වත්මන් ශිෂ්‍ය ව්‍යාපාරයේ කාර්ය සංසිද්ධිය

නිර්මාල් දේවසිරි

වර්තමානයේ ශිෂ්‍ය ව්‍යාපාරය කටයුතු කරන ආකාරය නිසි පරිදි තේරුම් ගන්නේ නම්, ආණ්ඩුව හා ලෝක බැංකුව එහි වර්ධනයට උපරිම සහය ලබා දිය යුතුය. ලෝක බැංකුව මෙන්ම ආණ්ඩුවේ අධ්‍යාපන හෙංචයියන් ද පුන පුනා කියන රැකියා ලබාගැනීමට උපාධි අපේක්ෂකයින්ට අවශ්‍ය Soft skills හෙවත් Socio-Emotional Skills පුහුණු කරන හොදම ක්ෂේත්‍රයක් වන්නේ වත්මන් ශිෂ්‍ය දේශපාලනයයි. ශිෂ්‍ය දේශපාලන යේ සංවිධායකයෝ ශිෂ්‍ය විරෝධතා සංවිධානය කිරීම හරහා මෙන්ම විශ්වවිද්‍යාල තුළ තම අරමුණු සදහා ශිෂ්‍ය ප්‍රජාව බලමුළු ගැන්වීම හරහා අති විශිෂ්ට සංවිධාන හැකියාවක් හා මානව සම්පත් කළමණාකරණ හැකියාවන් අත්පත් කර ගනිති. මේ හැකියාවන් සාමාන්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් හරහා ලබා ගැනීම සිතා ගැනීමට පවා නොහැකිය. මේ ඊනියා ශිෂ්‍ය ක්‍රියාකාරීන් නවක වදය පවතවා ගෙන යන්නේ මෙන්ම තම ඒකාධිකාරය විශ්වවිද්‍යාල තුළ පවත්වාගෙන යන්නේ ද පුදුමාකාර නිර්මාණශීලීත්වයකිනි.


මා දන්නා බොහෝ ශිෂ්‍ය ක්‍රියාධරයෝ මට මුළින්ම හමුවන විට පෞරුෂ වර්ධනය අතින් බෙහෙවින් පහළ මට්ටමක සිටියෝ වූහ. නමුත් ඔවුන් විශ්වවිද්‍යාෙපන් උපාධි ලබා (හෝ නොලබා) පිට වන විට පුද්ගලික අංශයේ මධ්‍යම මට්ටමේ විධායක ශේණියේ රැකියා සදහා අවශ්‍ය බොහෝ හැකියාවන් අත්පත් කරගෙන සිටියහ.


ලහිරු වීරසේකර මීට වසර 5කට පමණ පෙර මුළින්ම රජරට විශ්වවිද්‍යාෙය් දී මට හමුවන අවස්ථාවේ මා ඔහු තුළ දුටු හැකියාවන් වර්තමානය වන විට අතිවිශාල පරිමාණයෙන් වර්ධනය වී ඇත. අදහස් ගොණු කිරීමේ හා ඉදිරිපත් කිරීමේ හැකියාව. විශාල ශිෂ්‍ය විරෝධතා සංවිධානය කිරීමේ හැකියාව විවිධාකාරයේ පිරිස් සමග උරෙනුර ගැටී වැඩ කිරීමේ හැකියාව විශාල වශයෙන් ඔහු තුළ වර්ධනය වී ඇත. දුමින්ද නාගමුව, පුබුදු ජයගොඩ, උදුල් ප්‍රේමරත්න, සංජීව බණ්ඩාර, නජිති ඉන්දික වැනි අය මෙන්ම වැඩි පුර සමාජය නොදන්න, එවැනි විශාල හැකියාවන් වත්මන් ශිෂ්‍ය දේශපාලන ක්‍රියාකාරකම් වර්ධනය කරගත් පිරිස් මම පුදුගලිකව දනිමි. මේ අය අත්පත් කරගත්තාවූ ශක්‍යතා වඩාත් උචිත වන්නේ විකල්ප දේශපාලන ව්‍යාපාර වලට වඩා වත්මන් ධනේෂ්වර ආර්ථික සංවිධානයටයි.


ලෝක බැංකුව ඊනියා විශේෂඥයින්ගේ ලණු කා හදුන්වාදෙන ඊනියා ව්‍යාපෘති වලට (මේවායින් හැකියාව ලැබෙන්නේ අප වැන්නන්ට අමතරව කීයක් හෝ හරි හම්බ කරගැනීමට අවස්ථාව ලැබීම පමණි) බිලියන ගණන් මුදල් වියදම් නොකර ඒ සම්පත් වත්මන් ශිෂ්‍ය දේශපාලන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමට යොදවන්නේ නම් යොදවන මුදලට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.