සුප්‍රකට කොමික් චරිත වල නිර්මාණය කළ ස්ටෑන් ලී දිවියෙන් සමුගනී

සුප්‍රකට කොමික් කතා මාලා හරහා ලොවක් ඇදබැඳගත් ස්ටෑන් ලී සිය ගමන නිමාකොට තිබේ. සුප්‍රකට අයන් මෑන්, ෆැන්ටෑස්ටික් ෆෝ, ස්පයිඩර් මෑන් හා එක්ස් මෑන් ආදියේ සම නිර්මාණකරුවා වන්නේ ඔහුය. ජැක් කර්බි හා ස්ටීව් ඩිට්කෝ වැනි කලාකරුවන් සමීපව ඇසුරු කළ ලී කොමික් චරිත හරහා කලා ක්ෂේත්‍රයට නව ජීවයක් ගෙනදීමේ කාර්යයට දායක වූවේය. 


ලී ගේ මරණයෙන් අනතුරු රොයිටර් වෙත අදහස් දැක්වූ දියණිය ජේ. සී. ලී පවසන්නේ, ‘‘ඔහු, ඔහුගේ ජීවිතයට දැඩිව ආදරය කළා වගේම නිර්මාණ කාර්යයටත් එක සේ ආදරය කළා. පවුලේ අය වගේම රසිකයින් ද ඔහුට දැඩි ආදරයක් දැක්වුවා. තාත්තා නැති අඩුව කවදාවත් කිසිවෙකුට පුරවන්න බැහැ.‘‘ 


ඇය මෙහිදී පියාගේ මරණයට හේතුව අනාවරණය නොකළද ජනප්‍රිය තරු ගැන පුවත් වාර්තා කරන TMZ වෙබ් අඩවිය පවසා තිබෙන්නේ, හොලිවුඩ් හි පිහිටි ලී ගේ නිවසට ගිලන් රථයක් ඊයේ (12) දින උදෑසන දී පැමිණි බවත් Cedars-Sinai වෛද්‍ය මධ්‍යස්ථානයට ගෙන ගිය පසු ඔහු ජීවිතයෙන් සමුගත් බවත්ය. 


 

ස්ටෑන් ලී ගැන 

1922 වසරේදී මැන්හැටන් හි දී ඉපදුණු ලී මියයන විට 95 වන වියේ පසුවූවේය. ඔහුගේ ස්වයං චරිතාපදානය වූ Excelsior (2002) කෘතියේදී සිය පියා රැකියාවක් සොයාගැනීමට දරන ලද ප්‍රයත්නය මෙන්ම තමන් විඳි කාංසාමය තත්ත්වය ගැන ද ලී විස්තර කර ඇත.


 

‘‘මිනිහෙකුගේ ජීවිතයට අතිශය වැදගත්වන දේ වෙන්නේ රැකියාවක නියැලීම වගේම ඒ රැකියාවත් එක්ක අතිශය කාර්යබහුල වීමයි‘‘ 


 


මාර්ටින් ගුඩ්මන් නම් සිය ඥාතියෙකුගේ  ප්‍රකාශන සමාගමක 17 හැවිරිදි වියේදී  එක්වෙන ලී සුපිරි වීරයින් හා අභිරහස් කොමික් චරිත වටා ගෙතුණු කතා වලට තිර පිටපත් ලිවීමට දායක වූවේය. ගුඩ්මන් 1941 දී විශ්‍රාම යන අතර ඉන් අනතුරුව මෙහි ප්‍රධාන සංස්කාරකවරයා බවට ලී පත්වුණේය.


 

දශක තුනකට අධික කාලයක් පුරා තිර පිටපත් රචකයෙකු ලෙස සේවය කිරීමෙන් අනතුරුව Marvel Comics හි ප්‍රකාශකයා ලෙස 1972 දී සිට ඔහු නව නිර්මාණ වලට පිවිසුණු අතර පසුකලෙක විශිෂ්ට කොමික් චරිත නිර්මාපකයෙකු ලෙස ජනාදරයට පාත්‍ර වූවේය.


 

 



 

 

 

The Guardian හා The Business Insider  ඇසුරිනි