‘‘හැමෝටම සමානාත්මතාවය එකම මට්ටමින් තිබිය යුතුයි‘‘ - සමාජ ක්‍රියාකාරීන් ජනපතිගේ ‘සමනළ‘ කතාව හෙළාදකියි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා (නොවැම්බර් 5 වැනිදා) පාර්ලිමේන්තු වටරවුම අසළ පැවති ‘රටම රකින ජන මහිමය‘ රැළියේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සඳහන් කිරීමේදි ‘සමනළ‘ යන යෙදුම පවසමින් අපහාසාත්මක ලෙස ප්‍රසිද්ධ වේදිකාවේ සිදුකළ හැසිරීම හෙළා දකිමින් සහ ඒ පිළිබඳ සිය ස්ථාවරය පළ කිරීම සඳහා සමරිසි ප්‍රජා සාමාජිකයන් සහ සමාජ ක්‍රියාධරයන් විසින් මාධ්‍ය හමුවක් ඊයේ (7) කැඳවා තිබිණි. බොරැල්ල සරසවි පටුමගේ පිහිටි ‘කාන්තාව සහ සාමුහිකය’ මධ්‍යස්ථානයේදී  පැවති මෙම හමුවීමේදී අදහස් දැක්වූ සමරිසි ප්‍රජා සාමාජිකයන් සහ සමාජ ක්‍රියාධරයන් වන වරදාස් ත්‍යාගරාජා, ඊබ්‍රහිම් ෂඩ්රච්වි, විසාකේස චන්ද්‍රෙස්කරම් හා රධිකා ගුණරත්න පළකල අදහස් මෙහි පළවේ. 


 

 

සමාජ ක්‍රියාකාරිකයෙකු වන වරදාස් ත්‍යාගරාජා

 

[caption id="attachment_21755" align="alignleft" width="300"] සමාජ ක්‍රියාකාරිකයෙකු වන වරදාස් ත්‍යාගරාජා[/caption]

‘‘ජනාධිපතිවරයා තම ප්‍රකාශයේ අනුශාංග වල වගකීම භාරගත යුතුයි‘‘


 

‘‘ජනපතිතුමාගේ ප්‍රකාශය ගැන මහින්ද සමරසිංහ මහතා පැහැදිලි කිරීමක් කළා. එතුමා කියනවා ජනාධිපතිවරයා ඒ අදහස ප්‍රකාශ කළේ යම්කිසි ලිංගික ප්‍රජාවක් පීඩනයකට ලක්කරන්න හෝ අවතක්සේරුවකට ලක්කරන්න වුවමනාවකින් නොවේ කියන එක. දැන් මෙතන තියෙන බරපතලම ප්‍රශ්නේ ජනාධිපතිවරයා අවම වශයෙන් ජන වහරේ යම් යම් පද යෙදෙන ආකාරය පිළිබඳවත් සවිඥානක නොවන පුද්ගලයෙකු හැටියට තමයි මහින්ද සමරසිංහ මහතා මේ සාකච්ඡාවෙන් අපට අගවන්නේ. පළවෙනි දේ අපි තේරුම් ගන්න ඕන ‘සමනළ රෑන‘ කියන එක යම් කිසි ජන කොටසක් හාස්‍යයට ලක්කරලා භාවිත කරන පද අරුත් තියෙන වහරක්, අපේ සාමාන්‍ය ජන වහරේ. මං හිතන්නේ නෑ, ජනාධිපතිතුමා ‘සමනළ රෑනක්‘ කියලා අදහස් කරා කියලා, නිකං තීරණ ගන්න පිරිසකට. තීරණ ගන්න පිරිසකට නම් ජනාධිපතිතුමා ‘සමනළ රෑනක්‘ කියලා අදහස් කළේ අපේ රටේ එදා ඉඳලා අද වෙනකම්, ආණ්ඩු කරලා තියෙන්නේ ‘සමනළ රෑනක්‘ එකක් නෙමෙයි, ගොඩක්.


 

 

මං හිතන්නේ නෑ ජනාධිපතිතුමාට මේ මොහොතේ විතරක් ප්‍රශ්නයක් වෙලා ඇති කියලා. පැහැදිලියි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නොවැම්බර් 5 වැනිදා මේ වේදිකාවේ මහජන රැළියකදී කළේ ඉතාමත් පහත් නින්දිත විදියට සමරිසි ප්‍රජාව හෑල්ලුවට ලක්කිරීමේ අපහාසයක් තමන්ගේ කතාවට එක්කරලා, රාජ්‍ය නායකයෙක් වශයෙන් කෙනෙකුගෙන් සිදු නොවිය යුතු බරපතල ප්‍රජා පීඩන ප්‍රකාශයක් නිකුත් කිරීමයි. සමරිසි ප්‍රජාවේ නියෝජිතයින් විදියට අපි මේක බරපතල ලෙස හෙලාදකිනවා. ඒ වගේම රාජ්‍ය නායකයෙක් හැටියට ජනාධිපතිවරයා තම ප්‍රකාශයේ අනුශාංග වල වගකීම භාරගත යුතුයි කියලා අපි ප්‍රකාශ කර සිටිනවා.


 

 

ඔබ දන්නවා සමරිසි ප්‍රජාව ලංකාවේ විවිධ ආකාරයේ කොන් කිරීම් වලට ලක්වෙනවා. අධ්‍යාපනයේ සිට සෞඛ්‍ය, රැකියා, දෛනික හිංසනය, රාජ්‍ය ආයතන වලින් පීඩාවට ලක්කිරීම, පවුලෙන් කොන් කිරීම, අවසානයේ මහ පාරට වැටිලා සමහර අවස්ථා වල හිඟාකන තත්ත්වයට පවා අපේ සමරිසි ප්‍රජාවේ කොටස් මුහුණ දීලා තියෙනවා. සමහරු සියදිවි නසාගන්න තත්ත්වයට පවා පත්වෙලා තියෙනවා. ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජ්‍ය නිළධාරීන් හා බලධාරීන් මේ සියලුම තත්ත්ව හොඳාකාරවම දන්නවා.


 

‘‘රටේ වගකිව යුතු තනතුරක ඉන්න කෙනෙක් සමරිසි ප්‍රජාව හෑල්ලුවට ලක්කිරීම සුළුකොට සලකන්න බැහැ‘‘


 

මෙවැනි පසුබිමක් සමරිසි ප්‍රජාව අත්විඳිමින් සිටින පසුබිමක රටේ ඉහළම වගකිව යුතු තනතුරේ ඉන්න තැනැත්තෙකු ඒ ප්‍රජාව හා ඔවුන්ගේ දේශපාලනය හෑල්ලුවට ලක්කිරීම අපිට සුළුකොට සලකන්න බැහැ. ජනාධිපතිවරයාගේ වගකීම් විරහිතභාවය මේකෙන් පෙන්වනවා. මේක එක අවස්ථාවක පමණක් සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි.


 

2016 ජනවාරි මාසයේ දණ්ඩ නීති සංග්‍රහයේ තිබෙන සමලිංගික සේවනය, ස්වභාවිකත්වයට එරෙහි වරද අත්හිටුවීමට National Human Rights Action Plan - මානව හිමිකම් පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ගෙන ආ යෝජනාව, මේක ඉතා ඉහළ මට්ටමේ ජාතික සැලැස්මක් වුණාට රාජ්‍යයක, ජාත්‍යන්තර වශයෙන් බැඳ තබලා වගකීම් සහිතව බර තබන සැලැස්මක් නොවේ. එතකොට ආණ්ඩුවට අවශ්‍ය විදියට තමයි ඒ සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ. ලිහිල් සැලැස්මකට එවැනි සමරිසි ප්‍රජාවේ අයිතීන් සුරක්ෂිත කිරීමේ යෝජනාවක් ඇතුල් කරපු එකට තදබල ලෙස විරෝධය පාලා ඒක ඉවත් කෙරුවා පමණක් නොව, තමන් එය ඉවත් කළාය යන්න ඉතාමත් ආඩම්බර ලෙස කියාගන්න පුළුවන් ලෝකයේ රාජ්‍ය නායකයන් බොහොම කීපදෙනයි ඉන්නේ. අපේ ජනාධිපතිවරයත් ඒකෙන් එක්කෙනෙක් බවට අපට කියන්න පුළුවන්. අනිත් එක්කෙනා නම් මට කියන්න පුළුවන් උගන්ඩාවේ මුසවේනි.


 

මෙවැනි තත්ත්වයක් ජනාධිතිවරයා ආරම්භයේ සිටම සමරිසි ප්‍රජාවේ ප්‍රශ්න සම්බන්ධයෙන් දක්වලා තියෙනවා. ඒ නිසා මම පුදුම වෙන්නේ නෑ සිරිසේන ජනාධිපතිවරයා විසින් වේදිකාවක විශාල ජනකායක් ඉස්සරහා, තමන්ගේ කතාවට ඒ වගේ සමරිසි ප්‍රජාව හෑල්ලුවට ලක්කරන හිංසාකාරී ප්‍රකාශයක් කිරීම පිළිබඳව.


 

‘‘මේක දැනට අටවාගෙන තියෙන ආණ්ඩුවේ, සමරිසි විරෝධී, සමරිසි භීතිකාවේ දේශපාලන ප්‍රකාශනයක්‘‘


 

මේක හුදෙක් ඕපපාතිකව පහළ වෙච්ච ප්‍රකාශයක් නොවෙයි. දැනට අටවාගෙන තියෙන ආණ්ඩුවේ, සමරිසි විරෝධී, සමරිසි භීතිකාවේ දේශපාලන ප්‍රකාශනයක් විදියට අපි මේක භාරගත යුත්තේ. ඒ නිසා මේක හුදෙක් එක්තරා දේශපාලන පක්ෂයක පිරිසක් පමණක් ඉලක්ක කෙරුවා කරයි කියලා අපි මේක භාරගන්න බැහැ. මේකේ බලපෑම ඒ තරමටම පුළුල්ව පැතිරෙනවා.


 

 

මට මතකයි, එක්කෙනෙක් මුහුණු පොතේ සඳහන් කරලා තිබුණා, ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කරන්න ඇත්තේ තවත් අර්ථයකින්, රනිල් වික්‍රමසිංහ ඇතුළු සීමිත පිරිසක් අතර තීරණ ගැනීමේ බලය තිබුණාය කියන එක, ඒ පිරිස හඳුනාගැනීමට. දැන් මට තියෙන ප්‍රශ්නේ ඔය පිරිසට ‘සමනළ‘ හැර වෙන වචනයක් තිබුණේම නැද්ද ජනාධිපතිතුමාට පාවිච්චි කරන්න. ඕක විෂමලිංගික පිරිසක් කරයි කියමුකෝ. එතකොට කියනවද ‘විෂම ලිංගික රෑන‘ කියලා. කවදාවත් එහෙම කියන්නේ නැහැ. පැහැදිලිවම ඒක තියෙනවා. ජනාධිපතිවරයා වෛරී ප්‍රකාශයක් තමුන්ගේ ඉහළ පෙළේ කතාවක ඇතුළත් කරලා තිබීම අතිශය හෙළාදැකිය යුතු, ප්‍රතික්ෂේප කළයුතු ක්‍රියාවක්. ඒක රාජ්‍ය නායකයෙක්ට තරම් නැහැ.


 

 

සමහර අය කියනවා සුළුතරයේ බලය හිමි පිරිසකට තමයි මේ චෝදනා ජනාධිපතිතුමා එල්ල කළේ. එහෙම නැතුව සමරිසි ප්‍රජාවට නෙමෙයි කියලා. ජනාධිපතිතුමා මේ චෝදනාව එල්ල කළේ සුළුතර ප්‍රභූ ජනතාවට නම් ඒ එල්ල කරපු චෝදනාවෙන් ඒ සුළුතර ප්‍රභූ ජනතාව තමුන්ගේ වැරදි නිවැරදි කරගන්න යන්නේ නෑ.


 

‘‘මේ හිංසාකාරී කතාවේ බරපතලම හානිය වෙන්නේ ගමේ ඉන්න වල දුප්පත්, අම්මලගේ, තාත්තලගේ සමරිසි දරුවන්ට‘‘


 

මේ හිංසාකාරී කතාවේ බරපතලම හානිය සිද්ධ වෙන්නේ ගමේ දුෂ්කර ප්‍රදේශ වල දුප්පත්, අම්මලගේ, තාත්තලගේ සමරිසි දරුවන්ට. ඒ උදවිය වගේ රටේ තියෙන පහළම පංතියේ සමරිසි ප්‍රජාවට තමයි මේකේ බලපෑම දැනෙන්නේ. මොකක්ද ?. සමාජයේ සමරිසි පුද්ගලයින්ට විරුද්ධව තියෙන අදහස් තව තවත් ජනාධිපතිවරයෙකු විසින් තෘප්තිමත් කිරීම ...හරහා මේ පිරිස් පවුල් වල කොන්වීමටත්, අසල්වැසියන්ගේ හිංසනයට, තාඩනයට, පීඩනයට ලක්වීමටත්, රැකියා වලින් දොට්ට දැමීමටත්, සූරාකෑමටත්, පොලීසිය වැනි ආයතන වල හිංසාවට ලක්වීමටත් තවදුරටත් ලක්වෙනවා විතරක් නෙමෙයි, එවැනි හිංසා ක්‍රියා වලට තවදුරටත් දකින්නේ.


 

මොකද ඔය ප්‍රභූන්ට නම් ඔය ප්‍රශ්න අඩු වැඩි වශයෙන් මොනාහරි කරලා බේරගන්නවා. ගමේ ඉන්න අහිංසකම පුද්ගලයට තමයි ඕකෙන් බේරෙන්න බැරි. ඒ නිසා ජනාධිපතිවරයෙක් හැටියට එතුමා ප්‍රකාශයක් කරද්දී පැහැදිලිවම වගකීම් සහගතව ඒ දේ කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ඉදිරියේදී සමරිසි ප්‍රජාවට වන සියලුම තාඩන, පීඩන, හිංසන ගැන එතුමා වගකීම ගතයුතුයි කියලා අපි මේ මොහොතේදී එතුමට පළකර සිටිනවා.‘‘


 

පවත්නා දේශපාලන වාතාවරණය LGBTQI ප්‍රජාවට බලපාන අන්දම ගැන කරුණු පැහැදිලි කළ ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ,


 

‘‘දැනටමත් ඔයගොල්ලෝ දන්නවා සිවිල් සමාජය වගේම රාජ්‍ය ආයතන හා මාධ්‍ය ආයතනත් යම් කිසි තැති ගැන්මකට ලක්වෙලා තිබෙනවා, කොහොමද අපි නිදහසේ අදහස් ප්‍රකාශ කරන්නේ, කොහොමද අපි නිදහසේ වැඩ කටයුතු කරගෙන යන්නේ, කොහොමද අපි නිදහසේ තොරතුරු වාර්තා කරගෙන යන්නේ යන කාරණා සම්බන්ධයෙන්.‘‘ 


 

‘‘සමරිසි ප්‍රජාවගේ දේශපාලන අයිතිය වෙනුවෙන් ගරු කරන්න - ඔවුන්ට එරෙහිව වන සියලුම සමාජ කොන්කිරීම් නවතන්න‘‘


අපිට බියක් තිබෙනවා පසුගිය 2015 දක්වා වූ අවුරුදු 10 ක ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති පාලනයක් නැවත මේ රට තුළ ස්ථාපනය වෙන්න ජනාධිපතිතුමා පාර කපලා තියෙනවා. සිවිල් සමාජයේ ක්‍රියාකාරීන් විදියට සමරිසි ප්‍රජාවට දේශපාලනයේ නිරත වෙන්නත් අදහස් ප්‍රකාශ කරන්නත් ඇති මූලික අයිතිය ප්‍රජාතන්ත්‍ර විරෝධී වාතාවරණයක් ඇති කිරීම නිසා උල්ලංඝනය වෙනවාය කියන එක අපි පැහැදිලිව කියා සිටිනවා මේ මොහොතේ. ඒ නිසා සිවිල් සමාජයේ කොටසක් හැටියට අපි ප්‍රකාශ කර සිටිනවා ජනාධිපතිවරයා ප්‍රමුඛ දේශපාලන බලධාරීන්ට සහ වගකිව යුතු සියළු දෙනාට සමරිසි ප්‍රජාවගේ දේශපාලන අයිතිය වෙනුවෙන් ගරු කරන්න, ඒ දේශපාලන කිරීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින්න, ඔවුන්ට එරෙහිව සිදුවන සියලුම සමාජ කොන්කිරීම් නවත්වාලීමට ක්‍රියාකරන්න කියලා.‘‘ යන්නයි.


 

 

[caption id="attachment_21758" align="alignright" width="300"] සමාජ ක්‍රියාකාරී ඊබ්‍රහිම් ෂඩ්රච්[/caption]

සමාජ ක්‍රියාකාරී ඊබ්‍රහිම් ෂඩ්රච්


 

‘‘ජනාධිපති විසින් සමරිසි භීතිකාවෙන් යොදාගත් භාෂාව සාමාන්‍යකරණය වුණාම අපේ ආරක්ෂාව අඩුවේවි‘‘  


 

‘‘මගේ වැඩිම සැලකිල්ලට ලක් වන කාරණය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අතීතයේ විශේෂයෙන්ම යුද සමයේත් පශ්චාත් යුධ සමයේත් උතුරු නැගෙනහිර හොමොෆෝබියාව වෙනුවෙන් යොදාගත්තා. මා විශ්වාස කරනවා, ජනාධිපති විසින් සමරිසි භීතිකාවෙන් යුතුව යොදාගත් භාෂාව සාමාන්‍යකරණය වූ විට, අපිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් අවශ්‍ය වෙන්නේ නැති තරම්! මේ නිසා අපේ ආරක්ෂාව දරුණු ලෙස අඩු වෙයි. එය අපේ ප්‍රජා සාමාජිකයන්ට අතිශයින් හානිකර වේවි..“


 



 

 

නීතිඥවරයෙකු, හා සම්මානලාභී ‘සයපෙති කුසුම‘ (Frangipani) සිනමාපටයේ අධ්‍යක්ෂ වන විසාකේස චන්ද්‍රසේකරම්


 

‘‘මේ වගේ ප්‍රකාශ කරපු අනෙකුත් රටවල් වල දේශපාලන නායකයෝ ඒ හරහා සමරිසි භීතිකාවල් ආරම්භ කළා‘‘


 

 ‘‘මම මේ රටේ ආර්ථිකයට දායක වෙනවා යම් යම් රැකියා වල යෙදිලා. බදු ගෙවනවා. මේ රටේ ඡන්ද වලදී ඡන්දය පාවිච්චි කරනවා. ඒ නිසා මට සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි.


 

ජනපතිතුමා ඒ ප්‍රකාශය කරලා බලා ඉන්නවා හා ඔහු ඉදිරියේ ඉන්න ප්‍රේක්ෂකයින්ව ධෛර්යමත් කරනවා කෑගහලා ඒකට සහය දක්වන්න කියලා. මේක ඉතාමත් භයානක තත්ත්වයක් හැටියට මම දකින්නේ. ඒකට හේතුව මේ ප්‍රකාශය හරහා හා ඒ ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ දී ඒ ප්‍රකාශය අසා සිටි අයව ධෛර්යමත් කළ ආකාරය හරහා ජනාධිපතිවරයා මුහුණපාන්නේ ඉතා භයානක තත්ත්වයකට. මේ වගේ ප්‍රකාශ කරපු අනෙකුත් රටවල් වල දේශපාලන නායකයෝ ඒ ප්‍රකාශ හරහා ඒ රටේ සමරිසි භීතිකාවල් ආරම්භ කරලා තියෙනවා.


 

අපිට ඕන තරම් නිදර්ශන තිබෙනවා රුසියාවේ දේශපාලඥයෝ ඔය වගේම කතා වලින් තමයි පටන් ගත්තේ, අද වෙනකොට පොලීසිය සමරිසි පුද්ගලයන් පන්න පන්නා ඔවුන්ට හිංසා කරනවා හා පොලීසිය හරහා ඝාතන කිරීම් සිදුවෙලා තියෙනවා.


 

‘‘ප්‍රජාතන්ත්‍රවාදී කියන ඇමරිකාවේ පවා සමරිසි පිරිස් වලට හිංසා කරනවා‘‘


 

ප්‍රජාතන්ත්‍රවාදී කියන ඇමරිකාවේ පවා මේ දේ සිද්ධ වෙනවා. මේ දේ සිද්ධවෙන්නේ එහෙම එළිපිට නෙමෙයි, දියුණු නගර වලින් ඈත්ව, සමරිසි පුද්ගලයින්ට එරෙහිව නොයෙක් ආකාරයේ හිරිහැර සිද්ධවෙනවා. ට්‍රම්ප් වැනි දේශපාලඥයින් විසින් කරන ලද මේ වගේ ප්‍රකාශ ඈතට පැතිරිලා යනවා. ඒ වගේ ප්‍රතිවිපාක විඳින්න සිද්ධවෙනවා සමරිසි පුද්ගලයින්ට. මීළඟ කාරණේ වෙන්නේ අගමැතිවරයගේ සමරිසිත්වයක් තියෙනවා නම් ඒ තියෙන සමරිසිත්වය ඔහුගේ දේශපාලන නොහැකියාවන්ට සම්බන්ධ කිරීම.


 

[caption id="attachment_21756" align="alignleft" width="300"] නීතිඥ හා සිනමාපට අධ්‍යක්ෂ - විසාකේස චන්ද්‍රසේකරම්[/caption]

‘‘දේශපාලන හැකියාවක් හෝ නොහැකියාවක් සමරිසිත්වය මත පදනම් වෙන්නේ නැහැ‘‘


 

දේශපාලන හැකියාවක් හෝ නොහැකියාවක් සමරිසිත්වය මත පදනම් වෙනවා කියන්න කිසිම ආකාරයේ සාක්ෂියක් නැහැ. දෙවැනි  කාරණය යම් කිසි පුද්ගලයෙකු තමන්ගේ ලිංගික ජීවිතය පුද්ගලික තොරතුරක් හැටියට තියාගැනීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ පුද්ගලිකත්වයේ අයිතියට අපි ගරුකළ යුතුයි. ඒක හාරා ඇවිස්සීමෙන් වැළකිය යුතුයි.


 

 

 

‘‘සමරිසි වැසියන් මේ රටේ වැසියන්  - හැමෝටම සමානාත්මතාවය එකම මට්ටමක තිබිය යුතුයි‘‘


 

අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ, සමරිසි වැසියන් මේ රටේ වැසියන්. ඔවුන් මේ රටේ සමාන අයිතිවාසිකම් ලැබිය යුතු පුරවැසියන්. ඔවුන්ට එරෙහිව හිංසාකාරී ප්‍රකාශ සිදුනොවිය යුතුයි. යම්කිසි ආගමික කොටසකට එරෙහිව හෝ යම්කිසි වාර්ගික කොටසකට එරෙහිව හෝ යම්කිසි කුල කොටසකට එරෙහිව හෝ යම්කිසි හැකියාවන් හෝ නොහැකියාවන් ඇති මානසික රෝගීන් හෝ අනෙකුත් ආකාරයේ ආබාධ තියෙන අයට එරෙහිව හෝ කිසිම ආකාරයට මෙවැනි ප්‍රකාශයක් සිදුනොවිය යුතුයි. ඒ වගේම සමරිසි අයටත් එරෙහිව ඒ ප්‍රකාශය සිදුනොවිය යුතුයි. අපි සමානාත්මතාවය ඉල්ලනවා නම්  අපිත් එක්ක අනෙකුත් ආකාරයේ සමානාත්මතාවයන් ඉල්ලන පිරිස් එකතුවිය යුතුයි. සමානාත්මතාවය ඉල්ලා සිටින විට එහි ධූරාවලියක් නැහැ. මුලින්ම සමානාත්මතාවය දෙමළුන්ට දිය යුතුයි, ඊට පස්සේ සමානාත්මතාවය මුස්ලිම් හෝ ඉස්ලාම් අයට දිය යුතුයි, ඊට පස්සේ සමානාත්මතාවය හිංසා ලබන කාන්තාවන්ට දිය යුතුයි, ඊට පස්සේ නොයෙකුත් ආබාධිත අයට දිය යුතුයි, අන්තිමට අපි සමානාත්මතාවය සමරිසි අයට දෙන්න ඕන. ලෝකේ එහෙම සමානාත්මතාවය සම්බන්ධයෙන් ධූරාවලියක් නැහැ. සමානාත්මතාවය කියන්නේ සමානාත්මතාවය. Equality is equality, everybody must have the equality in the same level. හැමෝටම සමානාත්මතාවය එකම මට්ටමක තිබිය යුතුයි.‘‘


 

නීතිඥවරියක හා මාධ්‍යවේදිනියක වන රධිකා ගුණරත්න


 


‘‘සංක්‍රාන්ති ලිංගිකයෙකු වන නිලූකා ඒකනායක දළදාව වැඩ ඉන්න මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ධුරයට පත් කළ මෛත්‍රීපාල සිරිසේන සමනළුන් ගැන කතා කරනවා‘‘


‘‘සංක්‍රාන්ති ලිංගිකයෙක් වන නිලූකා ඒකනායක දළදාව වැඩ සිටින මහනුවර, එහෙමත් නැතිනම් මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ධුරයට පත් කළ මෛත්‍රිපාල සිරිසේන මහතාම අවසානයේ සමනළුන් ගැන කතා කරනවා. අනෙකාගේ ලිංගික දිශානතිය හෝ පුද්ගලික අවකාශය ප්‍රසිද්ධ වේදිකාවේදී දරුණු විදිහට ප්‍රශ්න කර සිටිනවා. මේක අහම්බයක්, එහෙමත් නැතිනම් හදිසියේ සිදුවුණු පෙරළියක් විදිහට අපි දකින්නේ නැහැ.


 

මොකද 2015 අවුරුද්දෙදි අපි සිරිසේන මහතාව තෝරාපත්කර ගත්තේ අපිට වෙන විකල්පයක් තිබුණෙ නැති නිසයි. අපිට කිසිම අදහසක් තිබුණේ නැහැ, ඔහුගේ ධාරිතාවය හෝ හැකියාව ගැන. පහුගිය සති කිහිපය පුරාම අපි අත්වින්දෙ, විශාල දේශපාලන අර්බුදයක් නිර්මාණය කරමින් ඔහු විසින් මුදා හැරියෙ නොගැළපෙන අයව එකතු කිරීම නිසා ඔහු ලක්වුණු පීඩනයයි. ඒ නිසා නොගැළපෙන අයට එකට ජීවත් වීමට බල කිරීම නිසා ඇතිවන පීඩනය සමරිසියන්ට විෂම ලිංගිකයන් සේ හැසිරීමට බල කිරීමේ තිබෙන පීඩනය අතර යම්කිසි සම්බන්ධයක් මේ මොහොතේ ඔහුට පෙනී යා යුතුයි. ඒ නිසා සමරිසියන්ගේ ජීවන අයිතිය සහ ඊනියා සංස්කෘතික රාමුවක් තුළ ඔවුන්ට ජීවත් වීමට බල කිරීම සඳහා දේශපාලන නායකයන්ට ඇති අයිතිය මේ මොහොතේ විශාල වශයෙන් ප්‍රශ්නගත වෙනවා.


 

නමුත් ඒ එක්කම, අනෙක් පාර්ශ්වය සමග වැඩ කිරීමට එතුමාට තිබෙන නොහැකියාව, එතුමාගේ වැරැද්දක්ද, නැතිනම් අනෙක් පාර්ශ්වයේ වැරැද්දක්ද කියන ප්‍රශ්නයත් ඒ සමගම මතු වෙනවා.


 

‘‘මේ හෝමෝෆෝබියාව යහපත් මනුෂ්‍යයෙක් නොවීම නිසයි‘‘


දූපතක් වන ලංකාවේ බොහෝ අයට පුළුල් විදිහට හිතන්න බැහැ. එතුමාගේ මානව විරෝධී ප්‍රකාශයෙන් ප්‍රකට වන හෝමෝෆෝබියාව එහෙමත් නැතිනම් සමරිසි භීතිකාව ඔහු ගැමියෙක් වීම නිසාවත්, ඔහුගේ උගත්කම පිළිබඳ ප්‍රශ්නයක් නිසාවත් ඇති වන දෙයක් නෙවෙයි. යහපත් මනුෂ්‍යයෙක් නම්, බුද්ධිමත් නම්, මේක ප්‍රශ්නයක් නම් අනෙකා වෙලා මේ ප්‍රශ්නය තේරුම් ගන්නට පුළුවන් නම් මේ කියන කාරණය අඳුන ගන්නට වෙනත් දේවල් අවශ්‍ය වන්නේ නැහැ. එතකොට ඒ සම්බන්ධයෙන් ඔහු තුළ තිබෙන නොගැළපීමක් හෝ නොහැකියාවක් විදිහට තමයි, අපි මේක හඳුනාගන්නෙ.


 

[caption id="attachment_21757" align="alignright" width="300"] නීතිඥ හා මාධ්‍යවේදිනී - රධිකා ගුණරත්න[/caption]

 

‘‘අවුල තියෙන්නෙ කැඩපතේ නෙවෙයිතමන් තුළයි‘‘


මේක සරල උදාහරණයකින් මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. ඔබ කැඩපතක් ඉදිරියට දෙසැරයක් යනවා. ඔබට තමන්ව කැතට පේනවා. ඔබ තවත් වරක් කැඩපත ඉදිරියට යනවා. ඔබව නැවතත් කැතට පේනවා. හතරවැනි වතාවටත් ඔබට තමන්ව ඒ විදිහට කැතට පේනවා නම්, තේරුම් ගන්නට ඕනෙ, අවුල තියෙන්නෙ කැඩපතේ නෙවෙයි, තමන් තුළ කියලා!


 

 

තමන් තුළ තිබෙන අවුලක් නිසා, මේ කාරණය තේරුම් ගන්නට හැකියාවක් නැති කමක් නිසා ඇති වී තිබෙන තමන්ගේ පුද්ගලික අවුලක්, අවසානයේ ජාතික ප්‍රශ්නයක් බවට පත් කිරීම අපි මෙහිදී දකිනවා. චිත්තවේගී මිනිසෙකුගේ චිත්තවේගී කැළැල්වලට අවසානයේ වන්දි ගෙවන්නේ ඔහු නෙවෙයි, ඒ වෙනුවට මුළු රටක් ජාතියක් මේ වෙනුවෙන් වන්දි ගෙවමින් සිටිනවා.


 

 

සමරිසි අයිතිවාසිකම් ප්‍රතිගාමී ලෙස දකින ලෝකයේ දේශපාලන බල කඳවුරු මානව හිමිකම් පවා බටහිර ප්‍රවේශයකින් දකින අතරවාරයේම, මේ මොහොතේ සිරිසේන ඇතුළු පිරිසත් නතුවෙලා ඉන්නෙ බටහිර යුරෝපය පුරා රැල්ලක් විදිහට පැතිරිලා යන ආරක්ෂණවාදය වෙතයි. නමුත් මේ ආරක්ෂණවාදය ට්‍රම්ප්ගේ පටන් බ්‍රසීලයේ බොල්සොනාරෝ දක්වා රැල්ලක් විදිහට ව්‍යාප්ත වෙද්දි, මේ රැල්ලට හසු නොවෙන සවිමත් ඉවුරක තවත් මිනිසුන් පිරිසක් හිටගෙන ඉන්නවා. ඔවුන් මනුෂ්‍යත්වය වෙනුවෙන් කතාකරන, ඒ වෙනුවෙන් හඬ නගන අයයි. අද වන විට ඇමරිකාවේ මධ්‍යවාර මැතිවරණයේ ප්‍රතිඵල අපට පෙන්වා දෙනවා, බුද්ධියක් තිබෙන-හදවතක් තිබෙන ඒ මිනිසුන් හිටගෙන ඉන්නේ අර කියන රැල්ලෙන් සෝදා යන ඉවුරක නොවන බව.


 

‘‘කූඩැල්ලෙක් වෙනවට වඩා සමනළයෙක් වෙන එක හොඳයි කියන්න තරම් පිටකොන්දක් තිබෙන ලියෝ වරද්කාර් කෙනෙක් ලංකාවෙත් ඉන්නවා‘‘


 

තමන්ගේ ලිංගික අනන්‍යතාවය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රංශයේ මැක්රොන්ට නැති පිට කොන්දක් අයර්ලන්තයේ ලියෝ වරද්කාර්ට තිබුණා. කූඩැල්ලෙක් වෙනවට වඩා සමනළයෙක් වෙන එක හොඳයි කියන්න තරම් පිටකොන්දක් තිබෙන ලියෝ වරද්කාර් කෙනෙක් ලංකාවෙත් ඉන්නවා. හැබැයි මේ කිළිටි දේශපාලන තන්ත්‍රය ඇතුළෙ සමරිසි අයිතිවාසිකම් වෙනුවෙන් දෙයක් කරන්නට ඔහුට ඉඩක් ලැබුණාද කියන ප්‍රශ්නය අපට තිබෙනවා.


 

‘‘මේ මුවහමට තඩිබෑම නතර කරන්න‘‘


 

 

අපි නැවත ගල් යුගය වෙත යා යුතු නැහැ. ඉන්දියාවේ සමරිසිභාවය සාපරාධී නොවන බව තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ගැන අපි කතා කරන විට ලංකාවෙත් එහෙම වෙන්න යනවද කියල විශාල ප්‍රශ්නයක් අන්තවාදී පිලට තිබුණා. නමුත් මේ හැම දේටම කලින්, මේ මුවහමට තඩිබෑම නතර කරන්න..“


වීඩියෝ දර්ශන 

Bakamoono.lk වෙතිනි 

 

 

 

සබැඳි පුවත් 

 

ජනාධිපති ‘සමරිසි භීතිකාවෙන්’ කළ ප්‍රකාශයට LGBTQI ප්‍රජාවේ විරෝධය

ජනපතිගේ සමනළ කතාව දයාසිරි සාධාරණීකරණය කරයි