ලංකාවේ හිපියෝ බහුතරයක් යුධකාමීයි


– තුසිත බාලසූරිය –

මහල්වරාව බේකරිය නැමති විකල්ප කලා අවකාශයේ පරිණාමය සියැසින් දුටුවෙකු විදියටත්, බේකරියේ අසල්වැසියෙකු විදියටත් හා බේකරියේ කට්ටියගේ මිතුරෙකු විදියටත් බේකරිය ගැන කෙටි සටහනක් තැබීමට යෙදුණේ ලබන සදුදා සිට මහල්වරාවේ බේකරිය සහ අවට දිග හැරෙන ආදරේ රැලි සිඹින මිනිසත් බවේ වෙරළ නිමිත්තෙන්. ඊට පෙරවදනක් සපයන්න සිදුවුනේ බේකරිය ගැන නොදන්න කෙනෙකුට ඉක්මන් අවබෝධයක් ගන්න පහසුවක් වෙන්න.

පාන් බනිස් පුච්චන බේකරිය කලාවට නැවෙන්නේ දර පාන් පෝරණුවෙ අධිපති රාජාගේ උවමනාවට. ඔහු වෘත්තීය ජායාරූප ශිල්පියෙක්. නමුත් රාජා වටා සිටින මිතුරු ඇලිය නොවන්නට රාජාට මෙවැනි විස්සම් පාන්නට බැහැ. විවිධ විෂය පරාසයන්ගේ වැඩ කරන මිනිසුන් විශාල ප්‍රමාණයක් බේකරියේ ස්වෙච්ඡා ශ්‍රම බලකායට අයත්. පිටි මුට්ට පාන් වෙනවා වගේ බේකරියට ආවේනික වැඩ රටාවක් තියෙනවා. උණු බනිස් වගේ රසවත් වැඩ හැදෙන්නෙ එම විවිධත්වයත්, එකමුතුවත් නිසා.

බේකරිය වගේ කලා අවකාශයන් ගොඩක් තිබුනට බේකරිය වගේ ගමත් එක්ක සහසම්බන්ධ විකල්ප සංස්කෘතික අවකාශයක් නිර්මාණය කිරීම පහසු නැහැ. ගමේ මිනිස්සු බේකරියේ සද්දෙට සිංදු දැම්මට බනින්නෙ නැහැ. ගංජා සුවදක් ආවා කියලා පොලිසියට ඔත්තු දෙන්නෙ නැහැ. බේකරියේ ඉඩ මදි වුනාම අහල පහල ගෙවල්වල ගේට්ටු ඇරලා දෙන එකමුතුව මම දැක්කේ මහල්වරාවෙන්. රාජා කියන විදියට මහල්වරාව කියන්නෙ වෙනම ගමක් නෙමෙයි වෙනම රටක්.

බේකරිය හැමදාම විවිධත්වයට විවෘතයි. නොයෙක් වාද, විවාද, සංවාද හටගන්නෙ, ගැටෙන්නෙ, ලියලන්නෙ බේකරිය එළිමහනෙ. සංවාද ගැටුමක ආසන්නයට ආවත් සිපවැළදගෙන සාමකාමීව විසිරයන සිරිතක් බේකරියේ තිබුනා. බේකරියට යන්න එන්න වෙලාවක් නැහැ. ගේට්ටු නැහැ. නිදහසේ නිවෙන්න, මතින් විනෝදවන්නට, සංගීතයෙන් හා රංගනයෙන් පිනායන්නට වගේම සංවාදයෙන් තැවෙන්නටත් ඉඩකඩ බේකරියේ තියෙනවා.

දර පාන් පෝරණුවෙ අධිපති රාජා

ලංකාවේ බොහීමියානුවෝ යැයි කියාගන්න අය එක්කෝ ජාතිවාදියි නැත්නම් ආගම්වාදියි. හිපියෝ වෙන්න හදන බහුතරයක් යුධකාමීයි.

ලංකාවේ බොහීමියානුවෝ යැයි කියාගන්න අය එක්කෝ ජාතිවාදියි නැත්නම් ආගම්වාදියි. හිපියෝ වෙන්න හදන බහුතරයක් යුධකාමීයි. බේකරියේ කලාකරුවන්ට විකල්ප කලාකරුවෝ කියන නාමකරණය ලැබෙන්නෙ ඔවුන් ජාතිවාදය, ආගම්වාදය හා යුධකාමය වෙනුවෙන් කඩේ නොයන නිසා. බේකරිය නිදහස් අවකාශයක් වුනත් බේකරියට මනුස්සකම වෙනුවෙන් අවම සීමා තියෙනවා. එය දේශපාලනිකයි. බේකරියේ දේශපාලන සමබරතාව පවත්වාගෙන යන්නෙ කලාවෙන්.

කිසිවෙක් තවකෙකු වෙනුවෙන් පෙනී නොසිටින යුගයක බේකරිය ගැන මෙවැනි සටහනක් ලියන්නෙ බේකරියේ සහෝදරත්වය අගය කරන්න වගේම ලබන සදුදා සිට සෙනසුරාදා දක්වා රාත්‍රී යාමයෙදී පැවැත්වෙන වේදිකා නාට්‍ය, චිත්‍රපට ප්‍රදර්ශනය සහ අවසාන දින පැවැත්වෙන සංගීත උළෙල ගැන දැනුවත් කරන්න. ඊට අමතරව එම දින පහේ දවස පුරාම විවිධ කලා අංගයන් ගණනාවක් බේකරිය අවට කලා ගමේ පැවැත්වෙනවා. කොළඹ ඉදලා එනකොට කොට්ටාවට කළින් තියෙන මහල්වරාව හන්දියෙන් බහින්න හෝ දකුණට හරවන්න.