The Most/Recent Articles

Showing posts with label සුනන්ද දේශප්‍රිය. Show all posts
Showing posts with label සුනන්ද දේශප්‍රිය. Show all posts

අපේ කාලයේ වීරයෙක් - ෆාදර් බෙන්ජමින් හෙන්රි මිලර්






- සුනන්ද දේශප්‍රිය -





ලංකාගමනය





හෙන්රි බෙන්ජමින් මිලර් මෙරටට පැමිණියේ ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ සිට ය. තරුණ ජේසු නිකායික ශිෂ්‍ය පූජකවරයකු වූ ඔහු ශ්‍රී ලංකාවේ මඩකළපුවෙහි ආගමික මෙහෙවරෙහි යෙදීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන විට වයස විසි තුනක යෞවනයකු විය. ඔහු පැමිණියේ මෙරට නිදහස ලබා සත් මසකට පසු 1948 සැප්තැම්බර් 04දා ය. එතැන් ගෙවුණූ පටන් වසර 70කට ආසන්න කාලයක් ඔහු නැගෙනහිර පළාතෙහි සේවය කළේ ය. ඉන් වසර කිහිපයක් හැරුණූ විට ඔහු සේවය කළේත් ජීවත්වූයෙත් මඩකළපුවෙහි ය.









අභියෝග හමුවේ නොසෙල්වෙන චරිතයක්





යුද සමයෙහි මෙරට මානව හිමිකම් රැකගැනීම උදෙසා ක්‍රියාකළ අප බොහෝ දෙනෙකුට ෆාදර් මිලර් ආශ්වාදයක්ද ආදර්ශයක්ද සැපයූ ඉන්ද්‍රකීලයක් විය. එසමයෙහි මඩකළපුවට ගිය සෑම නිරීක්ෂණ චාරිකාවකදීම පාදර් මිලර් හමුව අපේ ප්‍රමුඛතාවයක් බවට පත්ව තිබුණි.









දෙමළ බස ඉගෙනගත් ගුරුවරයා





1540 දී පිහිටුවන ලද රෝමානු කතෝලික ජේසු නිකාය මුල සිටම සිය ආගමික මෙහෙවර මෙන්ම අධ්‍යාපනයෙහි යෙදීමට ද නැඹුරුවක් දැක්වීය. 1948 දී ශ්‍රී ලංකාවේ මඩකළපුවෙහි සේවය කිරීමට ස්වෙච්ඡා පූජකවරුන් අවශ්‍ය බවට පාප්තුමා විසින් කරන ලද ඉල්ලීමකට හෙන්රි මිලර් සිය ජීවිතය කැප කළේ ය. ඔහු සිය ජීවිතයෙන් වැඩිම කාලයක් ගුරුවරයකු ලෙස සේවය කළේ ය. මුල් කාලයෙහි ඔහු භෞතික විද්‍යාව, ඉතිහාසය සහ ඉංග්‍රිසි ඉගැන්වූ ඔහු පාසල් පාපන්දු කණ්ඩායමේ පුහුණුකරුද විය. ඒ සඳහාම ඔහු දෙමළ බස ඉගෙන ගත්තේ ය.









මානව හිමිකම් සුරක්ෂකයා






පසු කාලීනව හෙන්රි මිලර් පියතුමා ප්‍රසිද්ධියට පත් වූයේ ආගමික ප්‍රචාරකයකු ලෙස නොවේ. මානව හිමිකම් සුරක්ෂකයකු ලෙස ය. 1980 ගණන් මැද භාගයේ සිට නැගෙනහිර පළාතෙහි නැගී ආ යුද ගිනිදැල් මැද, මනුෂ්‍යත්වයේ පැත්ත මිස අන් කිසි පැත්තක් නොගත් හෙන්රි මිලර් සිය ජීවිතයේ අවසානය දක්වාම යුක්තිය සහ සාධාරණත්වය සඳහා වූ සිය කැපවීම රැක ගත්තේය. 2019 ජනවාරි පළමුවනදා සිය අවසන් හුස්ම පොද මඩකළපු වාතලයට එක් කරන තුරුම ඔහු තමා සමාරම්භකයකු වූ මඩකළපු සාම කමිටුවේ බලකණුව විය. එමෙන්ම යුද ගැටුමට සාමකාමී විසඳුමක් සෙවූ මඩකළපුව සාම කමිටුවෙහි සහ ආගමික කවුන්සිලයේ ද ආරම්භකයකු විය. එල්ටීටීඊ ය සහ ලංකාණ්ඩුව අතර සටන් විරාම ගිවිසුමක් පැවැති 2002-2004 කාලයෙහි මඩකළපුව සටන් විරාම නිරීක්ෂණ කමිටුවට ආණ්ඩුව විසින් පත් කරන ලද පුරවැසි නියෝජිතයා වූයේ ද ඔහු ය.






Citizens Peace Award (2014) ලබාගනිමින්








බැරල් බෝම්බ මැද






1980 ගණන් මැද භාගයේ සිට නැගෙනහිර පළාතෙහි දෙපාර්ශ්වය අතර සටන් උත්සන්න විය. රාජ්‍ය ත්‍රස්තවාදය බැරල් බෝම්බ සහ සමූල ඝාතන උපක්‍රම අත්හදා බැලූ භූමිය එය බවට පත් විය. එල්ටීටීඊය ද සමූල ඝාතන ත්‍රස්තවාදය මුලින්ම ක්‍රියාවට නැගූයේ නැගෙනහිර දී ය.









මේ සියල්ල මැද සාමය සඳහා පෙනී සිටිමින්ම සියළු හිමිකම් කෙළෙසීමක් ම විස්තරාත්මකව පරිස්සමින් වාර්තා ගත කිරීම ෆාදර් මිලර් අනලස්ව කරගෙන ගියේ ය. ඔහු විසින් එලෙස වාර්තාගත කරන ලද අතුරුදහන් කිරීම් සහ පැහැර ගැනීම් දහස් ගණනාවකි. රාජ්‍ය මෙන්ම එල්ටීටීඊ ය ඇතුළු අනෙක් දෙමළ සන්නද්ධ සංවිධාන විසින් ද විසංවාදය සහමුලින්ම මර්දනය කර තිබූ එසමයෙහි ද පරිස්සමින් විස්තරාත්මක සාක්ෂි සටහන් කර ගැනීම පාදර් මිලර් අත හැරියේ නැත.









1990 සැප්තැම්බර් 09දින මඩකළපුවෙහි සතුරුකොන්ඩාන් ග්‍රාමයට නිල ඇඳුමින් සහ සිවිල් ඇඳුමින් සැරසුණූ පණහක පමණ හමුදා පිරිසක් පැමිණ එහි වැසි සියළු දෙනාම පාරට කැඳවූහ. පසුව යුද හමුදා කඳවුර කරා ගෙන යන ලද එකසිය අසූ ගණනාවක් වූ ඒ් සියළු දෙනාට ම වෙඩි තබා ඝාතනය කරන ලදී. ඒ් අතර වසය අව්රුදු 10ට අඩු දරුවන් හතලිස් දෙනෙකුද වූහ.









සමූළ ඝාතනයක සාක්ෂිය






එම සමූළ ඝාතනයෙහි දී වෙඩිවැදී අඳුරට මුවාවී සැඟව සිය ජීවිතය බේරාගත් විසි එක් හැවිරිදි කන්දසාමි ක්‍රිශ්ණකුමාර්ගේ දීර්ඝ සාක්ෂිය ප්‍රථමයෙන් සටහන් කර ගන්නා ලද්දේ ද ෆාදර් මිලර් මූලිකත්වය දුන් මඩකළපු සාම කමිටුව විසිනි. එසේ නමුත් පසුගිය දා පාදර් මිලර් අවසන් හුස්ම හෙළන තුරුම මෙම සාහාසික අපරාධයට වගකිය යුතු කිසිවකු නම් කර හෝ අධිකරණය ඉදිරියට පමුණුවා හෝ නැත.









ෆාදර් මිලර් ගේ අභාවයෙන් පසු ග්‍රවුන්ඩ්ස්වීව් වෙබ් අඩවියට සටහනක් ලියන මඩකළපුව සාම කමිටු සාමාජිකා සරලා එම්මානුවල් මෙසේ සටහන් කරයි.









ආරක්ෂක පළිහ






‘ මා ෆාදර් මිලර් දැන හදුනාගත්තේ මා මඩකළපු සාම කමිටුවට බැ දීමෙන් පසුව ය. හරියටම කිව නොහැකි වුවත් ඒ 2014 සුනාමි ව්‍යසනයට පසුව ය. ඔහු සතුවූ පෞරුෂත්ව බලයත්, මඩකළපුවෙහි සිදුවෙමින් පැවැති පැහැර ගැනීම්, අතුරුදහන් කිරීම්, ඝාතනයන්, අත්අඩංඟුවට ගැනීම්, ළමා බඳවා ගැනීම්, වාර්ගික නොසන්සුන්තා, ප්‍රචණ්ඩත්වයන් සහ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් සාක්ෂි දරමින්, තැන තැන ගොස් සොයා බලමින්, සහාය වෙමින්, සහ වාර්තාගත කරමින් සිටි අපට ඔහුගේ පැවැත්ම විසින් සපයන ලද අදිසි එනමුත් සැබෑ ආරක්ෂිත පළිහත් මගේ මතකයේ තිබේ. අපගෙන් ප්‍රශ්ණ කරන ලද සෑම මුර පොළකදී ම අපි මඩකළපු සාම කමිටුවේ ෆාදර් මිලර් සමඟ වැඩ කරන බව කීවෙමු. අප පැමිණෙන්නේ කොහි සිට දැයි ඇසූ විට අපි සාම කමිටුවේ ලිපිනය දුන්නෙමු. අපේ ආරක්ෂිත උපාය මාර්ගය වශයෙන් අපි කොහි යන්නේදැයි සෑම විටම දුරකතනයෙන් ෆාදර් මිලර්ට දැනුම් දුන්නෙමු.









විවිධ සන්නද්ධ කණ්ඩායම් විසින් බලයෙන් දරුවන් බඳවා ගන්නා ලද දරුවන්ගේ නිවෙස් කරා, එකි සන්නද්ධ පිරිස් එම ගම්වල සැරිසරමින් අපව නිරීක්ෂනය කරමින් සිටියදී ම අප පිවිසියේ එලෙස එම රැකවරණය ඇතිව ය.









එකී වර්ෂයන්හිදී අලුතින් පැමිණෙන සෑම පොලිස් ප්‍රධානියකුම මුණ ගැසී මඩකළපු සාම කමිටුව ලෙස අපි හඳුන්වා දුන්නෙමු. අප එසේ කළේ පුද්ගලයින් අත්අඩංගුවට ගත් විට, පැහැර ගත් විට. රඳවා තැබූ විට හෝ මරාදැමූ විට යම් සබඳතාවයක් පවත්වා ගනු පිණිස ය. සාම කමිටුවේ ඉතිහාසය දක්වමින් අප හදුන්වා දෙන ලද්දේ අප කණ්ඩායමේ කේන්ද්‍රය වූ සුදු ලෝගුවෙන් සැරසුණු ෆාදර් මිලර් විසිනි.






https://www.youtube.com/watch?v=dDdp8unRjw0








2008 වසරෙහි දී මඩකළපුවෙහි කඩයකින් පුද්ගලයින් පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන මඩකළපු පොලිස් ස්ථානයෙහි රඳවා තැබුණි. ඉන් එක් අයකු වූයේ සූරියා කාන්තා සංවර්ධන මධ්‍යස්ථානයෙහි මගේ සහකාරියක ගේ සහකරුය. සිය සහකරු සහ අනෙක් අය අතුරුදහන්වනු ඇතැයි බියට පත් ඇය හැම දිනකම පොලීසිය ඉඩ දෙනතාක් එහිම රැදී සිටියා ය. දිනක් ඉන් දෙදෙනෙකු පසුදා රැයෙහි අතුරුදහන්ව ඇතැයි දිනක් අපට ආරංචි විය. වහාම ඔවුන් සොයා ගැනීමට අපට අවශ්‍ය වූයේ ඔවුන්ට කුමක්වනු ඇත්දැයි මහත් බියක් ජනිත වූ නිසා ය. ෆාදර් මිලර් අප සහ පවුල්වල අය සමඟ පොලීසියේ ප්‍රධානියා හමුවීමට එකඟ විය. එම දෙදෙනා සිටින්නේ කොතැනකදැයි කියන ලෙස ෆාදර් මිලර් ඔහුට බල කළේ ය. එම දෙදෙනා වෙනත් රැඳවුම් ස්ථානයක යහතින් සිටින බව ඔහු අපට සහතික විය. එනමුත් එදින සවස් වනවිට එම පුද්ගලයින් දෙදෙනාගේ සිරුරු වෙරළට ගොඩ ගසා තිබුණි. ෆාදර් මිලර් අප සහ සිය ආදරවන්තයින්ගේ ඝාතනයෙන් වියෝවට පත් පවුල්වල උදවිය සමග උසාවියේ වාඩි වී සිටීමට ද පැමිණියේ ය.









අපේක්ෂාභංගත්වය






ඔහුගේ ජීවිතයේ අවසාන භාගයේදී ෆාදර් මිලර් දුර්විපාක නොලබා සිටීම බලවත් වී ඇති බවත් යුක්තිය සහ සාධාරණය උදෙසා දේශපාලන අධිෂ්ඨානයක් නැති බවත් හැඟී කිසියම් අපේක්ෂා භංගත්වයක් පෙන්නුම් කළේ ය. මඩකළපු සාම කමිටුව මගින් ලේඛන ගත කරන ලද අතුරුදහන්වීම් සහ ඝාතන 8000 ගැන පරීක්ෂණ පවත්වන්නැයි එල්එල්ආර්සී කමිටුවට ඔහු ලිපියක් ද ඉදිරිපත් කර තිබුණි.









ෆාදර් මිලර්ගේ වියොව යුගයක අවසානයක් ලෙස දැනෙයි. මගේ වේදනාව වනාහී අප ප්‍රජාවෙහි ජීවත් වූ අතිශය නිර්භය සහ පරහිතකාමී වැඩිහිටියකුගේ නික්ම යාම ය. එමෙන්ම ඒ වනාහී ඉතිහාසයක්, අඳුරු සමයෙහි නිර්භය ලෙස ජීවත් වූ මිනිසුන්ගේ කතා නැතිව යාම ගැන ය. දැන් ඔවුන්ගේ කතා කියන්නේ කවරෙක්ද ? ඔවුන් විසින් ඒසා නොබියව කරගෙන යන ලද්දා වූ කාරිය නොනැවත කරගෙන යාමට පියවර නඟන අපට, වචනයට නැගිය නොහැකි ප්‍රචණ්ඩත්වය හමුවෙහි, ඔවුන් දැක්වූ හාස්‍යය, ඔවුන්ගේ උණුසුම, ඔවුන්ගේ මිනිස්කම මතකයෙහි රඳවා ගත හැකි වනු ඇත්ද?’









හෙන්රි බෙන්ජමින් මිලර් අද අප අතර නැත. එනමුත් ඔහු විසින් අප වෙත දායාද කරන ලද මනුෂ්‍යත්වයේ ආදර්ශය සදාකාලිකය. ඔහු සැම විටම යුක්තිය සහ සාධාරණත්වය සිය පාර්ශ්වය ලෙස තෝරා ගත්තේ බියෙන් තොරව, බියෙන් අත් මිදෙමිනි. එවන් මිනිසකුගේ නික්ම යාම යළි ඉපදීමකි. ඒ සදා නොමියන ආදර්ශයක් ලෙස ය.









ෆාදර් මිලර්, පමා වී නමුත් ඔබට සුභ ගමන් යැයි පතන්නට ඉඩ දෙන්න.

























සබැඳි පුවත්













2019 ලාංකීය දේශපාලනයේ ප්‍රවණතා හා අභියෝග


කුමන්ත්‍රණය අවසානයි – ඉදිරියට ? (2)






– සුනන්ද දේශප්‍රිය –





සිරිසේන - රාජපක්ෂ කුමන්ත්‍රණයේ සහායකයෝ ජනමාධ්‍යයි





සිරිසේන – රාජපක්ෂ කුමන්ත්‍රණය විසින් ඉස්මත්තට ගෙන එන ලද වැදගත් කාරණයක් වූයේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනමාධ්‍ය භූමිකාව පිළිබද ප්‍රශ්නයයි. ඇත්ත වශයෙන්ම නම් මෙරට ජනමාධ්‍ය බහුතරය එකී කුමන්ත්‍රණ සහායකයෝ බවට පත් වූහ.





පසුගිය සටහනෙහි අප කතා කළ එකිනෙකින් ස්වාධීන එමෙන්ම එකිනෙක තුලනය සහ සංවරණය කැරෙන ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණූ තුන, එනම් විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය හැරුණු විට හතරවැනි කුළුණ ලෙස සැලකෙන්නේ නිදහස් ජනමාධ්‍යය යි. මන්ද යත් පෙර කී කුළුණු තුනම පිළිබඳ හරවත් සංවාදයන් ජනතාව කරා ගෙන යෑමටත් එම කුළුණූ තුනම පිළිබඳ මහජන සුපරීක්ෂාකාරීත්වය පවත්වා ගැනීමටත් ඇති වේදිකාව ජනමාධ්‍ය වන නිසා ය.





එසේ නමුත් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම වාගේ ජනමාධ්‍ය සලකන්නේ දේශපාලන ප්‍රචාරක ආයතන වියයුතු ඒවා ලෙස ය. මේ බව වඩාම පැහැදිලි වන්නේ රාජ්‍ය පාලිත මාධ්‍ය සම්බන්ධයෙන් එකී පක්ෂ දක්වන ආකල්පයෙනි.









රාජපක්ෂ මැර බලය









රාජපක්ෂ මැර පිරිස් කුමන්ත්‍රණයට පසුදාම රාජ්‍ය මාධ්‍ය ආයතනයන්ට කඩා වැදී බලහත්කාරයෙන් එ්වා සියතට ගත්තේ ඒ නිසා ය. ඊටත් වඩා කණගාටුදායක කාරණයක් වූයේ මාධ්‍ය නිදහස වෙනුවෙන් රාජපක්ෂ සමයෙහි සටන් කළ මාධ්‍යවේදීන් ගණනාවක් සිරිසේන විසින් මෙම මාධ්‍ය ආයතනයන්හි ප්‍රධාන තනතුරුවලට පත් කිරීම යි. අවසානයේදී අනෙක් සමහර මාධ්‍යවේදීන් මෙන්ම ඔවුහු ද ජාතිවාදය සමඟ මුසු කරන ලද බොරු, පුවත් ලෙස ඉදිරිපත් කළහ.





මෙරට මාධ්‍ය නිදහස වෙනුවෙන් ඉදිරිපෙළ සටන් කරන ලද බොහෝ දෙනෙක් 1994 සිට රාජ්‍ය ස්තෝත්‍ර ගායකයින් බවට පත් වූහ. ඉන් අයෙක් රාජපක්ෂ සමයෙහි ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව එල්ල වූ නෑසූ විරූ මර්දනයේ අපරාධ සහායකයින් බවට ද පත්වූහ. මෙවර සිදුවූයේ ද ඊට නොදෙවෙනි ක්‍රියාවලියකි. එනම් දේශපාලන කුමන්ත්‍රණයක සහායකයින් බවට නිදහස් මාධ්‍ය ක්‍රියාධරයින් පත්වීමයි.









මාධ්‍ය කාටද ?









මෙම සටහන ලියමින් සිටින අවස්ථාවෙහි ලැබුණූ ට්වීටර් පණිවිඩයක් මගින් කියැවෙන්නේ එජාප ආණ්ඩුවේ මාධ්‍ය ඇමැති සමරවීර සහ ජනපති සිරිසේන එක්ව රාජ්‍ය මාධ්‍ය බෙදා ගන්නා අන්දම පිළිබඳව එකඟත්වයකට එළඹ ඇති බවයි. ඔවුන්ට අනුව පොදු අයිතියට අයත්, රාජ්‍ය විසින් අයුතු ලෙස පාලනය කරන එකී ජනමාධ්‍ය ඔවුන්ගේ දේපලකි. සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කිරීමට වීදි අරක් ගත් ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් සමාජයට පිටුපා එජාපය යන සුපුරුදු ගමනෙහි තවත් හැරවුම් ලක්ෂයක් රාජ්‍ය මාධ්‍ය තවදුරටත් දේශපාලන අතකොළු වශයෙන් පවත්වා ගැනීමෙන් සනිටුහන් වෙයි.





1973 ජූලි මාසයෙදී සිරිමා බණ්ඩාරනායක විසින් කොමියුනිස්ට් සහ සමසමාජ පක්ෂයන්හි ඉල්ලීම සහ සහයෝගය ඇතිව ලේක්හවුසිය (ANCL) සිය පාලනයට ගන්නා තුරු මෙරට රාජ්‍යයට අයත් පුවත්පත් තිබුණේ නැත. 1977 අගෝස්තුවෙහි දී ජේ.ආර්. ජයවර්ධන ලංකාදීප සහ ටයිම්ස් ඔෆ් සිලෝන් ප්‍රකාශයට පත් කළ ටයිම්ස් ඔප් සිලෝන් ලිමිටඩ් (TOCL) සිය යටතට ගත්තේ ය. (බංකොලොත් වූ එම සමාගම පසුව රංජිත් විජේවර්ධන විසින් 1985 දී මිලට ගෙන අද පවතින විජය ප්‍රකාශන දක්වා දියුණූ කරන ලදී.) 1979 දී ෂාන් වික්‍රමසිංහ විසින් ITN රූපවාහිනිය ආරම්භ කර දෙමසක් ගතවන විට ජේ.ආර්. ජයවර්ධන එය ද සිය යටතට ගත්තේ ය. ජාතික රූපවාහිනිය යැයි වරදවා නම් කර ඇති, එකී ආයතනය ආරම්භ කරන ලද්දේ ජපානය විසින් මහජන සේවා ජනමාධ්‍යයක් ලෙස පවත්වා ගෙන යාම පිණිස දෙන ලද මුල්‍ය සහ තාක්ෂණික ආධාර මත ය.





සිරිමාවෝ




ආරම්භක වසර කිහිපයෙන් පසු අද දක්වාම මෙම රාජ්‍ය පාලිත දැවැන්ත මාධ්‍ය යන්ත්‍රය පවතින්නේ බලයට පත්වන දේශපාලන පක්ෂය විසින් දේශපාලනිකව පාලනය කරන ගැති සහ ජඩ මාධ්‍ය ආයතන ලෙස ය. මෙම ආයතන ස්වාධීනව කටයුතු කරන ජන මාධ්‍ය බවට පත් කරන ලෙස අප විසින් කලක් මුළුල්ලේ මතවාදයක් ද ව්‍යාපාරයක් ද ගොඩ නැගූ නමුත් කිසිදු දේශපාලන පක්ෂයක් ඊට දායක වූයේ නැත. එම ව්‍යාපාරය ගොඩ නැගීමට දායක වූ පුද්ගලයින් ගණනාවක් ම දේශපාලන අනුග්‍රහයෙන් එම ආයතනයන්හි ප්‍රධානීන් බවට පත්ව ජඩ මාධ්‍ය භාවිතාවෙහි ම යෙදුණි.









තොරතුරු දැනගන්නට උනන්දුවෙන් පසුවූ ජනතාව





සිරිසේනගේ දේශපාලන කුමන්ත්‍රණයෙන් පසු තොරතුරු දැන ගැනීමේ උනන්දුව සමාජයෙහි උත්සන්න විය. එසේ නමුත් මුල්පෙළ විද්‍යුත් මාධ්‍ය ආයතන සියල්ල ම වාගේ රාජපක්ෂවාදී මාධ්‍ය භාවිතයක යෙදී සිටි අතර රාජ්‍ය මාධ්‍ය සිරිසේනගේ දේශපාලන පත්වීම් විසින් අල්ලාගෙන තිබුණි. නමුත් මේ සියළු මාධ්‍ය ජනයාට කියා සිටියේ තමන් ඇත්ත මිස වෙන යමක් නොකියන බවයි. එය අමූලික බොරුවකි. පුද්ගලික මාධ්‍ය ආයතනයන්ට රාජපක්ෂවාදී වීමට හෝ රනිල්වාදී වීමට හෝ අයිතියක් තිබේ. එවැනි භාවිතාවක යෙදෙන්නේ නම් එම ආයතනයන්ට ස්වකීය දේශපාලන නැඹුරුව සිය ග්‍රාහකයිනට දැනුම්දීමට යුතුකමක් තිබේ.









ප්‍රවෘත්ති පූජනීය යි ; අදහස් නිදහස් ය





එසේ වතුදු ජනමාධ්‍ය භාවිතයෙහි ස්වර්ණමය රීතිය වන ‘ප්‍රවෘත්ති පූජනීය යි; අදහස් නිදහස් ය’ යන්න සියල්ලන් විසින් ම අනුගමනය කළ යුතුය. ඉන් කියැවෙන්නේ ප්‍රවෘත්ති විකෘති නොකළ යුතු අතර ඊට සපයන විවරණ වෙන වෙනස් විය හැකි බවයි. නමුත් විකාශනය කරන පුවත් මොනවාදැ යි තීරණය කිරීම මගින් පක්ෂග්‍රාහී භාවිතයක යෙදීමට ජනමාධ්‍යයට ඉඩ තිබේ. ආදායම් ලබන ව්‍යාපාරයක් ලෙස ජනමාධ්‍ය පවත්වාගෙන යෑම කරවල විකිණීමට වඩා වෙනස් ය. කරවල විකිණීමට පවා නිසි ප්‍රමිතීන් තිබිය යුතු අතර ජනමාධ්‍ය සඳහා ප්‍රමිතීන් මෙන්ම ආචාර ධර්ම ද තිබිය යුතුය. එසේ නමුත් අද මෙරට කරවල වෙළඳාම සහ ජනමාධ්‍ය විකිණීම අතර එතරම් වෙනසක් බොහෝ මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් දැකිය නොහැකිය.





සිරිසේනගේ කුමන්ත්‍රණය විසින් ඇතිකළ කැළඹීම තේරුම් ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීමට ඊනියා ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය අසමත් වූ බැවින් එම තැන ගත්තේ සමාජ මාධ්‍ය යි. විශේෂයෙන්ම මුහුණු පොත එහිලා මූලික විය. එහි අදහස් පූජනීයයි යන රීතිය සැලකෙන්නේ ම නැති තරම් ය. සිරිසේනගේ කුමන්ත්‍රණයට එරෙහි විරෝධය ලැව් ගින්නක් සේ පැතිර ගියේ සමාජ මාධ්‍ය විසින් සපයන ලද අවකාශය නිසාය. මේ අවකාශය එකවරම ගින්න ඇවිලවීම පිනිස භූමිතෙල් ද ගින්න පිළිබඳ අදහස් හුවමාරුව සඳහා වේදිකාවක් ද නිර්මාණය කළේ ය.









#SriLanka / #LKA ට්වීටර් ජාලය









වඩා සංවරයකින් යුතු ප්‍රවෘත්ති කෙරෙහි වගවීමක් සහිත සමාජ මාධ්‍ය බවට පැමිනුණේ ටිවීටර් අවකාශය යි. අනෙත් අතට එය ඉංග්‍රිසි බසින් එසැණින් තොරතුරු වාර්තාවන ජාලය බවට ද පත්විය. ශ්‍රී ලංකාවේ දේශපාලන වර්ධනයන් දෙස දෙස් විදෙස් අවධානය ඉස්මත්තට ගිය ඔක්තෝබර් අග සිට දෙසැම්බර් මැද දක්වා වූ කාලයෙහි #SriLanka / #LKA ට්වීටර් ජාලය ප්‍රධානතම එසැණ පුවත් මූලාශ්‍රය බවට පත් විය.





ඊට ප්‍රතිවිරුද්ධව ෆේස්බුක් නොහොත් මුහුණු පොත කාටූන්, විත්‍ර, දේශපාලන හාස්‍ය, කෙටි අදහස්, පුද්ගල අත්දැකීම් යනාදිය මගින් විවරණ සපයන වේදිකාවක් බවට පත් විය. කිසිදු මූලාශ්‍රයක් හෝ වාර්තාව සපයන මාධ්‍යවේදියා හෝ වේදිනියගේ නම නොමැතිව හෝ සහමුලින්ම ව්‍යාජ නමින් පළ කැරෙන වෙබ් අඩවි පුවත් ද මුහුණූ පොත අරක් ගත්තේ ය.





සිරිසේන කුමන්ත්‍රණය නිසා ඇතිවූ මහජන උද්යෝගයට සරිලන වගකීමෙන් යුතු ජනප්‍රිය අඩවියක්/පිටුවක් මුහුණූ පොත හරහා බිහිවූයේ ද නැත. එහි ජනප්‍රිය වූයේ කැපී පෙනෙන දේශපාලන ලැදියාවන්ගෙන් යුතු පිටු ය. මෙම දුබලතා තිබියදීත් සිංහල බසින් පවත්නා මුහුණූ පොත් අවකාශය ‘ප්‍රධාන ධාරාව’ බවට පත් විය. බහුතර ජනයාට තමන්ගේ ජංගම දුරකතනය මගින් ළගා විය හැකි ලෙහෙසි ම මාධ්‍ය එයයි. සමහර විට එහි සාර්ථකත්වයට එක් හේතුවක් වන්නේ බරපතල දේශපාලන සංවාද මැද හාස්‍ය ද උත්පාදනය කිරීමට මුහුණූ පොත්කරුවන්/කාරියන්ගේ ඇති දක්ෂතාවය යි.





මෙම කාලය තුළ අත්දකින්නට ලැබුණු තවත් මාධ්‍ය වර්ධනයක් වූයේ එතෙර සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව සම්බන්ධ වෙබ් පුවත් අඩවි පසුකරමින් රට තුළ පිහිටි වෙබ් මාධ්‍ය වඩ වඩා ග්‍රාහකයින් කරා ළගා වීම යි. මෙම කාලය තුළ තමන්ගේම වෙබ් මාධ්‍ය ගණනාවක් නිර්මාණය කර ගැනීමට එජාප දේශපාලනඥයෝ කිහිප දෙනෙකු මූලිකත්වය ගත්හ. එනමුත් සිරිසේනගේ දේශපාලන කුමන්ත්‍රණය පැරදවීමට මහත් වැඩ කොටසක් කළ, ජවිපෙ හෝ දෙමළ සන්ධානය හෝ එවැනි වර්ධනයක් අත් කර ගත්තේ නැත.









ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ කරළියට ඒම









දැන් අප, පශ්චාත් සිරිසේන කුමන්ත්‍රණ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයෙහි අත්‍යවශ්‍ය අංගයක් ලෙස ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ ඉදිරියට ගත යුතුය. එමෙන්ම ආචාර ධාර්මික ජනමාධ්‍ය භාවිතය පිළිබඳ සංවාදය ද යළි සෑම මාධ්‍ය අවකාශයක ම සාකච්ජාවට ගත යුතු ය.





19වන සංශෝධනය සාකච්ජා වෙමින් තිබූ අවස්ථාවෙහි රාජ්‍ය ජනමාධ්‍ය ද ස්වාධීන කොමිසමක් යටතට පත් නොකරන්නේ නම් තමන් සහාය නොදෙන බව ප්‍රකාශ කීරීමට ජවිපෙ සහ දෙමළ සන්ධානය පියවර ගත්තේ නම් ලෙහෙසියෙන්ම එම ප්‍රජාතන්ත්‍රවාදී ජය දිනා ගන්නට ඉඩ තිබුණි. මෙම පක්ෂ දෙකටම පෙනෙන අනාගතය තුළ, තමන්ගේ ම හෝ තමන් ද හවුල් වූ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට නොහැකි ය. එසේ තිබියදීත් ඔවුහු රාජ්‍ය පාලිත ජනමාධ්‍ය බලයේ සිටින පක්ෂයේ බූදලයක් ලෙස ලියා දීමට කැමැත්තෙන් සිටින්නේ ද යන ප්‍රශ්නය අද තීරණාත්මක ය.





කලාකරුවන් පෙරමුණට




සිවිල් සමාජ ක්‍රියාධරයන් ලෙස අප ඍජුව ම මුහුණ දෙන ප්‍රශ්නයක් නම් දේශපාලන පක්ෂ මතවාදයන්ට පිටින් ස්වාධීන මාධ්‍ය අවකාශයක් නිර්මාණය කර ගැනීම හෝ පවත්නා අවකාශ ශක්තිමත් කිරීමයි. මෙහිලා ද කර්තෘ කේන්ද්‍රීය වෙබ් මාධ්‍යයන්ගෙන් බැහැර වීම අවශ්‍ය ය.





මර්දනකාරී රාජ්‍යයකට එරෙහි ගරිල්ලාභටයකු විනය, අතනෑර සිටීම, මතවාදී නිරවුල් බව යනාදිය පමණක් නොව තුවක්කුව පාවිච්චි කිරීමට ද අනිවාර්යයෙන් ම ඉගෙන ගත යුතුය. අද යුගයෙහි සමාජ ජාල භාවිතය පුහුණු වී දියුණු කර නොගන්නා සිවිල් සමාජ ක්‍රියාධරයකු සමාන වන්නේ වෙඩි තැබීමට නොදන්නා ගරිල්ලා භටයකුට ය.





නිපුණ සමාජ ජාල ක්‍රියාකාරීන්/කාරිනියන් සියයක් රට පුරා විසිරී ජාල ගතව සිටින සිවිල් සමාජ සංවිධානයක් ඇත්නම් එය අද කොතරම් බලවත්වනු ඇත්දැයි නිකමට සිතන්න. එය දහසක් බවට පත්වුවහොත් ඇත්ත පුවත් වාර්තා කිරීමේත් මත නිපදවීමේත් කොතරම් ශක්තියක් එවැනි ජාලයකට හිමිවනු ඇත්ද?









කළයුත්තේ කුමක්ද ?









ප්‍රධාන ධාරාවේ ගැති මාධ්‍ය හැසිරීම විවේචනය කරන ජනමාධ්‍යවේදිනියන් සහ වේදීන් එක්ව මුල්‍ය දායකත්වයක් සහතික කර ගනිමින් අාචාරධර්මානුකූල සහ කාර්යක්ෂම වෙබ් පුවත් අඩවියක් ගොඩ නැගුව හොත් එවැන්නක්ද මහත් බලපෑමක් අත් කරගන්නට ඉඩ තිබේ.





2019 මැතිවරණ වර්ෂයක් වන්නේ යැයි කියනු ලැබේ. ඒ සන්දර්භයෙහි අප අමතක නොකළ යුතු කාරණයක් වන්නේ එළඹෙන මැතිවරණ සටන් හි තීරණාත්මක අවකාශයක් බවට සමාජ ජාල පත්වනු ඇති බවයි.





අපට පමාවීමට කාලයක් නැත.





















සබැඳි පුවත්









කුමන්ත්‍රණය අවසානයි - ඉදිරියට (1)


2019 - ලාංකීය දේශපාලනයේ‍ ප්‍රවණතා හා අභියෝග






- සුනන්ද දේශප්‍රිය -





2019 වසරට අපි සූදානම්ද ?









2019 වසර එළඹෙන්නේ ශ්‍රී ලංකාව සහ අප අභිමුව බරපතල අභියෝග ගණනාවක් ඉදිරිපත් කරමිනි. අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පෙරමුණූ ආණ්ඩුව, මේ තාක් පෙන්වා ඇති පරිදි,දිගටම ගමන් කරමින් සිටින්නේ පරණ පාරේ ය. 2018 ඔක්තෝබර් 26 දින සිට දින 51ක් පුරා සිරිසේන –රාජපක්ෂ දේශපාලන කුමන්ත්‍රණයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා අරගල භූමියට සපැමිණි සිවිල් ජනයාගේ අපේක්ෂා අවම වශයෙන් හෝ සම කිරීමට එය කණගාටුදායක ලෙස අසමත් විය. සිය ඇමැති මණ්ඩලය පත් කිරීමෙහිදි අඩුම වශයෙන් විශ්වසනීය නව මුහුණුවරක් හෝ ලබා දීමට හෝ රනිල් වික්‍රමසිංහ උත්සාහ දැරුවේ නැත.






අලුත් බෝතලේ පරණ වයින්






පසුගිය වසර තුන හමාර තුළ අසාර්ථක වූ ඇමැති මණ්ඩලයක් ඉදිරි වසර තුල ප්‍රතිහාර්‍ය පානු ඇතැයි විශ්වාස කරනු ඇත්තේ 1975-76 වර්ෂයන්හි සිරිමා බන්ඩාරණායක වෙනුවෙන් ‘සීනි නැතිව තේ බොන්නම්– මිරිස් නැතිව හොදි කන්නම්’ කියමින් පෙළපාලි ගිය දේශපාලන වර්ගයේ අය පමණ ය.





සිරිමාවෝ ප්‍රචාරණ රැළියකදී









ආර්ථික වශයෙන් අප 2019 වසර පුරාද මුහුණ දෙනු ඇත්තේ අවම ආර්ථික වර්ධනයක් සහිත එදිනෙදා ජීවිතයේ මෙරට ජනයා මුහුණ දෙන අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු ප්‍රවාහනය වැනි අවශ්‍යතා සාධනීය වෙනසකට ලක් නොවන වාතාවරණයකට ය. දැනටම පෙනෙන්නට තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ස්වෙච්ඡාවෙන් එජාප නායකත්වයෙන් බැස නොයනු ඇති බව ය. එසේ වුවහොත් ඒ විසින් ද එජාපය දුර්වල කරනවා ඇත. වසර මැද වන විට එහි පක්ෂ අභ්‍යන්තර ගැටුම් ඇරඹෙනු ඇතැයි උපකල්පනය කිරීමේ වරදක් නැත.






එජාපය දස වසරකට පසු






තීරණාත්මක බිදීමක් සිදු නොවුණහොත්, ප්‍රධාන පක්ෂ දෙක අතුරින්, දීර්ඝකාලීන වශයෙන් දේශපාලන බිමෙහි ශක්තිමත්ව රැදී සිටීමේ විභවය තිබෙන්නේ එජාපයට ය. ශ්‍රිලනිපය දැන් සිටින්නේ සම සමාජ හා කොමියුනිස්ට් පක්ෂයන්ට හෝ මහජන එක්සත් පෙරමුණට අත් වූ ඉරණම අභිමුඛව ය. මහින්ද රාජපක්ෂගෙන් පසු පෙහොට්ටු පක්ෂට අනාගතයක් නැත. දශකයකින් එපිටට කල්පනා කරන්නේ නම් ශක්තිමත්ම නායකත්ව මණ්ඩලයක් සිටිනු ඇත්තේ ද එජාපයට ය.






එළඹෙන මැතිවරණ වර්ෂයෙහි දී රාජපක්ෂවරුන් මුහුණ දෙනු ඇති ප්‍රධාන ප්‍රශ්ණය වනු ඇත්තේ පවුලෙන් ජනාධිපති අපේක්ෂකයකු සොයා ගැනීම යි. බැසිල් රාජපක්ෂ සිය ඇමෙරිකානු පුරවැසිබව අත් නොහරින බව ශපථ කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ ඊට සූදානම් යැයි කියන මුත් එය සාර්ථක නොවීමට ඇති ඉඩ වැඩි ය. රාජපක්ෂ මස්සිනා කෙනෙකු වන ජාලිය වික්‍රමසිංහට ඇමෙරිකානු රජය විසින් දූෂණ චෝදනා යටතේ පවරා ඇති නඩුව පොහොට්ටුවට අසුභ පෙර නිමිත්තකි.






මහින්ද නැති පොහොට්ටුව පරවේ






පොහොට්ටු පක්ෂය එකට බැදී සිටින එකම සාධකය මහින්ද රාජපක්ෂ පමණි. ඔහු නැතොත් පොහොට්ටු පක්ෂ කැඩි බිදී යනු නියත ය. මහින්ද රාජපක්ෂ මෙන්ම බැසිල් රාජපක්ෂ ද ජනාධිපතිවරණය සඳහා ශිරන්තිට හෝ චමල්ට වැඩි කැමැත්තක් දැක්වීමට ඉඩ තිබේ.






දැනටමත් පෙනෙන්නට ඇති පරිදි දේශපාලන බලය ලබා ගැනීම සඳහා රාජපක්ෂ බල ඇණි විසින් එන්න එන්නම උත්සන්න කරනු ඇත්තේ ජාතිවාදය සහ බොරු දේශප්‍රේමය යි. ජාවාරම්කාර මාධ්‍ය හිමිකරුවන්ගේ ආධිපත්‍ය සහිත ජනමාධ්‍ය විසින් අමූලික බොරු, බොරු, සහ අර්ධ බොරු වැපිරීම මගින් එම වර්ගවාදී ගින්න ඇවිලවීමට ඉන්ධන සපයනවා ඇත.






රාජ්‍ය මාධ්‍ය දිගටම පක්ෂ දේශපාලනයේ






එජාපය විසින් රාජ්‍ය පාලිත මාධ්‍ය දිගටම සිය අණසක යටතේ පවත්වා ගනිමින් එහි පැවතිය යුතු ස්වාධීනත්වය කෙලෙසීම දැනටමත් පටන් ගෙන තිබේ. එහි කොටසක් කෑමට ජනපති සිරිසේනට ද ඉඩ ලැබී තිබේ. සිවිල් සමාජ පිරිස් රාජ්‍ය මාධ්‍ය ස්වාධීන කිරීම තවමත් සිය න්‍යාය පත්‍රයන්ට ඇතුල් කරගෙන නැත. එනයින් යහපත් මහජන සේවා ජනමාධ්‍ය භාවිතයක් 2019 වසරෙහිද දක්නට ලැබෙන පාටක් නැත.






ඊට අමතරව හිටපු මහ ඇමැති විග්නේශ්වරන් විසින් නාමික නායකත්වය දෙනු ලබන ආන්තික දේශපාලන ධාරාව දෙමළ දේශපාලනය තුළ වඩ වඩා ශක්තිමත් වනු ඇත. එය දකුණේ අන්තවාදය සහ උතුරේ අන්තවාදය එකිනෙක ඌණ පූර්ණය කරගන්නවා ද ඇත. පළාත් පාලන මැතිවරණයෙන් පසුබෑ දෙමළ ජාතික සන්ධානය තවදුරටත් පසුබැසීමට ඇති ඉඩ වැඩි ය. මෙරට දෙමළ දේශපාලනයේ තීරණාත්මක වෙනසකට මඟ පාදමින් විග්නේශ්වරන්වාදී බලවේග දෙමළ සන්ධානය පරදවනු ඇත්දැයි කීමට තවම කල් වැඩි මුත් එය සහමුලින්ම බැහැර කළ නොහැකි විභවතාවයකි.





2019 අංජන ඉන්ද්‍රජිත්ගේ් ඇසින්





සිරිසේනගේ කකුල් මාට්ටු






නළලෙහි දේශපාලන සොහොන් ලකුණු දැනටමත් කෙටී ඇති සිරිසේන දිගටම ආණ්ඩුවේ කකුලෙන් අදිනු සිකුරු ය. ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ ඇමැතිවරයකුට ඔහුම කියා ඇති පරිදි ඔහු යනු ඇත්තේ හනුමා මෙන් දිගට ම ගිනි තියා ගෙන ය. සිරිසේන දේශපාලන අනාථයකු බවට පත් කරමින් ඔහු සමඟ ඉතිරිව සිටින ශ්‍රීලනිප මංත්‍රීවරු ආණ්ඩුවට හෝ රාජපක්ෂ කරා මාරු වී යනවා ඇත. 2019 වර්ෂය, සිරිසේනගේ දේශපාලන ගමනක අවසානය සටහන් කරනු ඇත්තේ ඔහු දේශපාලන පාවාදෙන්නෙකු ලෙස ඉතිහාසයේ සටහන් කරමිනි.






නිදහසින් පසු මෙරට පාලනය කළ ප්‍රධාන ධාරාවන් දෙකම කෙරෙහි කලකිරෙන ජනයා තෙවැනි පක්ෂය ලෙස පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණ කරා 2019 වර්ෂයේදී ආකර්ශණය වනු ඇත්ද ?. සිරිසේන – රාජපක්ෂ දේශපාලන කුමන්ත්‍රණය බිම් මට්ටමෙහිදී සිය දේශපාලන වාසියට යොදා ගැනීමට ජවිපෙ සමත් වූ බවක් පෙනෙන්නේ නැත. එසේ වුවත් අලුතින් මැද පංතික ඡන්ද යම් ප්‍රමාණයක් එය කරා ඇදී යෑමට බොහෝ දුරට ඉඩ තිබේ. එනමුත් එම ප්‍රමාණය ගුණාත්මක වෙනසක් ඇති කිරීමට සමත්වෙනු ඇත්දැයි කීමට නොහැක. එමෙන්ම එජාපය සහ පොහොට්ටු පක්ෂය තියුණු මැතිවරණ සටනක් කරා අවතීර්ණ වුවහොත් ජවිපෙ කරා ඇදී එනු ඇතැයි උපකල්පනය කැරෙන එවැනි පිරිස් ආපසු එම පක්ෂ කරාම ඇදී යාමට ද ඉඩ තිබේ.






ජවිපෙට පුළුවන්ද ?






ඊටත් වඩා ජවිපෙ මුහුණ දෙන ප්‍රශ්ණයක් නම් 1989-90 සමයෙහි එය ගෙන ගිය ත්‍රස්තවාදී ප්‍රචණ්ඩ දේශපාලනය යි. එම යුගය පිළිබඳ විවෘත සහ ස්වයං ව්වේචනාත්මක සාකච්ජාවකින් තොරව එයට මෙම බාධකය ජයගත නොහැක. සාම්ප්‍රදායික මාක්ස්වාදී මතයන්හි එල්බ සිටීමද ජවිපෙ වෙනස්වීමට දක්වන නොහැකියාවේ ලකුණකි. අද ලෝකයේ වැඩිම ප්‍රමාණයක් ඒක පාක්ෂික ආඅඥාදායක රටවල් වශයෙන් පවතින්නේ පැරණි තවමත් එනමින්ම පෙනී සිටින කොමියුනිස්ට්වාදී රාජ්‍යන්ය.






කෙටියෙන් කියන්නේ නම් 2019 වසරෙහිදී ජවිපෙට තීරණාත්මක පිම්මක් ඉදිරියට පැනීමට හැකිවෙතැයි සිතිය නොහැකිය. එජාපයට සහ ශ්‍රීලනිප – පොහොට්ටුවට එරෙහි විකල්පයක් විය හැකි යුක්තිය මත පදනම් වූ ජනවාර්ගික සමානාත්මතාවය පිළිගන්නා හරිත – සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක් හෝ මතවාදයක් හෝ 2019 වසරෙහි අප හමුවෙහි නැත. මෙරට නැගී එන උගත් මධ්‍යම පංතික ජනයාගේ ආකර්ශණය හිමිවනු ඇත්තේ හුදෙක් රාජ්‍ය බලය අල්ලා ගැනීමම වෙනුවට බලපෑමේ දේශපාලනය මුල් කරගත් එවැනි දේශපාලනයකට ය.






මාර්තු මාසයේ ජිනීවා වාර්තාව






මේ සියල්ල මැද 2019 වර්ෂය නව ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත්වන වර්ෂය බවට පත්වීමට ඉඩ තිබේ. තවද 2019 මාර්තු මාසයේදී ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ වාර්තාව ඉදිරිපත් වෙයි. සංක්‍රමණීය යුක්ති යාන්ත්‍රණයන් පිහිටුවා ඇත්ද, ඒවා සාර්ථකද, යනාදිය මෙන්ම ඉදිරි පියවරයන්ද එහිදී තීරණය වනු ඇත.









මෙකී වර්ධනයන් විසින් ඇතිකළ හැකි දේශපාලන ගතිකත්වයන් සහ අප මුහුණ දෙන අභියෝග පසුව කතා කරමු.









සබැඳි පුවත්





වහලුන්ගේ ප්‍රශ්න සහ අධිකරණ ස්වාධීනත්වය









කුමන්ත්‍රණය අවසානයි - ඉදිරියට (1)


කුමන්ත්‍රණය අවසානයි - ඉදිරියට ? (1)






- සුනන්ද දේශප්‍රිය -





රනිල්ගේ නැගීම






සිරිසේන භංග විය. මහින්ද පීචං විය. රනිල් නැගී ආවේය. මේ වනාහී මතුපිට පෙනෙන දැක්ම ය. මතුපිට පෙනෙන දේ ඇත්ත නම් විද්‍යාවක් අවශ්‍ය නැත. දැන් අප දේශපාලන විද්‍යාව දෙසට හැරී මේ සිදුවීම් දාමය තේරුම් ගැනීමටත් අනතුරුව මෙැතැනින් ඉදිරියට යා හැක්කේ කෙසේදැයි විමසා බලන සාකච්ජාවකට යොමු විය යුතුය. එවැනි සාකච්ජාවක් පුද්ගල බද්ධ විරෝධතා සටන්පාඨ සහ පටු කණ්ඩායම්වාදී ආකල්පවලින් තොරව කරගෙන යෑම වැදගත් ය.






ඉතාම පැහැදිලිව සිරිසේන විසින් ක්‍රියාවට නගන ලද්දේ ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණයකි.දේශපාලන කුමන්ත්‍රණයක් යනු හදිසියේ සහ රහසිගතව, නිසි නීතිමය ක්‍රියාදාමයට පරිබාහිරව රටක නායකත්වය සහ දේශපාලන දිශානතිය වෙනස් කිරීමයි. මහින්ද රාජපක්ෂට අගමැතිධූරය පිරිනැමීමේ සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සිරිසේනගේ කූටෝපාය සාකල්‍යයෙන්ම දේශපාලන කුමන්ත්‍රණයක් බව ඉහත දැක්වූ නිර්වචනයෙන් පැහැදිලි වෙයි.





දයාන් ජයතිලක




සිරිසේනගේ කුමන්ත්‍රණය දයාන් ජයතිලකට විප්ලවය වූ වගයි






එවැනි ක්‍රමන්ත්‍රණයකට ආරක්ෂක හමුදා සම්බන්ධ කරගනු ලැබූයේ නම් එය මිලිටරි කුමන්ත්‍රණයක් බවට ද පත්වෙයි. රාජපක්ෂවාදී දේශපාලන වින්තකයකු වන දයාන් ජයතිලක - සිරිසේනගේ මෙම කූටෝපාය හැඳින්වූයේ විප්ලවයක් ලෙසිනි. එසේ නමුත් දේශපාලන විද්‍යාවෙහි අයනු ආයනු අනුව විප්ලවයක් යනු ආයුධ ඇති හෝ නැති මහජන නැගීටීමක් මගින් පවතින රාජ්‍ය පෙරළා දමා නව රාජ්‍ය බලයක් පිහිටුවීමකි. දේශපාලන කුමන්ත්‍රණය සහ දේශපාලන විප්ලවය යනු එකිනෙකට හාත්පසින්ම වෙනස් ක්‍රියාදාමයන් දෙකකි.






දැන් මෙරට ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය හත් දෙ‌නෙකුගෙන් සමන්විත ඒකමතික තීන්දුවක් මගින් සිරිසේන විසින් ව්‍යවස්ථා කෙළෙසූ බව සනාථ කරනු ලැබ තිබේ. ඕනෑම රටක ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් රාජ්‍ය බලය තමන්ට හෝ තම අතවැසියකුට ලබා දීමට උත්සාහ කිරීම දඩුවම් ලැබිය යුතු වරදකි. සිරිසේන මෙම දේශපාලන කුමන්ත්‍රණය වෙනුවෙන් අධිකරණය හමුවට ගෙන යෑම මෙරට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා අත්‍යවශය පියවරකි. එසේ නොමැතිව දුර්විපාක නොලබා සිටීමේ දේශපාලන සංස්කෘතිය අවසන් කළ නොහැකිය. එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් විසින් භාරගත යුතු ප්‍රමුඛ අභියෝගයකි.









නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවෙහි දේශපාලන හෝ මිලිටරි කුමන්ත්‍රණයක් යම් දුරකට හෝ සාර්ථක වූ ප්‍රථම අවස්ථාව මෙයයි. එසේ නමුත් එය මිලිටරි කුමන්ත්‍රණයක් බවට පත්කර බලය තහවුරු කර ගැනීමට සිරිසේන අසමත් විය. මෙරට මිලිටරි කුමන්ත්‍රණයක් සිදුනොවීමට හේතුවන එක් ප්‍රධාන සාධකයක් නම් ඉන්දියාවයි.අනිවාර්යයෙන්ම දෙමළ විරෝධී සිංහල බෞද්ධ අන්තවාදී එකක් වනු ඇති එවැනි මිලිටරි කුමන්ත්‍රණයක් මගින් ඉන්දියානු මැදිහත්වීමක සහ උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යක් ඇති කිරීමේ ඉඩ ප්‍රස්ථාව උදා කරයි.









මෙරට ආරක්ෂක හමුදා නායකත්වය සියදිවි නසාගැනීමේ මිලිටරි කුමන්ත්‍රණයකට සහාය දෙනවාද ?






යුද හමුදාවෙන් විශ්‍රාම ගෙන දැන් ගෝඨාභය රාජපක්ෂගේ හොරණෑකරුවන් බවට පත්ව සිටින සමහර ජෙනරාල්වරුන් පෙන්නුම් කරන්නේ එවැනි මිලිටරි මතවාදයකි. ගෝඨාභය යුද සහායකයින් විසින් සිහින මවනු ඇති එවැනි මිලිටරි කුමන්ත්‍රණයක් මගින් ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්ථානය අතර නොනිල යුද පිටියක් බවට ද පත් කැරෙනු ඇත. එසේ නමුත් සමස්තයක් වශයෙන් මෙරට ආරක්ෂක හමුදා නායකත්වය එවැනි සියදිවි නසා ගැනීමේ මිලිටරි කුමන්ත්‍රණයකට සහාය දෙනු ඇතැයි සිතිය නොහැකිය.






අනෙක් අතට සිරිසේනගේ දේශපාලන කුමන්ත්‍රණය පරාජය වීමට ප්‍රධාන සාධක තුනක් බලපෑවේය. එනම් ස්වාධීන අධිකරණය, දේශපාලන සහ සිවිල් සමාජයේ නැගිටීම සහ අන්තර් ජාතික තෙරපුමයි.






එහි තීරණාත්මක සාධකය වූයේ 19 වන සංශෝධනය මගින් ශක්තිමත් කරන ලද ස්වාධීන අධිකරණය යි.රාජපක්ෂවාදීන්ගේ වක්‍ර තර්ජන සහ ගර්ජන මැද ස්වාධීනව ව්‍යවස්ථාව නිර්වචනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය සමත් විය. එහි ස්වාධීනත්වය තහවුරු කොට ශක්තිමත් කිරීම මෙරට දේශපාලන සහ සිවිල් සමාජය හමුවෙහි ඇති එක් කර්තව්‍යකි.









ප්‍රජාතන්ත්‍රවාදී බල ව්‍යුහයක බල විභේදනයේ වැදගත්කම









මෙමගින් අපට පෙන්වන වැදගත්ම කරුණ නම් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක තීරණාත්මක සාධකයක් වන බල විභේදනයේ වැදගත්කමයි. උදාහරණයක් ගන්නේ නම් චීන ජනාධිපති ෂීජින් පෙන් දිවි ඇති තෙක් ජනාධිපතිධූරයේ රැදී සිටීමට යෑමට හැකිවන සේ 2018 පෙබරවාරි මාසයෙහි දී ව්‍යවස්ථාව වෙනස් කර ගත්තේ හුදෙක් සිය පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයකදී ය. එම තීරණය අභියෝගයට ලක් කළ හැකි අන් කිසිදු ව්‍යුහයක් එරට නැත. ජනාධිපතිධූරය දෙවතාවකට සීමා කැරෙන නීතිය එරට ව්‍යවස්ථාවට ඇතුල් කරන ලද්දේ වීන ආර්ථික වර්ධනයේ පුරෝගාමියා වූ ඩෙං ෂියඕ පිං විසිනි. දැන් එම නීතිය එරට නැත.






ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය එකිනෙකින් ස්වාධීනව පැවැතිය යුත්තේ කවර ආයතනයකට හෝ සිය බලය අවභාවිත කළ නොහැකි වනු පිණිස ය.
දෙවැනි සාධකය නම් සිරිසේන – රාජපක්ෂ කුමන්ත්‍රණ සැලැස්මට යටත් නොවූ දේශපාලන, සිවිල් මෙන්ම යම් දුරකට ව්‍යාපාරික සමාජයයි. එක්සත් ජාතික පක්ෂය සහ එහි පෙරමුණෙහි කොටස්කාර පක්ෂ, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ සන්ධානය සිරිසේනගේ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය පාර්ලිමේන්තුවෙහිදී පරාජය කළ අතර එක්සත් ජාතික පෙරමුණ සහ ජවිපෙ එය වීදියෙහිදී ද පරාජය කළේ ය.









ස්වාධීන සිවිල් සමාජ පිරිස් වීදි බැස්ස හැටි






ප්‍රජාතන්ත්‍රවාදය සදහා ප්‍රථමයෙන්ම වීදියට පැමිණයේ ස්වාධීන සිවිල් සමාජ පිරිස් ය. ඔවුන්ගේ බලය වූයේ සංඛ්‍යාත්මක ගණිතය නොව නිර්මාණශීලීත්වය සහ අත නොහැර සිටීමයි. කැපී පෙනෙන පරිදි ඔවුහු අයත් වූයේ ඉහළ මධ්‍යම පංතියට ය. එබැවින්ම ඔවුහු පුද්ගලවාදී සටන්පාඨ කෙරෙහි වැඩි ඇල්මක් දැක්වූහ. අගනුවර මැද දිනපතා නැගී සිටිමින් දස දහස් ගණනවකගේ අවධානය දිනා ගත් මෙම පිරිස් ඉක්මනින්ම සිය ප්‍රමාණය දේශපාලන ගුණාත්මක සාධකයක් බවට හරවා ගත්හ. ඇත්ත වශයෙන්ම නම් අනෙක් සියළු සිවිල් සමාජ ක්‍රියාකාරකම් අවධි කිරීම පිණිස කුඩා නමුත් අධිෂ්ඨානශීලි මෙම පිරිස් උත්තේජකයක් බවට පත් වූහ.






රනිල් වික්‍රමසිංහ, අගමැති නිල නිල නිවස වූ අරලිය ගහ මන්දිරයෙහි කඳවුරු බැඳ ගැනීම සිරිසේනගේ කුමන්ත්‍රණයට එරෙහි දේශපාලන සටනෙහි මර්මස්ථානය බවට පත් වූ පරිද්දෙන්ම පුළුල් සිවිල් සමාජ පිරිස් අවධි කිරීමේ උත්තේජක මර්මස්ථානය බවට කොළඹ ලිබර්ටි අවකාශයේ දිනපතා එක් රැස් වූ මධ්‍යම පාංතික පුරවැසි පිරිස් සමත් වූහ.





කාන්තා කලාකාරිනියන්ගේ විරෝධය








සිරිසේනට එරෙහිව නැගී හිටිය උදවිය





#generation මූලිකත්වය ගත් ‘නැගිටිමු’, ස්ත්‍රී කාලාකාරිනියන් මූලිකත්වය ගත් ‘කාන්තා පා ගමන’ ‘දිදුලන හදවත’ යනාදී නැවුම් සිවිල් සමාජ බලමුළු ගැන්වීම් අනතුරුව අරගලයට ආලෝකයද ගතිකත්වයක් ද ගෙන ආවේ ය.





නිසි අවස්ථාවෙහි මූලිකත්වය ගැනීම සහ අරගලයෙහි නොනැවත යෙදී සිටීම මගින් කුඩා කණ්ඩායමකට හැකි බව #PeopleResist (ජනවිරෝධය) සිවිල් කණ්ඩායම පෙන්නුම් කළේ ය.





එසේ නමුත්, සංවිධානාත්මක සහ මූල්‍ය බලයක් නොමැති වූ නිසාද පුළුල් සිවිල්–දේශපාලන අරමුණක් නොවූ නිසාද සිය ප්‍රජාතන්ත්‍රවාදී පණිවිඩය ක්‍රියාකාරකම් මගින් අවශේෂ නගර කරා ගෙන යෑමට මෙම පිරිස් සමස්තයක් වශයෙන් අපොහොසත් වූහ. ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහි අරගලය තුළට අවශේෂ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් ද මුසු කළේ මෙම ස්වාධීන සිවිල් සමාජ පිරිස් පමණි. එමෙන්ම මෙම ආරම්භක අරගලකාරියන් සහ අරගලකරුවන්ගේ මාධ්‍ය වූයේ සමාජ මාධ්‍ය යි. අත්‍යන්තයෙන්ම දේශපාලන පක්ෂ යටතට පත්ව ඇති ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන පමණක් නොව එවැනි වෙබ් මාධ්‍යයන් පවා මෙකී සිවිල් අරගලකාරියනට නිසි ප්‍රචාරයක් ලබා දුන්නේ නැත.






ප්‍රමාණයෙන් කුඩා වාම සංවිධාන සති ගණනාවක් යන තුරුම සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහිව ස්ථාවරයක් ගත්තේ නැත. මෙය ධනපති පංතිය අතර සටනක් ලෙස ඔවුන් අර්ථ දැක්වූවා ද විය හැක. එසේ නමුත් සිරිසේනගේ දේශපාලන කුමන්ත්‍රණය සමාජයෙහි ඇතිකළ කැළඹීම හමුවෙහි තමන්ද අරගල භූමියට පැමිණිය යුතු බව ඔවුන් තීරණය කළා වැනි විය. ඇත්ත වශයෙන්ම නම් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ ධජය ඉහළින්ම එසවීමටත් මෙම දේශපාලන කුණාටුව තුළ දේශපාලනීයකරණය වන සමාජ කණ්ඩායම්වලට ආමන්ත්‍රණය කිරීමටත් ප්‍රමාණයෙන් දුර්වල නමුත් ගණනින් බොහෝ වන වාම කණ්ඩායම් අසමත් විය. දැන් ඔවුන් අරගල බිමට පැමිණ තිබේ.






පුරවැසි බලය කෝ






ආණ්ඩුවේ රූපවාහිනී සහ ගුවන් කාලය මත යැපෙමින් සිවිල් ව්‍යාපාරයක් ගොඩ නැගිය නොහැකි බව ‘පුරවැසි බලය’ මෙම අරගල බිමෙහි දක්නට හෝ නොමැති වීමෙන් පෙනී ගිය තවත් අත්දැකීමකි. එජාපයට ලැදි සහ හිතවත් සිවිල් සමාජ කණ්ඩායම් විසින් සංවිධානය කරන ලද සත්‍යග්‍රහය දින 24ක් පුරා දහස් ගණනාවක් ජනතාව සම්බන්ධ කර ගනිමින් පවත්වා ගෙන යෑමද නවමු අත්දැකීමක් විය. බාහිර බලවේගයන්හි සහාය ඇත්නම් කුඩා කණ්ඩායමකට කළ හැකි ලොකු වැඩක අත්දැකීමක් මෙම සත්‍යග්‍රහය ලබා දුන්නේ ය.






2000 මහා මැතිවරණ සමයෙහි අප ක්‍රියාකාරීව සිටි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නායකත්වයෙන් දියත් කළ සාධාරණ සහ නිදහස් මැතිවරණයක් සඳහා කහපටි ව්‍යාපාරය වැනි පුළුල් ජනයා කරා යන ක්‍රියාදාමයක් සාර්ථක කර ගැනීමට අතිශය වාසිදායක දේශපාලන වාතාවරණයක් තිබුණද සිවිල් සමාජ පිරිස්හි හුදකලාවාදය සහ නායකත්ව අඩුව නිසා සිවිල් අරගල සීමාසහිත බවට පැමිණිනි.









රාජපක්ෂ මර්දනයට මුහුණ දීමට 2006 – 2009 කාලයෙහි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මූලිකත්වයෙන් ගොඩ නැගුණු මාධ්‍ය සංවිධාන එකතුව සහ එම නායකත්ව මණ්ඩලය දිගටම පැවැතියේ නම් සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කිරීමේ පුළුල් මහජන ව්‍යාපාරයකට මුලපුරන්නට හැකිවන්නට තිබුණි. ඉන් ලැබෙන පාඩම නම් අද පවා සිවිල් සමාජ බලවේග සිත යොමුකළ යුතු කරුණකි. එනම් සමාන පදනමක් මත ජාලගතවීම මගින් පුළුල් පිළිගැනීමක් සහ බලපෑමක් සහිත සිවිල් සමාජ නායකත්වයක් ගොඩනගා ගන්නේ කෙසේද යන්නයි.

























සබැඳි පුවත්





වහලුන්ගේ ප්‍රශ්න සහ අධිකරණ ස්වාධීනත්වය


වහලුන්ගේ ප්‍රශ්ණ සහ අධිකරණ ස්වාධීනත්වය


තවමත් ඒජාපයෙන් තම ආණ්ඩු පාලනය ගැන ස්වයං විවේචනාත්මකව ආපසු හැරී බැලීමක් නැත. එජාපය යළි බලයට ගෙන ඒ්මට කල්පනා කරන සිවිල් සමාජ කණ්ඩායම් සහ ප්‍රධානීන් යළිත් වතාවක් කඩේ යැවීමට වික්‍රමසිංහ කටයුතු නොකරනු ඇතැයි දේශපාලන අවබෝධයක් ඇති කිසිවකු විශ්වාස නොකළ යුතුය.





සුනන්ද දේශප්‍රිය





සිරිසේන විසින් කළකට පෙර රාජපක්ෂ වහලුන් ලෙස හැදින් වු දැන් පොදු ජන පෙරමුණේ ප්‍රධානීන් වන දේශපාලනඥයින් මේ දිනවල විවිධ ප්‍රශ්ණ අසමින් විවිධ කතා කියමින් සිටී. ඉන් සමහර ඒවා කපටිකම නිසාද සමහරක් අඥානකම නිසා ද සමහරක් අධිකරණය බිය ගැන්වීම පිනිසද අසන ඒවාය.





දැන් අරුමය නම් එකළ එකළ රාජපක්ෂ වහලුන්ට එරෙහිව කතා කළ සිරිසේන ද දැන් රාජපක්ෂ වහලකු වී සිටීමයි.





අප සිරිසේනගේ නූතන ප්‍රකාශයකින් පටන් ගමු. සිරිසේන රනිල් වික්‍රමසිංහට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නට පෙර එජාපයේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන ලෙස කියා තිබේ. කතාව සම්පූර්ණයෙන්ම ඇත්තය. මෙරට දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති මූලික ශේෂයක් නම් දේශපාලන පක්ෂසහ සංවිධාන අභ්‍යන්තරයෙහි ප්‍රජාතන්ත්‍රවාදයක් නැති කමයි.





වාමාංශික වෘත්තීය සමිති නායකයකු වු බාලා තම්පෝ වසර 50කට ආසන්න කාලයක් වෙළද සේවා සංගමයේ ප්‍රධානියා විය. සිරිසේනගේ පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එය බිහිවූ දා සිට 2005 දක්වා එක දිගටම වගේ පාලනය කරන ලද්දේ බණ්ඩාරනායක පවුල විසිනි.සිරිමා බණ්ඩරනායක 1959 සිට 2004 දක්වා පක්ෂයේ නායිකාව වූ පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් වූයේ ම නැත. අද සිරිසේන එම පක්ෂයේ නායකත්වය දරන්නේ ද කිසිදු පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් බලය ලබා නොව රාජපක්ෂ එය බාර දුන් නිසා ය. මේ දක්වා ඔහු විසින් හෝ නියමාකර පක්ෂ සම්මේලනයක් පවත්වා නිලධාරින් පත් කර නැත.





පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට ඇඟිල්ල දිගු කිරීමට පෙර සිරිසේන තමන්ගේ ඇහේ ඇති පොල් පරාලය දැක ගත යුතුව තිබුණි. රනිල් වික්‍රමසිංහගේ එජාපය තුල ද කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. ඔහු පක්ෂයේ නායකත්වය දරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම මගින් නොවන බව රහසක් නොවේ.





1971 දී අප, ජනතා විමුක්ති පෙරමුණෙහි නායකයින් බවට පත් වූයේ විජේවීරගේ කැමැත්ත උඩය. අද පවා ජවිපෙ තුළ පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. මා දන්නා තරමින් නම් ක්‍රමවත් ජන්ද විමසිම් මගින් පක්ෂ නායකත්වය හෝ නායකත්ව මණ්ඩල පත් කර ගන්නා කිසිදු දේශපාලන පක්ෂයක් මෙරට නැත. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඉතා තීරණාත්මක ප්‍රශ්ණයක් බව නොකිවමනාය‍.





තවද ජර්මනියහි ආණ්ඩුවක් නැතිව මාස හයක් පැවතුනා නම් ලංකාවේ ආණ්ඩුවක් නැති වුණාම මොකදැයි කියාත් සිරිසේන අසා තිබේ. සිරිසේන නොදන්නා හෝ වසං කරන කාරණය නම් ජර්මනියෙහි එවැනි තත්වයක් මතු වූයේ මහා මැතිවරණයකින් පසුව පක්ෂ අතර හවුල් ආණ්ඩුවක් සෑදීම සඳහා වූ සාකච්ජා කල් ඇදුණූ නිසා බවයි. නොඑසේව ජර්මනියේ චාන්සලර් පදවිය දරන ඇන්ජෙලා මර්කල් විසින් අගමැතිවරයා පැන්නීම නිසා හෝ අධිකරණ තීන්දුවකින් හොර ආණ්ඩුවක් තහනම් කරන ලද නිසා හෝ නොවේ. එකළ, එරට ආර්ථිකය අද මෙරට මෙන් කුණාටු සයුරකට ගමන් කළේ නැත.





දැන් රාජපක්ෂ දේශපාලන වහලුන්ගේ ප්‍රශ්ණ කිහිපයක් දෙසට හැරෙමු.





රාජපක්ෂ නීති විරෝධී ලෙස අගමැතිකම ලබා ගැනීම විප්ලවයක් ලෙස හැදින් වූ සිරිසේනගේ තානාපතිවරයකු වන දයාන් ජයතිලක කියන්නේ පිදෙල් කස්ත්‍රෝට සහ මැන්ඩෙලාට විරුද්ධව අධිකරණය තීන්දු දෙන ලද බවත් නමුත් ජනයා එම තීන්දු පිළි නොගත් බවත් ය. වර්ගවාදී සුදු ජාතික අධිකරණය මැන්ඩෙලාට එරෙහිව සහ ඒකාධිපති බැටිස්ටාගේ අධිකරණය පිදෙල් කස්ත්‍රෝට එරෙහිව දෙන ලද තීන්දු ජයතිලක සමාන කරන්නේ ශ්‍රී ලංකාවේ ස්වාධීන අභියාචනාධිකරණය, විශ්වාස භංගයකින් පැරදී බලය අතහැර නොගිය රාජපක්ෂට එරෙහිව දෙන ලද තීන්දුවට ය. ජයතිලක, රාජපක්ෂගේ හොර අගමැතිකම, කස්ත්‍රෝ්ගේ සහ මැන්ඩෙලාගේ විප්ලවීය ක්‍රියාකාරිත්වයට සමාන කරයි. දේශපාලන වහලෙකුට හැර මෙවැනි සංසන්දනයක් අනෙකෙකුට කළ නොහැකි ය.





ආගම්වාදය, ජාතිවාදය, අන්‍ය විරෝධය, සංක්‍රමණික විරෝධය යනාදිය යොදා ගැනීම මගින් මහජන ඡන්දයෙන් බලයට පැමිණි දේශපාලනඥයින් අද ලෝකයේ පවා සිටී. ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්, පිලිපීනයේ දුතර්තේ, බ්‍රසීලයේ බොල්සොනාරෝ ඒවැනි නිදසුන්ය.රාජපක්ෂගේ දේශපාලනය ද දැනටමත් පෙනි යමින් ඇති පරිදි ජාතිවාදී සහ ආගම්වාදී මුහුණුවරක් ගන්නවා ඇත. ජයතිලක ජය පතන්නේ ඒවැනි දේශපාලනයකටය.





සිරිසේන විසින් හදුන්වන ලද රාජපක්ෂ වහලුන්ගෙන් තවත් අයකු වන දිනේශ් ගුණවර්ධන මහා මැතිවරණයකට එජාපය කැමැති නම් පාර්ලිමෙන්තුව විසිරුවා හැරීමට විරුද්ධ වූයේ ඇයි ද කියා අසයි.





පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද්දේ මහා මැතිවරණයක් අවශ්‍ය නිසා නොවේ. අප කව්රුත් දන්නා පරිදි සිරිසේනගේ අගමැති වන රාජපක්ෂට පාර්ලිමේන්තුවෙහි බහුතරය ලබා ගත නොහැකි වූ නිසාය. සිරිසේනට අවශ්‍ය වූයේ මහා මැතිවරණයක් නම් ඔහුට රාජපක්ෂ අගමැති බවට පත් කරන්නේ නැතිව කෙලින්ම පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට තිබුණි.





රාජපක්ෂ නීති විරෝධීව අගමැති බවට පදවිය ලබා ගැනීමෙන් පසු හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් ගැන කිසිදු කතාවක් කලේ නැත. ඒ වෙනුවට කළේ දූෂිතයින් රාජ්‍ය තනතුරු වලට පත් කරමින් ඇමැතිකම් බෙදා ගැනීමය. අධිකරණ ඇමැති වශයෙන් පත් වූ සුසිල් ප්‍රේමජයන්ත ගෙන් බළලා එළියට පැන්නේ් ය. ඔහු කියා සිටියේ තමාගේ ප්‍රථම කාර්යක් වන්නේ බරපතල දූෂණ සහ වංචා පරික්ෂන කරන විශේෂ අධිකරණ අහෝසි කිරීම බවයි.ප්‍රකාශයක් ගැනීමට රහස් පොලීසියට ඒමට නියම වූ නාමල් රාජපක්ෂ එහි ගියේ කොට කලිසමක් හැඳගෙන මෙන්න බලාපල්ලා යැයි කියමිනි. රාජයේ ජනමාධ්‍ය මැරවර බලයට යට කර ගන්නා ලදී.





රාජපක්ෂට සහ වහලුන්ට මහා මැතිවරණයක් අවශ්‍ය වූයේ පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට බැරි වූ නිසා පමණය. ප්‍රජාතත්ත්‍රවාදය යනු මැතිවරණ නිසි කළට පැවැත්වීම මිස ජනාධිපතිවරයාට හෝ අන් අයකුට කැමැති පරිදි කැමැති වේලාවකට පැවැත්වීමට නොවේ.





දිනේශ් ගුණවර්ධනගේ ප්‍රශ්ණයේ අනෙක් වරද නම නීති විරෝධී ලෙස සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීම වරදක් ලෙස දැකීමයි. සිරිසේනට කැමැති පරිදි මහා මැතිවරණ කැදවිය හැකි නම් රටකට නීතියක් අවශ්‍ය නැත.





වත්මන් දේශපාලනය තුල සමහර විට සිරිසේනට පසුව කළක් තමන්ට ගෞරවයෙන් සැළකූ ජනයා අතර නීචතම පිරිහීමට ලක්ව ඇති පුද්ගලයා වාසුදේව නානායක්කාරය. වාසුදේව කියන්නේ ඔහුගේද ඇතුළු රාජපක්ෂ වහලුන්ගේ ඇමැතිකම් තහනම් කළ අභියාචනාධිකරණ තීන්දුව මෙරට නීති ඉතිහහාසයේ පළමුවැනි පුදුමයක් බවයි. වාසුදේවට සිය ප්‍රකාශයේ පළමු කොටස හැලී ඇත්තේ සිය අතීතය හැලී ඇති අන්දමටය. විශ්වාස භංග යෝජනාවකින් දෙවරක්ම පැරදුණූ මුත් අගමැතිකම හෝ ඇමැතිකම් අත් නොහළ මෙරට ප්‍රථම ආණ්ඩුව තමන්ගේ බව කීමට වාසුදේවට අමතක විය. කිසිදා සිදු නොවූ හොර ආණ්ඩුවකට විරුද්ධ තීන්දුව ද ඒළෙසින්ම ප්‍රථම වතාවට සිදුවූ බව අරුමයක් ද? මෙම ප්‍රකාශ ජනයා අඥානයින් යැයි සළකන දේ්ශපාලනයකි.





මෙම ප්‍රශ්ණයම ගම්මන්පිළද අසා තිබුණි. ඔහු කියා තිබුණේ අභියාචනාධකරණයේ වාරණ නියෝගය වැනි නඩු තීන්දුවක් දී ඇති රටක් තිබේ නම් පෙන්වන ලෙසය‍. ඒ් මහතාට ද අප කිව යුත්තේ රාජපක්ෂ සහ කණ්ඩායම මෙන් පාර්ලිමේන්තු බහුතරයක් නොමැතිව බලහත්කාරයෙන් ආණඩු බලය අල්ලා ගෙන සිටි වෙනත් රටක් අපට කියන ලෙසයි.





දැන් ලොකුම රාජපක්ෂ වහලා බවට පත්ව සිටින සිරිසේනද අභියාචනාධිකරණ නඩු තීන්දුව වක්‍රලෙස විවේචනයට ලක් කළේ සමහරු ඊට විරුද්ධයැයි කියමිනි. ඉන් අනතුරව දයාන් ජයතිලක ගේ සිට වාසුදේව හරහා ගම්මන්පිළ දක්වා කරන ප්‍රකාශයන්හි යටි අරුත නම් අධිකරණය දිය යුත්තේ තමන්ට දේශපාලනිකව වාසිදායක තීන්දු පමණක් බවයි. ඉන් ඇඟවෙන දේශපාලනය භයානකය. ඒනම් යළි රාජපක්ෂ බලයට පත් වුවහොත් අධිකරණ ස්වාධීනත්වයට ඇතිවන වින්නැහියයි.





අවසාන වශයෙන් මේ ටික ද කිව යුතුය. එනම් තම අගමැතිකම යටතේ ආණ්ඩුව බොහෝ පොරොන්දු ඉටු නොකළ බවට කිසිදු ප්‍රකාශයක් මේ තාක් රනිල් වික්‍රමසිංහ විසින් කර නැති බවය. තවමත් ඒජාපයෙන් තම ආණ්ඩු පාලනය ගැන ස්වයං විවේචනාත්මකව ආපසු හැරී බැලීමක් නැත. එජාපය යළි බලයට ගෙන ඒ්මට කල්පනා කරන සිවිල් සමාජ කණ්ඩායම් සහ ප්‍රධානීන් යළිත් වතාවක් කඩේ යැවීමට වික්‍රමසිංහ කටයුතු නොකරනු ඇතැයි දේශපාලන අවබෝධයක් ඇති කිසිවකු විශ්වාස නොකළ යුතුය.


පොතට නමක් !

- සුනන්ද දේශප්‍රිය - 


‘‘මට පොඩි කාලයේ හිටං පොත් ලියන්න ආසාවක් තිබුණේය‍. ඉදං බැලුවත් හිටං බැලුවත් පොතක් ලියුවුණේ නැතිය. මං පත්තර වාර්තාකාරකමක් කරන්නද බැලුවෙමි. ඒත් නමින් මොකවත් ලියා ගන්නත් බැරි වුණාය‍. මොකද කියනවා නම් මං ලියපු පත්තර කන්තෝරුව කලින් රනිලයාගේ පවුලට අයිතිව තිබූ එකක් නිසාය. මට  ඔය සම්බන්ධය කිව්වේ ලක්තිලකයාය. එදා හිටං  තිලකයාට වගේම මටත් රනිලයා පෙන්නනම බැරිය.


දැන් ‘මගේ අගමැති’ පොත ලිය(ව)න්නට වෙලාය. වෙල  රනිලයාට වගේ නොව මේ හිටංට පුරුදු තැනකි. මං වෙලක්ම ගිනි තියපු හිටං කෙනෙක් බව චතුරීත් ලියවා තිබෙනවාය. මං කියන්නේ ලියන්න ඉගෙන ගන්න නම් හතුරෙක් ගැන ලියන්න කියාය. මොකද එතකොට ඕන කෙප්පයක් ඇත්ත කරන්න පුලුවන් නිසාය. හාහා පුරා කියා මං ලිය(ව)න්න යන්නේත් සතුරා වූ මගේ පණ බේරූ මිතුරා ගැන නිසාය‍. මං මේ රටේ අනාගත පරම්පරාවටත් කියන්නේත් ඇර ගත්ත ගමන්, ඇර ගත්ත එකා ගැන රෙද්ද කඩාගෙන ඇඟේත් හලාගෙන හරි ලියපල්ලා  කියාය. මං ඒ් තරම් ආදර්ශමත් ගමරාළ කෙනෙක්ය.


අලියාගේ වලිගයේ එල්ලී දෙව්ලොව යන්න ගිය ගමරාළ ගැන තියෙන කතාවත් මං හිතන්නේ රනිලයාගේ වරිගයේ කවුරු හරි ලියපු එකක් වෙන්න ඇති කියාය. ඒ විදිහට ගමේ මිනිහෙකුට අපහාසයක් කරන්න පුළුවන් කොලඹ හතේ හාදයකුට පමණක්ය.


එතකොට හිටං මං ඉස්සෙල්ලාම කළේ ‘පොතට නමක් කියාපියෝ’ කියා චතුරිගේ සුපිරි හෝටලයේ පාටියක් දුන්න එකය. ඒක වුණේ මෙහෙමය.


චතුරීගේ හෝටලයේ සප්පායම් වන ගමන් මං ‘අරූ ගැන ලියන පොතට නමක් දීපල්ලා’ යැයි පවුලේ සාදයට කිව්වාය. ගත්කටටම ‘මං සමනළුන්ට බයත් නෑ මල්ලියේ’ කියා දාන්න යැයි මහ රූ නැටුම් තෙල් පාටියකට යමින්ම සිටි  තරු පහේ පුතා කිව්වාය.


‘‘ඒක හරි නැහැ, ‘ජංගිය නොදුටු මඩුවලිගයා’ කියා දාන්න’’ යි බාර් එකේ බෝතල් අඩුක්කු කරන ගමන් චතුරී කියෙව්වාය.


ලක්ෂ 500 ඒවා මිටි බඳිමින්ම සිටි ඩඩ්ලි කිව්වේ ‘ඇටයෙන් දුන් අරලිය ගේම’ කියා දාන්නය.


අන්තිමේදී හෝටල වැව් ඉස්මත්තෙන් පලානෙළා ගෙන ඇවිත් සිටි ඇඹේනි ’රෙද්දට පැරදුණූ කලිසම’ හොඳ නැත්දැයි ඇසුවාය.



මේ සියල්ල අසාගෙන මේසය යටට වී සිටි පූසා ‘ඇත්තටම රෙද්දද කලිසමද හොඳ?” කියා ඤාව් ගෑවාය.  කන් උලක්කු කරගෙන වහලේ ඇලවී සිටි හූනා ’ කැතයි හොඳේ ! ඔය අපි වගේ පොඩි අයට ඇහෙන්න කියන කතාද ? යැයි චික් චික් ගෑවාය.


හැබැයි මං නං හෝටල් පුතා කිව්වාට සමණල්ලු ගැන ආයෙත් කට අරින්නේ නැතිය. කට හැකරයෙක් කී මඩකළපු කතාවට මං බය වුණෙමි.


හොඳ නමක් මං ‘ලක්තිලකයගෙම්ම  අහලම බලන්නම් හිටං’ යයි කියා නොම්බරය කෙටුවෙමි. ‘සෑර් මං ‘පෙඩරල් පත්‍රිකා’ හරි ‘අයර්ලන්ත සාම ගිවිසුම’ හරි බලලා රනිලයාට චූ යන නමක් දෙන්නම්’ කියා තිලකයා කිව්වාය. ‘පත්‍රිකා වගයක් ගෑණු කට්ටියක් ඊයෙත් බෙදුවායි කියන්නේ හිටං, තමුසෙත් ඒවා බලනවද’ කියා මං ඇහුවාය.


පූසා ආයේ අවලම් කට දැම්මාය. ‘චූ යවන්න ඕන නම් වතුර චූ කරන මන්තරය දන්න මහින්දානන්දවගේ රාජපක්ෂගෙ ගෝලයෙක් වතුර බෝතලයක් එක්ක යැව්ව නම් ඉවරයිනෙ හිටං. ඕකට පත්‍රිකා බල බල ඕනෙයි’ කිව්වාය.


සුදු බණ්ඩාද පොතට නමක් දාන පාටියට ඇවිත් උන්නේ 117 සොයන්න යන ගමන්ය. කොල්ලන්ටත් ඇදල යන නමක් දාමුයි කී බණ්ඩියා බඩවටේ අත රවුමක්  යවා හුස්මක් ඇද ‘මෙන්න බඩු සෑර්’ කිව්වාය. ‘කෝ නම’ මං ඇහුවාය. ‘බඩු සෑර් බඩු!’ දාන්න ‘සිරා-මරා ජොයින්ට්’ කියලා. ‘චතුරීගේ පොත වගේ නොවෙයි, කොල්ලො පෝලිමේ එයි ජොයින්ට් එක ගන්න සෑර්’. යටින් ‘පොලොන්නරුවෙ ඔර්ජිනල්’ කියලා දාමු. ‘යාවි උණු ආප්ප වගේ, පොත එක්කම ජොයින්ට් එකකුත් දෙඤ්ඤං’


නිදිමත ද නැතිව කිබුහුම් යවමින් සිටි පූසා ආයෙත් කට දැම්මාය.: ‘ ඒක නම් ඇත්ත, දැන් රටම ඉන්නේ ජොයින්ට් ගහල වගේ තමයි, මං හිතන්නේ වාසුට ඇහැකි  මාක්ස්වාදී රතුපාට නමක් දෙන්න’.


‘අයියෝ වාසුගේ නම මං දෙන්නම් කීී’ හූනා චතුරීයි නෝනයි ගියා නේද බැලුවාය. ‘ඒ නම තමයි ඒ දෙන්නටම නැති අපට තියෙන වස්තුව’ කියා හූනා ටිකක් ලැජ්ජාවෙන් වගේ කිව්වාය.



 ‘පූසාත් දැන් රනිලයාගෙ ලණු කාලද දන්නෑ’ කියාගෙන අහවල් එකකට වාගේ අප්පච්චි මළා කෑම මේසයට බැස්සාය. අප්පච්චි මළාගේ චුශකරවලට අහුවෙන්න කලින් චතුරී මේසයේ දිලිසෙමින් තිබූ රන් විස්කි බෝතල් ගසාගෙන ගියාය.


‘ඇත්තම කියමු සර්’ කියා චතුරී කුණු ඇහදාගත් ගමන්  ‘අපට නොදී කාපු එකා’ කියල දාමු ! කියා  කුකුළු හැවිල්ල කියන්න ගත්තාය.


‘දුදනොද බිඳ ලද තෙද කඳ


කඳ දෙවිරද සාමිනේ //


මට කළ මෙවිපත අනේ බලාගන්න දෙවියනේ


මට කළ මෙවිපත අනේ බලාගන්න දෙවියනේ


මගේ බලය ගත්ත එකා


රනිල් කියන නපුරු එකා


19යෙන් කෙළිය එකා


මගේ බලය ගත්ත එකා


බලා එල්ල හෙලුව හෙල්ල


මුලමැ බෙල්ල මරු තැනේ‘


‘පොතට නමක් කියා පියෝ සාදය’ රන් විස්කියෙන් තෙමිි ගිය ගෙහිමියාගේ එම අවසන් ගායනයත් සමඟ අවසන් වුණාය.


නැට්ට උඩ වාඩිිවී සිටි හූනා චික් චික් ගෑවේය. ‘අප්පච්චි මළාගෙ කතාව ඇත්ත සෑර්. බෙදාගෙන කන්න පුළුවන් කෙනෙක් දා ගන්න’



හිටං.


දිනයක් තවම නැත.


පසුව ලියමි.


කට පරිස්සම් කරගන්න දැන හිටියා නම් ලූලාත් කනයාත් දෙන්නාම තාමත් පරාක්‍රම සමුද්‍රයේ ‘පීන පීනා රැල් තුරුල්ලේ, පාවෙනූ සිතු සේ ජලේ’  ඉන්න තිබුණේය. මටත් දවසක ඒක වෙන බව කිව්වේ කව්ද කියා මතක නැති උනත් ඒක ඇත්තක්ය‍.


මගේ අගමැති ගැන පොතක් ලියන බව මං කිව්වේ නැත. කියවුණාය. හරියට අර එල්ලම් ගස් යවන බව කියවුණා වගේය‍. තවම මට ගහ හයි කරගන්න බැරිවුණය. ඒක උනෙත් මගේ අගමැති රනිලයා නිසාය. රනිලයා එල්ලුම් ගහ අරගෙන ගෙදර ගිය බව මට සුදු බණ්ඩා කිව්වාය. යුරෝපා සංගම් කාරයොත් එක්ක, රනිලයා ඒක අරගෙන යනවා ඇස් දෙකෙන්ම දැක්ක බව හිසේ අත්  ගහගෙන දිලාන් බබා ඇඬුවේය. ‘ඇයි මේ දවස්වල කිරි එරෙන්නේ නැත්දැ’යි මං දිලාන් බබාගෙන් ඇසූ විට බබා පුක අතගා ගත්තේය. ‘පුක පුක’ සුදු බණ්ඩියා කියන විට ‘ මං මොළය ටිකක් එත්කර ගත්තා’ යැයි  බබා කිව්වාය.


‘දැන් ඔයාල හැමෝගෙම මොළේ තියෙන්නේ එතනද ? යැයිි රනිලයාගෙ ලණු කා සිටින බව පෙනෙන පූසා කිව්වාය.


එවිට ‘බණ්ඩෝ 117ක කෝ’ කියා ඇසුවේ හූනාය.


‘ඒකටත් රනිලයා කෙලෙව්වා. මූ පොළව උනත් ඇද කරන්න දක්ක ගැට්ටෙක්. අපි නටන්න ගියොත් රනිලයා පොළව ඇද කරනවා. 117ට උනේ ඒකනේ’ යැයි බණ්ඩා කිව්වාය.


රනිලයාට චූ යන කතාවක් දැන් කියා මේ පෙරවදන අවසන් කරනවාය. දවසක් තාත්තා මට බෙට්ටක් යන්න ටොක්කක් ඇන්නේත් මං ඒ බෙට්ට ගිනි ජාලාවක් කර තාත්තාට ගේම දුන්නෙත් ඕනෑ බම්බුවත් ගහ ගනින් කියලාය. එහෙව් මට රනිලයා අහවල් බම්බුවක් නොවේ. කාලයක් මට පත්තරකාරයෝ බම්බුවා යැයිද කිව්වාය. කාලයක් මඩු වලිගයා කිව්වාය. ජංගියා  කිව්වාය. ආප්පයා කිව්වාය. දැන් කියන්නේ හිටං කියා ය. ඔය කතා ඔක්කොම රනිලයාගේ වැඩය. රනිලයා මගේ හැම අහුමල්ලකම ඉදං, හිටං හිටං යමං යමං  කියනවා මට හීනෙනුත් පේනවාය.


මේ හිටං එහෙම යන හිටං කෙනෙක් නොවෙයිය.


ඒත් මං කැමැති මට අපේ සංස්කෘතික වචනයක් වන අමුඩයා කියනවා නම් ය. ඒ වෙන මොකවත් නිසා නොව අමුඩේ ගූ ගිය එකා අනුන්ට ගඳයි ගඳයි කියනවා කියා මං පොඩිකාලේ ඇහුව නිසාය. සිකුරාදා දවසක ගැසට් එකක් ගසා ඒ බවට මගේ නම වෙනස් කර ගන්න දවස එනවාය. එදාට රනිලයාටත්  රත්කර ගන්න වෙනවාය. කොතැනද කියන්නේ නැත.


 

හිටං.‘‘


(දෙසැම්බර් 02 වැනිදා ‘රාවය‘ පුවත්පතේ පළවූවකි)

 

සබැඳි පුවත් 

 

සිරිසේනවාහිණී : ප්‍රවෘත්ති අපෙන් : තීරණය ඔබෙන්

සිරිසේනවාහිණී : ප්‍රවෘත්ති අපෙන් : තීරණය ඔබෙන්

- සුනන්ද දේශප්‍රිය - 



පළමුවෙන් මෙන්න ප්‍රවෘත්ති



01.ඉන්දියාවේ මුල්පෙළේ ඉංග්‍රිසි පුවත්පතක් වන හින්දු පුවත්පත සමඟ සාකච්ඡාවකදී ජනාධිපති සිරිසේන මෙසේ ප්‍රකාශ කරයි. ‘මම ප්‍රථමයෙන්ම ව්‍යවස්ථාවට 19වන සංශෝධනය පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනිමට සමත් වුණා. අප ඇත්ත වශයෙන්ම යෝජනා කළේ වහාම ජනාධිපතිධුරයේ විධායක බලය අඩු කල යුතු බවටයි. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා ජනමත විචාරණයකින් තොරව ප්‍රධාන පෙළේ වගන්ති ඉවත් කළ නොහැකියි කියලා. ඒ වාගේම ශ්‍රේෂ්ඨාධිකරණය අපට කිව්වා තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරය  ඡන්දයකින් කල හැක්කේ කුමක්ද කියළා. ඉතින් අප තුනෙන් දෙකේ බහුතරයක් ඇතිව කළ හැකි උපරිම දේ කරන්නට එම වගන්ති වෙනස් කරා. කලින් ජනාධිපතිවරයාට වසරක කාලයකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ඉඩ තිබුණා. නමුත්, දැන් 19වන සංසෝධනය යටතේ එම කාලය වසර හතර හමාරක් දක්වා දිර්ඝ කර තිබෙනවා’ ( 2016 නොවැම්බර් 11)



අද තිබෙන අර්බුදයට හේතුව 19වන සංශෝධනය යැයි, ජනාධිපති මාධ්‍ය අධ්‍යෂකවරයකුව සිට, ඔක්තොබර් 26දා රාජපක්ෂවාදීන් බලහත්කාරයෙන් ලේක්හවුසියේ මුල් පුටු අල්ලා ගැනීමෙන් පසු  සිළුමිණ කර්තෘ ධූරයට පත් සුනිල් ජයසේකර ප්‍රකාශ කරයි.


 

02. රාජපක්ෂ පවුල සම්බන්ධ වී වසිම් තාජුඩීන් ඝාතනය, ඩුබායි බැංකුවල තැන්පත් කරන ලද මුදල් යනාදිය ගැන පරීක්ෂණ යටපත් කිරීම සහ කල් යැවීම ගැන සිය හදවත රිදුම් දෙන බව ජනාධිපති සිරිසේන ප්‍රකාශ කරයි. රාජපක්ෂවරුන් අත අති විශාල ධනස්කන්දයක් තිබෙන බවත් එම මුදල් යොදා ගනිමින් රටෙහි අවුල් ඇතිකර ජනතාව මුලා කරන බව ද ඔහු ප්‍රකාශ කරයි. (එම)



තමා රාජපක්ෂවරුන් සමඟ අත්වැල් බැදගෙන ඉදිරියටම යන බවට ජනාධිපති සිරිසේන ප්‍රකාශ කරයි. තමා මේ පියවර ගන්නේ රට බේරා ගැනීමට බව ඔහු ප්‍රකාශ කරයි.


 

03. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් කිහිප දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිට ඇප මත සිටින පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව, සිරිසේන – රාජපක්ෂ ආණ්ඩුව යටතේ නැවත මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේම සේවයේ පිහිටුයි.



ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර් පැහැර ගැනීම, උපාලි තෙන්නකෝන් හා නාමල් පෙරේරා යන මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ පිළිබඳව හැරුණු විට, කොළඔ දී තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු මෙහෙයවමින් සිටි පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා එම පරීක්ෂණ වලින් ඉවත් කර සමාන්‍ය පොලීසියකට මාරු කර යවයි.



04. අධිකරණය තුළට කඩා වැදී විනිසුරුවරයාට අපහාස කිරීම නිසා සය වසරක සිර දඬුවමක් විදින ගලබොඩඅත්තේ ඥාණසාර නිදිහස් කර කරන ලෙස ඉල්ලා කළහකාරී ලෙස හැසිරුණූ චීවරධාරීන් පිරිසකට පොලීසිය ජල විදිනයන්ගෙන් පහර දීම ගැන සිරිසේන සමාව ඉල්ලා එම චීවරධාරීන් සමඟ සුහද කතා බහකට එක් වෙයි.



පාර්ලිමේන්තුවෙහි දී එහි කතානායකවරයාට සහ පාර්ලිමේන්තු පොලීසියට බැණ වදිමින් පුටු, පොත් සහ මිරිස් කුඩු වලින් පහර දුන් තමාගේ දේශපාලන හෙංචයියන්ට විරුද්ධව වචනයක් හෝ කතා නොකරන බවට ජනාධිපති සිරිසේන  ක්‍රියාවෙන්ම පෙන්වයි. කතානායකවරයාට හෝ පොලිස් නිලධාරීන්ට සිය කණගාටුව ප්‍රකාශ නොකරයි. එපමණක් නොව එම දාමරිකයින් සමඟ එක්ව මහජන රැස්වීමක් පැවැත්විමට සූදානම් වන බව නිර්භයව ප්‍රකාශ කරයි.



සිරිසේනගේ සගයා වන රාජපක්ෂ එම ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සම්පූර්ණ වරද නීත්‍යනුකූලව කටයුතු කළ කතානායකවරයා වෙත පටවයි. මිරිස්කුඩු ගැසීම සහ කතානායක පුටුව කඩා බිඳ දැමිම ගැන එක වචනයක් හෝ ප්‍රකාශ නොකරයි.


 

05. පාර්ලිමේන්තුවෙහි නමින් බහුතරය පෙන්වන්නේ නම් තමා එම තීරණය පිළිගන්නා බවට එජාප, ජවිපෙ, දෙමළ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය යනාදී පක්ෂ හමුවෙහි සිරිසේන පොරොන්දු වෙයි. දෙමළ මුස්ලිම් ජනයාගෙන් සියයට 90ක්ම තමන්ට ඡන්දය දුන් බව ද ඔහු ප්‍රකාශ කරයි.



ඒ අවස්ථාවෙහිම සිරිසේන, සිය අන්තේවාසිකයින් වන ඩිලාන් පෙරේරා, එස්.බී. දිසානායක වැනි මන්ත්‍රීන් යොදා ගනිමින් පාර්ලිමේන්තුවෙහි නමින් ඡන්දයක් විමසීමට ඇති අවස්ථාව විනාශ කරයි. පසුව දෙමළ සන්ධානය හමුවීමට අවශ්‍යතාවයක් නැතැයි ක්‍රියාවෙන් ප්‍රකාශ කරයි.


 

06. ජනාධිපතිවරයාගේ අවසරයක් නැතිව ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් කටයුතු නොකරන සේ රාජ්‍ය නොවන සංවිධානයකට පොලීසියෙන් යැයි කියා ගත් පිරිසක් පැමිණ අනතුරු හඟවයි.



ජාතික රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂකවරයා වශයෙන් මෙරට දෙමළ ජනයාට සුවිශේෂී දේශපාලන ප්‍රශ්ණ නැති බව කියා සිටින සහ ජිනීවා මානව හිමිකම් කොමිසමේ මෑත සැසිවාරයන්හිදී ආන්තික සිංහල ජාතිකවාදීන් සමඟ කටයුතු කළ ආචාර්ය නාලක ගොඩහේවා පත්කරයි.


 

07. තමා කුඩා සන්දියෙහිදී පියා ටොක්කක් ඇන්නේ යැයි යකා නැග සිය පියාට අයත් පීදුණූ කුඹුරු යායක්ම ගිනි තබා විනාශ කළ බව ‘ජනාධිපති තාත්තා ‘ තමාට කී බවත් කේන්ති ගිය විට තමා කරන්නේ කුමක්දැයි ඔහු නොදන්නා බවත් දියණිය චතුරිකා සිරිසේන තාත්තා ගැන ලියමින් ප්‍රකාශ කරයි.


රටෙහි ස්ත්‍රීන්ට මත්පැන් මිලදී ගැනීම හෝ මත්පැන් විකුණන ආයතනයක සේවය කිරීම තහනම් කළ ජනාධිපති සිරිසේන ඔහුගේ දියණිය වන චතුරිකාට මත්පැන් අලෙවි සැළක් පවත්වාගෙන යාමට ඉඩ දුන් බව තොරතුරු දරන ගැනිමේ පනත යටතේ හෙළිදරව් වෙයි.


 

08. ජනාධිපති සිරිසේන ඝාතනය කිරීමට අගමැති වික්‍රමසිංහ ද දැනුවත්ව ක්‍රමන්ත්‍රණයක් තිබූ බවත් වික්‍රමසිංහ අගමැතිධුරයෙන් ඉවත් කිරීමට ආසන්නතම හේතුව එව බවත් සිරිසේනගේ අතවැසි රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීහු ප්‍රකාශ කරති.


එවැනි ඝාතන ක්‍රමන්ත්‍රණයක් ගැන අසාවක් නොතිබූ මාස ගණනාවකට පෙර අගමැතිකම බාර ගන්නා ලෙස එජාප උපනායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටි බව ජනාධිපති සිරිසේන ප්‍රකාශ කරයි.


 

09. මෑත කාලීන ශ්‍රී ලංකාවේ වඩාම විරුද්ධකම්පෑමකට ලක් වූ කාරණයක් වේ නම් එය විධායක ජනාධිපති ධූරය බව ජනාධිපති සිරිසේන එක්සත් ජාතීන් හමුවේ ප්‍රකාශ කරයි. එසේ වුවත් මේ කාලය පුරා කිසිවකුට විධායක ජනාධිපති ධූරයේ පමණ ඉක්මවූ බලය කප්පාදු කිරීමට බැරි වූ බවත් සිදු වූයේ ඒකාධිපති ලෙස බලතල තවත් වැඩි කර ගැනීම බවත් ඔහු ප්‍රකාශ කරයි. 2015 මැයි 15දා ජනමත විචාරණයකට නොගොස් ඛල හැකි උපරිම බල කප්පාදුව කරන්නට හැකි වූ බවත් ඔහු කියා සිටී. (මැයි 2018)



තමාට වසර පහක් නොව හයක්ම බලයේ සිටිය හැකි බවට තමා ශ්‍රේෂ්ඨාධිකරණය හමුයේ සිය නීතිපති ලවා තර්ක කළ බව ප්‍රකාශ කරන ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තුවේ බහුතර බලය රාජපක්ෂ විරෝධී පිළට තිබුණද  තමා එයට යටත් නොවන බවද ප්‍රකාශ කරයි.


 

10. තමා 2015 ජනවාරියේදී බලයට පැමිණෙන විට තමා අද දරන විධායක ජනාධිපතිධුරයට රජකුට හෝ රාජාධිරාජයකුට තරමි හිමි අපමණ බලතල තිබූ බව ජනාධිපති සිරිසේන යළි එක්සත් ජාතීන් හමුවේ ප්‍රකාශ කරයි. එනමුත්, එම රාජධිරාජ බලතල අත්හැරීමට සමත් වු තමා තෝරාපත් වූ නායකයෙකුගේ කාර්ය භාරය ඉටු කරමින් එම බලතල පාර්ලිමේන්තුවට පැවරූ බව ඔහු සතුටින් ප්‍රකාශ කරයි. (සැප් 2018)



තමා පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත් ආණ්ඩු පක්ෂය ඊට එකඟ නොවන බැවින් පාර්ලිමේන්තුව කල් තබන බවත් ජනාධිපති සිරිසේන ප්‍රකාශ කරයි.


 

11. ජනාධිපති සිරිසේන විසින් අගමැති ලෙස නම්කරන ලද මහින්ද රාජපක්ෂට විරුද්ධව ගෙන එන ලද විශ්වාශ භංග යෝජනාවෙන් ඔහු පරාජය වූ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වාර්තාව වන හැන්සාඩ් හි මුද්‍රිත පිටපතෙහි දැක්වෙයි. අගමැතිවරයා විශ්වාස භංග යෝජනාවකින් පරාජය වූ වහාම ඇමැති මණ්ඩලය ඉබේම අහෝසි වන බව ශ්‍රී ලංකා ව්‍යවස්ථාවෙහි දැක්වෙයි.


ජනාධිපති සිරිසේන මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නොකරන අතර හැන්සාඩ් වාර්තාව පිළි නොගන්නා බව ක්‍රියාවෙන් පෙන්වයි. පාර්ලිමේන්තුව අබිභවා සිය බලය ඇතැයි සිතා සිටින බව ක්‍රියාවෙන් ප්‍රකාශ කරයි



(ප.ලි. කර කියා ගත දෙයක් නැති වූ බැවින් පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා යළි අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවටම අනුයුක්ත කිරීමට සිරිසේන ආණ්ඩුවට පසුව සිදු විය.)





සිරිසේන: තුරුම්පු දේශපාලනය සහ කේවට්ටයෝ

සුනන්ද දේශප්‍රිය


තුරුම්පු කියා සිරිසේන ඇද්දේ ජෝකරයෙක්


තුරුම්පු කියා සිරිසේන ඇද්දේ ජෝකරයෙක් යැයි කියා තිබුණේ දඹර අමිල හිමිය. අමිල කියමනකි. දැන් බලන විට සිරිසේන ජෝකර තුරුම්පුවක් ඇද්දා පමණක් නොව තමාද ජෝකර ඇඳුමට බැස සිටින සෙයකි.


අහන අහන හැමෝම අද මෙරට කියන, අසන කතාව කුමක්ද ?. එනම්, ‘මේ මිනිසාට අන්ද කයිප්පු කැවුණේ කොහොමද ?’ කියා ය. වෙස්වෙලා ගෙන මහ රෑ ගමින් ගම යමින් රටෙහි ඇත්ත සෙවූ ජනප්‍රවාද ගත රජතුමා මෙන් ඇත්තට ම සිරිසේනට වෙස් මූණක් දාගෙන රට වටේ රෑට රෑට යන්නැයි උපදෙසක් දෙන්නට ඔහුගේ කේවට්ට උපදේශකයින්ට බැරිද ?


 

‘රජතුමා හෙළුවෙන්‘



රටේ ජනයා සිරිසේන ගැන කියන කතා ඇත්තට ම ඔහු දන්නේ නැතිවාවත්ද ?, ‘රජතුමා හෙළුවෙන්‘ යැයි කියන්නට සමත්කම ලැබෙන්නේ සව්වන්ට සහ කේවට්ටයින්ට නොව කොලු ගැටයකුට පමණ ය. රටේ මිනිස්සු තමා ගැන කියන දේ දන්නේ නම් සිරිසේනට සිදුවන්නේ අපේ පැතිවල මිනිස්සු අපතයින්ට කියන ලෙස බනිස්ගෙඩි දෙකක් අරං ගල් ගෙඩියක් බැඳගෙන බඩද පලාගෙන මුහුදට පනින්නට ය.


සමහර විට තවමත් රටෙහි ජනප්‍රියම දේශපාලනඥයා රාජපක්ෂම විය හැකිය. සිරිසේනගේ පාපයට, කර ගැසීමෙන් ඔහු කළේ දුවන කෝච්චියකට පැනීම ය. සිරිසේන විසින් රටේ ඇතිකළ වියවුලේ පාපය දැන් අයත් වන්නේ වික්‍රමසිංහට නොව රාජපක්ෂට ය.  සිරිසේනට මුක්කු ගහනන්නට ගිය රාජපක්ෂ දෙමළ මුස්ලිම් පක්ෂ ද සිය පසමිතුරන් බවට පත් කර ගත්තේ ය.


රාජපක්ෂට දුවන කෝච්චියක් - වික්‍රමසිංහට වේග බෝට්ටුවක්


ඇත්ත වශයෙන් ම නම් කිදාබසිමින් සිටි වික්‍රමසිංහට සිරිසේන විසින් ලබා දුන්නේ වේග බෝට්ටුවකි. (ඒ බෝට්ටුවෙන් වික්‍රමසිංහ තනියම බුදුවන්නට ගියහොත් යළි කිඳා නොබසිනු ඇතැයි කිව නොහැකි ය.)


මේ සටහන ලියන්නේ 15 වන බ්‍රහස්පතින්දා ලංකාවේ වේලාවෙන්  අළුයම ය. ඉදිරි පැය 24 ඇතුළත අර්බුදය විසඳන බවට සිරිසේන කියා ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අතරම වාර්තා වන්නේ සියළු අමාත්‍යාංශයන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දෙන ලෙස සිරිසේන නියෝග කර ඇති බවකි.  සිරිසේනට දැන් අවශ්‍ය නම් යළිත් වතාවක් පාර්ලිමේන්තුව කල් තැබිය හැකිය. ඒ මගින්ද සිදුවනු ඇත්තේ අර්බූදය තවත් උග්‍රවීම පමණි.


දැන් සිරිසේන බලයෙන් කොතරම් දූෂ්‍ය වී ඇත් ද යත් ඔහු විසින් කතානායක කරු ජයසූරිය පිළිගන්නේ ද නැත. ඔහු තවමත් පිළිගන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය නැති රාජපක්ෂගේ අනීතික ආණ්ඩුවයි. තමන් රාජපක්ෂ අගමැති ලෙස පත්කීරීම සාධාරණ කිරීමට ‘පොඩි එකාගේ ලියුම’ක් යවමින් සිරිසේන කියන්නේ  2015 ජනවාරියේ දී වික්‍රමසිංහ අගමැති බවට පත් කළේ ද බහුතරයක් නොමැතිව බවයි. නමුත්, සිරිසේන වසන් කරන්නට යන්නේ ඔහු පොදු අපේක්ෂකයා ලෙස කළ මුල් කතාවෙහිදී ම තමා ජනාධිපතිවුවහොත් වික්‍රමසිංහ අගැමති කරවන බවට ප්‍රකාශ කළ බවය. ඔහු ලද ජනවරමට ඒ පොරොන්දුව ද ඇතුළත්ව තිබුණි.


සිරිසේන කුණාටුව



අනෙක් අතට වික්‍රමසිංහට විරුද්ධව ඒ වන විටත් සිරිසේනගේ නායකත්වය යටතට පත්ව තිබූ ශ්‍රීලනිපය පියවරක් ගත්තේ ද නැත. වික්‍රමසිංහ අගමැති බවට පත් නොකරන ලද්දේ නම් සිරිසේනට වහාම ආණ්ඩුව විසුරුවා හැර මහා මැතිවරණයක් කැඳවීමට සිදුවන්නට තිබුණි. එසේ වූයේ නම් වික්‍රමසිංහ ලෙහෙසියෙන්ම පාර්ලිමේන්තු බහුතරය දිනා ගන්නටත් තිබුණි. වික්‍රමසිංහට වැරදුණේ බැදුම්කර වංචාව හෙළිදරව් වී මහා අපවාදයක් බවට පත්වීම නිසා ය.


සිරිසේන විසින් නීති විරෝධී ලෙස රාජපක්ෂ අගමැති කිරීමෙන් පටන් ගත් දුෂ්ඨ දාම ක්‍රියාදාමය දැන් මුළු රටම වෙලා ගත් දේශපාලන ආර්ථික සමාජීය කුණාටුවක් බවට පත්ව තිබේ.  හෙට සිදුවන්නේ කුමක්දැයි දන්නා කෙනෙක් නැත.  එකක් පසු පස එකක් බැගින් අර්බූද වැලක් ඇති වේගෙන යයි.


සිරිසේන පාර්ලිමේන්තු බහුතරය පිළිනොගන්නේ නම් කතානායක පිළිනොගන්නේ නම් ව්‍යවස්ථාව පිළිනොගන්නේ නම් ඔහුට යා හැක්කේ කොහාටද‍ ?. කතානායකවරයාගේ තීන්දු සහ වාර්තා පිළිනොගන්නා නිසා සිරිසේන හමුනොවීමට විශ්වාස භංග යෝජනාවට පක්ෂ වූ සියළු දේශපාලන පක්ෂ බදාදා රැයෙහි තීරණය කිරීම ඔහුට එල්ල වූ අලුත්ම කණේ පහර ය. විශ්වාස භංගයකින් පරාජය වූ රාජපක්ෂ අගමැති තනතුරේ තබා ගැනීමත්, ඒ සමඟම අහෝසි විය යුතු ඇමැති මණ්ඩලය එලෙසම පවත්වා ගැනීමත් වැරදි බවට කවරකු හෝ අධිකරණයට ගිය හොත් සිරිසේනට වැලේ වැල් නැතිවනු ඇත.


සිරිසේන බූරු පිටියක මෙන් තුරුම්පු ඇදීමෙන් රටක දේශපාලනය හැසිරවිය හැකි යැයි සිතා සිටි සෙයකි. මහා කයිවාරුවක් ගසා ඔහු තුරුම්පු ඇද්දේ වික්‍රමසිංහ පරාජය කරනු පිණිස ය. ඔහුගේ රාජපක්ෂ තුරුම්පුව දැන් පාර්ලිමේන්තුවෙහි කැපී ගොසිනි. විසුරුවා හැරීමේ තුරුම්පුව කල් ගියේ ය. යළිත් කල් දැමිම හැරුණ විට දැන් ඔහුට ඇත්තේ එකම එක තුරුම්පුවක් පමණි. එනම් ඍජු ආඥාදායකත්වයේ තුරුම්පුව පමණි.


දැන් ඔහුට කියා දේශපාලන පක්ෂයක් ද නැත. වැඩි කල් නොගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඔහුගෙන් ගිලීහි යන්නට ද ඉඩ තිබේ. එහි පාරම්පරික අයිතිකාර පාර්ශ්වයන් දැන ඇහැ ගසාගෙන ඉන්නේ යළි පක්ෂය අල්ලා ගන්නට ය. සිරිසේනටය කියා එකදු දේශපාලනඥයකුවත් නැති දවසක් උදාවන බව දැන්ම ලියා තැබිය හැකි ය.


ඔක්තෝබර් 26 දා තමා විසින් දියත් කළ දේශපාලන කුමන්ත්‍රණය දැන් සිරිසේනට ඉදිරියට ගෙන ගිය හැක්කේ ලේ සහ බෝම්බ දුමාරය මැදින් පමණි.  නැත්නම් ඔහු ආපසු හැරී ආණ්ඩු බලය වික්‍රමසිංහට ලබා දිය යුතුය.  ඒ වනාහී සිරිසේනට හීනෙන්වත් සිතිය නොහැකි තෝරා ගැනීමකි. මන්ද යත්, එසේවුවහොත් සිරිසේන - රාජපක්ෂ නීති විරෝධී ආණ්ඩුවේ තීරණ ක්‍රියාත්මක කළ බොහෝ දෙනෙකු උපමා උපමේය ව්‍යවහාර බසින් කියන්නේ නම් ගහේ යන්නට ඉඩ තිබෙන නිසා ය. ඇත්ත වශයෙන්ම නම් දිනෙක ව්‍යවස්ථාව කෙළෙසා දේශපාලන කුමන්ත්‍රණයක් කිරීම සම්බන්ධයෙන්, සමහරවිට දස වසරකට පසු හෝ සිරිසේන ද ගහේ යන්නට ඉඩ තිබේ.  ඔහු විසින් රට ගෙන යමින් සිටින්නේ පතුලක් නැති අඳුරු අගාධයකට ය.


සිරිසේන වැටුණේ ඔහුගේම කේවට්ටයන් කැපූ වලක


යුද ආඥාදායකත්වයක් මෙරට ඇති කිරීම ලෙහෙසි නොවේ. එවැනි හැකියාවක් තිබුණේ නම් ඒ රාජපක්ෂට පමණ ය. නමුත් අසල්වැසි ඉන්දියාව ගැන නොසිතා එවැනි පියවරකට මොළේ ඇති දේශපාලනඥයකු යන්නේ නැත.  පූජිත වැනි අපූජිතයකු යොදා ගෙන පොලිස් රාජ්‍යයක් ඇති කිරීමට ද නොහැකි ය.


ස්වකීය කේවට්ටයින්ගේ කීම් බස් අසා සිරිසේන තමන් විසින්ම කපා ගත් මෙම වළෙන් ඔහු ගොඩ එන්නේ කෙසේද යන ප්‍රශ්ණයට තාර්කික පිළිතුරක් සෙවීම දුෂ්කරය‍. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය සාර්ථක වෙනු ඇතැයි එතරම් විශ්වාසයක් තබා ගැනීමට ද නොහැකිය. මන්ද යත් සාධාරණ හේතු සාධක නොමැති නම් ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරියට ගෙන යාමට අවසර නොදෙන නිසා ය. දැන් ජනමත විචාරණයක් පවත්වා පාර්ලිමේන්තුව කල් දමන්නැයි එකී කේවට්ටයින්ම උපදෙස් දෙන බව කියනු ලැබේ. සිරිසේන ඒ මඩවලටත් නොබසිනු ඇතැයි කීමට නොහැකි ය.


දැන් අවසානයට මේ ටිකත් කිව යුතුය.


2015 මැද භාගයේ දී  සිරිසේනගේ සව්වකු මට පණිවිඩයක් එවී ය. ඒ පයින්ඩයෙන් කියැවුණේ රාජපක්ෂ ගැන මා ‘රාවය‘ පුවත්පතට ලියූ ලිපි කිහිපයක් පොත් පිංචක් ලෙස පළ කිරීමට අලුත පත්ව සිටි ජනපති සිරිසේනට සිතක් පහළ වී ඇති බව යි. ඒ 2015 අගෝස්තු මැතිවරණයේ දී රාජපක්ෂ පරාජය කිරීමේ ප්‍රචාරක ව්‍යාපාරය පිණිස ය‍.


පණිවිඩය ගෙනා සව්වා මට මෙසේ කීවේය: ‘ජනාධිපතිතුමා කවදාවත් කීයටවත් රාජපක්ෂට නම් යළි තැනක් දෙන්නේ නෑ’ ඒ ලිපි කිහිපය සිරිසේනගේ දායකත්වයෙන් පිටපත් ලක්ෂයක් ම මුද්‍රණය කරන ලද්දේ ‘වහල් බවින් නිදහස්වීම’ යන නමිනි.


සිරිසේනට අමතක වී තිබූ ‘වහල් බවින් නිදහස්වීම’ ලිපි මාලාව



සිරිසේන විසින් ම තෝරා එහි ඇතුළත් කරන ලද ලිපි මෙසේ ය: ‘ පොලිස් රාජ්‍යය, හිට්ලර් සහ මානව හිමිකම් මතක් වීම’; ‘මෙන්න රාජපක්ෂ සහ වහල්ලු ඉල්ලන යහපාලනය’; 19වන සංශෝධනය: රාජපක්ෂ වහලුන්ගේ පරාජය; ‘පිදුරු ගස්වල එල්ලී රාජපක්ෂලාට ගොඩ යා හැකිද ?’.


 

සිරිසේනට අමතක වී තිබෙන බව පෙනෙන ඒ ඉතිහාසය යළි මතක් කළ යුතු යැයි සිතුණේ ඔහුගේ නීතිඥයා ලෙස පසුගිය 12දා ශ්‍රේෂ්ඨාධිකරණයෙහි පෙනී සිටි නීතිපතිවරයාගේ නින්දා සහගත තර්ක දුටු විට ය. නීතිපතිගේ තර්ක අනුව ජනාධිපතිවරයකු පාර්ලිමේන්තුව නීති විරෝධීව විසුරුවා ඇති විටෙක පවා ඒ පිළිබඳ නඩු විභාග කිරිමට මෙරට කිසිම අධිකරණයකට අයිතියක් නැත. එමෙන්ම ඔහු තර්ක කළේ 19වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ බලතල කිසිසේත් ම සීමා කර නැති බවට යි. (නීතිපතිවරයාගේ භූමිකාව රජවාසළ කවටයකු වීම නොව ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම යැයි හිටපු පුවත්පත් කතුවරයකු සමාජ ජාලයකට ලියා තිබුණි.) සිරිසේනට වසර පහක් නොව හයක් ම බලයේ සිටිය හැකි යැයි කියන්නට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් පස්ස බිම ඇණ ගත්තේද මේ නීතිපතිම ය.


 යමෙකු වසළයෙකු වන්නේ සිය ක්‍රියාවෙන්මය



සිරිසේන විසින්ම දායකත්වය සපයා මුදුණය කරන ලද ඉහත කී පොත් පිංචේ  ඇතුළත් වූ එක් ලිපියක් 19වන සංශෝධනය අරභයා ය‍. දැන් සිරිසේන කියන්නේ ඉන් තමාගේ බලතල සීමා නොවූ බව ය. සිරිසේන වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි ඉදිරිපත් කරන ලද තර්ක අනුව ඔහුට ඕනෑම අවස්ථාවක ඕනෑම වාර ගණනාවක් සිය සිතැඟි අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි ය.


පුරවැසි බලය එකතුවෙහි මූලිකයකු වූ මහාචාර්ය සරත් විජේසූරිය, සිරිසේනට ජන්දය දෙන්නැයි තමා කළ ඉල්ලීමට සමා වන්නැයි මහා ජනයාගෙන් ඇයද සිටියේ මාදුළුවාවේ සමරු රැළියෙහිදී ය. ඒ මට්ටමින් ම සිරිසේන බලයට ගෙන ඒමට දරදිය ඇද්දාවූ දඹර අමිල හිමි කීයේ ‘මහ රජාණන් මැදමූළන ජනේලයක එල්ලලූ අපට සිරිසේන පොළාන්නරුවේ පඹයකු සේ එල්ලීම මහ ලොකු දෙයක් නොවන’ බවයි.


ඉතින් අපි කුමක් කියමු ද ?, බුදු වදනින් මෙසේ කියමු : යමෙකු වසළයකු වන්නේ ක්‍රියාවෙනි !

මේ ළඟාවෙමින් ඇත්තේ යක්ෂයාගේ හෝරාවයි

- සුනන්ද දේශප්‍රිය - 


තුන් වැනියා පළමුවැනියා විය


තුන් වැනියා පළමුවැනියා විය. ඒ වනාහි සිරිසේන මුහුණ දී සිටින දේශපාලන අබග්ගයේ තරම ය. සිරිසේන අගමැතිකමට මුලින්ම තෝරාගන්නා ලද්දේ එජාප ප්‍රධානියකු වන කරු ජයසූරියයි. දෙවැන්නා ද එජාප නායකයකු වන සජිත් ප්‍රේමදාස ය. ඒ දෙදෙනාම සිරිසේන ගේ බිලි බෝයිස් වීම ප්‍රතික්ෂේප කළ විට ඔහු රාජපක්ෂ ළගට ගියේ ය. පිදුරු ගහක හෝ එල්ලී සිය ඥාති ගණයා බේරා ගැනීමට දින ගනිමින් සිටි රාජපක්ෂ ඇම ගිල්ලේ ය.


මේ මිනිසා බැරිම තැන තුන්වැනියා පළමුවැනියා කළා පමණක් නොව එම තුන්වැනියා වූ රාජපක්ෂම විසින් කැදවන ලද මහ සෙනඟක් හමුවෙහි ඒ බව කියා සිටියේ ලැජ්ජාවක් බයක් නැතිව ය.  ඊට ප්‍රතිචාර වශයෙන් රාජපක්ෂ කියා සිටියේ තමා සිරිසේන නම බැඳගත් බෙරේ අවසානයක් වනතුරු ගහන බවයි.


එදා සජිත් ප්‍රේමදාස සිරිසේනගේ එම ඇරයුම පිලිගත්තේ නම් අද සිරිසේන පට්ට පඳුරු කතා කියමින් බැට දෙනු ඇත්තේ රාජපක්ෂට ය. දිවෙහි ඇට නැතිවීම සිරිසේනට මඟුලකි.



සිරිසේන වැටී සිටින දේශපාලන අගාධය දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ ප්‍රධානී මනෝ ගනේෂන්ගෙන් ඔහු විසින් කරන ලද ඉල්ලීම් වලින් පෙනේ. එම ඉල්ලීම් තුන මෙසේ ය :


පළමුවැන්න නම් සිරිසේනගේ ආණ්ඩුවට එක්වී ඇමැතිකම් ලබා ගන්නා ලෙසයි. දෙවැන්න එසේ කළ නොහැකි නම් පාර්ලිමේන්තුවේදී  කවර පාර්ශ්වයකට හෝ ඡන්දය ප්‍රකාශ නොකර සිටින ලෙස යි. තෙවැන්න නම් මහින්ද රාජපක්ෂ පරදවා රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය පාර්ලිමේන්තුවෙහි දී ජයගත හොත් අගමැති වශයෙන් වෙන අයකු පත් කර ගන්නා ලෙස යි.


මනෝ ගනේෂන් විසින් ම කරන ලද කතාවෙහි වීඩියෝ පිටපත අනුව පළමු සහ දෙවැනි යෝජනා දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ විසින් ප්‍රතික්ෂේප කරන ලදී. තෙවැනි යෝජනාවට පිළිතුර වූයේ අගමැති පත්කිරීම එක්සත් ජාතික පෙරමුණේ කාර්යයක් බව යි.


සිරිසේන මනෝ ගනේෂන්ගෙන් කළ ඉල්ලීම් තුතෙන් පෙන්නුම් කරන්නේ ඔහු වැටී සිටින පතුලක් නැති අගාධයයි


සිරිසේනගේ මෙම ඉල්ලීම් තුන විසින් පෙන්නුම් කරන්නේ ඔහු වැටී සිටින පතුලක් නැති අගාධයයි. ඔහු පත්ව සිටින්නේ ගලේ පැහැරූ බළලාගේ දුංඛිත තත්ත්වයටය. නියපොතු ගෙවි යන තුරු කොතරම් වලිකෑවද සිය බෙටි වසා ගැනීමට නොහැකිව ය.


ඔහු මෙසේ මනෝ ගනේෂන් හමුවෙහි ආයාචනා කරන්නනේ ඊට දෙදිනකට පෙර තමන්ට පාර්ලිමේන්තුවෙහි 113ක බහුතර බලයක් තිබෙන බවට පම්පෝරි ගැසීමෙන් පසුව ය. එදිනම ඔහු දෙමළ සන්ධානයද කැඳවා තමාට සහාය දෙන්නැයි ආයාචනා කළේ ය. ඊට ලැබුණේ ද නිශේධාත්මක පිළිතුරකි.


සිරිසේනට අල්ලපු අත්තත් නැහැ - පයගහපු අත්තත් නැහැ


සිරිසේන සිටින්නේ අල්ලපු අත්තත් නැති පය ගැහූ අත්තත් නැති, අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නහින තත්වයකට ය. පාර්ලිමේන්තුව විසුරුවා ගැනීම වෙනුවට ජනමත විචාරණයකට රට ඇඳ දැමීමට දැන් සිිරිසේන සූදානම් බව ප්‍රකාශ වී තිබේ.


රාපක්ෂවරුන්ට සිරිසේනගේ මෙම උප්පරවැට්ටියට හසු වන්නේ නැතිව එළඹෙන මැතිවරණයකදී සිංහල ඡන්ද දායකයා අතර බහුතර බලය දිනා ගැනිමට හොඳට ම ඉඩ තිබුණි. එසේ වී නම් එම බලය ප්‍රජාතන්ත්‍රීයව ලබා ගත් එකක් ලෙස අන්තර් ජාතික පිළිගැනීමට ලක්වීමට ද ඉඩ තිබුණි. නමුත් දැන් සිදුව ඇත්තේ කතානායක කරු ජයසූරියගේ වචනයෙන් කියන්නේ නම් ‘ආයුධ නැතිව කරන ලද ආණ්ඩු පෙරළීමේ කුමන්ත්‍රණයක’ කොටස්කරුවන් වීමට ය. බරපතල වෝදනාවක් වන එවැනි අපවාදයකින් ගැලවීම ලෙහෙසි නැත.


සිරිසේන තමාගේ වැදගත් ම දේශපාලන ජයග්‍රහණයක් ලෙස කියන්නට පුුරුදුව සිටි ‘අන්තර් ජාතිකය දිනා ගැනීම’ දැන් අයත්වන්නේ අතීතයට ය‍.


අන්තර් ජාතිකය දිනා ගැනීම දැන් අයිති අතීතයටයි


පසුගිය ග්‍රීෂ්ම ඍතුවෙහි දී මගේ වාත්තීමය කටයුතු සඳහා ජිනීවාහි ලෝක සෙෘඛ්‍ය සම්බන්ධ ප්‍රධානීන් ගණනාවකගේ සාකච්ජාවන්ට සහභාගිවීමට මට අවස්ථාව ලැබුණි. ඉන් දෙතුන් දෙනෙකු ම ජනාධිපති සිරිසේන ගැන මහත් ප්‍රශංසාත්මකව කතා කළේ ය. ඔහු ශ්‍රී ලංකාවේ වෙනසක් ඇති කරන නායකයකු ලෙස ඔවුහු කල්පනා කළහ.



නමුත් අද බොහෝ රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයන්හි ජනපති සිරිසේන දකින්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම දේශපාලන ක්‍රමන්ත්‍රණය මෙහෙයවු පුද්ගලයා ලෙසය. ඔහුගේ වෙනස තේරුම් ගැනිමට දුෂ්කර බව ඔවුහු කියති. එක් රැයකින් සිරිසේන සිය අන්තර් ජාතික ප්‍රතිරූපය විනාශ කර ගත්තේ ය.


ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය මූලික වශයෙන් රඳා පවතින්නේ  නීතියේ නීතිය වන ව්‍යවස්ථාව මත ය‍. එම ප්‍රජාතන්ත්‍රවාදයෙහි මුදුන් මල්කඩ වන්නේ නිදහස් සහ සාධාරණ මැතිවරණයන්ගෙන් තේරී පත් වූ මහජන නියෝජිතයින්ගෙන් යුතු පාර්ලිමේන්තුව යි. සිරිසේන සිය දේශපාලන කුමන්ත්‍රණයෙන් පසු පාර්ලිමේන්තුව කල්දැමීමෙන් කළේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහය අඩපණ කිරීමය.


ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට ගරු කරන ලෙසත් වහාම පාර්ලිමේන්තුව කැඳවා මහජන නියෝජිතයන්ට තීරණයක් ගන්නට ඉඩ දිය යුතු බවටත් ඇමෙරිකාවේ සිට ඕස්ට්‍රේලියාව දක්වාත් බටහිර යුරෝපයේ සිට ඉන්දියාව දක්වාත් කියා සිටියේ ඒ නිසා ය.  පසුගිය 05 වන දින පාර්ලිමේන්තුව කැඳවන බවට සිරිසේන ඉන් සමහරක් රටවල් හමුවෙහි කියා සිටියේ ය. නමුත් සිරිසේන කළේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ට මෙන්ම  ඒ සියලු රටවලට ද කොකා පෙන්නීමයි.


කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුව කැඳවීමට යෝජනා කර තිබූ 07 දින ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් කරමින් කියා සිටියේ වහාම පාර්ලිමේන්තුව කැඳවා මහජන නියෝජිතයිනට අවස්ථාවක් නොදුන හොත් ශ්‍රී ලංකාවේ අන්තර් ජාතික ප්‍රතිරූපය කෙළෙසෙනු ඇති බවයි. එක්සත් ජාතීන්ගේ මහ ලේකමවරයාද පොදු රාජ්‍ය මණ්ඩලය සහ යුරෝපා සංගමයද එම අදහසම දක්වා තිබේ.


අන්තර් ජාතික මතය තමන්ට වැදගත් නැතැයි සිරිසේන හෙට අනිද්දා කීමට ඉඩ තිබේ


ශ්‍රී ලංකාවේ දේශපාලන කුමන්ත්‍රණයක් සිදුව ඇති බවටත් එහි ප්‍රධානීයා සිරිසේන බවටත් වාර්තාවක් පළ නොකළ ප්‍රධාන පෙළේ අන්තර් ජාතික ජනමාධ්‍යක් නැති තරම් ය. ඉන් එක් වාර්තාවක සදහන් වූයේ ‘අනපේක්ෂිතව පරාජය වූ පරිදිම ශ්‍රී ලංකාවේ බලවත් මිනිසා වන රාජපක්ෂ යළි අනපේක්ෂිතව බලට පැමිණ ඇත්තේ සිය පවුලම ද රැගෙන’ බවය. ලොව පුරාම සිරිසේන දේශපාලන කුමන්ත්‍රණකරුවකු ලෙස හඳුන්වන ලිපි පළ වී තිබේ.


ඉන්දියාවේ ප්‍රබල පුවත්පතක් වන හින්දු පුවත්පත කතුවැකියක් ලියමින් කියා සිටියේ ‘ජනපති සිරිසේනගේ පියවර මගින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශය කරා යොමුකර තිබේ’ කියාය. එය මෙසේ ද කීවේ ය. ‘සිරිසේන ගත් පියවර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි දක්වන ලද දරුණූ නොසැලකිල්ලකි. රාජපක්ෂ අගමැති ලෙස පත් කිරීම සිය බලය පැහැදිලිවම අවභාවිත කිරිමකි’. මේ වනාහී 2015න් පසු ජනපති සිරිසේන ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ බලාපෙරොත්තුව යැයි ලියූ පුවත්පත දැන් දකින හැටි ය.


අන්තර් ජාතික මතය තමන්ට වැදගත් නැතැයි සිරිසේන හෙට අනිද්දා කීමට ඉඩ තිබේ. මන්ද යත් ඔහුගේ කට හැම අතට ම හැරවෙන නිසා ය. නමුත් ඔහු තේරුම් ගත යුත්තේ ඔහු දිනා ගත් අන්තර් ජාතික කිර්තිය හිරුදුටු හිම මෙන් දැන් දියාරු වී ගොස් ඇති බවයි.


මෙම වර්ධනයේ තවත් පැතිමානයක් තිබේ. එනම් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන ලෙස කැරෙන අන්තර් ජාතික ඉල්ලීම එක්සත් ජාතීන්ගේ මානව  හිමිකම් කොමිසම විසින් සම්මත කරන ලද යෝජනා සම්පූර්ණයෙන්ම ඉටු කල යුතු බවට නැගෙන අන්තර් ජාතික හඩ සමඟ බද්ධවීමයි. තත්වය මෙසේ පැවතිය හොත් ලබන මාර්තුවෙහි පැවත්වෙන මානව හිමිකම් කොමිසමේ සැසිවාරය ශ්‍රී ලංකාව සම්බන්දයෙන් නව යෝජනාවක් පවා සම්මත කිරීමට ඉඩ නැතුවා නොවේ.


මෙම වර්ධනය වන තත්වයෙහි  භයානකත්වය නම් සිරිසේනට ආපසු හැරීමට බැරිවන තරමට ව්‍යවස්ථා විරෝධී සහ නීති විරෝධී පියවරයන් ගණනාවක්ම ඔහු විසින් මේ විට ගෙන තිබිමයි‍. ආපසු හැරීම ඔහුට දේශපාලන සහ සමාජීය වශයෙන් මරණීය වන අතර නීතිමය වශයෙන් භයානක වනු ඇත. මේ වනාහි සිරගත කළ හැකි වැරදි ය.



සිරිසේනට ආපසු යා නොහැක


රාජපක්ෂ පාර්ශ්වයට මේ තාක් පාර්ලිමේන්තුවෙහි බහුතරය නැත. තිබේ නම් ඔවුන් හෙට ම පාර්ලිමේන්තුව කැඳවනවා ඇත. විශ්වාසවාස භංග යෝජනාව 14වන දිනම ඡන්දයට ගැනීමට රාජපක්ෂ සහ සිරිසේන පාර්ශ්ව මරණීය විරුද්ධත්වයක් පාන්නේ ද එනිසා ය. කතා නායකවරයාගේ තීරණය නම් එය ජන්දයට ගැනීම යි.


රාජපක්ෂ – සිරිසේන හවුලට පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති බව පෙනී ගිය හොත්  කුමක් සිදුවනු ඇත්ද ?. වෙඩි බෙහෙත් ගඳ ගෙනෙන  ප්‍රශ්ණය එයයි. සිරිසේනට ආපසු යා නොහැක. එසේ නම් ඉතිරිවනු ඇත්තේ  නීති විරෝධීව බලයේ සිටීම පමණි. ඒ  සඳහා මර්දනය නැතිව බැරි ය.


දැන් රාජපක්ෂ ගෙවන්නේ සිරිසේනගේ පව් ය. නමුත් කුණු කරවල කෑ විට පව් ගෙවපන් බළලෝ කියා කියමනක් තිබේ. සිරිසේනගේ බෙරයේ පලුවක්ම නැති බව රාජපක්ෂවරු දැන් දනිති. එහෙත් කරන්නට දෙයක් නැත. දැන් ඔවුනට ද සිරිසේනගේ තනුවට නටන්නට සිදුව තිබේ. ඒ තනුව එන්න එන්නම බියකරු ය. එක්කෝ යකැදුරා දොයි. නැත්නම් ආතුරයා දොයි. වාසිය යකාට ය. සිරිසේන විසින් මතුරා කැඳවන ලද බල තණ්හාවේ යක්ෂයා දැන් සිරිසේනටම ආවේශ වෙන්නට ඔන්න මෙන්න ය. ළඟාවෙමින් ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නිදහසේ නොව යක්ෂයාගේ හෝරාවයි.


 

(2018.11.11 ‘රාවය‘ පුවත්පතේ පළකරන ලද්දකි)

 

සබැඳි ලිපි 

 

ගමනක අවසානය අබියස හිඳ – සිරිසේන සහ සිරිසේන

උන්මත්තක රාජ්‍ය අනුහසට පිටුපෑම සහ ගහලයන්ගේ ඉතිහාසය 

#MeToo, ඉන්දියාව සහ සිරිසේන 

 

ගමනක අවසානය අබියස හිඳ - සිරිසේන සහ සිරිසේන

සුනන්ද දේශප්‍රිය - 


 

අරුමය හා කරුමය


සිරිසේන සහ සිරිසේන එකෙකි. දෙදෙනෙකි. හරියට රයිගමයයි ගම්පලයයි වගේ ය. දෙන්නෙකි. කරන්නේ එකම රැවටිල්ල ය. එනයින් සිරිසේන සහ සිරිසේන යනු නූතන ශ්‍රී ලාංකික දේශපාලනයේ අරුමය සහ කරුමයයි.


සිරිසේන සහ සිරිසේන 2015 ජනවාරියේ දී මහින්ද රාජපක්ෂ පවුල තමන් සහ දරුවන් මරා අඩි හයක් යට වළ දමන්නට හිටි බව කීවේ ය. රාජපක්ෂ පවුල මහා පරිමාණ දූෂණ වංචාවන්ට සම්බන්ධ බව කීවේ ය. රාජපක්ෂ සමඟ ඉන්නේ වහලුන් යැයි කීවේ යග රට බේරා ගැනීමට නම් රනිල් වික්‍රමසිංහ සමඟ එක්විය යුතු බව කීවේ ය.


 


දැන් රට බේරා ගත හැකි නායකයා, එදා මාරයා වූ රාජපක්ෂ ය


ඒ සිරිසේන සහ සිරිසේන 2018 ඔක්තෝම්බර් 26දා සිය කැමැත්තෙන් අඩි හයක් යට ගිලා බැස්සේ ය. යළි ඒ වළෙන් ම මතුව ආ සිරිසේන සහ සිරිසේන, සිය ආලවට්ටම්හි මහින්ද රාජපක්ෂ නම ලොප් කර එතැනට රනිල් වික්‍රමසිංහ යන නම ආදේශ කළේ ය. දැන් සිරිසේන සහ සිරිසේන මරා දමන්නට ඉන්නේ රනිල් වික්‍රමසිංහ ය. දැවැන්ත දූෂණ චෝදනා කියවෙන්නේ රනිල් වික්‍රමසිංහට ය. දැන් රට බේරා ගත හැකි නායකයා, එදා මාරයා වූ රාජපක්ෂ ය.


සිරිසේන සහ සිරිසේන එදා මෙන්ම අදත් විලිලැජ්ජාවක් නැතිව කතා දෙයි. ඔහු පච කප්පිත්තෙක් බවට පරිණමය වී ඇති සැටියකි. ඉන් එක් සුරංගනා කතාවක් නම් තමා රාජපක්ෂ අගමැති කළේ රනිල් වික්‍රමසිංහ තමා මරා දැමීමට කුමන්ත්‍රණය කළ නිසා බව ය. මරණයෙන් බේරීමට සිරිසේන සහ සිරිසේන සොයා ගත්තා තෙවසරකට පෙර සිය පවුලම ඝාතනය කරන්නට සිටි බවට චෝදනා කළ මරා ය. පුදුම නමුත් ඇත්ත ය.


 

දෙසැම්බර්යේදී අඩි හයක් යට වළක බහින්නට සූදානමින්


ඒ කතා අසා සිටින රාජපක්ෂවරු පස්සා පැත්තෙන් සිනහවනු ඇති බව නිසැක ය. 2019 දෙසැම්බර් ජනාධිපතිවරණයේ දී තමා රාජපක්ෂවරුන්ගේ සහාය ඇතිව ජනාධිපති තරඟයට ඉදිරිපත් වන බව කියන විට ඒම සිනහ අධෝමුඛ කොක්හඩලෑම් බවට පත්වනවා ඇත. ඒ දෙසැම්බරය ළඟා වූ විට සිරිසේන සහ සිරිසේනට යළිත් වතාවක් තමාම කපාගත් අඩිහයක් යට වළට බහින්නට සිදුවනු ඇත. එකල්හි නම් යළි ගොඩ ඒ්මක් නැතිවනු ඇති බව සහතික ය.



මේ පිබිදවිය යුතු පුෂ්පයක් නොවේ


රාජපක්ෂ අනුගාමිකත්වය තුළ සිරිසේන සහ සිරිසේන යනු කා දැමිය යුතු ආප්පයක් විනා පුබුදවිය යුතු පුෂ්පයක් නොවේ. රාජපක්ෂ අනුගාමිකත්වය සිරිසේන සහ සිරිසේන සමඟ නයි වෛරය. එවැනි පසුබිමක් මැද එජාප ඡන්දවලින් ජනාධිපති වූ පරිදිම රාජපක්ෂ ඡන්දවලින් ජනාධිපතිවීමට සිරිසේන සහ සිරිසේනට අවස්ථාවක් ලැබෙනු ඇතැයි සිතිය හැක්කේ රාජපක්ෂ දේශපාලනය ගැන නොදන්නා අයකුට පමණය.


 

ඒ කුප්‍රයෝගය කෙසේද යත්


සියයට දහයකවත් ජන්ද පදනමක් නැති අන්තයටම පිරීහී සිටින සිරිසේනට තමන්ගේ ජන්ද පදනම බාරදෙන්නට නම් රාජපක්ෂට දේශපාලන ඔල්මාදයක් හැදී තිබිය යුතුය. සමහර විට එවැනි‍‍‍ ඔල්මාදයක් ඇත්නම් ඒ් වනාහී නාමල් පමණක්ම රජ කරවීමේ කුප්‍රයෝගය විය හැකි ය.


එළඹෙන කවර හෝ ඡන්දයකදී ජය දිනා ගැනීමේ වැඩිම ඉඩ තිබුණේ රාජපක්ෂට ය. එසේ බලයට පත්වූයේ නම් ඔහුට කිසිදු අන්තර් ජාතික හෝ දේශීය හෝ දෝෂාරෝපණයකට ලක්වන්නට සිදුවන්නේ නැත. එසේ වී නම් තනි බලය රාජපක්ෂට හිමිවන්නට තිබුණි.


 

තරුණයින් 11 දෙනා පැහැරගෙන යාමේ නඩුවේ විනිසුරුවරියට මාරුවක් - තව බලාපොරොත්තුවන්න


එසේ තිබියදීත් වසරක් බලා සිටිය නොහැකිව සිරිසේන සහ සිරිසේන සමඟ හවුලේ බලය ලබා ගන්නට එකඟ වන්නට රාජපක්ෂට තිබිය හැක්කේ එකම එක හේතුවකි. එය නම් රාජපක්ෂ පවුලට සහ දේශපාලනඥයින්ට එරෙහිව විභාග වෙමින් යන නඩු විභාග අවසන් කර ගැනීමයි. දැනටමත් පාසැල් දරුවන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳ නඩුව විභාග කරමින් සිටි විනිසුරුවරියට සේවා මාරුවක් ලැබී තිබේ.  එවැනි සේවා මාරු තව බොහෝ ගණනාවක් සිදුවීමට දැන් නියමිත ය.


 

පාවාදීම් සහ ඥාති ඝාතනයන්ගෙන් පිරි ශ්‍රී ලංකාවේ රජ සමයෙන් පසු මෙරට පහළ වූ ලොකුම පාවා දෙන්නා වශයෙන් දිනෙක රාජපක්ෂ ඉතිහාසකරුවන් විසින් ද වරෙක වික්‍රමසිංහ ඉතිහාසකරුවන් අවසාන වශයෙන් සිවිල් ලේඛකයින් විසින් ද නම් කරනු ඇති අසම්මජාති දේශපාලනඥයා බවට, 2015 ප්‍රජාතන්ත්‍රවාදී ජනබලයේ සංකේතය වූ සිරිසේන සහ සිරිසේන පිරිහීම යාම තේරුම් ගැනීමට නොහැකි තරමේ කරුමයකි.



මෙරට දේපාලනයේ අතාර්කික වියරුවක සංකේතය


තර්කානුකූල විග්‍රහයකින් සිරිසේන සහ සිරිසේන විග්‍රහ කළ නොහැකි යගතර්කයක් නැති සිදුවීම් තේරුම්ගත හැක්කේ ඊට අතාර්කික මානසිකත්වයක් ආදේශ කිරීම මගිනි. ඔල්මාද මානසිකත්වයක් වැන්න. සිරිසේන සහ සිරිසේන යනු මෙරට දේශපාලනයේ අතාර්කික වියරුවක සංකේතයකි.


 

බොහෝ දුරට ම ඔහු පොදු අපේක්ෂකයා බවට පත්වීමට තීරණය කරන්නට ඇත්තේ ද තමාට අගමැතිධූරය නොදීම පිළිබඳව රාජපක්ෂවරුන් සමඟ වූ වෛරය නිසා ම පමණය.


 

පසුගිය තෙවසර දෙස බලන විට මානව හිමිකම් ක්ෂේත්‍රයේ හෝ ප්‍රජාතන්ත්‍රවාදී ක්ෂේත්‍රයේ හෝ සංහිදියා ක්ෂේත්‍රයේ හෝ සිදුකරන ලද කුමන හෝ ප්‍රතිසංස්කරණයට සිරිසේන කර දුන්නේ නැත. ඔහු විසින් හැකි සෑම අවස්ථාවකදීම කරන ලද්දේ එකී ප්‍රතිසංස්කරණ ආපස්සට ඇදීමට උත්සාහ කිරීමයි.  මේ බව කැපී පෙනෙන්නේ යුද්ධයට අදාළ නොවන මිනීමරුම් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ආරක්ෂක අංශ සාමාජිකයින් පවා ආරක්ෂා කිරීමට සිරිසේන සහ සිරිසේන විසින් දරන ලද ප්‍රයත්න දෙස බලන විට ය.


2019 මාර්තුවේදී මානව හිමිකම් කඩකිරීමේ චෝදනා ගැන බලාපොරොත්තුවෙන් ඉන්න


2015 ජනවාරියෙන් පසු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඇතිවූ යහපත් හැඟීම දරුණු ලෙස ඛාදනය කිරීමට සිරිසේනගේ මෙම අත්තනෝමතිකත්වය හේතු වී තිබේ. අන්තර්ජාතික ක්ෂේත්‍රයෙහි බලපෑම් සහගත භූමිකාවක් රඟපාන මානව හිමිකම් වෘත්තිකයකු ට්වීටර් පණිවිඩයක් මගින් කියා සිටියේ සිරිසේන සහ සිරිසේනගේ මෙම ක්‍රියාව නිසා 2019 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් අලුත් උනන්දුවක් ඇති කිරීමට අවස්ථාව පෑදී ඇති බවයි.  සිරිසේන විසින් පත් කරන ලද නීති  විරෝධී ආණ්ඩුව ශ්‍රී ලංකාවට හොඳක් කරන්නේ නැත.


 

තමා සමඟ එක්ව 2015 වෙනස සඳහා මරණය නොබා රාජපක්ෂ කඳවුර අතහැර පැමිණි ස්වකීය සගයින් වූ  දේශපාලනඥයින් වෙත මුදා හැර ඇති සිරිසේන සහ සිරිසේනගේ වෛරය, තමා ජනපති බවට පත් කළ ප්‍රධාන දේශපාලනඥයා වන රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව හුදෙක් පොලිස් භටයින් 10 දෙනෛකු දක්වා අඩු කිරීමෙන් සහ ඇමැතිවරුන්ගේ ආරක්ෂක භටයින් ඉවත් කිරීමෙන් පෙන්වන ලද වියරුව, රාජපක්ෂවාදය ඉක්මවා යයි. එපමණක් නොව දිගින් දිගටම කිසිදු වග විභාගයකින් තොරව රටෙහි ව්‍යවස්ථාව කෙළෙසමින් දක්වන වියරුව කොතනින් අවසන් වනු ඇත්දැයි කීමට නොහැකි තරම් බිය ජනකය.



සහෝදර ඝාතක ස්ටාලින් හා හිට්ලර්


මෙම සිදුවීම් විසින් පෙන්නුම් කරන්නේ අතීතය හෝ කෙළෙහිගුණ පිළිබඳ අල්පමාත්‍ර හෝ හැඟීමකින් තොරව පළිගැනීමට සිරිසේන සහ සිරිසේන දක්වන භයානක නැඹුරුවයි. තමා සතු බලය ලබා ගැනීමට මඟපෙන්වූ, කැප වූ සහ උදව් කළ පිරිස් වලට පවා එම බලයම යොදවා පහරදීමට පසුබට නොවන දේශපාලනඥයා භයානක ය. එවැන්නෝ දරුණුකමෙහි සීමාවක් නොදනිති. ඒ් අතින් සිරිසේන අයත් වන්නේ සහෝදර ඝාතක ස්ටාලින් සහ හිට්ලර් වර්ගයටයි.  


 

සමහර විට සිරිසේන සහ සිරිසේන ව්‍යවස්ථාව නොසකා ළඟදීම ආණ්ඩුව විසුරුවා හැරීමටත් ඉඩ තිබේ. ඒ් සඳහා ඔහුට උපදෙස් දීමට අවශ්‍ය තරම් කේවට්ටයෝ සිටිති. පාර්ලිමේන්තුවෙහි බහුතර බලයක් පෙන්වීමට රනිල් වික්‍රමසිංහ සමත්වුවහොත් දතකට පියා ගන්නවා වෙනුවට දත්කූරු කමින් උම්මතක පියවරකට යෑම හැර සිරිසේන සහ සිරිසේනට වෙනත් විකල්පයක් නැත.


 

එසේ නොවී රාජපක්ෂ බලය තහවුරුකර ගතහොත් සිරිසේන සහ සිරිසේන යළි 2015 පෙර සිටි සෞඛ්‍ය ඇමැතිවරයා වැනි බාලයකු බවට පත්වනු ඇත.


 

2015 ජනවරම පාවාදීම


සිරිසේන සහ සිරිසේන තේරුම් ගැනීමට හැකි සිත්කාවදින කරුණක් නම් 2015 ජනවාරි 08 දා සිරිසේන සහ සිරිසේනට ආරක්ෂාව සැඟවී සිටීමට ඉඩ සැලසූ පුද්ගලයා සිය වෛරකාරයකු බවට පත් කරමින් අතහැර දමා රාජපක්ෂගේ ධනය සැඟවූයේ යැයි චෝදනා ලද ව්‍යාපාරිකයකු තානාපතිවරයකු බවට පත් කොට අතවැසි සේවයේ යොදවා ගැනීමයි.


 

දැන් පෙනෙන විදිහට ඉදිරි වසරක තරම් කාලයක් තුළ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී බලවේග, ජනවාර්ගික හෝ වෙනයම් හෝ වෙනසකින් තොරව වඩාම බිය විය යුතු මනෝභාවය රාජපක්ෂ නොව සිරිසේන සහ සිරිසේන විය හැකිය.


 

සිරිසේන සහ සිරිසේන විසින් පාවා දී ඇත්තේ 2015 ජනවාරි ජනවරම ය, එම ජනවරම අඩාල කර අතරමඟ අතහැර දැමීම රනිල් වික්‍රමසිංහගේ ද දේශපාලනය වූ බව අපට අමතක කළ නොහැකිය.  සිරිසේන ජනපති බවට පත් කරනු පිණිස සිය ගණන් සිවිල් සමාජ පිරිස් සිය තුට්ටු දෙක වැය කරමින් රට වටාම ගියහ. සිරිසේන සිවිල් සමාජ සංවිධාන 47ක් සමඟ යහපාලන ගිවිසුම අත්සන් කළේ උත්සවාකාරව ය. මේ දුර්ජනයා විසින් රාජපක්ෂ දෙපාමුල වැටී සුනු විසුණූ කරන ලද්දේ එම සමාජ ගිවිසුම යි.



ගෙවීයන මේ මොහොත


සිරිසේනගේ අනීතික ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරීම හෙළා දැකිය යුත්තේ රනිල් වික්‍රමසිංහ රැකගැනීමට නොවේ. නීතියේ පාලනය කෙරෙහි අපේ ඇති කැපවීම නිසා ය. සිය දේශපාලනයේ වූ  අනේක දුර්ගුණ නිසාම වික්‍රමසිංහ පාලනය අහෝසිවීම ගලේ කෙටී තිබුණි.


 

අප දැන් එළඹෙමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන බලතුලනයන් ද ගතිකත්වයන්ද තියුණු වෙනසකට ලක්වීමට නියමිත කාල පරිච්ජේදයකට යි. තාවකාලික ස්ථාවර බවක මායාවක් ඇතිකිරීමට සමත්වීමට හැකි වුවද එය විසින් ශ්‍රී ලංකාව කැඳවාගෙන යනු ඇත්තේ විසංවාදය පාගා දැමෙන සහ මර්දනය සහ බිය ගැන්වීම, දූෂණය සහ භීෂණය දේශපාලන ලකුණ වන අඳුරු යුගයකට ය.


 

(2018. 11. 04 ‘රාවය‘ පුවත්පතේ පළවූවකි) 


ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි 


සබැඳි ලිපි 


උන්මත්තක රාජ්‍ය අනුහසට පිටුපෑම සහ ගහලයන්ගේ ඉතිහාසය 


#MeToo, ඉන්දියාව සහ සිරිසේන