”මාධ්‍යවේදීන්ගේ ඝාතන, අතුරුදහන්වීම් සම්බන්ධයෙන් විමර්ශන ඇරඹීමට මානව හිමිකම් කොමිෂන් සභාව සුදානම්” – ආචාර්ය දීපීකා උඩගම



“ඝාතනයට ලක් වු සහ අතුරුදහන් වු මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කිරීමට අවශ්‍ය මුලික තොරතුරු ලබා දීමට හැකි නම් ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව සුදානම් යැයි” ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය, ආචාර්ය දීපීකා උඩගම මහත්මිය පවසයි.


ඇය මේ බව ප්‍රකාශ කළේ අපරාධවලට ලක්වු මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන වලට යුක්තිය ඉටු කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට මැදිහත්වන ලෙස ඉල්ලා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජිකයින් ඊයේ (29) දින මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය හමු වු අවස්ථාවේ දීය.

ඝාතන, අතුරුදහන් වු සහ පැහැර ගෙන ගොස් වද හිංසාවන්ට ලක්වු ජනමාධ්‍යවේදීන් සම්බන්ධ පොලිස් පැමිණිලි, ඇසින් දුටු සාක්ෂි, සිද්ධියට වගකිව යුතු පුද්ගලයින් සම්බන්ධ තොරතුරු, වෙනත් ලේඛනමය සාක්ෂි ආදි තොරතුරු විමර්ශන කටයුතු සදහා ඉතා වැදගත් බවත් පොලිස් පැමිණිලි සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මකවී නොමැතිනම් කොමිෂන් සභාවට ඒ සම්බන්ධයෙන්ද ක්‍රියාකළ හැකි බවත් එහිදී සභාපතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතනවලට එරෙහි අපරාධ සම්බන්ධයෙන් දණ්ඩ මුක්තියක් පැවැතීම පිළිබදව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිදුකරමින් සිටින අධ්‍යයනයේ සංක්ෂිප්ත වාර්තාවක්ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත භාරදෙනු ලැබීය.

ජනමාධ්‍යවේදීන්ගේ ඝාතන, අතුරුදහන්වීම් හා පැහැරගෙනයාම් සිදුවීම්වලට අදාළ මාධ්‍ය සමාජය හා පොදුවේ මහජනතාව දන්නා වැදගත් තොරතුරු ඇත්නම් මානව හිමිකම් කොමිසම වෙත භාරදීම සදහා fmmsrilanka@gmail.com හෝ කැඳවුම්කරු, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, අංක 96, බර්නාඩ් සොයිසා මාවත, නාරහේන්පිට, කොළඔ 05 යන ලිපිනය වෙත ලැබීමට සලස්වන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සියලු පාර්ශ්ව වලින් ඉල්ලා සිටී.