධිකරණයට ඉදිරිපත් කර සිටියේය. ඊට අමතරව සැකකරු කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකු වන බවද පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ බුද්ධ ධර්මය පිළිබදව ඩිප්ලෝමාධාරියෙකු බවද අධිකරණයේ අවධානයට යොමුකර සිටියේය.

‘‘අර්ධ‘‘ වලින් බුදුහමට හානියක් වීද ? 

ඉන්පසු පොලීසිය විසින් මෙම වරදට අදාළව සම්පූර්ණ කරුණු අධිකරණය වෙත වාර්තා කර නොමැති බවත් යටත් පිරිසෙයින් ප්‍රශ්නගත වී ඇති සම්පූර්ණ කෙටි කතාව හෝ අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව අවධානයට යොමුකළ ජනාධිපති නීතිඥවරයා "අර්ධ" කෙටිකතාවේ සම්පූර්ණ පිටපතක් පළමු වරට අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ එම සම්පූර්ණ කෙටිකතාව කියවා බලන කල ඉන් බුදු දහමට හෝ බෞද්ධාගමික විශ්වාසයට කිසිදු අපහාසයක් සිදුවන බවක් අනාවරණය නොවන බවයි.

ඒ අනුව මෙහිදී සිදුවී ඇති සත්‍ය සිදුවීම මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පොලීසිය විසින් කරුණු වාර්තා කර ඇති ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන දෙකේම ඇති සංඝටක තෘප්ත නොකරන බව අධිකරණයට සැළකල ජනාධිපති නීතිඥ ජයනාග මහතා මහනුවර මහාධිකරණයේදී විනිසුරු ආර්.බී. රණරාජා මැතිතුමන්ගේ අධිකරණ තීන්දුවක් කෙරෙහි අධිකරණයේ අවධානය යොමුකරමින් එම තීන්දුවේ දක්වා ඇති පරිදි පොදු ආචාරධර්ම සම්බන්ධයෙන් අධිකරණය මැදිහත් වීම අනවශ්‍ය බවත්, පුද්ගල නිදහස මිනිසෙකු සතු පූජනීයම අයිතිය බවත්, අත්අඩංගුවට පත්වීම නිසා ඔහුට එම නිදහස අහිමි වනවා මෙන්ම විමර්ශන නිලධාරීන්ට අත්අඩංගුවට පත්වන පුද්ගලයා කෙරෙහි අසීමිත බලයක් ලැබෙන බවත් එවන් අවස්ථාවක පොලීසිය මගින් ඉදිරිපත් කරන අසාධාරණ තොරතුරු වාර්තාවකට වලංගුභාවයක් ලබාදෙන හුදු රබර් මුද්‍රාවක තත්වයට අධිකරණය පත්විය යුතු නැති බවත් සැළකර සිටියේය.

පූර්ව නිගමන 

ඩැනී එදිරිව සිරිනිමල් සිල්වා පොලිස්පති නඩු තීන්දුව උපුටාදක්වමින් වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා "යම් පූර්ව නිගමනයක් කරපින්නාගත් විමර්ශකයෙකුගේ නිර්දය අභිලාසයන් මුදුන් පමුණුවාලීමට මහේස්ත්‍රාත්වරයකු සැකකරුවකු බන්ධනාගාරගත නොකළ යුතු බව" අවධාරණය කළේය.

ඇප ලබාදෙන්න මේ අධිකරණයට බලය තියෙනවා 

සෙබස්තියන් ප්‍රනාන්දු එදිරිව කටාන විවිධ සේවා සමුපකාර සමිතිය නඩු තීන්දුව උපුටා දක්වමින් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ජයනාග මහතා යම් අවස්ථාවක අදාළ වන නීතිය පිළිබදව ව්‍යාකූලත්වයක් පවත්නා විට සහ තොරාගැනීම් දෙකක් සිදුකළ හැකි විට දණ්ඩන නියමයක් නොපැණවිය හැකි යම් විකල්පයක් වේ නම් එය තෝරාගතයුතු බවත් මෙහිදී පොලීසිය විසින්ම දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර සම්මුති පනතේ 3 වගන්තිය ආදී වශයෙන් විකල්ප දෙකක් ඉදිරිපත් කර ඇති තත්වයක් තුල එකම වරදකට චෝදනා දෙකකට වරදකරු නොකළ හැකි හෙයින් මෙහිදී ඇප දියහැකි වරදක් වන දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය තෝරාගෙන ඒ අනුව ඇප නි⁣යම කිරීමට මෙම අධිකරණයට බලය ඇති බවත් සදහන් කරමින් සැකකරුගේ පූර්ව කල්ක්‍රියාව, පෙර වැරදි හෝ පවත්නා නඩු නොමැති වීම, සැකකරුට කුඩා දරුවන් දෙදෙනෙකු සිටීම යනාදී කරුණුද සළකා බලා එළඹෙන සිංහල අලුත් අවුරුදු සමයේ සැකකරුට පවුලේ සාමාජිකයන් සමග ගතකිරීමට අවස්ථාව හිමිවන පරිදි ඔහු ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිටින ලදී.

ඉන්පසු මහේස්ත්‍රාත්තුමිය විසින් සැකකරු අප්‍රේල් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.'' 







සබැඳි පුවත් 

ශක්තිකට යුක්තිය නැද්ද ? - රටේ සිවිල් නීතිය පසෙකලා ICCPR පිළිසරණ පැතීම


‘‘රජය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස් අයිතිය උල්ලංඝනය කරනවා‘‘ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය