'අද ‘මාධ්‍ය ව්‍යාධියට’ යෝජනා කරමින් තිබෙන සමහර ප්‍රතිකර්ම බොහොම දරුණුයි' - නාලක ගුණවර්ධන



‘දේශපාලන අර්බුද සමයේ ජනමාධ්‍ය භූමිකාව‘ තේමාව යටතේ ඊයේ (22) දින ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේදි පැවති විවෘත සංවාදයේදී පසුගියදා ඇතිවූ දේශපාලන අර්බුද සමයේදී මාධ්‍ය වල හැසිරීම ගැන විවිධ විද්වත් මත පළවූ අතර මෙරට තුළ ඇතිවිය යුතු ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ ගැන ද අවධානය යොමුවිය.

මෙහිදී අදහස් දැක්වීමට ප්‍රවීණ මාධ්‍යවේදී අර්ජුන් රණවන, ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ අනුශාසක නීතිඥ රවී ජයවර්ධන, යුනෙස්කෝ ආයතනයේ සංවර්ධන සන්නිවේදනය සඳහා වන අන්තර්ජාතික වැඩසටහනේ හිටපු ප්‍රධානී විජයානන්ද ජයවීර, නීතිඥ විරංජන හේරත්,  ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ දායක විය. 


එහිදී අදහස් දැක්වූ ලේඛක හා මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන පෙන්වා දුන්නේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ වලදී අත්‍යවශ්‍ය වන්නේ මතවාදී න්‍යාය පත්‍රය නොව වඩාත් ප්‍රායෝගික විසඳුම් බවයි.  ඔහු වැඩිදුරටත් පැවසුවේ, 


''හොඳ අර්බුදයක් කවදාවත් අපතේ යවන්න එපා කියනවා (‘Never let a good crisis go waste’). ඒ කියන්නේ ඕනැම දුෂ්කර අත්දැකීමකින් වැදගත් පාඩම් උගත හැකි බවයි!

2018 දේශපාලන අර්බුදය දිග හැරුණු දින 51 හරියට ප්‍රිස්මයක් වගේ. අපි දන්නවා ප්‍රිස්මයක් කරන්නේ හිරු එළිය සැදී තිබෙන වර්ණ 7 බෙදා වෙන් කර පෙන්වීම.

දේශපාලන අර්බුදයත් අපිට පෙන්වා දුන්නේ අපේ සමාජයේ උඩු දුවපු මහා ප්‍රශ්න කොපමණක් මේ මොහොතේ සංකලනය වී තිබේද කියායි.

ඒ සංකීර්ණ සහ කුරුවල් වී තිබෙන සමාජයේ තවත් එක වැදගත් පැතිකඩක් තමයි අයාලේ යන, අතිශය පක්ෂග්‍රාහී වන, ආචාරධර්ම කඩන, ඇතැම් විට රටටම ගිනි තියන්නට හදන අපේ මාධ්‍ය!
හැබැයි මම අද මෙතැන කථා කරන්නෙ මාධ්‍යවලට ප්‍රසිද්ධියෙ පහර දෙන්න නොවෙයි.






මාධ්‍යවලට දොස් කියන්න ලෙහෙසියි.

එසේම අපේ මාධ්‍යවල පෙන්වා දිය හැකි දොස් බහුලයි - බරපතලයි. මේ දිනවල එය නොයෙක් පසින් ඇසෙනවා. එලෙස දොස් කීමට අතිශය සාධාරණ හේතු ද තිබෙනවා.

නමුත් අද ඇසෙන චෝදනාවලින් බොහෝ දුරට හුවා දක්වන්නේ මාධ්‍යවල රෝග ලක්ෂණ පමණයි. 
අපි මාධ්‍යවල වැඩ කළත්, මාධ්‍ය ගැන පර්යේෂණ කළත්, මාධ්‍ය ග්‍රාහකයා වුණත් මේ රෝග ලක්ෂණ තිබෙන බව නම් පිළිගන්නට සිද්ධ වෙනවා.

රෝග ලක්ෂණ ලැයිස්තු ගත කිරීමෙන් ඔබ්බට යන රෝග විනිශ්චයක් කළ හැකිද ?. එසේ රෝගය හඳුනා ගත් පසු සීරුවෙන් ප්‍රතිකර්ම කරන්නේ කෙසේද ?' එතැනදී තේරීම් (options) තුනක් මා දකිනවා.

රෝගියාම තමන්ට තේරෙන හැටියට ස්වයං ප්‍රතිකාර කර ගන්නවද ?

කලක් තිස්සේ අපේ මාධ්‍ය කියන්නෙත් මේකයි: අපේ ලෙඩට අපිම ප්‍රතිකාර කර ගන්නම් කියා. ඒත් සුවයක් පේන්න නැහැ - ඒ වෙනුවට ‘මාධ්‍ය ලෙඩා’ දැන් සමාජයම ලෙඩ කරමින් සිටිනවා.

නැත්නම් ආණ්ඩුවට මැදිහත් වෙලා බෙහෙත් කරන්න කියනවද ?

මෙය ටිකක් භයානක වැඩක්. ආණ්ඩු තනි මතයට දෙන ප්‍රතිකාර සැර වැඩි වෙන්න පුලුවන්.
තුන්වන තේරීමකුත් මා දකිනවා. එනම් මාධ්‍ය හිමිකරුවන්, මාධ්‍යවේදීන්, මාධ්‍ය පර්යේෂකයන්, මාධ්‍ය ගුරුවරුන් වැනි සියලූ පාර්ශ්වයන් හවුල් කර ගෙන හොඳම ප්‍රතිකාරය දීමට තැත් කිරීම.  මෙයයි අප හමුවේ දැන් තිබෙන අභියෝගය.

බරපතල ව්‍යාධියක් වැලඳී සිටින රෝගියකුට ප්‍රතිකාර කිරීම දුෂ්කර වූත්, කල් ගත වන්නා වූත්, බෙහෙවින් ඉවසිල්ල අවශ්‍ය වන්නා වූත් කාරියක්.

දරුණු විෂබීජයක් ශරීරගත වූ අවස්ථාවක විෂබීජය නසන්නට ය කියා රෝගියා මැරෙන තරමේ සැර බෙහෙත් දෙන්න බැහැ!

පිලිකාවක් හට ගත් අවස්ථාවක, පිළිකාවට පහර එල්ල කරන අතර රෝගියා හැකි තාක් පරිස්සම් කර ගන්නත් සිදු වනවා.

අද ‘මාධ්‍ය ව්‍යාධියට’ යෝජනා කරමින් තිබෙන සමහර ප්‍රතිකර්ම බොහොම දරුණුයි.

සමහරෙක් කියන්නේ ධනවාදී ආර්ථිකය පවතිනා තාක් මෙසේ අයාලේ යන මාධ්‍ය පැවතීම සිදු වන බවයි. ඔවුන්ගේ නිර්දේශය: ධනවාදය හමාර කොට සමාජවාදයට යොමු වීම. සමහරුන්ට න්‍යායාත්මකව ආකර්ශනීය වුණාට එය කෙතරම් ප්‍රායෝගික ද යන්න දැඩි ලෙස විවාද කළ යුතුයි.

තවත් සමහරුන් කියන්නේ පෞද්ගලික මාධ්‍ය නැති, රාජ්‍ය මාධ්‍ය පමණක් පැවති යුගයට ආපසු යා යුතුය කියායි. විද්‍යුත් මාධ්‍ය තනිකර රාජ්‍ය ඒකාධිකාරයක් ලෙස පැවති, 1992ට පෙර කාලයේ හැදුණු වැඩුණු මට ඒ නීරස, ඒකාකාරී හා අධිපතිවාදී මාධ්‍ය යුගයට ආයෙත් යන්න කිසිම උවමනාවක් නැහැ. ඒ කාලය අනවශ්‍ය ලෙස රොමෑන්ටික් කරන්න එපා!



මේවා අහන කොට මට සිහිපත් වන්නේ ‘ලෙඩා මැරුණත් බඩ සුද්ධයි’ කියන පිරුළයි.

ඒ ආකාරයේ බිහිසුණු හෝ අභව්‍ය විසඳුම් නොවෙයි අපට අවශ්‍ය වන්නේ. මාධ්‍ය ප්‍රතිසංස්කරණය කරන විට අපේ මතවාදී න්‍යාය පත්‍ර නොව මාධ්‍ය කර්මාන්තයට සහ සමාජයට වඩාත්ම හිතකර වූත්, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි වූත් විසඳුම් සොයා ගෙන යා යුතුයි.

මේ බනින්නේ මාධ්‍ය හදා ගන්නද - නැත්නම් මුළුමනින් විනාශ කර දමන්නද ?

මා පෞද්ගලිකව විශ්වාස කරන්නේ බැනලා හරි, විවේචන එල්ල කරල හරි, අපි බැනුම් අහල හරි, අපේ මාධ්‍ය යළිත් නිසි මගට ගන්නට ප්‍රමාද නෑ කියලා.

ඒ නිසා අද සංවාදය, මාධ්‍යවලට චෝදනා මණ්ඩපයක් වෙනුවට විසඳුම් මණ්ඩපයක් කර ගනිමු !'' යන්නයි. 













(දර්ශන අනුග්‍රහය - නිවුස් හබ්)