“මාලි “ මැරුණේ නිසි කලට වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණු නිසා - මානව හිමිකම් කේන්ද්‍රය කියයි

මාලි මිය ගියේ නිසි වේලාවට වෛද්‍ය ප්‍රතිකාර නැති නිසා 

“මාලි “ නැමති බන්ධනාගාර රැඳවිය මියගියේ  වැලිකඩ බන්ධනාගාරය තුළදී  ඇයට නිසි වෙලාවට වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදීමෙන් බව  ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි. වැලිකඩ බන්ධනාගාරය තුළදී “මාලි“ ඇතුළු රැඳවියන් කිහිප දෙනෙකු දරුණු ලෙස  පහරදී ඇති අතර ඉන් දින 3 කට පසු “මාලි“ නැමති රැඳවිය ජීවිතක්ෂයට පත්ව තිබේ.   එම රැඳවියා ද ඇතුලු පිරිසක් බන්ධනාගාරය තුළ රැදවියන් වෙත අවශ්‍ය අවම පහසුකම් ලබාදෙන ලෙස ඉල්ලමින්  අගොස්තු 13 සහ 14 වන දින විරෝධතාවක් ආරම්භ කළේය.

“මාලි “ නැමති  35 හැවිරිදි රැඳවිය වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක වන අතර ඇය මත්ද්‍රව්‍ය චෝදනා ලැබූවෙකි. කෘර ලෙස පහර කෑමෙන් පසු  “මාලි“ නැමති රැඳවිය මියයාමට පෙර දින රාත්‍රියේ  කෑ ගසමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස ඉල්ලා සිටි නමුත් ඇයට කිසිදු ප්‍රතිකාරයක් සිදුකීරීමට කිසිදු බලධාරියෙකු කටයුතු කර නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි. මෙම රැඳවිය රඳවා සිටි මැදිරියේ බිත්තියෙන් අනික් පස පිහිටි බන්ධනාගාර රෝහල තුළ ඒ වනවිටත් වෛද්‍යවරුන් දෙදෙනෙකු සේවයේ නිරතව සිටිය ද  ඇය රෝහල් ගත කිරීමට කටයුතු නොකිරීම  බරපතල තත්වයකි.  මෙලෙස බන්ධනාගාර රැඳවියන්ට පහරදීම සහ අවශ්‍ය ඖෂධ ලබා නොදීම යන  කරුණු ඉතා බරපතල ආකාරයේ මූලික අයිතීන් උල්ලංඝනය කිරීම් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පෙන්වා දෙයි.

කාන්තා රැඳවියන්ට පිරිමි නිළධාරීන් පහරදීලා 

අගෝස්තු 13 සහ 14 වන දින විරෝධතාව යෙදී සිටියදි  බිමට බස්සවා ගත් කාන්තා රැදවියන්ට එහි සිටි පිරිමි නිළධාරීන් විසින් කාමරවලට දමා කෘර ලෙස පහරදී ඇති අතර එසේ පහරදුන් කාන්තා රැදවියන් ප්‍රමාණය 41ට වඩා වැඩි බවත්, ඔවුන්ට අතපය කැඩෙන්නට පහරදී තිබූ අතර බොහෝ පිරිසකගේ හිසට පහරදීම නිසා හිස තුවාල වී දැඩි ලෙස ලේ ගැලීම් සිදු වූ බවත් වාර්තා වී තිබේ. මේ අතරින් බහුතරයකට ප්‍රතිකාර කර නොමැති අතර මෙම තත්වය දැඩි  හිංසනීය ක්‍රියාවක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.

වවුනියාවේ දී රැඳවියන් මියගිය අවස්ථාවේදී  ද කටයුතු කළේ මේ නිළධාරීන්මයි 

2011 නොවැම්බර් මස අගදී වවුනියාව බන්ධනාගාරයේ සිටි රැඳවියන්ට මේ ආකාරයටම නිලධාරීන් විසින් පහරදුන් අතර පසුව ඔවුන් අනුරාධපුර සහ මහර බන්ධනාගාරවලට රැගෙන යමින් ද පහර දුන්නේය. ඒ කෲර පහරදීම් නිසා, වවුනියාවේ ගනේෂන් නිමළරූබන් සහ යාපනයේ මරියදාස් ඩෙල්රුක්ෂාන් රැඳවියන් දෙදෙනා මිය ගියේ ය. මේ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ වවුනියාවේ බන්ධනාගාර ප්‍රධානින් ලෙස කටයුතු කළ පුද්ගලයින් මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ බලධාරීන් ලෙස කටයුතු කිරීම මෙහි දී සුළු කොට තැකිය නොහැකි කරුණකි.  1983සහ 2012 වැලිකඩ සිදුවූ පහරදීම් සහ ඝාතන වලට වගකිව යුත්තන්ට  මේ වනතෙක්  කිසිදු පියවර ගැනීමක් හෝ දඩුවම් කිරීමක් සිදුව නැති බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පෙන්වා දෙයි.  “සිරකරුවෝ ද  මනුෂයෝ ය “ යන  ජාත්‍යන්තර ප්‍රඥාප්තිය අනුව කටයුතු කරමින් සිරකරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි.