‘‘සපුගස්කන්ද පටන්ගෙන අවුරුදු 51 කින් දෙවන තෙල් පිරිපහදුව ආරම්භ කළා‘‘ - අගමැති



රුහුණු ආර්ථික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට හම්බන්තොට පත් කරන බවත්, රුහුණු ආර්ථික සංවර්ධනය වෙනුවෙන් විශේෂ නීති සැකසීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (24) හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ නව තෙල් පිරිපහදුව සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවට මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගී වෙමින් පැවසුවේය.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, එක් තිරසර ප්‍රතිපත්ති මාලාවක් ඔස්සේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේ ප්‍රතිඵලයක් ලෙස ශක්තිමත් සංවර්ධන පදනමක් සැකසී ඇති බවත් තම උපන්දිනය වෙනුවෙන් ලැබුණු වටිනාම ත්‍යාගය හම්බන්තොට තෙල් පිරිපහදුව සහ සිමෙන්ති කර්මාන්ත ශාලාව බවත්ය. 

එම අවස්ථාවට සජිත් ප්‍රේමදාස, තලතා අතුකෝරල, මංගල සමරවීර, අකිල විරාජ් කාරියවසම්, සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, මලික් සමරවික්‍රම, දයා ගමගේ, නලින් බණ්ඩාර, දිලිප් වෙදආරච්චි, අශෝක් අබේසිංහ, අබ්දුල්ලාහ් මහරූෆ්, ලකී ජයවර්ධන, කේ.කේ. පියදාස, විජිත් විජයමුණි සොයිසා ආදී මහජන නියෝජිතයින් මෙන්ම ඕමාන් රජයේ තෙල් හා ගෑස් පිළිබඳ අමාත්‍ය ආචාර්ය මොහොමඩ් බින් හමාඩ් අල් රුම්හී, ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ක්ෂුවාන් ඇතුළු පිරිස දායක විය.  

අගමැතිවරයා මෙහිදී පළකල අදහස් සවිස්තරව, 

උපන්දිනයට සුබ පැතූ සියලුදෙනාටම ස්තුතියි 

‘’අද දිනයේදී මගේ උපන්දිනය වෙනුවෙන් සුභ පැතූ සියලූ දෙනාටම මම ස්තූතිය පළ කරනවා. එවැනි අවස්ථාවක ලැබුණු මෙම ආයෝජනය රටටම ලැබුණු හොඳම ත්‍යාගයක් ලෙස මා දකිනවා. 

2015 දී මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා අපි හම්බන්තොටට පැමිණෙන විට මෙහි වරාය හිස් වරායක් ලෙසයි තිබුණේ. ඒ වගේම මත්තල ගුවන් තොටුපොළේ ගුවන් යානා වෙනුවට සිටියේ මෙණරුන් පමණයි. ක්‍රිකට් ක්‍රීඩා නොමැති ක්‍රීකට් ක්‍රීඩාංගන, සම්මන්ත්‍රණ නොමැති සම්මන්ත්‍රණ ශාලා, අඩක් ඉදිකර නතර කරන ලද මහා මාර්ග ආදී සුදු අලින් විශාල ප්‍රමාණයක් හම්බන්තොට ඉදිකර තිබුණා. වල් අලින් යාල වනෝද්‍යානයේ සිටින විට සුදු අලින් සිටියේ හම්බන්තොටයි.

අද හම්බන්තොට වැඩකරන වරායක් 

එදා මෙහි පැමිණි අවස්ථාවේ හම්බන්තොට වරාය වැඩකරන වරායක් බවට පත් කරන බවත්, නැව් වලින් පුරෝන බවත් අපි පැවසුවත් ඔවුන් ඊට සමච්චලයට මෙන් සිනාසුණා. නමුත් අද වන විට හම්බන්තොට වරාය වැඩකරන වරායක් බවට පත් කිරීමට අපට හැකිවී තිබෙනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරියත්, චයිනා මර්චන්ට් සමාගමත් එක්ව ඒකාබද්ධ සමාගමක් ලෙස මෙම වරාය ක්‍රියාත්මක වෙනවා. මේ වන විට එල්.එන්.ජී විදුලි බලාගාරයක් වෙනුවෙන් චීන සමාගමක් අනුමැතිය ලබාගෙන තිබෙනවා. ඉදිරියේදී හම්බන්තොට ප්‍රදේශයේ එල්.එන්.ජී විදුලි බලාගාරයක් ද ඉදි වෙනවා. ඒ වගේම අපි දැන් තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදිකිරීමත් ආරම්භකර තිබෙනවා. 

සපුගස්කන්ද ආරම්භ කර වසර 51 කට පස්සේ දෙවන තෙල් පිරිපහදුව ආරම්භ කළා 

1967 වසරේ සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය ආරම්භ කිරීමෙන් පසු වසර 51 ක් පුරා ශ්‍රී ලංකාවට දෙවන තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට හැකි වුණේ නෑ. එය දැන් අපේ රජය යටතේ ආරම්භ වෙනවා. අද දිනයේ සිමෙන්ති කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමටත් කටයුතු සිදු කෙරුණා. තවත් මාස තුනක් ගත වීමට පෙර සිවිල් ගුවන් සේවා අධිකාරියත්, ඉන්දියාවත් එක්ව මත්තල ගුවන් තොටුපොළත් ක්‍රියාත්මක කරන තත්ත්වයට ගෙන ඒමට අපි කටයුතු කරනවා.  

අපි එදා පොරොන්දු වූ ආකාරයට වසර තුනක් ගත වන විට මෙම විශාල සංවර්ධනය මේ ප්‍රදේශයට ගෙන ඒමට කටයුතු කර තිබෙන බව පැවසිය යුතුයි. අපි ජනතාවට දෙන්නේ සංවර්ධනය පමණක් නොවේ. සියලූ අංශයන් ගෙන් ජනතාව ශක්තිමත් කිරීම අපේ අරමුණයි. 

හම්බන්තොට රුහුණු ආර්ථික පරිවර්තනයේ කේන්ද්‍රස්ථානයයි 

හම්බන්තොට රුහුණු ආර්ථික පරිවර්තනයේ කේන්ද්‍රස්ථානය ලෙස අප හඳුනාගෙන තිබෙනවා. මේ සියලූ සංවර්ධන කටයුතු සිදු වන්නේ හම්බන්තොට කේන්ද්‍ර කරගනිමිනුයි. අපි මේ ප්‍රදේශය සංවර්ධනය කරමින් ඉදිරියට යනවා. අපට සුළු පිරිසක් විවිධ චෝදනා එල්ල කළත් චීන, ඉන්දීය ආයෝජන වගේම ශ්‍රී ලංකාවේ දේශීය ආයෝජන ආදී සියලුම ආයෝජන හරහා රට තුළ සංවර්ධනය ඇති කිරීමට අපි කටයුතු කරනවා. මෙම ආයෝජන කලාප කර්මාන්තවලින් පිරවීමහැර වෙනත් කාර්යයක් අපට නැහැ. 

හම්බන්තොට ආයෝජන කලාපයේ පළමු අදියර වන මෙම කොටස අක්කර 6000 ක් විශාලයි. අප දැනට ආරම්භ කර තිබෙන්නේ මේ පළමු අදියර පමණයි. මොණරාගල දිස්ත්‍රික්කයේ තවත් අක්කර 6000 ක ආයෝජන කාලාපයක් පිහිටු වනවා.  අපි වැඩ පෙන්වන්නේ කටින් නොව ක්‍රියාවෙන් පමණයි. මෙම ආයෝජන කලාප ඉදිකිරීම හරහා මේ ප්‍රදේශය තුළ කෙතරම් පරිවර්තනයක් ඇති වනවා ද යන්න පිළිබඳව ඔබ කල්පනා කළ යුතුයි. 

ඔබේ ගැටළු සජිත් විසඳාවි 

මේ දිස්ත්‍රික්කය තුළ විවිධ ගැටළු, චෝදනා එල්ල වන විට දිස්ත්‍රික්කය තුළ ඔබේ නායකයා වන සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ සියල්ල විසදාගැනීමට කටයුතු කළා. මේ ප්‍රදේශයට සංවර්ධනය රැගෙන එන බව එතුමා ප්‍රදේශයේ ජනතාවට පොරොන්දු වුණා. දැන් අපි ඒ සංවර්ධනය හම්බන්තොටට ලබාදී තිබෙනවා. ඒ හරහා රැකියා විශාල ප්‍රමාණයක් ඇති වෙනවා. 

මීට පෙර එකම තෙල් පිරිපහදු මධ්‍යස්ථානය පිහිටා තිබුණේ බියගමයි. පිරිපහදුව සඳහා තෙල් ගෙන එන තෙල් ටැංකි පෝලිමේ තිබෙන විට ඔවුන්ට කෑම, බීම අලෙවි කිරීම සඳහා කුඩා ආපන ශාලා ඉදිකර ගත්තා. ඒ ආකාරයට අපි නොසිතූ ආදායම් මාර්ග ජනතාවට තෙල් පිරිපහදු මධ්‍යස්ථාන හරහා ලැබුණා. එදා අප බියගම, කටුනායක ආරම්භ කළ ආයෝජන කලාප අද දකුණු අසියාවේ හොඳම ආයෝජන කලාප ලෙස සැලකෙනවා. ගුවන් තොටුපොළක්, වරායක්, තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් සහ විදුලි බලාගාරයක් ඒ ප්‍රදේශ අවට පිහිටා තිබීම එම ආයෝජන කලාප සාර්ථක කර ගැනීමට හේතු වූ සාධකයි. 


මේ අපේ රජයෙන් කෙරෙන සංවර්ධන පරිවර්තනයේ එක් කොටසක් පමණයි 

එම නිසා හම්බන්තොට ආයෝජන කලාපය ඉදිකිරීමේදී අපේ පළමු ඉලක්කය වූයේ විවිධ භාණ්ඩ නිෂ්පාදනය සඳහා කර්මාන්ත ගෙන ඒම නොවෙයි. වරායක්, ගුවන් තොටුපොළක් මේ ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. අද දිනයේ මුල්ගල් තබන තෙල් පිරිපහදු මධ්‍යස්ථානය සහ සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාව හරහා ආයෝජන කලාපයකට අවශ්‍ය මූලික පහසුකම් සැපයෙනවා. අපේ අරමුණ වූයේ එයයි. සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා සමග මේ ප්‍රදේශය ඉදිරියටත් විශාල වශයෙන් සංවර්ධනය වෙනවා. 

අපේ වැඩකටයුතු ඉන් අවසන් වන්නේ නැහැ. මේ අපේ රජය යටතේ සිදු කෙරෙන සංවර්ධන පරිවර්තනයේ එක් කොටසක් පමණක් බව පැවසිය යුතුයි. මලික් සමරවික්‍රම ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආයෝජන මණ්ඩලය විවිධ ආයෝජන ලංකාවට ගෙන ඒමට කටයුතු කරනවා. 

හම්බන්තොට ඉදිවෙන ආයෝජන කලාපය හරහා රටේ සමස්ථ ආර්ථිකයම පරිවර්තනයකට ලක් වෙනවා. ධීවර කර්මාන්තය නවීකරණය වෙනවා. මත්තල, හම්බන්තොට හා මොණරාගල ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන ඉදිකෙරෙන අක්කර 12,000 ක ආයෝජන කලාපය තුළ විශාල සංචාරක කලාපත් ඉදි කෙරෙනවා. ඒ තුළ ගොල්ෆ් ක්‍රීඩාංගන පහකට අධික සංඛ්‍යාවක් ඉදිකිරීමට සැලසුම් සකස් කර තිබෙනවා.

ඒ වගේම තරුණ, තරුණියන්ට වෘත්තීමය සහ කාර්මික පුහුණුව ලබාදීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා චීන සහ ජර්මන් රජයන් සමග සාකච්ඡා කර දැනට පවතින ආයතනවල පහසුකම් දියුණු කිරීමට කටයුතු කරනවා. එම වැඩකටයුතු දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යංශයට භාරදී තිබෙනවා. 

දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යංශය හරහා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථා නීතිය අපි ගෙන ඒමට කටයුතු කරනවා. සංචාරක අමාත්‍යංශය හරහා සංචාරක කලාප ඉදිකළ විට මෙම ප්‍රදේශයට පැමිණෙන සංචාරක ප්‍රමාණය විශාල වශයෙන් වර්ධනය වෙනවා. සංචාරකයන් වෙනුවෙන් ප්‍රමුඛ පෙළේ සංචාරක හෝටල් ඉදිවීම රටේ ආර්ථිකයට ඉතා හොඳ තත්ත්වයක් වුවත් සංචාරකයන්ට නිවාස ආශ්‍රිතව නවාතැන් පහසුකම් සලසා දෙන "හෝම් ස්ටේ" වැඩසටහන වෙනුවෙන් ජනතාව පුරුදු කළ යුතු යැයි මම උපදෙස් ලබාදී තිබෙනවා. 

මෙම ආයෝජන සහ සංචාරක කලාප සම්බන්ධ කරමින් හම්බන්තොට සිට මහනුවර දක්වා මහා මාර්ග පද්ධතියක් ඉදිකරනවා. ඒ වගේම බිංගිරිය, කුලියාපිටිය, මාවතගම, කළුතර ආදී ප්‍රදේශවල ආයෝජන කලාප ඉදිකරනවා. මීට පෙර නොතිබුණු මෙවැනි විශාල දියුණුවක් අපි දැන් ශ්‍රී ලංකාවේ ආරම්භකර තිබෙනවා. මේ වන විට බිංගිරිය ආයෝජන කලාපයේ පළමු අදියර අවසන් වී තිබෙනවා.


මේ රටේ ආර්ථික දියුණුව ඇති කිරීමට හැකියාව තිබෙන්නේ එජාපයට පමණයි 

මේ සියලූ සංවර්ධන වැඩකටයුතු අපි කළේ එක් ප්‍රතිපත්තියක් මතයි. අපි විටින් විට ප්‍රතිපත්ති වෙනස් කිරීමට කටයුතු කළේ නැහැ. අපි භාරගත්තේ ණය පිරුණු රටක්. ඇතැමුන් අපට දෝෂාරෝපණය කළා. පසුගිය වසරේ මහ මැතිවරණයක් ඉල්ලා බොහෝ අය විවිධ කුමන්ත්‍රණ සිදු කළා. නමුත් අප අපහසුවෙන් වුවත් රට ඉදිරියට ගෙන ආවා. එදා මහ මැතිවරණයකට ගියා නම් අද මෙවැනි විශාල සංවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. 

ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජනතාව අපට විරුද්ධව ඡන්දය පාවිච්චි කළත් මැතිවරණයෙන් වසරක් ගතවීමටත් පෙර මහා මාර්ග ආයෝජන කලාප හරහා ජනතාවට සංවර්ධනය ගෙන ඒමට අප කටයුතු කර තිබෙනවා. ආණ්ඩුවක් ලෙස අපි ජනතාවට බොරු පොරොන්දු දෙන්නේ නැහැ. අපි වැඩකරන ආණ්ඩුවක්. එදා හම්බන්තොට තිබුණු සුදු අලි ව්‍යාපෘති අපි පෙරහැරේ යන අලි බවට පත් කර තියෙනවා. ඒ නිසා රටේ සංවර්ධනය වෙනුවෙන් මූලිකත්වය ගන්නා ආයෝජන සහ කර්මාන්ත ඇති ප්‍රදේශයක් බවට හම්බන්තොට පත් කිරීමට අපට හැකිවී තිබෙනවා. 

මේ රටේ ආර්ථික දියුණුව ඇති කිරීමට හැකියාව තිබෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයට පමණයි. මේ අපේ ආරම්භය පමණක් බවත්, තවත් වසර පහකින් රට සීඝ්‍ර සංවර්ධනයකට ගෙන යන බව මේ අවස්ථාවේ ප්‍රකාශ කළ යුතුයි. එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා කොග්ගල පළමු වෙළඳ කලාපය ආරම්භ කිරීම මට භාරදුන්නා. එම කාර්ය දකුණේ හම්බන්තොට සිට මොණරාගල දක්වා ව්‍යාප්ත කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා. කතරගම දෙවියන්ගේ ආශීර්වාදයෙන් මේ ප්‍රදේශය රටේ ජාතික ආර්ථිකයේ වැදගත් කොටසක් බවට අපි නැවතත් පත් කර තිබෙනවා. 

පරාජය, දෝෂාරෝපණ සමව ඉවසමින් බොරු පොරොන්දු නොදී කටයුතු කරනවා 

පරාජය, දෝෂාරෝපණ සමව ඉවසමින් බොරු පොරොන්දු ලබාදීමෙන් තොරව රටේ ජනතාවට හොඳ අනාගතයක් ලබාදීමට අපේ රජය සූදානම් බව මම අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා.