‘‘සුළඟ අප රැගෙන යාවි‘‘ සිනමාපටය ළඟදීම ඔබේ නගරයටත්

නුවන් ජයතිලකගේ සිනමා නිර්මාණයක් වන ‘සුළඟ අප රැගෙන යාවි‘ ළඟදීම දිවයින පුරා සිනමාහල් වලදී තිරගත කිරීමට නියමිතය. මෙහි පළවන්නේ "සුළඟ අප රැඟෙන යාවි" සිනමාපටය නැරඹූ නව යොවුන් ප්‍රේක්ෂකයෙකු තැබූ සටහනකි. 


 

 

"සුළඟ අප රැඟෙන යාවි" සිනමාපටයට දායක වෙන ශිල්පීන් කවුද ?


 

පළමු සිනමා නිර්මාණය වුවත් මා මින් දුටු ප්‍රබලතම දෙය වනුයේ නුවන් ජයතිලකයන් තුරුණු ආධුනිකත්වය ඉක්මවමින් රංගකාරික සපිරිවර හැසිරවීමෙහිලා දක්වන සමත්කමය. මෙහි ප්‍රධාන චරිත ද්විත්වය වන කසුන් හා විහඟ යන පොඩිත්තන් දෙදෙනාගේ චරිත පිළිවෙළින් සුදම් කටුකිතුල සහ ප්‍රවීන් කටුකිතුල රංගනය කරයි. මා නිවැරදි නම් මේ ඔවුන් දෙදෙනා එක්වර දැකගැනීමට ලැබෙන පළමු සිනමා ප්‍රහර්ෂයයි. ජැක්සන් ඇන්තනීගේ "ඇඩ්‍රස් නෑ" චිත්‍රපටයෙන් සරසවිය කුසලතා සම්මානය දිනූ ප්‍රවීන් කටුකිතුල මෙහි පොඩිත්තන් දෙදෙනා අතරින් අයියාගේ චරිතයට (විහඟ) අපූරුවට පණ පොවන අතර වැඩිමහල් සහෝදරයා සතු වගකීම් මෙන්ම හැඟීම් වයස් සීමාව අබිඹවා යමින් නිරූපණය කරන්නට තරම් ඔහු ජගතෙකි.


 

උදයකාන්ත වර්ණසූරියගේ "මධුර චාරිකා" හා "බන්ධනය" වැනි සිනමාපටවල කැපීපෙනෙන ළමා චරිතයක් වූ සුදම් කටුකිතුල ද කසුන් නම් මෙහි එන කථානායක චරිතයෙහිලා ප්‍රතිභාන්විත ලෙස නිරත වෙන අතර හිරිමල් ළමා ක්‍රියාකාරකම් ජීව ගුණය සුරකිමින් තිරය මත තාත්ත්වික කරන්නට සුදම්ගෙන් මේ චිත්‍රපටයට ලැබී ඇති සහය විස්මයජනකය. මින් පෙර තිරයේ නුදුටු සේමිණී හෙන්නායක නම් ළමා ශිල්පිණියක් මෙහි නිහන්සා නම් වීදී දැරියකගේ චරිතයට නිරායාසයෙන් ආරූඪ වී සිටියුරු දක්නට ලැබිණි. ඉන්පසු මෙහි කැපීපෙනෙන චරිත ත්‍රිත්වය වැඩිහිටි පරාසයේ විහිදෙයි.



ජ්‍යෙෂ්ඨ රංගධාරිණී අයිරාංගනී සේරසිංහයෝ මිත්තණිය ලෙසින් මෙහි චරිත මවන අතර පොඩිත්තන්ගේ මව (කුමාරි) සහ පියා (එඩ්වඩ්) ලෙස රංගනවේදී ප්‍රියංකර රත්නායක සහ සම්මානනීය සිනමා නිළි සුරංගා රණවක චරිත මවති. අද අපතර නැති විශිෂ්ඨ කලාකරුවන් දෙපළක් ද මෙහි රංගනයේ නියැළේ. බන්දුල විතානගේ ශූරීන් නායක ස්වාමින් වහන්සේනමක ලෙසින් හා රංගධර විමල් කුමාර ද කොස්තා මුත්තණුවන් ලෙසින් මේ සඳහා රංගන දායකත්වය සපයා ඇත.


 

 

තවද සමාජයේ දුදන නියෝජනය ප්‍රදර්ශනය කරමින් සම්පත් ජයවීර 'රංජි' නම් ගව සොරෙකුගේ චරිතයක් ද, අංජන ප්‍රේමරත්න 'දුමින්ද' නම් සොරාගේ සහයක සඟයාගේ චරිතයක් ද විශිෂ්ට ලෙස රංගනය කරති. මීට අමතරව අවශේෂ චරිත සඳහා තවත් නළු නිළියන් රැසක් මෙහි රංගනය කරන අතර සමකාලීන චිත්‍රපට හා තරමක් තරඟකාරී මට්ටමක රංගනයන් මේ තුළින් දැකගැනීමට ලැබේ.


 

තිරයෙන් පිටුපස ඉන්නේ කවුද ?   



තරුණ සිනමාවේදී නුවන් ජයතිලකගේ අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදනයෙන් කරළියට පැමිණෙන "සුළඟ අප රැගෙන යාවි" චිත්‍රපටයේ සම නිෂ්පාදනය මායා නවගත්තේගම විසිනි. සහය නිෂ්පාදන දායකත්වය විමුක්ති ජයසුන්දර විසින් වනතර කැමරාකරණය එස්. එම්. ඇඩම්ස් විසිනි.


 

ජනප්‍රිය මෙන්ම ප්‍රතිභාන්විත හඬක උරුමකරුවෙකු වන චිත්‍රාල් චිටී සෝමපාලයන් මෙහි සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කරළියට පැමිණීම ද සුවිශේෂී කාරණාවකි. ප්‍රතිභාන්විත තුරුණු සිනමා ක්‍රියාන්විතයක අතිසාර්ථක නිර්මිතයක් ලෙස නුදුරු වසර මුලදී ම සුළඟ අප රැගෙන යනු නිසැකය.




මේ චිත්‍රපටයෙන් එළිදැක්වෙන සුසමාදර්ශය කුමක්ද ?

 

නුවන් ජයතිලක යනු තුරුණු සිනමාවේදියෙකි. පරිශීලනයෙන් යුතුව කාර්යයෙහි නියැළීම මගින් සරුඵල නෙළා ගත හැකි බව නුවන් ප්‍රකට ඇත. සිනමා නිර්මාණ කිරීමට දෙවරක් සිතන තරුණයන් හට නොබියව තම පියවර ශක්තිමත්ව තැබීමට නුවන් පූර්වකථනයක් සපයා ඇතැයි කීම සාවද්‍ය නැත.

 

ස්වකීය මුල්ම සිනමාකෘතිය ලෙස "සුළඟ අප රැගෙන යාවි" ඉදිරිපත් කළ නුවන් එහි වටිනාකම තක්සේරු කරගත්තේ තම උපන්‍ රටට ප්‍රථම විදේශවලින් ය. Remi Award : World Fest-Houston" (Oldest Independent Film & Video Festival in the world) සහ "Best Feature Film : Metricamente Corto - Festival, Italy" යනාදී ජයග්‍රහණ රැසක් අත්පත් කරගත් මෙම සිනමාපටය, චිත්‍රපට නිර්මාණයට සිහින දකින අනතීත අංකූර සිනමාකරුවන්ට සුසමාදර්ශයක් වනු නොඅනුමානය.


 


"
සුළඟ අප රැගෙන යාවී" චිත්‍රපටය ඔබ නැරඹිය යුත්තේ ඇයි ?


 

නූතන පරපුරෙන් කෙමෙන් දුරස්වෙන මෙන්ම අදින් මතු හෙට පරපුරට දැනටමත් අහිමිවී ඇති සුන්දර ළමා ලෝකයේ අවියෝජනීයත්වය පෝෂණ මාධ්‍ය කොටගෙන තිරිසන් ගත ආත්මයක් පවා මානව සමූහයා හා හෘදයාංගමව බැඳෙන අයුරු සමාජයේ දුර්ගුණයන් මතින් ප්‍රකට කරවන කාලානුරූපී ගැමි ආඛානයේ ගැමි සුවඳ විහිදුවාලන රූපකාව්‍යයක් ලෙසින් නුවන් ජයතිලක කුළුඳුල් සිනමා නිර්මාණය "සුළඟ අප රැගෙන යාවී" නිර්වචනය කළ හැකිය.


ගැමි සමාජයේ හුස්ම හා සම, පසිඳු ජීවෝනපාය ප්‍රභවයක් වූ ගවයෙකු කේන්ද්‍රීය චරිතය කොටගෙන සුන්දර ළමා ලෝකයේ මිහිරි අමිහිරි මෙන්ම සොඳුරු කටුක අද්දැකීම් මාලාවක් සිනමාත්මකව එකිනෙක යා වෙන සේ ගෙත්තම් කරමින් හරි අපූරුවට මෙම සිනමා වියමන සහෘදයා වෙත ඉදිරිපත් කර ඇත. ප්‍රථම සිනමා නිර්මාණයෙන් කොයිකාගේත් දැකගත හැකි මට්ටමේ සුළු සුළු දෝෂයන් තීක්ෂණ රසික නෙතකට සමීප වුණත් සමස්තයක් ලෙස පවුලේ සැමට වාච්‍යාර්ථයෙන් ම එකට අසුන්ගෙන නැරඹිය හැකි චිත්‍රපටයක් ලෙස මෙය හැඳින්වීමෙහි වරදක් නැත.


 

 

එනිසා ගැමි සුවඳ නුහුරු මෙන්ම ගැමි සුවඳ අමතක සියලු ශ්‍රී ලාංකිකයන් මෙය බලා දෘෂ්ටිගෝචර හා ශ්‍රව්‍යගෝචර මාධ්‍යයන් තීව්‍ර කරගන්නා මෙන් ද දුර්ජන ක්‍රියාන්විත මැත සුන්දරත්වය යටපත් කිරීම අපහසු බව සමාජගත කරවීමට මෙම සිනමා ව්‍යායාමය හා අත්වැල් බැඳගන්නා මෙන්ද ඉල්ලා සිටීම එය නැරඹූ මගේ යුතුකමකි.


 

එසේ නම් ඊළඟ ජනවාරියේ ඔබේ මගේ යාබද ම සිනමාහලට අප සැම පියමැනිය යුතු දිනයක් එළඹෙයි. එදිනට අපි නිසැක වශයෙන් මෙසේ කියන්නට බලාපොරොත්තු වෙමු. ඒ සුළඟ එනතෙක් අප නොඉවසිල්ලෙන්.‘‘

 

 

 

සටහන අකාශ් තාරුක පෙරේරා

 

සබැඳි පුවත් 

 

 

‘සුළඟ අප රැගෙන යාවි‘ ආසියානු පැසිෆික් සිනමා උළෙලට