වත්මන් සමාජය අතිශය සංකීර්ණ වී ඇති නිසාම අද පවුල් සංස්ථාව දැවැන්ත අර්බුදයකට මුහුණ පා ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (22) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති ජාතික සමාජ සංවර්ධන ආයතනයේ උපාධි සහ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට එක්වෙමින් පැවසුවේය.
අමාත්‍ය දයා ගමගේ, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් එච්. එම්. ගාමිණි සෙනෙවිරත්න, ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ශාමිණි අත්තනායක, මහාචාර්ය ඩොනල්ඩ් චන්ද්‍රරත්න හා උපාධිලාභීන් සහ ඩිප්ලෝමාලාභීන් විශාල පිරිසක් මෙම සහභාගි වී විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා පැවසුවේ.
ජාතික සමාජ සංවර්ධන ආයතනය
‘‘ජාතික සමාජ සංවර්ධන ආයතනය පිළිබඳව මට කුඩා අවධියේ සිටම මතකයන් තිබෙනවා. මෙම ආයතනය මුල් වකවානුවේ දී පිහිටා තිබුණේ 5 වන පටුමගේ අපේ නිවසට යාබදවයි. එකල අපි බයිසිකල් පදිමින් එහා මෙහා යන විට මෙම ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් යන එන අයුරු අපි නිතරම දුටුවා.
මේ මාවත දිගේ රාජකීය, මහානාම සහ තර්ස්ටන් විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද ගමන් කරනවා. ඔවුන් අතරේ මේ ජාතික සමාජ සංවර්ධන ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අසීරුවෙන් ගමන් කරනවා මට හොදින් මතකයි.
ඒ සබඳතාව වසර ගණනාවක් පැවතුනා. ඒ නිසාම මෙම ආයතනය ගැන මට හොඳ අවබෝධයක් තිබෙනවා.
ඊට කාලයකට පසු අපි ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රය විවෘත කරන අවස්ථාවේ පළමුවෙන්ම එහි එක් ගොඩනැගිල්ලක් මෙම ආයතනය බාරගත්තා. ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රය පවත්වාගෙන යාමට හැකි වුණේ එමගින් ලැබුණු ආදයමෙනුයි. නමුත් දැන් එම කේන්ද්‍රයේ මුදල් වගකීම පාර්ලිමේන්තුවට ලබා දෙනවා. අද වන විට ජේ.ආර්. කේන්ද්‍රයේ වැඩ කටයුතු සෑම ආකාරයකින්ම දියුණු වී තිබෙනවා.
එදා හා අද සමාජ සේවය
එකල සමාජ සේවාවන් සෞඛ්‍ය අංශයේ කොටසක් ලෙස සැලකූ අතර එමඟින් ළමා, කාන්තා සහ අසරණයන් පිළිබඳව අවධානය යොමු කළා. නමුත් මේ වන විට ළමා, කාන්තා ආදි වශයෙන් වෙන වෙනම අංශ තිබෙනවා. සමාජයේ දියුණුවත් සමඟ සමාජයේ විවිධ අංශයන් කෙරෙහි සහයෝගය, උපදෙස් හා සත්කාර අත්‍යවශ්‍යයි. එම සේවාවන් ලබා දෙන්නේ කවුරුන් ද ? අතීතයේ අපේ රටේ ඒ පිළිබඳ වැඩසටහනක් තිබුණා. එය පවුල් සංස්ථාවයි. පවුලේ සියලූ දෙනා එකට ජීවත් වූ අතර ඔවුනොවුන් එකිනෙකා බලාගත්තා.
නමුත් එම පවුල් ජාලය අද දක්නට ලැබෙන්නේ නෑ. පවුලේ සාමාජිකයින් විසිරී සිටිනවා. එක් සාමාජිකයෙක් ඩුබායිවලත්, තව කෙනෙක් කොරියාවේත්, තවත් දෙදෙනෙක් ලංකාවේත් ආදී වශයෙන් විවිධ ප්‍රදේශවල, විවිධ වෘත්තීන්වල නිරතව සිටිනවා.
ඒ අනුව අද පවුල් සංස්ථාව බලා ගන්නේ කවුද ? අද මේ සෑම දෙනාටම පෙර තම දරුමල්ලන් බලා ගැනීමට තිබෙනවා.
දරුවන්ගේ අධ්‍යාපනය ගැන මෙන්ම ඔවුන්ගේ අනෙකුත් වැඩ කටයුතු පිළිබඳව ද විමසිලිමත් විය යුතුයි. මේ අනුව අද පවුල් සංස්ථාව ඉතා සංකීර්ණ තත්ත්වයකට පත්ව තිබෙනවා. වර්තමානයේ පවතින නව තත්ත්වයත් සමග මේ වන විට ඇතැම් නිවෙස්වල දිවා සහ රාත්‍රි ආහාර වේල් දෙකම ආපනශාලාවලින් ලබා ගන්නා තත්වයක් ඇති වී තිබෙනවා. මීට පෙර ඉහල පාන්තිකයන් අතර පමණක් පැවති මේ තත්වය අද වන විට සෑම දෙනා අතරම ව්‍යාප්ත වී තිබෙනවා. මෙය නව ආර්ථික තත්වයක්. මෙම සමාජ කණ්ඩායම් පිළිබඳ අපේ අවධානය වැඩි වන විට ඒ සඳහා විශේෂඥ දැනුම් අවශ්‍ය වනවා.
ණය බර
2015 ආණ්ඩුව බලයට පත් වන විට අපට ණය පියවීම සඳහා විශාල මුදලක් යෙදවීමට සිදු වූ අතර එම ණය ගෙවා ගත නොහැකි තත්වයක් ඇති වී තිබුණා. ඇත්ත වශයෙන්ම එවකට පැවැති ආණ්ඩුවට එම ණය ගෙවීමේ හැකියාව පැවතුනා නම් 2014 දී ජනාධිපතිවරණය පවත්වන්නේ නැහැ.
අප ආණ්ඩුව බාර ගත් පසු මේ වසරේ දී පමණක් අපට ඩොලර් මිලියන පන්දහස් නවසියයක ණය මුදලක් ගෙවීමට තිබෙනවා. ඒ අනුව අපේ ආදායමෙන් විශාල කොටසක් ණය පියවීම සඳහා යෙදවීමට සිදුවුණා. ආදායමෙන් තව කොටසක් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා යොදවනවා. ඉතිරි මුදල් සමාජ අංශයට යෙදවීමට අපි අවධානය යොමු කළා.
අසීරු අවධියක වුවද මේ වසර කිහිපය තුළ අධ්‍යාපනය සඳහා අපි විශාල මුදලක් ලබා දුන්නා. වසර 13ක අධ්‍යාපනය අනිවාර්ය කළා. ඒ වගේම “ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන ආරම්භ කිරීමටත්, පුහුණු ගුරුවරු සංඛ්‍යාව වැඩි කිරීමටත්, විද්‍යා පීඨ ප්‍රමාණය වැඩි කිරීමටත් පියවර ගත්තා. සුරක්‍ෂා රක්ෂණ ක්‍රමය, ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන, උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍ය නේවාසිකාගාර, ඉංජිනේරු පීඨ ලබාදීමටත් කටයුතු කළා.
සෞඛ්‍ය සේවාවේ දියුණුව සඳහා ද අපි පියවර ගණනාවක් ගෙන තිබෙනවා. එදා කොළඹරෝහල්වලට පමණක් සීමා වී තිබූ නවීණ උපකරණ අද සෑම රෝහලකටම ලබාදීමට කටයුතු කර තිබෙනවා. මෑතක යාපනයට ගිය අවස්ථාවේදී එහි රෝහල්වල උපකරණ මා දුටුවා. එසේම අපි ඖෂධ මිල අඩු කළා.
ආර්ථික දැක්ම
මේ ආකාරයට අධ්‍යාපනයට හා සෞඛ්‍ය සඳහා අපි විශාල මුදලක් වෙන් කර තිබෙනවා. ඒ වගේම ජල නල යෝජනා ක්‍රම, ග්‍රාමීය හා නාගරික නිවාස අඩු ආදායම්ලාභීන්ට තට්ටු නිවාස, වතුකරයේ හා උතුරේ ජනතාවට නිවාස ලබාදීම ආදී වශයෙන් මූලික අංශ සඳහා අපි මුදල් ලබාදී තිබෙනවා.
අපේ බලාපොරොත්තුව වන්නේ ඉතා තරඟකාරී ආර්ථිකයක් ගොඩනැගීමයි. නමුත් තරඟකාරී ආර්ථිකයක් තුළින් සැමට සමාන වරප්‍රසාද හිමිනොවිය හැකියි. එබැවින් එම තත්ත්වය දුරු කිරීමට අපි සමාජ සාධාරණත්වයකින් කටයුතු කරනු ලබනවා. යුරෝපීය රටවල් මෙය හඳුන්වනු ලබන්නේ ඉහළ තරගකාරී සමාජ වෙළෙඳ ආර්ථිකයක් ලෙසයි. (Highly Competitive Social Market Economy)
මෙහිදී පිරිසක් නෙදර්ලන්ත ආර්ථිකය ක්‍රමය ගැන බලන්නැයි කියන අතර තව පිරිසක් ස්වීඩනයේ ආර්ථික ක්‍රමය දෙස බලන්න කියනවා. කෙසේ හෝ ඉහළ තරගකාරී සමාජ වෙළෙඳ ආර්ථිකයක් කරා යන ගමනේ දී සෑම අංශයකටම මුදල් යෙදවීමට නොහැකි වු අතර ඉදිරියේ දී අනෙකුත් අංශ ගැන අවධානය යොමු කිරීමට තිබෙනවා.
වැඩිහිටි ජනගහනය වර්ධනය වීම
වැඩිහිටි ජනගහනය වැඩිවීමත් සමඟ රට තුළ විවිධ සමාජ ප්‍රශ්න මතුවෙනවා. ඒ වගේම තවත් උදාහරණයක් ලෙස විභාග අසමත් වීම වැනි ගැටලූ හේතුවෙන් පුද්ගලයින් තුළ ඇති වන මානසික ගැටළු ද වර්ධනය වී තිබෙනවා. එම නිසා මෙවැනි සමාජ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙමින් ඒවා කළමනාකරණය කිරීම සඳහා දැනුම සහිත පුද්ගලයන් අවශ්‍යයි. ඉදිරි වසර කිහිපය තුළ දී මෙම අංශ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනවා. පසුගිය කාලයේ අපේ මුදල් සීමාසහිත වූ නිසා ප්‍රමුඛත්වය අනුව මුදල් වැය කළා. ඒ අනුව සමාජ අංශය සඳහා ඉහළ ප්‍රමුඛත්වය ලබා දුන්නා.
ඉදිරියේ දී උපාධි අපේක්‍ෂකයින් බඳවා ගැනීමට අපි පියවර ගෙන තිබෙනවා. ඒ අයගෙන් ඇතැම් අයට මෙම ආයතනයේම පාඨමාලා හැදෑරීමේ අවස්ථාව ලබාදිය හැකියි. ඒ සඳහා සුදුසු අධ්‍යාපන ආයතන මොනවාදැයි අපි තවදුරටත් කල්පනා කළ යුතුව තිබෙනවා. ඒ අනුව මෙම ජාතික සමාජ සංවර්ධන ආයතනය ප්‍රධානම ආයතනය ලෙස තෝරා ගනිමින් විශ්ව විද්‍යාල මට්ටමට පත් කළ යුතුයි.
වෙනස් වන සමාජය හා අධ්‍යාපනය
විශ්ව විද්‍යාලය යනු උපාධිය පමණක් ලබා දෙන ආයතනයක් ලෙස නොව පශ්චාත් පර්යේෂණ උපාධි හැදැරීමට ද අවස්ථාව ලබාදෙන ආයතනයක් විය යුතුයි.
අපේ සමාජය ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. මීට වසර 20 කට පෙර, සාක්කුවේ දමා ගෙන යා හැකි ජංගම දුරකථන නිපදවිය හැකි යැයි කවුරුවත් සිතුවේ නැහැ. මෙසේ සමාජය වෙනස් වීම තුළ හොඳ සහ නරක දෙකම තිබෙනවා. සමහර අවස්ථාවලදී කිසියම් කෙනෙක් දොස් පැවරූ විට ක්ෂණිකව දිවි නසා ගන්නා තත්ත්වයට සමාජය පත්ව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල සහ අනෙකුත් ආයතන කටයුතු කරන්නේ කෙසේදැයි සොයා බැලිය යුතුයි. ඒ අනුව පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ තරුණ තරුණියන් සඳහා උපදේශන සේවා පවත්වන ආකාරය පිළිබද අවධානය යොමු කළ යුතුයි. මේ සඳහා ජාතික වැඩසටහනක් ඇති කිරීමට කමිටුවක් පත් කර ඒ වැඩකටයුතු අප මේ වන විට කරගෙන යන බව කිව යුතුයි.‘‘ යන්නයි.
Post a Comment