ජාතික දුම්රිය කෞතුකාගාරය ඉදිකරන මුවාවෙන් මහා පරිමාණ ජාවාරමක්






Railway Museum Guarantee Ltd සමාගම කෞතුකාගාරයක් ඉදිකර පවත්වාගෙන යන මුවාවෙන් දුම්රියේ නිලනාමය යොදාගෙන මහජන මුදල් අවභාවිත කරන කූඨ ජාවාරමක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය නිවේදනය කරයි.





දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්. පී.විතානගේ, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග වෙත ද මේ බව දන්වමින් අද (13) ලිපියක් යොමුකර සිටියේය. මෙහිදී ඔවුන් අවධාරණය කළේ Railway Museum Guarantee Ltd සමාගම අහෝසිකර, ඉදිකරමින් ඇති කෞතුකාගාරය වහාම දුම්රිය දෙපාර්තමේන්තුවට පවරාගෙන දෙපාර්තමේන්තුවට ඍජු ආදායමක් ලැබෙන ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.






Railway Museum Guarantee Ltd නමින් දුම්රියේ නිලනාමය යොදාගෙන 2007 අංක 07 දරණ සමාගම් ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ මෙම සමාගම ලියාපදිංචි කර ඇත. මෙහි ලියාපදිංචි අංකය 2409 වේ. 1902 අංක 9 දරණ දුම්රිය ආඥා පනතට අනුව දුම්රිය සේවයට අනුබද්ධිතව දුම්රිය සේවය තුළ කවරාකාරයක සමාගමක් වුවද, ලියාපදිංචි කිරීමට හෝ පවත්වාගෙන යාමට හෝ නෛතික ප‍්‍රතිපාදන නැත. මෙවැනි සමාගමක් පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තු පනතක් හෝ නීතිපති තමාගේ අවසරයක් හෝ නොමැත. මෙය ඇපයෙන් සීමිත සමාගමක් ලෙස හඳුන්වා ඇතත්, ජාවාරම්කාරී ලෙස මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් පවත්වාගෙන යන සමාගමක් බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.









බලධාරීන් නිහඬයි





මෙම සමාගමේ නමින් මේ වනවිට කොළඹ ටෙක්නිකල් හන්දියේ දුම්රිය මූලස්ථානය ආසන්නයේ පිහිටි විශාල දුම්රිය භූමිය නීති විරෝධී ලෙස අත්පත් කරගෙන ඇති අතර, එම භූමියේ ඇති දුම්රිය කාර්යාල කීපයක් ඉවත්කර එම ගොඩනැගිලි ගණනාවක් නීති විරෝධි ලෙස අත්පත් කරගෙන ඇත. මේ සම්බන්ධයෙන් කිසිදු දුම්රිය බලධාරියෙක් කිසිදු සොයා බැලීමක් නොකරන අතර, දුම්රිය නිලධාරීන් කීප දෙනෙක්ද, වෘත්තීය සමිති නායකයින් කීප දෙනෙක්ද මෙම හොර ජාවාරමට සම්බන්ධ වී ඇතැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ රාජකාරි ලෙස සලකා දුම්රිය සේවකයින්ද මෙම ජාවාරම් කටයුතු වලට සම්බන්ධ කරගෙන ඇති බව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.





දුම්රිය දෙපාර්තමේන්තුවට දුන් මුදල මහජන බැංකුවේ හිටපු සභාපතිවරයාගේ පෞද්ගලික පරිහරණයට





මහජන බැංකුව, මර්චන්ට් බැංකුව හා පීපල්ස් ලීසිං සමාගම කෞතුකාගාරයේ ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 300 ක (කෝටි 30) මුදලක් ප‍්‍රදානයක් ලෙස ලබා දුන්නද, දුම්රිය දෙපාර්තමේන්තුවට එම මුදල ලබා දී නොමැති බවත් එම මුදල මහජන බැංකුවේ හිටපු සභාපතිවරයා විසින් පෞද්ගලික පරිහරණයට යොදවා ගෙන ඇත බවත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අනාවරණය කර සිටියි.





රාජ්‍ය ආයතනයක් ලෙස පෙන්වීම සඳහා ජාතික දුම්රිය කෞතුකාගාරය (National Railway Muse) යනුවෙන් නාමකරණය කර ඇති මෙම ගොඩනැගිල්ල ඉතාමත් වටිනා දුම්රිය දේපළක් බව බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් හා ගොඩනැගිලි යොදාගෙන මහජන බැංකුවේ මුදල් යොදාගෙන (මහජන මුදල්) නාවික හමුදාවේභටයින් යොදාගෙන දේශපාලන බලය පාවිච්චි කරමින් දුම්රිය සතු පෞරාණික සම්පත් යොදාගෙන පෞද්ගලික ධනය සත පහක් හෝ වැය නොකර මෙම කෞතුකාගාරය හරහා දැවැන්ත ජාවාරමක් කිරීමට කටයුතු කරමින් ඇති බවත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරයි.

























සබැඳි පුවත්





ජාතික දුම්රිය කෞතුකාගාරය අලුත් ජාවාරමක්ද ?





කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ භාණ්ඩ විනාශ කර දමලා