මන්ත්‍රී ගේ නිවසට වෙඩි ප්‍රහාරයක් - ආණ්ඩුකාරවරයා එජනිස ප්‍රචාරක රැළියේ

2015 ජනවාරි 3  දින පෙරවරු 6 දක්වා කැෆේ සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1073 කි.  එයින් 105 ක් ප්‍රචණ්ඩක්‍රියා වන අතර, 968 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වේ. 

 පැල්මඩුල්ලේදී පොදු අපේක්ෂක රැළියට ගල් ප්‍රහාරයක්

‍‍ජනවාරි 2 වනදා රාත්‍රි 8.15 පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාව අමතමින් සිටි පැල්මඩුල්ල  ජන රැළියට ගල් සහ වැලි පිරවු බෝතල් ප්‍රහාරයක් එල්ල වී ඇත.

මෙම ප්‍රහාරයෙන්  රැළියට සහභාගීවූ පිරිසකට තුවාල සිදුවී තිබේ. ඒ අතරින් දෙදෙනෙකු රෝහල් ගත කර ඇත.

පොදු අපේක්ෂකයාට එක්වු මන්ත්‍රී ගේ නිවසට වෙඩි ප්‍රහාරයක්


පොදු අපේක්ෂකයාට සහාය  ප්‍රකාශ කළ එජනිස වයඹ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් වෙඩරුව මහතාගේ කුරුණෑගල පුබුදු මාවතේ පිහිටි නිවසට ජනවාරි 2 වනදා රාත්‍රි 1.30 ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත.

මෙම වෙඩි තැබීමෙන්  මන්ත්‍රීවරයාගේ නිවසේ මුරකරු වශයෙන් සේවය කළ අබේකෝන්ගේ සමරකෝන් නැමැති 68 හැවිරිදි පුද්ගලයෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

සුදු පැහැති ජීප් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.  වෙඩි තැබීමට භාවිත කර ඇත්තේ ස්වයංක්‍රීය වර්ගයේ තුවක්කුවක් බව පොලිසිය කියයි. තුවාලකරුගේ යටි බඩ ප්‍රදේශයට වෙඩි පහර වැදී ඇත.

තුවාලකරු මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබයි.

 
පොලොන්නරුවේ එජනිස කාර්යාලයකට ප්‍රහාර


පොලොන්නරුව විජයබාහුපුර  එජනිස මැතිවරණ කාර්යාලයක් ඉදිරිපිට තිබු කටවුට් කිසියම් පිරිසක් විසින් කඩා දමා  ඇත. එජනිස ජනාධිපතිවරණ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත කටවුට්  කිහිපයකට මෙහිදී හානි සිදුවී තිබේ.

දෙසැම්බර් 31 රාත්‍රියේ හෝ ජනවාරි 1 වන වනදා  අළුයම මෙම ප්‍රහාරය එල්ල වන්නට ඇති බව පොලිසිය කියයි.

උතුරේ ආණ්ඩුකාරවරයා එජනිස ප්‍රචාරක රැළියේ


උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා  ‍ජනවාරි 2 වනදා වවුනියාවේ පැවති එජනිස ජනාධිපතිවරණ රැළියට එක්වී ඇත.

එජනිස ජනාධිපතිවරණ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වු එම රැළියට එක්වු උතුරු පළාත් ආණ්ඩුකාරවරයා  වේදිකාවේ අසුන් ගෙන එහි රැදී සිට තිබේ.


මෙම රැළියට සඳහා සැකසු වේදිකාව සැකසීම සහ සැරසිලි කටයුතු සිදුකළේ ආරක්ෂක හමුදාව විසිනි.මේ සඳහා ශ්‍රිලංකා‍ යුධ හමුදාවේ ට්‍රක් රථ සහ අනිකුත් සම්පත් යොදා ගත් බවට  කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළේය.

මෙම රැළියට “ කොණ්ඩය කොටට කැපු අවුරුදු 22 – 35 අතර  සැහැල්ලු ඇදුමින් සැරසුනු” පිරිසක් ද සහභාගි වි සිටියහ. කැෆේ සංවිධානයේ  නිරීක්ෂණය වන්නේ  කණ්ඩායම් වශයෙන් රැස්වීම් භූමියට පැමිණි මෙම පිරිස  වවුනියාව ප්‍රදේශයේ ඡන්දදායකයින් නොවන බවයි.

ආණ්ඩුකාර ධුරය යනු රජයේ තනතුරක් බවත් එම ධුරය හොබවන පුද්ගලයින් රාජ්‍ය නිලධාරීන් වන බවත් කැෆේ සංවිධානය අවධාරණය කරයි.

මේ හේතුවෙන් උතුරේ ආණ්ඩුකාරවරයා එජනිස වේදිකාවේ අසුන් ගැනීම රාජ්‍ය නිලධාරීන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල නිරත වීමක් ලෙස කැෆේ සංවිධානය දකියි.
 
දෙනියායේ පොදු අපේක්ෂක කාර්යාල 2 කට සහ එජනිස කාර්යාලයකට ප්‍රහාර


දෙනියායේ පොදු අපේක්ෂක මැතිවරණ කාර්යාල 2 කට ප්‍රහාර එල්ල වී තිබේ.දෙනියාය  කොස්මෝදර සහ ඉගුරුපලාගල ප්‍රදේශවල පිහිටි මැතිවරණ කාර්යාල වලට මෙලෙස ජනවාරි 2 වනදා රාත්‍රියේ ප්‍රහාර එල්ල වී තිබේ.

මේ අතර කොටපොල ගැටබරුව ප්‍රදේශයේ පිහිටුවා තිබු එජනිස ජනාධිපතිවරණ කාර්යාලයකට ද ජනවාරි 2 වන දින රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල වී ඇත.

නාරම්මල පොදු අපේක්ෂක කාර්යාලයකට ප්‍රහාර


නාරම්මල අලව්ව පාරේ පිහිටි පොදු අපේක්ෂක කාර්යාලයකට ජනවාරි 2 වන දින රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල වී ඇත.

අළුයම 1.40 ට පමණ මෙම කාර්යාලයට කඩා වැදී ඇති පිරිසක් එහි තිබු කටවුට් විනාශ කර දමා ‍ගොස් තිබේ.