බලතන්හාව, ජාත්‍යන්තර ප‍්‍රජාව හා දෙමළ ඩයස්පෝරාව


මෛති‍්‍රගේ කලූ සිකුරාදා මෙහෙයුමෙන් පසු මෙම ලියුම්කරු විදේශගතව සිටින ලාංකික දෙමළ ජාතිකයින් පිරිසක් අහඹු ලෙස තෝරාගෙන ඔවුන් සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවන්ට අනුව දෙමළ ජනතාවගේ සිත් වෙනස් කිරීමට මෙම මෙහෙයුම කෙතරම් බලපා ඇතිදැයි දැන ගන්නට හැකිවිය. කථා කළ දෙමළ ජනතාවගෙන් සියයට 80 ක් පමණ ප‍්‍රකාශ කෙළේ මෙම තත්ත්වය හමුවේ යුරෝපයේ කොටි සංවිධානයේ හිස එසවීමක් සිදුවිය හැකි බවයි.






ලංකා වීරසිංහ


බලතන්හාව ලංකාවේ වියරු දේශපාලන සංස්කෘතියේ ප‍්‍රධාන ලක්ෂණයකි. තමන් තුළ බලයට ඇති කෑදරකම සතපවා ගැනීම පිණිස අපේ රටේ පාලකයෝ නොකරන දෙයක් නැත. ඒ වෙනුවෙන් පාවාදෙන, නොවිකුණන දෙයක් නැත. එදා බණ්ඩාරනායක සිංහල රාජ්‍යභාෂාව කිරීම හා විදේශ සමාගම් ජනසතු කිරීම යන මෝඩ තියරිය විකුණා චන්දය දිනා ගත්තේය. ජේ ආර් ඇට අට සමග විවෘත ආර්ථිකයද, චන්ද්‍රිකා විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දීමද, මහින්ද යුද්ධයද විකුණුවේ රට වෙනුවෙන් නොව වැඩිමනත්ම තම තමන්ගේ බල තන්හාව වෙනුවෙනි. ඒ හැමදේකටම වඩා අනුන්ගේ පහණෙන් එළිය බලා ජනාධිපති වූ මෛති‍්‍රපාල සිරිසේන විකුණුවේ යහපාලනය නැමති උතුම් සංකල්පයයි. පවා දුන්නේ 2015 ජනතාව දිනා ගත් නිදහසයි. යහපත් අනාගතයක් වෙනුවෙන් විවෘත වූ මාවතයි. එය තමන්ගේ මව ගණිකාවක් කොට විකිණීම හා සමාන කටයුත්තකි. දේශපාලකයා අවශ්‍ය නම් මවත් විකුණන බව අද අපට සනාථ කොට පෙන්වා දී තිබේ. ඒ කුමක් සඳ හාද? බලතන්හාව වෙනුවෙනි.


වත්මන් ව්‍යවස්ථා මුල් කරගත් ගැටුම තුළ අප සිරවී ඇත්තේ ලංකාව තුළ නිර්මාණය ඇති ගැටුම්කාරී පාදඩ දේශපාලන සංස්කෘතිය තුළ පමණක් නොවේ. එය අපේ මුහුදු සීමාවෙන් ඔබ්බට ගමන් කර අවසානයි. මේ අනුව ලංකාවේ මෙම අස්ථාවර බව සම්බන්ධයෙන් තවත් ප‍්‍රධාන පාර්ශ්ව දෙකක් බොහෝ සුපරීක්ෂාකාරීව සිටිති. ඉන් එකක් ජාත්‍යන්තර ප‍්‍රජාවයි. දෙවැන්න දෙමළ ඩයස්පෝරාවයි. අපේ සමහර අයියලා මෙය ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් ලෙස හැඳින්වූවත්, එය ජාත්‍යන්තර නිරීක්ෂණය ලෙස හැඳින්වීම වඩාත් ගෝචරයි. මෙහිදී ජාත්‍යන්තර ප‍්‍රජාව අප දෙස බොහෝ විමසිල්ලෙන් සිටින බව නිරීක්ෂණය කළ හැක. ඔවුන් අපට නොකියා කියන්නේ මෙතෙක් රට තුළ ආරක්ෂා වු ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ නොකරන ලෙසයි. එසේ වන්නේ නම් ඔවුන් අප වෙනුවෙන් ගන්නා පියවර ගැනද පැහැදිළි ඉ`ගි පළ කර තිබේ. මේ අනුව යූරෝපා ප‍්‍රජාව විසින් අනුමත කරන ලද ජීඑස්පී සහන නොලැබී යනු ඇත. ණය ආධාර කැපී යනු ඇත. එසේම ආයෝජකයෝ අපිට පස්ස පෙන්නා දේශපාලන වශයෙන් ස්ථාවර රටවල් සොයා යනු ලැබේ. අපේ බොහෝ නායකයින්ට විදේශරටවලට ඇතුල් විය නොහැකි තත්ත්වයක් ඇති විය හැක. සමහරවිට ලංකාවට විරුද්ධව සම්බාධක පවා පැනවීමට ඉඩ ඇත. අපේ රටට තනියෙන් නැගී සිටිය නොහැක. ඒ සඳ හා ශක්තියක් අපට නැත. අප ඇමෙරිකාව නොවේ. අනික ලෝකයේ දෙවන බලවත් රටවල රුසියාවට විරුද්ධව සම්බාධක පැනවීමට හැකි නම් ලංකාව මොන අල ඇටයක්ද? චීනයට විරුද්ධව වෙළඳ තහංචි හා මැදපෙරදිග බලවතා වන ඉරාණයට විරුද්ධව ආර්ථික සම්බාධක පනවන්නට හැකි ඇති අවස්ථාවක අප කවුරුන්ද? අප කල්පනා කළ යුත්තේ අප මේ සියලූ වේදනා විඳිය යුත්තේ ඇයිද යන කාරණයයි. ඒ මෙලෝහරසක් නොදන්න අබඇටයක් වත් තරමින් ජාත්‍යන්තර දැනුමක් නැති මැටිමෝලෙක් වන මෛති‍්‍රපාල සිරිසේන නිසා බවට කිසිදු සැකයක් නැත. ඔහුට ඇත්තේ හද්දා පිටිසර මුල්කරගත් දේශපාලන හා ආර්ථික චින්තයක් මිස ජාත්‍යන්තර විචල්‍යතාවන්ට ඔබින චින්තනයක් නොවේ. අපි කොළ නිල් පාට වෙනුවෙන් හුරේ දැම්මත් ලෝකයාට මුහුණ දෙන්න වෙන්නේ තනි රටක් ලෙසිනි. අපේ දේශපාලන පාට බලපාන්නේ ලංකාවට පමණි. ඒ නිසා ලාංකිකයෝ තවදුරටත් මේ වෛර්ණ ගොබ්බයන්ට රට විනාශ කරන්නට ඉඩ දෙනාවද යන්න ගැඹූරින් සිතා බැලිය යුතුයි.


යුද්ධය නිසා ලංකාව හැර ගිය දෙමළ ජාතිකයෝ හා ඔවුන්ට දාව ඉපදුණු දරුවන් ඇතුලූ දෙමළ ඩයස්පෝරා සාමාජික සංඛ්‍යාව ලක්ෂ 15 ක් පමණ වේ. මෙම පිරිසෙන් බොහෝ දෙනෙක් තවමත් ලංකාවේ පුරවැසියෝය. තවත් පිරිසක් ද්විත්ව පුරවැසිකම් ලබා ඇත. අතීතයේදී කොටි සංවිධානය පෝෂණය වූයේ මෙම පිරිසෙන් ලැබෙන මූල්‍ය හා ද්‍රෂ්ඨිමය ආධාර මතයි. සමහරු තවමත් කොටීන් පෝෂණය කරති. 2015 සිදුවූ රාජ්‍ය වෙනස්වීම නිසා ලංකාවේ මානව හිමිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාය ස්ථාපිත කිරීම මෙන්ම නීතියේ ආධිපත්‍ය තහවුරුවීම සිදුවිය. එසේම එතෙක් ජිනීවා මානවහිිමිකම් සමුලූව හරහා ලංකාවට එල්ලවූ බොහෝ අයහපත් ප‍්‍රතිචාර හා බලපෑම් නැති විය. මේ තුළින් කොටි සංවිධානයේ පැවැත්මට විශාල තර්ජනයක් සිදුවිය. එය විවිධ කොටස්වලට කැඞීම දැකිය හැක. මේ නිසා විදේශගත ලාංකික ද්‍රවිඩයින්ට නිදහසේ ජීවත්වීම හැකිවූයේ ඔවුන්ගේ එදිනෙදා කටයුතුවලට බලහත්කාර ලෙස මැදිහත්වීමට කොටි සංවිධානයට නොහැකි වීම නිසායි. අනෙක් පැත්තෙන් විදේශගත ලාංකික ද්‍රවිඩයින් විශාල වශයෙන් ලංකාවට පැමිණීම, ලංකාවේ ආයෝජනය කිරීම, යුද්ධයෙන් විනාශ වූ ප‍්‍රදේශ දියුණූ කිරීමට දායකවීම හා ලංකාවේ ද්විත්ව පුරවැසිකම් ඉල්ලීම සිදුවිය.


2015 පසු අසරණ වූ කොටි සංවිධානයට නැවතත් ඔක්සිජන් දීමට පසුගිය 24 වන දින දියත් කළ මෛති‍්‍රගේ කලූ සිකුරාදා මෙහෙයුම සමත්විය. ඒ අනුව හදිසියේ ලංකාව විසින් සංහිදියාව ගොඩනැංවීම පිණිස කරගෙන ගිය සියලූ කටයුතු ඇණ හිටින තත්ත්වයක් ඇතිවී තිබේ. මෙහි ආසන්නතම ප‍්‍රතිවිපාකය නම් නැවතත් ලංකාව මිලටරි පාලනයක් කරා යගමන් කරන බවට කොටි සංවිධානය විසින් විදේශ රටවලට හා විදේශගත දෙමළ ජනතාවට ඒත්තු ගැන්වීමට හැකියාව ලැබීමයි. එසේම ජාත්‍යන්තර වශයෙන් කොටි සංවිධානයට තිබූ බොහෝ සම්බාධක ඉවත් කිරීමට සමහර රටවල් පෙළඹීට ඇති ඉඩකඩ බොහෝය. නැවත වරක් තමන්ගේ ප‍්‍රචාරණ යාන්ත‍්‍රණය හරහා කොටි සංවිධානයට දෙමළ ජනතාව දිනා ගන්නට හැකිවීම සිදුවීම බැහැර කළ හැකි තත්ත්වක් නොවේ.


මෛති‍්‍රගේ කලූ සිකුරාදා මෙහෙයුමෙන් පසු මෙම ලියුම්කරු විදේශගතව සිටින ලාංකික දෙමළ ජාතිකයින් පිරිසක් අහඹු ලෙස තෝරාගෙන ඔවුන් සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවන්ට අනුව දෙමළ ජනතාවගේ සිත් වෙනස් කිරීමට මෙම මෙහෙයුම කෙතරම් බලපා ඇතිදැයි දැන ගන්නට හැකිවිය. කථා කළ දෙමළ ජනතාවගෙන් සියයට 80 ක් පමණ ප‍්‍රකාශ කෙළේ මෙම තත්ත්වය හමුවේ යුරෝපයේ කොටි සංවිධානයේ හිස එසවීමක් සිදුවිය හැකි බවයි. මේ සම්බන්ධයෙන් ඔවුන් තවදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ ලංකාවේ දේශපාලන ක‍්‍රමය තුළ තමන්ගේ අයිතිවාසිකම් ලබාගැනීමට ඇති නොහැකියාව මත කොටි සංවිධානය කෙරෙහි ජනතාවගේ නැඹූරු නැවතත් වැඩිවීමට ඉඩ ඇති බවයි. මෙම සම්මුඛ සාකච්ඡාවන්ට සහභාගිවූ පිරිස තමන් තුළ ලංකාවේ දේශපාලන ක‍්‍රමය තුළ ගොඩ නැගෙමින් පැවති යහපත් දැක්ම නැතිවී ගිය බවද ප‍්‍රකාශ කරන ලදී. විශේෂයෙනම් මධ්‍යස්ථ දෙමළ පිරිස දැඩි කණස්සල්ලෙන් කියා සිටියේ මින්පසු තමන්ට සංචාරයකට හෝ ලංකාවට යෑමට නොහැකි වන බව හා මෙතෙක් විදේශගත සිංහල දෙමළ පිරිස් අතර ගොඩනැගීගෙන ආ සුහදතාවය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇතිවීම නොවැලැක්විය හැකි සංසිද්ධියක් බවයි. මෙම ලියුම්කරු විසින් කරන ලද විමසීමකට අනුව යුරෝපයේ බොහෝ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාල වෙත ගමන් බලපත‍්‍ර ලබැගැනීමට, උපත් ලියාපදිංචි කිරීම, සංචාරක වීසා ලබාගැනීමට හා ද්විත්ව පුරවැසිකම් සඳ හා ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමට පැමිණි දෙමළ ජනතාවගේ සංඛ්‍යාව සියයට හැටකින් පමණ අඩුවී තිබෙන බව දැන ගන්නට හැකි විය.


කලූ සිකුරාදා මෙහෙයුම නිසා සමස්ථයක් වශයෙන් ගත් කළ ආර්ථීක, දේශපාලන, රාජතාන්ති‍්‍රක වශයෙන් ජාත්‍යන්තරයේදී ලංකාව දැඩි අපහසුතාවට පත්වීම සිදුවන බව නිරීක්ෂණය කළ හැකියි. අනෙක් පැත්තෙන් නැවතත් කොටි සංවිධානය බලවත්වීම තුළ ලංකාවට දැඩි ආරක්ෂක ගැටලූවලට මුහුණදීමට සිදුවේ. විශේෂයෙන්ම ලක් රජය කෙරෙහි විදේශගත දෙමළ ජනතාව තැබූ විශ්වාසය නැවතත් ගොඩනගා ගන්නට නොහැකිවේ. අනෙක් පැත්තෙන් නැවතත් ලංකාව මරණයේ දේශය යන නමින් හ`දුන්වන්නට බොහෝ අයට හැකියාවක් ලැබේ.