අපට නොතේරෙන නීතිය

බයානක සමාජ පරපෝෂිතයින් විසින් විවිධ නාමයෙන් ව්‍යාප්ත කොට ඇති සමාජ ව්‍යාජය, මළපහ කළ තැනක් සෝදා හරින්නා සේ පහකළ යුතුය. කුණුවුණු තුවාලයක් ප්‍රතිකාර කිරීමට පෙර පිරිසිදු කරන්නා සේ පිරිසිදු කළ  යුතුය.  මන්ද, මෙය පහ කිරීමෙන් තොරව මේ ජාතියට ගොඩ යෑමක් නැත.
කතුවැකිය 

මේ රටේ නීතිය ක්‍රියාත්මක වන අයුරු හරිම අපූරුය. බාල වයස්කාර ගැහැණු ළමයෙකු කෙළසපු එකා ඉහළ අධිකරණයට යොමු කොට යුක්තිය ඉටු කරනු වෙනුවට ඔහුට ඇප දී ගෙදර යැව්වේය. බොරැල්ල පොලිසියේ මහත්තයෙකු යට කරමින් පලා ගිය බේබදු රැළකට පැය කිහිපයක් යෑමට මත්තෙන් ඇප දුන්නේය. ඒ උන්ගේ තාත්තලාගේ අනුහස නිසා යැයි ඇතැමුන් කියති. අලුත්ම  කාරණය රටේ සිදු වූ අපරාධ වලට වගකිව යුතු යැයි රටේ රහස් පොලිස් පරීක්ෂක මහතුන් විශ්වාස කරන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් තහනම් නියෝග නිකුත් කිරීමට ඉල්ලීමය. 

අපට නොතේරෙන මහා ලොකු කතන්දරයක් අපට සැඟවී අපේ ජීවිත වලට බලපෑම් කරමින් තිබෙන සැටියෙකි. 

දස මාසයක් කුසේ තබා ගෙන රුහිරය කිරි බවට පෙරලා පෝෂණය කොට හදා වඩා ගත් දරුවා නොසන්ඩාලයෙකුගේ සල්ලාලකම සංසිඳුවා ගැනීමට අපහරණය කිරීම හෝ ඉහවහා ගිය තණ්හාවට එම නොදරුවා පැහැරගෙන කප්පම් ඉල්ලා කප්පම් නොදුන් තැන එම ළදරුවාට වදදී කපා කොටා මරා දැමීම මේ ලොව නොව කුමන හෝ ලොවක වෙසෙන මවකට නොව කුමන හෝ මනුස්සකමක් ඇති මානවයෙකුට ඉවසා දරාගත හැකිද? එවැනි නොසන්ඩාලයින් යුද්ධය මුවාවෙන් කළ මෙම වින්නැහිය කුමන හෝ ජාතියේ මිනිහෙකුට යහපත් දෙයක් යැයි අර්ථකථනය කළ හැකිද? එවැනි අපරාධ සිදුවන විට උඩබිම බලාගෙන සිටියවුන්, උන් යටතේ සිටියවුන් කළ අකටයුතු කම් වලට වගකීමට බැඳී නොසිටින්නේද?  

මේ මහත්වරුන් රණවිරු ලේබලය අලවා ගෙන, අධිකරණය හමුවේ දනින් වැටී "අනේ මාව අත්අඩංගුවට ගන්න දෙන්න එපා යැයි" දොඩන්නේය. එක්කෝ කුලියට ලියන ලියන්නන් කිහිප දෙනෙක්  අල්ලාගෙන රණවිරුවන් දඩයම් කරන්නේ යැයි ලියා ගනිමින් සිංහල ප්‍රජාව අතර වැජඹෙන්නේය. මේ මුලාව  පරම්පරා ගණනාවක් තිස්සේ ඇදෙන්නේය. 

ඒ අතකින්,  කළ හෝ නොකළ වරදකට පැවති ආණ්ඩුවේ පළිගැනීම් වළට කොන්ද කෙලින් තබාගෙන මුහුණ දුන් ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා සහ අනුන්ගේ කක්කුස්සි වලවල් පිරිසුදුකොට ඔවුන්ට දේශපාලන බලය ලබා දීමට  බරදිය අදිමින් තමන්ගේ කට නිසා නැසීම උදාකරගත් ඥානසාර හිමිපාණන් මෙම වෙස්වලාගත් කෛරටක බියගුළු වීරයින්ට වඩා ගව් ගාණනක් ඉදිරියෙන් සිටින පුරුෂයින් වෙති.  ඥානසාර හමුරුදුවෝ ඩීල් කාරයින්ගේ ගොදුරක්  නොවී සැබෑ බෞද්ධ බික්ෂුවක් බවට කෙදින හෝ හිරෙන් නිදහස් වීමෙන් පසු පන්සලට පැමිණි දවසේ සිට පත්වනු ඇතැයි සිතමු. 

මෙම බයානක සමාජ පරපෝෂිතයින් විසින් විවිධ නාමයෙන් ව්‍යාප්ත කොට ඇති ඉහත කී සමාජ ව්‍යාජය, මළපහ කළ තැනක් සෝදා හරින්නා සේ පහකළ යුතුය. කුණුවුණු තුවාලයක් ප්‍රතිකාර කිරීමට පෙර පිරිසිදු කරන්නා සේ පිරිසිදු කළ  යුතුය.  මන්ද, මෙය පහ කිරීමෙන් තොරව මේ ජාතියට ගොඩ යෑමක් නැත. 

ඒ වෙනුවට, අනේ මාව අත්අඩංගුවට ගන්න එපා යැයි කියන විට නොගෙන සිටීමටත්, ළදැරියක්  කෙළසූ එකා උසාවි බිමෙන් කිසිඳු හිරිකිතයක් නොමැතිව පිටව ගොස් තමන් කළ සහිසික කටයුත්ත ගැන පුරසාරම් දෙඩීමට හැකි වටපිටාව සකස් කිරීමත්, තමන්ගේ දූෂිත අප්පලාගේ අනුහසින් රටේ නීති තමන්ට රිසි ආකාරයෙන් නවා ගැනීමත් දිගින් දිගටම සිදුවුවහොත්, අපාය ඇත්තේ එළොව නොව මෙලොව යැයි ඕනෑම අයෙකුට වැටහෙනු ඇත.  

ඉතින් අපට අපේ උත්තරීතර අධිකරණයේ ඉහළ මහත්තුරුන්ගෙන් සහ නෝනලාගෙන් අහන්න ප්‍රශ්නයක් තිබේ. අනේ නඩුකාර හාමුදුරුවනේ, අපට තේරෙන්නේ නැති මේ නිතීය දෙවියන්ගේ හෝ බුදුන්ගේ නාමයෙන් අපට කියලා දෙන්නකෝ, යන්න පමණි. එපමණට මේ රටේ මේ දිනවල සිදුවන දෑ අමුතුය, පුදුමය, නොතේරෙන්නේය.