ජනපති මෛත්‍රිට විවෘත ලිපියක්


"ඕනෑම යුද්ධයක් ජයගැනීමේ පළමු උපාය, සතුරා මුලාවේ හෙළීමය." ඔබ ඔබේ සතුරා මුලාවේ නොහෙලන්නේ නම් සතුරා ඔබව මුලාවේ හෙළනු නියතය. එබැවින් මා හට වැදගත් වන්නේ ඔබ සහ ඔබ සතු බලයය. මන්ද ජනතාවගේ ඉරණම තීන්දු කරන්නේ එය බැවිනි.





චානක්‍ය





රට හමුවේ ඇති වී ඇති දේශපාලන විවාදය සම්බන්ධයෙන් මෙම ලිපිය ලිවීමට අදහස් කළේ කාරණා කිහිපයක් ඉස්මතු කර පෙන්වීමටය. ඔබේ දේශපාලන තීන්දු වලට එරෙහිව රටේ පමණක් නොව ලෝකය පුරාම විවිධාකාර චෝදනා එල්ල වන බව ප්‍රසිද්ධ කාරණයකි. 





ඒ බොහෝ විවේචන, කෙටි කාලීනව මිනිස් මනසේ ඇතිවන හැඟීම් මූලික කර ගනිමින් ඇතිවන ඒවාය. නැතහොත් තම ලාභය හෝ වෙනත් ප්‍රයෝජන අහිමිවීමේ වේදනාව නිසා ඇති වූ ඒවාය. එසේත් නොමැතිනම්, වැරදි තොරතුරු සත්‍යය ලෙස පිළිගනිමින් කරන දුර්වල විවේචනයන්ය. ඔබගත් දේශපාලන තීන්දු මැදිහත් සිතින් බලා විමසීම ඉතාම කලාතුරකින් පමණක් දැකීමට ඇති කාරණයකි. එය අවාසනාවකි. නමුත් එය ඔබට පමණක් මුහුණ දීමට සිදු වූ දෙයක් නොවේ. නෙල්සන් මැන්ඩෙලා දේශපාලනික වශයෙන් ජයගන්නා විට ඔහු ත්‍රස්තවාදියෙකු ලෙස හැඳින්වීමට පිළිගත් "ප්‍රජාතන්ත්‍රවාදය" නියෝජනය කරන බොහෝ දෙනෙකු මැළි වූයේ නැත. මේ ආදී වශයෙන් නිදසුන් රාශියක් තිබේ.





මාගේ අවබෝධයේ හැටියට එම විවේචන වලින් සිදු කරනු ලබන බලපෑම එතරම් ගැඹුරු නොවන අතර ඒවායෙන් මූලික ගැටලු විසඳීමට නොහැකිය. මෙරට පමණක් නොව, බොහෝ රටවල මෙවැනි දෑ සිදු වූවා සේම සිදුවීමට නියමිතය.





නමුත්, ඔබේ දේශපාලන දර්ශණය සමාජ ගත කිරීමට සහ එය ජනතාවගේ අවශ්‍යතාවයක් ලෙස පෙන්වා දීමට අවශ්‍යය මහජන සම්බන්ධතාවය ඉතාම දුර්වලය. මේ නිසා බොහෝ දෙනෙකු මවිතයට සහ අපහසුතාවයට පත්වෙති. එය එතරම් හොඳ දෙයක් නොවේ.





මෙම අවස්ථාවේදී ඔබ මුහුණ දෙන දේශපාලන සංකීර්ණතාවය ගැන මාගේ පෞද්ගලික අදහස ඉදිරිපත් කිරීමට සහ ඔබ හමුවේ ඉතුරු වී ඇතැයි මා දකින, දේශපාලනික වශයෙන් වඩාත් හොඳ පියවර කිහිපයක් ගැන කරුණු පැහැදිලි කිරීම සඳහා මෙම ලිපිය ලිවීමට තීරණය කළෙමි.





පළමුවෙන්ම, ඔක්තෝම්බර් 26 වැනි දින ඔබ ගත් තීන්දුව හොඳ හෝ නරක තීන්දුවක් කියා වර්ගීකරණය කිරීමට මා නොයන බව සඳහන් කිරීමට කැමැත්තෙමි. එය දේශපාලන තීන්දුවකි. දේශපාලන තීන්දුවල හොඳ හෝ නරක තීන්දු වන්නේ වසර ගණනාවක් හෝ ඇතැම් විට පරම්පරා ගනණාවක් ගිය පසුය. මේ නිසා ඔබේ තීන්දුවට ඔප්පු ලියා වටිනාකමක් දීමට යෑම එතරම් හොඳ කටයුත්තක් නොවේ.





ඔබගේ තීන්දුව පිටුපස රට දියුණු කිරීමේ සැබෑ චේතනාවක් තිබේද? එසේ නොමැතිනම් රාජ්‍යය ව්‍යාකූල කිරීමේ චේතනාවෙන් ඔබ මෙම තීන්දුව ගත්තේද? යන්න මූලික වශයෙන් ඔබ පමණක් දන්නා කාරණයකි. අපට එය තීන්දු කළ හැකි වන්නේ වසර ගණනාවක් ඉකුත් වීමෙන් පසුය.





ඔක්තෝම්බර් 26 වැනිදායින් පසු ඔබ රට ඉදිරියේ ඉදිරිපත් කළ අදහස් සත්‍යය යැයි පිළිගනිමින් මා මාගේ අදහස් දැක්වීම කළහොත්, ඔබ අදාළ තීන්දුව ගෙන ඇත්තේ රට දියුණු කිරීමට සහ රට තුළ ඇති ඉතාම අවලස්සන දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමටය.





මෙය මෙලෙසම පිළිගැනීමට මා හට සිදුවන්නේ, ඔබේ අදහස් බොරු යැයි කීමට හැකි පසුබිමක් අපට නැති නිසාය. ඔබ දේශපාලන සංස්කෘතිය අවලස්සන යැයි කියන විට, " නෑ එය සුන්දරයි" කියා කීමට අපට නොහැකිය. ඔබ ඔබේ දේශපාලන සතුරා වංචා දූෂණ වල නිරත වන බව සඳහන් කරන විට, " නෑ එයා ශුද්ධ වන්තයෙක්" කියා කීමට අපට නොහැකිය. ඔබ ඔබේ දේශපාලන සතුරා ප්‍රජාතන්ත්‍ර විරෝධියෙක් යැයි කියන විට, " නෑ එයා ප්‍රජාතන්ත්‍රවාදයේ ආදරවන්තයෙක්" කියා කීමට අපට නොහැකිය. මන්ද සත්‍යය එයයි.





නමුත්, එක මූලික ගැටලුවක් ඇසීමට හැකිය. එනම්, "ඔබත් ඔහු වගේ නොවේද?", යන්න පමණි. නමුත් එය එතරම් වැදගත් කමක් ඇති හෝ ඇසිය යුතු ගැටලුවක් යැයි මට නොපෙනේ. එවැනි ගැටලුවකට ඔබෙන් ලැබෙන පිළිතුර ඔස්සේ සතුටු වීමට වඩා මා හට වැදගත් වන්නේ ඔබ සතු බලය හාවිතා කොට ඔබ කුමක් කරන්නේද, එය වඩාත් හොඳින් භාවිතා කළ හැක්කේ කෙසේද යන්න සිතීම සහ අදහස් ප්‍රකාශ කිරීම පමණි.





"ඕනෑම යුද්ධයක් ජයගැනීමේ පළමු උපාය, සතුරා මුලාවේ හෙළීමය." ඔබ ඔබේ සතුරා මුලාවේ නොහෙලන්නේ නම් සතුරා ඔබව මුලාවේ හෙළනු නියතය. එබැවින් මා හට වැදගත් වන්නේ ඔබ සහ ඔබ සතු බලයය. මන්ද ජනතාවගේ ඉරණම තීන්දු කරන්නේ එය බැවිනි.





ඔක්තොබර් 26 වැනි දින සිට, වීදිවලට බැස, සමාජ ජාල වල ලගිමින්, විවිධ ස්ථාන වලට රැස්වෙමින් ඔබට එරෙහිව මතවාදී අරගලයක් සිදු කරන බොහෝ දෙනෙකුගේ කාර්යය, කෙටි කාලීන විවේචන මත පදනම් වී තිබේ. ඔවුහු බොහෝ දෙනෙකු ඔබ වැරදි යැයි කියමින්, ප්‍රයෝගිකව මෙම භූමියේ අත්විඳින්නේ නැති නිර්මල ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කෑ මොර දෙති. මෙය සර්ව සම්පූර්ණ ව්‍යාජයකි. මිනිස් මනස මෙම ව්‍යාජයන් වලට බොහෝ කැමතිය. එවැනි ව්‍යාජයන් විසින් අපි අපේ ජීවිතයෙන් වැඩි කොටසක් මෙහෙය වෙන්නේය. මෙරට, දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් දුර්වල වීමට මූලික හේතුවක් ලෙස එය හැඳින්විය හැකිය. එම සිහිනය භාවිතා කොට අපේ අධ්‍යාත්මය පමණක් නොව සමස්ථ ජීවිතයම මුලාවේ හෙළාදමා ඇත.





ප්‍රජාතන්තවාදය ගැන සමාජය තුළ මතුවෙමින් ඇති විවාදයද මේ හා සමානය. ඔබ එය කෙළසා දමා ඇත්තේ යැයිද; "ඊට නිගරු කොට ඇත්තේ යැයිද" කියමින් බොහෝ දෙනෙකු දෝෂාරෝපණය කරති. නමුත්, ඊට මා එකඟ වන්නේ නැත.





මන්ද, මෙරට දේශපාලන ඉතිහාසය තුල නිර්මල ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණු වසරක් තබා එක මාසයක්වත් මාගේ මතකයේ නැත. මාගේ ජීවිතය මේ දක්වා ගෙවාදමා ඇති කාලය තුළදී එවැන්නක් සිදු වී නැත. නමුත් එම වචනය භාවිතා කරමින්, ඒවායෙහි ඇති ජීව ගුණයන් තම ආත්මාර්ථකාමී පරමාර්ථයන් දිනා ගැනීම සඳහා භාවිතා කරන කතාකාරයින් පිරිසක් සිටින බව නම් සක්සුදක් සේ පැහැදිලිය.





අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ඔබ විසින් ඉදිරිපත් කරන විවේචනය එනම්, "රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට පෙර ඔහු ඔහුගේ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුත්තේය", යනුවෙන් ඔබ ඉදිරිපත් කරන අදහසට වෙනෙකෙකුට තබා වික්‍රමසිංහ මහතාටවත් එරෙහි විය හැකි යැයි මා නොසිතමි.





වියෝ වූ රණසිංහ ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දෙමින් ඔහුගේ ආශීර්වාදයෙන් පාර්ලිමේන්තු සභානායක ධූරයට පත්වීමෙන් පසු, ක්‍රමයෙන් පක්ෂයේ නායකත්වය දක්වා ඉහළට පැමිණි වික්‍රමසිංහ මහතා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් සාධනීය දෙයක් සිදු කළේ යැයි කිසිවෙකුට සඳහන් කළ නොහැකිය. ඔහු තම බලය රැක ගැනීමට බොහෝ දේ කළේය. එය සත්‍යයකි.





එහෙත්, ප්‍රසිද්ධ වේදිකාවේ බැණ වදිමින් ඔහුට එරෙහිව වාචික හරඹ කිරීමඔබට එතරම් යෝග්‍යය කටයුත්තක් නොවන බව පෙනේ. ඉන් අවාසිය සිදුවන්නේ ඔබේ දේශපාලන අරමුණට මිස ඔහුට නොවේ.





වික්‍රමසිංහ මහතාට එරෙහිව කළ හැකි බරපතලම පියවර වන ඔහු අගමැති ධූරයෙන් ඉවත් කිරීම ඔබ විසින් සිදුකොට ඇත. ඔබ අතසෝදාගෙන ඇත්තේ අභියෝග මැද අලුත් ගමනක් යෑමටය. ඒ නිසා වැදගත් වන්නේ වික්‍රමසිංහ මහතාගෙන් තොරව ඔබේ දේශපාලනය සකස් කර ගන්නේ කෙසේද; යන්න ගැන සිතා කටයුතු කිරීමය. ඒ සඳහා වික්‍රමසිංහ මහතාගේ උපයාන් සහ වත්මන් කටයුතු නිවැරදිව නිරීක්ෂණය කිරීම වටින්නේය. නමුත් රටේ ජනතාව සහ අනෙකුත් කණ්ඩායම් ඇමතීමේදී ඔහු වෙනුවෙන් කාලය කැප කිරීම දේශපාලනික වශයෙන් එතරම් සුසුසු කටයුත්තක් නොවන බව මගේ පෞද්ගලික හැඟීම වේ.





බලය ඇති පුද්ගලයා බලය ඇති බව ලෝකය හමුවේ ප්‍රකාශ කරනු ලබන්නේ තමන්ගේ කටයුතු වලින් මිස, වචන වලින් නොවේ. මීට ගැලපෙන යුද උපායක් වන්නේ, "සෑම විටම තමන් දුර්වල වන අවස්ථාවේදී තමන්ට යුද ශක්තිය සහ පිරිස් බලය ඇතිබව මවා පෑමත්; තමන් සැබෑ ලෙස සන්නද්ධව සතුරු පාර්ශවය සමග යුද වැදීමට හැකි සහ එම පාර්ශවය පරාජය කිරීමට ශක්තිය ඇතැයි දන්නා අවස්ථාවේදී දුර්වලයෙකු ලෙස හැසිරීමත්" ජයග්‍රහණයේ මාවත ඉතාපහසුවෙන් පහසු කරන්නේය. අවශ්‍ය අවස්ථාවේදී පාලකයා සිංහයෙකු වීමටත්, අවශ්‍ය මොහොතේදී නරියෙකු වීමටත් උගත යුත්තේය යනුවෙන් මැකියාවෙලි සඳහන් කොට ඇත්තේ මෙය යැයි, මම සිතමි.





මා විශ්වාස කරන අන්දමට, මිනිසා නිර්මාණය වී ඇත්තේ යමක් සාර්ථකව සම්පූරණ කොට ශ්‍රේෂ්ඨත්වයේ බීජ පතුරුවා හැරීමටය. එය ඔබට, මට මෙන්ම සියලු දෙනාටම පොදු වූ මූලික කාරණයකි. කිසිවකුත් අසාර්ථක වීම සඳහා සැලසුම් සකස් නොකරති.





එබැවින් මෙම මොහොත රටේ වත්මන් තත්වය සැලකිල්ලට ගනිමින් ඔබේ දේශපාලන මාවත සාර්ථක කර ගැනීම සඳහා මා දකින දෑ කිහිපයක් ඉදිරිපත් කිරීම වැදගත් යැයි සිතේ.





පළමුව තම බලය තවදුරටත් දුර්වල විය හැකි කිසිඳු තීන්දු තීරණයක් නොගැනීම සහ සෑම විටම තම අදහස ඉදිරිපත් කිරීම විනයානූකූල රාමුවකට දමා සිදුකිරීම සහ පුද්ගලික කෝන්තර පිරිමසා ගැනීමට සඳහා වචන භාවිතයෙන් වැළකීමය. බලය ඇති තැනැත්තෙකු බලය රැක ගෙන එය ශක්තිමත් කිරීමට අවශ්‍යය සැලසුම් සකස් කරනවා මිස එය බලෙන් ලබා ගැනීමට වෙරදරන පුද්ගලයා උපාශීලී දක්ෂයකු සඳහන් නොකරන්නේය.





ආණ්ඩුවක් නොමැතිව ගෙවා දමන වර්තමාන තත්වය හමුවේ නව අන්තර්වාර ආණ්ඩුවක් පත් කිරීම සඳහා මූලික වශයෙන් පියවර දෙකක් ගත හැකිය.





පළමුවැන්න ( ඔබ දැනටමත් මෙය අත්හදා බලනවා විය හැකිය); සර්ව පාක්ෂික එකඟතාවයක් මත සියලුම ප්‍රධාන පෙළේ පක්ෂ නියෝජනය කරමින් විස්සකට නොවැඩි සංඛ්‍යාවක් යොදා අන්තර්වාර ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය ජනතාව ඉදිරියේ පැහැදිළි කිරීම සහ ඊට අදාළ නම් ලැයිස්තුවක් ප්‍රසිද්ධ කිරීම.





එය නිර්මාණ කිරීම සඳහා, කිසිම ඍජු ප්‍රතිපත්තියක් නොමැති චරිත ලෙස සමාජය ඉදිරියේ හංවඩු ගැසී සිටින චරිත වෙනුවට වෙනත් පුද්ගලයින් යොදා කටයුතු කිරීමට හැකියාවක් ඇත්තේ නම් වැදගත් වේ. නමුත් මීට ඇතැම් දේශපාලන පක්ෂ වල කැමත්ත ලබා ගැනීම ගැටලුවක් විය හැකිය. එවිට අදාළ කාරණය ජනතාව ඉදිරියට රැගෙන යා හැකිය. එසේම එය ඉතාම ප්‍රවේශමෙන් තමන්ට එරෙහිව මතුවිය හැකි දෝෂාභියෝගයක් වැලැක්වීම සඳහා භාවිතා කළ හැකිය.





කෙසේ නමුත්, ජනතාවගේ අපකීර්තියට පත්වී සිටින රටේ සම්පත් තම පරමපාරවේ බුදල් ලෙස සලකා විනාශ කරමින් සිටින පුද්ගලයින් එම අන්තර්වාර ආණ්ඩුවේ කබිනේට්ටුවට ගතහොත් මීළඟ මැතිවරණය වන තෙක් සිදුවිය හැකි දේ ඉතාම කනගාටුදායක කාරණයක් පමණක් විය හැකිය. මේ නිසා සමස්ථ දේශපාලන කල්ලියටම මාස කිහිපයක නිවාඩු කාලයක් ලබාදී දෙවන ක්‍රමවේදය අනුගමනය කිරීමට අවශ්‍යය පරිසරය සකස් කළහැකිය.





දෙවැනි ක්‍රමවේදය වන්නේ, මීළඟ මහමැතිවරණය අවසන් වී නව ආණ්ඩුවක් බලයට පත් වන තෙක්, රාජ්‍යය සහ පෞද්ගලික සේවාවල කටයුතු කළ හෝ කරන, විශේෂඥයින්ගෙන් සැදුම්ලත් නව අන්තර්වාර ආණ්ඩුවක් නිර්මාණය කොට රාජ්‍යය කටයුතු පවත්වාගෙන යෑමය. මේ සඳහා අවශ්‍යය වන්නේ සුදුකරපටි හොරුන් නොව, තම ආත්මගරුත්වය රැකගෙන ජීවත් වන මිනිසුන් පිරිසකි. විශ්වවිද්‍යාල ඇතුළු ආයතන වලින් එවැනි පිරිසක් සොයා ගැනීම අපහසු නැත.





එවිට, වසරක් වැනි කෙටි කාලයක් තුළ සමස්ථ රටේ විශාල වෙනසක් සිදුවිම වැළක්විය නොහැකිය. අදාළ අන්තර්වාර ආණ්ඩුවට, විෂය ගැන දන්නා එය අපහරණය නොකරන කණඩායමක් තෝරා ගැනීමේ හැකියාවක් තිබුණහොත්, ඉතාම කෙටි කාලයකදී රාජ්‍යය තුළ යහපත් වෙනස් කම් රාශියක් සිදුවී එය අහිංසාවාදී සමාජීය විප්ලවයකට හේතු වනු ඇත.





රාජ්‍යය ආරක්ෂාව, ආහාර සහ වෙළඳ කටයුතු, සෞඛ්‍ය, අධ්‍යාපනය, සහ ප්‍රවාහන යන ක්ෂේත්‍ර ඉතාම ප්‍රවේශමෙන් සහ සාර්ථකව කළමනාකරණය කිරීමට ඔබ විසින් පත් කරනු ලබන පිරිසට හැකිවුව හොත් එය ඔබට කැමත්ත දුන් මිලියන හයක ජනතාව පමණක් නොව උපන්-නූපන් පරම්පරා රාශියක් ඔබ හමුවේ වැඳ නමස්කාර කරනු ඇත. මන්ද කුණු වූ ආණ්ඩු ක්‍රමවේදයක් ලේ වැගිරීමකින් තොරව සමාජ් ක්‍රමයෙන් ඉවත් කොට ඒ වෙනුවට දේශප්‍රේමී, දේශහිතෛෂි, දේශමාමක, සහ දෙසජ දැයක් නිර්මාණය කිරීම වෙනුවෙනි.





මෙහිදී ඉදිරිපත් කරන දෙවැනි පියවර ඉතාම අපසුවෙන් නිර්මාණය කිරීමට සිදුවන පාලන ආකෘතියක් විය හැකිය. ඒ සඳහා රටේ නීතියෙන් කුමන අවස්ථාවක් ඔබට ලබා දී ඇත්තේ දැයි මනා සිහියෙන් විමසා බැලිය යුතු වේ.





නමුත් එවැනි කැබිනට් මණ්ඩලයක් විසින් රටේ පරිපාලනයක් වසරක් වැනි කෙටි කලකට හෝ අතට ගතහොත් ඔබ ගන්නා තීන්දුවේ ඇති වැදගත්කම ගැන, මීළඟ මැතිවරණයේදී ජනතාව ඉතාම යහපත් ආකාරයෙන් ඔබට ප්‍රතිචාර දක්වනු නොඅනුමානය. මේ හා සමාන කටයුත්තක් බෙල්ජියමේ සිදුවිය.





එවැනි ආණ්ඩු කරන ක්‍රමවේදයක් තුළ, අධිකණය, පොලිසිය සහ රාජ්‍යය පරිපාලනය යන ආයතන වලට බලපෑමක් සිදු නොවේ. වසර තුනක් වැනි කෙටි කාලයක් තුළදී අධිකරණය වැනි ආයතන පද්ධතියක් මෙතරම් සුන්දර සහ ස්වාධීන වී ඇත්තේ නම් අනෙකත් ආයතනද එම තත්වයට පත්වනවා දැකීමට බොහෝ පිරසක් කැමති වනු ඇත.





කෙසේ නමුත්, නියමිත කාලය එළඹීමට පෙර මැතිවරණ පැවැත්වීමෙන් වැළකී සිටීම, ජනාධිපතිවරණය ව්‍යවස්ථානූකූලව පැවරී ඇති කාලය පැමිණි පසු පැවැත්වීම, සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාව සහතික වන ලෙස කටයුතු කිරීම ඉතාම වැදගත් වේ.





මෙහිදී අගය කළ යුතු ප්‍රධාන සිදුවීමක් වන්නේ, මෙරට ත්‍රිවිද හමුදාව, පොලිසිය, සහ ඒවාට අනුබද්ධ බුද්ධි අංශවල සාමාජිකයින් විසින් තම රාජකාරී කටයුතු ඉටු කිරීමේදී ඔප්පුකොට ඇති විනයානුකූල හැසිරීමයි. මෙහි ගරුත්වය ඔබට හිමි විය යුතුය.





නමුත් ඇතැම් මාධ්‍යය ආයතන වල හැසිරීම සහ ඔබේ දේශපාලන බලය මෙන්ම ප්‍රතිරූපය නඩත්තු කිරීම සඳහා තෝරාගෙන ඇති පිරිස කටයුතු කරන ස්වභාවය මෙම සමස්ථ ක්‍රියාදාමයට සිදු කරමින් සිටින හානිය සුළුපටු නොවේ. ඔබේ දේශපාලන දර්ශනය ජනාදරයට පත්කිරීමේ මූලික වගකීම පැවරී ඇති සන්නිවේදන සහ මහජන සම්බන්ධතා කටයුතු එතරම් සාර්ථකව සිදු වූ බවක් නොපෙනේ. දේශපාලනික කාරණයක් වන එයද, හැකි වහාම විසඳිය යුතු කාරණයකි. සන්නිවේදනය සහ මහජන සම්බන්ධතා යනු, ඔබේ රුව දමමින් ඔබ ගැන ගුණ වැයීම නොවේ.





අවසාන වශයෙන් මෙසේ සඳහන් කිරීමට කැමැත්තෙමි. මෙය ඔබ විසින් නිර්මාණය කළ ජනතාව හමුවේ ඇති තවත් ඉතාම වැදගත් සහ තීරණාත්මක අවස්ථාවකි. එය මෙරට දියුණුව කරා ගිය ප්‍රධාන තීරණය බවට පරිවර්තනය කිරීමේ කෞශල්‍ය ඔබට තිබේ යැයි විශ්වාස කරමි. මන්ද වෙන කාටත් වඩා, ඊට අවශ්‍යය මෙවලම ඔබ සතුය. ඒ ජනතාව ලබා දුන් බලයයි.





ඔබට ජය!