ත්‍රස්තවාදයට ශ්‍රී ලංකාවේ යලි කිසිදු අවස්ථාවක් නැහැ - ජනරාල් ෆොන්සේකා

ආරක්‍ෂක අංශ සාමාජිකයන්ගේ අහිමිකළ අභිමානය යළි ලබාදෙන බවට ජෙනරාල් සරත් ෆොන්සේකාගෙන් ප්‍රතිඥා

යුද්ධයේ ගෞරවය හිමිවිය යුත්තේ ඇස්, ඉස්, මස්, ලේ දන්දුන් ආරක්‍ෂක අංශ සාමාජිකයන්ටයි


ශ්‍රී ලංකාවේ නැවත ත්‍රස්තවාදයට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බව හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කරයි. එල්.ටී.ටී.ඊ. යට එරෙහි යුද්ධය තවත් යුද හමුදාපතිවරයෙකුට නොපවරන බවට යුද සමයේදී සරත් ෆොන්සේකා මහතා ප්‍රතිඥා දුන්නේය. එය ඉටුකළ බව පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීමේ මාධ්‍ය හමුවේදී ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේය. ලබාගත් නිදහස යළි පාවා දීමට කිසිදු ඉඩකඩක් නොතබන බවට හිටපු හමුදාපතිවරයා සහතික වෙයි. වත්මන් ජනාධිපතිවරයා ත්‍රස්තවාදීන් සමග සාකච්ඡාවට පියවර ගත්තේය. මාවිල්ආරු වලින් ආරම්භ වූ යුද්ධයටද ඔහු විරෝධය දැක්වීය. ඉන් පසු යුද ජයග්‍රහණයේ ගෞරවය තනිව ලබාගැනීමට ජනාධිපතිවරයා ක්‍රියාකළේය. එහෙත් එහි ගෞරවය හිමිවිය යුත්තේ ඇස්, ඉස්, මස්, ලේ දන්දුන් ආරක්‍ෂක අංශ සාමාජිකයන්ටයි. අති විශාල පිරිසක් ශ්‍රී ලංකාවට නිදහස ලබාදීම සඳහා එල්.ටී.ටී.ඊ. යට එරෙහි යුද්ධයේදී ජීවිත පූජා කළහ. එවැනි තත්ත්වයක් යටතේ ජනාධිපතිවරයා යුද ජයග්‍රහණ ගෞරවය තනිව ලබාගැනිම අසාධාරණ බව සරත් ෆොන්සේකා මහතා පෙන්වා දෙයි.

මෛත්‍රී පාලනයක් යටතේ රණවිරුවන්ගේ ගෞරවය සුරකින බවටද හිටපු හමුදාපතිවරයා සහතික වෙයි. වත්මන් රජය විසින් රණවිරුවාගේ ගෞරවයට හානිවන කාර්යය සඳහා ඔවුන් භාවිත කිරීම දක්නට ලැබේ. කැලි කසල ඉවත් කිරීම, අපවිත්‍ර කානු පද්ධති පිරිසිදු කිරීම, පිඩලී ඇල්ලීම සහ එළව`ඵ අළෙවි කිරීම ආදී ගෞරවයට හානි කර ක්‍රියා සඳහා හමුදා සාමාජිකයෝ යොදවනු ලැබ සිටිති. ඔවුන්ට අහිමි වූ අභිමානය මෛත්‍රී පාලනයක් යටතේ නැවත ලබාදෙන බවට සරත් ෆොන්සේකා මහතා ප්‍රතිඥා දෙයි. රණවිරුවන් ආරක්‍ෂා කිරීමට ද පියවර ගැනේ. එය පෞද්ගලික වගකීමක් ලෙස මෛත්‍රී පාලන සමයේදී තමා භාරගන්නා බව ෆොන්සේකා මහතා පවසයි. වත්මන් රජය කොටි ත්‍රස්තවාදීන්ට රැකවරණය සපයයි. එහෙත් රණවිරුවන්ගේ ගෞරවයට හානිකර ක්‍රියාමාර්ග රැසක් රජය ගන්නා බවද ඔහු පෙන්වා දෙයි.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඇතුලූ සියලූ රණවිරුවන් රට පිළිබඳ සිතා ක්‍රියා කළ යුතු බවද සරත් ෆොන්සේකා මහතා කියයි. ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍ය ආරක්‍ෂා කිරීම, ඔවුන්ගේ ප්‍රමුඛ වගකීමයි. දේශපාලන බලපෑම් වලට අනුගත නොවී රට වෙනුවෙන් වගකීම ඉටු කිරීමට එක්වන්නැයි ද හිටපු හමුදාපතිවරයා සියලූ ආරක්‍ෂක අංශ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටී.