රාජපක්ෂ පඹගාල

| සුනන්ද දේශප්‍රිය

අනතෝ ජටා බහි ජටා!

ඇතුලත ද අවුල් ය. පිටත ද අවුල් ය.

මෙලොවදීම සුර ලොව යන ආසාවෙන් ස්වකීය බල තන්හාව වැල්ලෙහි තැනූ පර්වතයක් පුම්බා ගත් රාජපක්ෂ ගණයා  ඒ අරමුනන්ම අනිසි අවැඩ අකටයුත්තෙහිම ගිලී ගත්තේ  දැන් ඇතුලතත් පිටතත් එකම අවුල් ජාලයක් බවට පෙරළාගෙන හිස ගිනි ගත්තකු සේ උන්මාදයක ලීලාවෙන් හැසිරෙන්නේ කෙසේ ද යත්:

ඉන්දියාව සමඟ අවුලකි. 


රාජපක්ස බෑයකු වන ආරක්ෂක ප්‍රධානියා වන ගෝඨාභය රාජපක්ෂ නව දිල්ලි යට  ගෙන් වූ ඉන්දියානු ආන්ඩුව චීන සබ්මැරීන් කොළඹ වරායේ ලැඟුම් ගැනීම ඉන්දියානු ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව කියා සිටියේ දෙතුන් සතියකට පෙර ය. එම සංචාරය ගැන රාජපක්ෂවරු කටක් ඇර වචනයක් කීවේ නැත. නමුත් ඉන්දියානු පුවත්පත් ගෝඨාභයට ඉන්දීය ආන්ඩුව දුන් පණිවිඩය වාර්තා කළේ ය.

ගෝඨාභය ඊට පිළිතුරු දුන්නේ සිය චක් ගෝලයකු වන හිටපු එල්ටීටීඊ නායකයකු වන කරුණා අම්මාන් හරහා ය. පාර්ලිමේන්තුවෙහි අයවැය විවාදයට සහභාගි වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයකු වන කරුණා අම්මාන් ඉන්දියාවට ප‍්‍රහාරයක් එල්ල කරමින් කියා සිටියේ ඉන්දිය සාම සාධක හමුදාව උතුරු නැගෙනහිර දෙමළ කන්තාවන් සිය ගණනින් ලිංගිකව කෙළෙසූ බව ය.

ඊට උත්තර බැන්දේ රාජපක්ෂ ආන්ඩුවේ ලොකුම සහායකුයකු වන මෑතදී ශ්‍රි ලංකාවට පැමිණ රාජපක්ෂවරුන්ට නමස්කාර කල සුබ්‍රමනියම් ස්වාමිය. ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ කරුණා අම්මාන් කළ  චෝදනාව මුසාවක් බවය. කරුණා කට ඇරියේ නැත. ඒ වෙනුවට රාජපක්ෂවරු තවත් චීන සබ්මැරීනයක් කොළඹ වරායට ගෙන්වා ගෙන ඉන්දියාව තවත් තරහ කර ගත්තේ ය.

ලංකාවේ මාලු යුරෝපයට තහනම් විය.

මේ තහනමට ලැයිස්තුවේ සිටි රටවල් පහකින් ගොදුරු වූයේ ලංකාවම පමණි. ඊට හේතුව චීන සමාගම්වලට අවශ්‍ය පරිදි ලංකාවට අයත් මුහුදේ මසුන් හූරා කෑමට ඉඩ දි තිබිම ය. තහනමට ප්‍රතිචාර වශයෙන් ලංකාන්ඩුව කීවේ සිය මාලු අස්වැන්න රුසියාවට සහ චීනයට විකුණන බව ය. එහෙත් යුරෝපයේ දී ලැබෙන මිල එම රටවලදී ලැබෙන්නේ නැත. ඊටත් වඩා එය කටවාචාලකමට කළ කතාවක් පමණක් බව පසුව ප්‍රසිද්ධ විය. දැන් ලංකාන්ඩුව කියන්නේ වහාම යුරෝපා සංගමයේ කොන්දේසි ඉටු කරන බවයි.

පොදු රාජ්‍ය මංඩලයටම දෙන්නයි.

රටවල් 53කින් සමන්විත පොදු රාජ්‍ය මංඩලයේ රටවලට රාජපක්ෂවරුන් විසින් පත් කර ඇති තානාපතිවරුන් අතරින් වාත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයින් සිටින්නේ දෙදෙනෙකු පමණක් බව පසුගිය සතියේ පාර්ලිමේන්තුවෙහි අසන්නට ලැබුණි. එය ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික භාවයටම නිදසුනකි. මේ අව් අස්සේම ශ්‍රී ලංකාව  ගොඩ වූ තවත් රාජපක්ෂ හිතවාදියකු වන පොදු රාජ්‍ය මංඩල මහ ලේකම් කමලේශ් ශර්මා ආපසු යන ගමන් පෙර නොකී දෙයක් කියා ගෙන ගියේ ය. එනම් උතුරෙහි රඳවා සිටින යුද හමුදාව අඩු කිරීමට පියවර ගැනීමත් දෙමළ ජනතාවගේ යුක්ති සහගත අපේක්ෂා සපුරාලීම ඉක්මන් කිරීමත් වැදගත් බවයි. හිටපු ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයකු වන  කමලේශ් ශර්මා  එමගින් හයිය්ක් දුන්නේ රාජපක්ෂවරුන්ට නොව ඉන්දියාවට ය. ශර්මාත් ද්‍රෝහියකු වීමට බැරි කමක් නැත.

මහ කොමසාරිස් සෙයිද් දැන් හතුරෙකි.

රාජපක්ෂ වන්දිභට්ට අමාත්‍ය ජි.එල්. පීරිස් ඇදගෙන නෑම අතින් දෙවැනි වන්නේ අපේ කෙහෙළිය ඇමැත්තාට පමණ ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙහි  වත්මන් මහ කොමසාරිස්වරයා වන සෙයිද් අල් හුසේන් නවී පිල්ලේ මෙන් නොව අපක්ෂපාතී හොඳ මහත්මයෙකැයි මුලින්ම චරිත සහිතිකයක්  දුන්නේ කෙහෙළිය නම් ඇමැතිවරයා ය. එනමුත් තමා ද සිය පූර්වගාමියා වූ නවී පිල්ලේ ගත් මඟම ගන්නා බව සපථ කොට ශ්‍රී ලංකාව යුද සමයේ මානව හිමිකම් කෙලෙසීම් ස්වාධීන පරික්ෂණයකට බාර දිය යුතු යැයි සෙයිද් ප්‍රකාශ කළ වහාම ඔහු එකවරම දුෂ්ඨයකු බවට පත් කරන ලද්දේ ජි.එල්.පීරිස් විසිනි.
ඊයේ පෙරේදා ඇමැති පීරිස් නා ගත්තේ මෙහෙම ය.

ශ්‍රී ලංකාව පිළිබද මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ පරීක්ෂණය  (OISL) සඳහා ඉදිරිපත් කැරෙන ලිඛිත සාක්ෂි සඳහා අවසන් දිනය වූයේ එක්තෝබර් 30දා ය. එනමුත් 30 දින ප්‍රකාශයක් කරමින් එම පරික්ෂණය සඳහා එවනු ලබන ලිඛිත සාක්ෂි තවදුරටත් බාර ගන්නා බව පරීක්ෂණ මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ ය. එය බොහෝ පරීක්ෂන වලදී සාමාන්‍යෙයන් සිදුවන දෙයකි. ශ්‍රී ලංකා ආන්ඩුවම තමන් විසින් පත් කරන ලද කොමිසන් සභාවන්හි කාලය කී වරක් නම් දිර්ඝ කර ඇත් ද?

මෙම කාලය දිගු කිරීම ගැන වහාම බරපතල ප්‍රකාශයක් කරමින් ඇමැති පිරිස් මහ කොමසාරිස් කාර්යාලයට  දෝස් මුරයක් නැගුවේ ය. ඉන් පෙනී ගියේ මෙම පරීක්ෂණය  සඳහා සාක්ෂි ලබා දීම නතර කිරීමට ලංකාන්ඩුව දරන වෑයම යි. පිරිස් ගේ එම ප්‍රකාශයට පිළිතුරු ලැබුනේ මහ කොමසාරිස් සෙයිද් ගෙනි. ප්‍රකාශයක් නිකුත් කරමින් සෙයිද් මෙසේ කීවේ ‘ ශ්‍රී ලංකා ආන්ඩුව  හිතතාමතාම මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ පරීක්ෂණය අඩපණ කිරීමට කටයුතු කරන බවය.

‘‘ එම පරීක්ෂණයට සාක්ෂි ඉදිරිපත්වීම වැලැක්වීමට භයංකාරත්වයේ ප්‍රකාරයක් ශ්‍රී ලංකාන්ඩුව ඉදි කොට තිබෙනවා. ශ්‍රී ලංකාන්ඩු මෙම පරීක්ෂණයට සහාය දීම ප්‍රතික්ෂේප කිරීම නිසා සුපිලිපින් බව නැති වන්නේ පරීක්ෂනයේ නොවෙයි. ප්‍රතික්ෂේප කරන ආන්ඩුවේ. හංගන්න දෙයක් නැතැයි කියන ආන්ඩුවක් අපක්ෂපාතී අන්තර්ජාතික පරීක්ෂණයක් කජ කඩකප්පල් කිරීමට අති විශේෂ වැයමක් දරන්නේ ඇයි? යනුවෙන් ද මහ කොමසාරිස් සෙයිද් ප්‍රකාශ කළේ ය.

ලංකාන්ඩුව ඊට දුන්නේ අමුතු උත්තරයකි. ‘‘ සෙයිද් දෙපත් නයෙක්. එක එක පාරට එක එක විදියට කතා කරනවා“ දැන් ශ්‍රී ලංකාව හිටපු මහ කොමසාරිස් නවී පිල්ලේටත් වඩා වත්මන් මහ කොමසාරිසාරිස් සෙයිද් අල් හුසේන්ට පහර දෙයි. මේ  පන්ගෝට්වල විපාක දැක ගන්නට ලැබෙනු ඇත්තේ ලබන මාර්තුවේ දී පරික්ෂක වාර්තාව ඉදිරිපත් වූ කළ ය.

මේ වනාහී රාජපක්ෂවරු වෙලී සිටින පිටත පඹගාලේ මතුපිට පමණකි. ඇතුළත පඹගාල එන්න එන්නම උග්‍ර වෙයි. රාජපක්ෂවරුන්, රාජපක්ෂ යැපෙන්නන්  සහ රාජපක්ෂවාදීන් හැර  අන් සියළු දේශපාලන බලවේග එක පිළකට සේන්දු වෙමින් සිටන්නේ එකම විකල්පය පඹගාල පිටින්ම රාජපක්ෂ ගණයා දේශපාලන වශයෙන් පරාජය කිරීම බව කවදාටත් වඩා දැන් පැහැදිළි නිසා ය.

මේ යතාර්ථය රාජපක්ෂවරුන් නොදන්නේ යැයි සිතිය නොහැකි ය. අන්තර් ජාතික මෙන්ම දේශීය වශයෙන් තමන් පරාජයක අභිමුව සිටිනා බව දැන දැනත් හදිසි ජනාධිපතිවරණයකට එළඹෙන්නේ ඇයි? 

රාජපක්ෂවරුන්ට බලය අත හැරිය හැකි ද? ජනාධිපතිවරණයේ රාජපක්ෂ දෙවැනි සැලැස්ම කුමක් විය හැකි ද? 

සිතා බැලිය යුතු නොවේ ද?