''අප ඔබව මුළුමනින්ම ප්‍රතික්ෂේප කර හෙළාදකිනවා'' - ජසින්ඩා අර්ඩන්


මේ සටහන නවසීලන්ත ඛේදවාචකයේ බියකරු බව ගැන පුන පුනා පවසන්නටවත් එහි සජීවි දසුන් මවන්නටවත් නොවේ. සිය රැකවරණය පවා නවසීලන්තයට පැමිණි ජනතාව විවිධත්වය ගරු කරන සමාජයක ජීවත් විය. නොසිතූ ලෙස ඔවුන්ගේ ජීවිත අහිමි වී ගිය ද ලොව කොතැනක වුව ජීවත්වන ජාතිවාදී ද්‍රෘෂ්ටිවාදයෙන් අන්ධවූවන්ට නවසීලන්ත අගමැතිනි ජසින්ඩා අර්ඩන් ඊයේ (15) දින ලබාදුන් පිළිතුර කවර සමාජයක වුවද සාකච්ඡාවට බඳුන් විය යුතුය. මෙහි පළවන්නේ ඊයේ දින නවසීලන්ත ජනතාව මෙන්ම මුළු මහත් ලෝකවාසීන් අමතා ඇය සිදුකළ කතාවේ අනුවර්තනයයි. 

මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් 

‘‘මේ අන්තවාදී ප්‍රචණ්ඩ ක්‍රියාව හේතුවෙන් අද රාත්‍රී 7 වනවිට පුද්ගලයින් 40 දෙනෙකුගේ ජීවිත අහිමි වී ගොස් තිබෙන බව අප විශ්වාස කරනවා. ලින්වුඩ්හි පල්ලියේදී 10 දෙනෙකුගේ ජීවිත අහිමිව ගොස් තිබෙන අතර ඉන් තිදෙනෙකු මියගොස් තිබෙන්නේ පල්ලියේ එළියෙන් සිටියදීයි. ඩීන්ස්හි පිහිටා තිබෙන පල්ලියේදී පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් තිබෙනවා.  ඒවගේම පුද්ගලයින් 20 දෙනෙකු මාරාන්තික තුවාල ලබා තිබෙනවා. මේ අවස්ථාව විස්තර කළහැකිවන්නේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස පමණයි. 

මේ වනවිටත් අප දන්නා තොරතුරු වලට අනුව මේ ප්‍රහාරය මනාව සැලසුම් කර තිබෙන බව පෙනෙනවා. සැකකරුගේ වාහනයට සම්බන්ධ කර තිබුණු පුපුරණ ද්‍රව්‍ය දෙකක් මේ වනවිට සොයාගෙන ඇති අතර ඒවා නිරායුධ කර තිබෙනවා. අපරාධයට පුද්ගලයින් සිව් දෙනෙකු සම්බන්ධ අතර මීට සම්බන්ධ තිදෙනෙකු අත්අඩංගුවේ පසුවනවා. මොවුන් ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ බව මේ අතරින් එක් තැනැත්තෙකු පවසා තිබෙනවා.   

අන්තවාදී අදහස් වලට නවසීලන්තයේ මෙන්ම ලෝකයේ ද ඉඩක් නැහැ 

මොවුන් අන්තවාදී අදහස් ඇති පුද්ගලයින් වන අතර මෙවැනි අදහස් වලට නවසීලන්තයේ කිසිදු අවකාශයක් නැහැ වගේම ලෝකයේද කිසිදු ඉඩක් පවතින්නේ නැහැ. අපට මේ අදියරේදී වෙනත් සැකකරුවෙකු ගැන විශ්වාස කිරීමට කිසිදු හේතුවක් නැති අතර තවත් සැකකරුවෙකු සිටින බවක් අනුමාන කරන්නේ ද නැහැ. ඒකාබද්ධ බුද්ධි කණ්ඩායම හා පොලීසිය මේ ගැන වැඩිදුර සොයාබැලීමට යොදවා තිබෙන අතර ඔවුන් සිය උපරිම සහය ඒ වෙනුවෙන් ලබාදෙනවා. 

ආරක්ෂක බලකාය විසින් නොසන්සුන්කාරී ප්‍රදේශ කරා අතිරේක පොලිස් කාර්ය මණ්ඩලය යොදවමින් තිබෙනවා. අපේ ජාතික ආරක්ෂක තර්ජන මට්ටම පහත මට්ටමේ දක්වා ඉහළට ගොස් තිබෙනවා. අපේ ආයතන සියල්ලම වඩාත් යෝග්‍ය අන්දමින් ප්‍රතිචාර දක්වමින් සිටින බව මා  මෙහිදී ප්‍රකාශ කළයුතුයි. අපේ දේශසීමාවත් මීට අයත්. නවසීලන්ත ගුවන්සේවය මගින් ක්‍රිස්ට්චර්ච් වෙත පියාසර කරන සියලුම ගුවන්යානා අවලංගු කර තිබෙන අතර හෙට උදෑසනදී මේ තත්ත්වය ගැන නැවත විමසා බැලෙනවා. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සිදුකෙරෙන අනෙකුත් පියාසැරි සාමාන්‍ය පරිදි සිදුකෙරෙනවා. 

ආරක්ෂාව උපරිමයි 

ආරක්ෂාව උපරිමයෙන් සලසා තිබෙන බව මා නැවත වතාවක් ප්‍රකාශ කරනවා. ඇත්ත වශයෙන්ම, ජනතාවගේ ආරක්ෂාව ගැන අපට සහතික විය හැකියි, ජනතාවගේ ආරක්ෂාව සහතික කරන්න පොලිසිය වෙහෙස මහන්සි වී කටයුතු කරන නිසා කිසිදු බියක් සැකක් නැතිව නගර වල එහෙ මෙහෙ සැරිසරන්න පුළුවන්. 

මා අද සවස් කාලයේදී ක්‍රිස්ට්චර්ච් හි නගරාධිපති සමග කතාබහේ යෙදුණු අතර අද සවස ඉමාම්වරයා සමග කතාබහ කරන්නත් බලාපොරොත්තුවෙන් පසුවෙනවා. ඒවගේම මින් සෘජු බලපෑමට ලක්වූ අයට ද පණිවිඩයක් යැවිය යුතුයි. ඇත්තටම, ඔවුන් වෙනුවෙන් පණිවිඩයක් බෙදාහදාගත යුතුයි. 
අප ඔබ සමගයි 

මින් බලපෑමට ලක්වූ සහෝදර ජනතාව සමග අප සිතුවිලි හා යාඥාවන් නිරතුරුව රැඳී තිබෙනවා. ක්‍රිස්ට්චර්ච් මෙහි ගොදුර බවට පත්වූ ජනතාවගේ නිවහන වී තිබුණා. මේ අතරින් බොහෝ දෙනෙකු ඉපදුණු තැන එතැන නොවෙයි, ඇත්තටම, නවසීලන්තය ඔවුන්ගේ තෝරාගැනීම වුණා. ඔවුන් බොහොම උනන්දු සහගතව පැමිණ සිය ජීවිතය කැපකළ තැන නවසීලන්තයයි. සිය පවුලේ පිරිස හැදු වැඩුණු තැන, මේ ප්‍රජාවේ කොටසක් වී ඔවුන් ආදරය කළ හා ඔවුන්ට ආදරය කළ පිරිස සමග දිවිගෙවූ තැන මෙතැනයි. ඔවුන් බොහෝ දෙනෙකු නවසීලන්තයට ආවේ ආරක්ෂාව වෙනුවෙනුයි. සිය ආගම අදහන්න හා සංස්කෘතිය අනුගමනය කරන්න ඔවුන්ට මෙතැන නිදහස හිමිවී තිබුණා. 

නවසීලන්තය ඉලක්කයක් වුණේ ඇයි ? - අපේ වටිනාකම් එලෙසමයි 

මේ වගේ තැනකදී මෙහෙම දෙයක් සිද්ධවුණේ කොහොමද යන වග නිවසේ ඉඳන් මේ දිහා බලාගෙන ඉන්න පිරිස හිතනවා හා ප්‍රශ්න කරනවා ඇති, අපි නවසීලන්තය. වෛර කරන අයට සුරක්ෂිත වරායක් වූ නිසා අප ඉලක්කයක් වුණේ නැහැ. අප ජාතිවාදයට සමාව දෙන නිසා මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවකට අපිව තෝරාගෙන නැහැ, මොකද අපි ඉන්නේ අන්තවාදයට පිටතින්. අපි මේ දේවල් වලින් කිසිවක් නොවීම, මේ වෙනුවෙන් අපව තෝරාගන්න හේතුවෙන්න ඇති. 

අප විවිධත්වය, කරුණාව නියෝජනය කරනවා. අපේ වටිනාකම් බෙදාහදාගන්න අයට නිවහනක් වෙනවා, රැකවරණයක් වුවමනා අයට නිවහනක් වෙනවා. ඒ වටිනාකම් මේ ප්‍රහාරයෙන් කිසි විටක නොසෙල්වුණු බවත් එය කිසිදා කළ නොහැකි බවත් මා ඔබට සහතික කරනවා. අප වාර්ගික කොටස් 200 කට අධික සංඛ්‍යාවක් හා භාෂාවන් 160 කට අධික ගණනාවක් තිබෙන ශ්‍රේෂ්ඨ ජාතියක්. අප ඒ විවිධත්වය තුළ පොදු වටිනාකම් බෙදාහදාගන්නවා.

මේ මොහොතේදී මේ ඛේදවාචකයෙන් සෘජු බලපෑමට පත්වූවන්ට දයානුකම්පාව හා සහයෝගය හිමිවනු ඇත. දෙවනුව මෙවැන්නක් ඇතිකරපු පිරිසගේ ද්‍රෘෂ්ටිවාදය ප්‍රබලව හෙළාදැකිය යුතුයි. ඔබ අපව තෝරාගත්තා විය හැකි වුවත්, අප ඔබව මුළුමනින්ම ප්‍රතික්ෂේප කර හෙළාදකිනවා.‘‘ 
  


CNN ඇසුරිනි 

අනුර්වතනය - වින්ධ්‍යා ගම්ලත්