වතු කම්කරු වැටුප් වැඩි කරන ගිවිසුමට රට පුරා විරෝධතා


වතු කම්කරුවන්ගේ නව වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වු නව අවබෝධතා ගිවිසුම අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරියේදී අද (28) දින අරලියගහ මන්දිරයේදී අත්සන් කළ බව ලංකා කම්කරු කොංග්‍රසය නිවේදනය කර ඇත. කෙසේවුවත්, වතු කම්කරු වැටුප් වැඩිකරගැනීම වෙනුවෙන් අරගල කරන පිරිස් පවසන්නේ මෙය මහා පාවාදීමක් බවයි.

වතු හාම්පුතුන්ගේ සංගමය වෙනුවෙන් එම සංගමයේ අධ්‍යක්ෂක ජෙනරාල් කණිෂ්ක වීරසිංහ සහ වතු ඒකාබද්ධ වෘත්තීය සමිති වෙනුවෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති, නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන්, ලංකා ජාතික වතු කම්කරු සංගමය වෙනුවෙන් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යය වඩිවෙල් සුරේෂ් යන පිරිස මීට අත්සන් තබා ඇත.


මේ අනුව වතු කම්කරුවෙකුගේ දෛනික මුලික වැටුප රු 700 ක් වශයෙන්ද තේ මිල අනුව දිනකට රු.50 මුදලක්ද අමතර තේ දළු කිලෝවකට රු.40 ක්ද වශයෙන් නව අවබෝධතා ගිවිසුම අනුව වතු කම්කරුවන්ට වැටුප් ගෙවීමට නියමිත අතර මාස තුනක හිග වැටුප්ද ගෙවිමට නියමිතය.

මෙම අවබෝධතා ගිවිසුම වසර දෙකකට බලපැවැත්වෙන බව ලංකා කම්කරු කොංග්‍රසය පවසයි. අද අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුමට විරෝධය පාමින් හැටන් මෙන්ම කිලිනොච්චියේදී ද වතු කම්කරුවෝ විරෝධතා දියත් විය.