රාජපක්ෂගේ අලුත් එකත් කුමන්ත්‍රණයක්

උතුරේ යුද්ධයේදී අතුරුදහන් වුවන් සොයා බැලීමට  යයි කියමින් රාජපක්‍ෂ රෙජිමය ජනාධිපති කොමිෂමක්  පත්කලෙත්, එය නිරීක්ෂණ කටයුතු සඳහා විශේෂඥයින් තිදෙනෙක් පත් කලෙත්, ආරක්‍ෂක ඇමතිවරයාටත් ආරක්‍ෂක ලේකම්වරයාටත් එරෙහිව ඇති බරපතළ චෝදනාවලින් ඔහු බේරා, එහි වගකීම හමුදා ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු මත පැටවීම  සඳහා බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි.

අප රටේ අභ්‍යන්තර කටයුතුවලට ජාත්‍යන්තර මැදිහත් වීම් නතර කරගත හැකි එකම මාර්ගය පිළිගත් ස්වාධීන දේශීය පරීක්‍ෂණයක් පැවැත්වීම බව තම පක්‍ෂයේ ස්ථාවරය බව පසුගිය කාලයේ දිගින් දිගටම ප්‍රකාශ කර  ඇතැයි ද එජාපය පවසයි.

අද (13) දහවල් 'සිරිකොත' එජාප මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී, එම පක්ෂයේ නායකත්ව මණ්ඩල සාමාජික මංගල සමරවීර මහතා ඒ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා පත්කර ඇති විශේෂඥයින් තිදෙනා ගේ පක්ෂග්‍රාහී අතීත ක්‍රියාකාරකම් පැහැදිලි කල සමරවීර මහතා, ඔවුන් පැහැදිලිවම ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම් වරයා බේරා හමුදා සාමාජිකයින් කිහිප දෙනෙකුට වරදකරුවන් කරමින් වාර්තාවක් ලබාදෙන බව සහතික යයි ද අවධාරණය කර සිටියේය.

අණ දෙන ඉහළ අය බේරා ගනිමින් හමුදාවේ පහළ අයව පාවා දෙන ඉතිහාසයක් මොහුට ද පැහැදිලිව තියනවා යයි ද මන්ත්‍රීවරයා පැවසිය.

එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

'' පසුගිය පෙබරවාරි මාසයේ දී පවා එක්සත් ජාතික පක්‍ෂය තම ස්ථාවරය පැහැදිලි කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කළා.  එහි මෙසේ සඳහන් වෙනවා.. 

“වගකිවයුතු විපක්‍ෂයක් ලෙස යුද්ධයේ අවසන් සමයේ සිදුවූවා යැයි චෝදනා එල්ල වන සිදුවීම් පිළිබඳ දේශීය පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සම්පූර්ණ සහය ලබාදීමට එක්සත් ජාතික පක්‍ෂය සුදානම් ය. එබඳු පරීක්‍ෂණයක් 2009 ජනවාරි මාසයේ සිට මැයි මාසය වනතෙක් කෙටි කාල පරාශයකට සීමා නොකර තවත් ගැඹුරට නොඑසේනම් පසු පසට ගෙන යමින් එල්ටීටීඊය සිදුකළ තිරස්චීන ම්ලේච්ඡ ක්‍රියා පිළිබඳව ද සොයා බැලිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ විශ්වාසයයි. විශේෂයෙන්ම එහිදී අපරාධ සඳහා වගකිව යුතු එල්ටීටීඊයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයන් හඳුනා ගත්තේ නම් ඔවුන් සම්බන්ධව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කළ යුතුය.”

එපමණක් නොව ජුනි මස 18 වෙනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත්කරන ලද කොමිසමට එරෙහිව රජය ඉදිරිපත් කරන ලද යෝජනාව ඡන්දයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී, මම අප පක්‍ෂය වෙනුවෙන් එම පනතට සංශෝධනයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ද ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ප්‍රතික්‍ෂේප කළ යුත්තේ පිළිගත් ජාතික යාන්ත්‍රණයකින් පමණක් බවයි. එසේ කිරීමට නම් අපගේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ගැන ඇති විශ්වාසනීයභාවය තහවුරු කළ යුතු බවයි.

කෙසේ වෙතත් මෙම යෝජනාව ඉදිරියේ, පාර්ලිමේන්තුවේ සභා ගර්භයට වඩා බයිස්කෝප් ශාලාවක ගැලරියට ගැළපෙන සමහර ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු සුපුරුදු පරිදි ‘ද්‍රෝහියා’ යැයි කෑකෝ ගසමින් තම යෝජනාව වැඩි ඡන්ද විශාල ප්‍රමාණයකින් සම්මත කර ගත්තා.

මේ ආකාරයට විදේශීය ඇඟිලි  ගැසීම්වලට තදබල ලෙස ප්‍රසිද්ධියේ විරුද්ධ වූ රාජපක්‍ෂ රෙජිමය, ඉන් මසකට පසුව එනම් ජූලි 17 වෙනිදා ජනාධිපතිවරයා විශේෂ ගැසට් ප්‍රකාශයකින් යුද්ධයේ අවසන් දින කිහිපය තුළ සිදුවූවා යැයි කියන, යුද අපරාධ ගැන සොයා බැලීමටත් ත්‍රිවිධ හමුදාවේ ක්‍රියා කලාපය ගැන සොයා බැලීමටත් දේශීය පරීක්‍ෂණයක් පවත්වන බවට ප්‍රකාශ කළා.

එම පරීක්‍ෂණයට උපදෙස් දීම සඳහා විදේශීය උපදේශකවරු තිදෙනෙක්ද පත් කළා.

මේ අය කව්ද ?

ලෝකයේ ඉහළම ගණයේ නීතිඥවරුන් වශයෙන් සැලකෙන ශ්‍රීමත් ඩෙස්මන් ද සිල්වා, ශ්‍රීමත් ජෙෆ්රි නයිස් සහා ආචාර්ය ඬේවිඞ් මයිකල් ක්‍රේන් යන නීතිඥවරු තිදෙනා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් මීට පෙර ද මානව අයිතීන් කඩවීම් සම්බන්ධයෙන් වාර්තා ලබා දී තියනවා.

මෑතක දීද සිල්වා - ක්‍රේම් හවුල සිරියාවේ දේශපාලන සිරකරුවන් 11,000කට ආසන්න ප්‍රමාණයක් මරා දැමීම සම්බන්ධයෙන් ද වාර්තාවක් ඉදිරිපත් කර තියනවා.

බැලූ බැල්මට මේ නීතිඥවරුන් තිදෙනා අතිවිශිෂ්ඨ ගණයේ නීතිඥවරු ලෙස පෙනුනත් ඔවුන්ගේ පසුබිම වඩාත් ගැඹුරින් සොයා බැලීමේ දී රාජපක්‍ෂ රෙජිමය මේ තිදෙනා පත් කිරීමේ සැබෑ අරමුණ වඩා පැහැදිලි වෙනවා.

රාජපක්ෂලට 'සුදු හුණුගාන' සිල්වා 

ශ්‍රීමත් ඩෙස්මන් ද සිල්වා කියන්නේ ජෝජර් ඊ. ද සිල්වා මහතාගේ (නිදහස් ලංකාවේ පළමු කැබිනට් මණ්ඩලයේ සිටි) ගේ මුණුපුරෙක්.

ශ්‍රීමත් ඩෙස්මන් ද සිල්වා පසුගිය යුද්ධයෙන් පසුව ප්‍රසිද්ධ දේශන කිහිපයකදී ම රාජපක්‍ෂ රෙජිමයට සුදුහුණු ගෑමට කටයුතු කළ බව ප්‍රසිද්ධ රහසක්.

මොහු බ්‍රිතාන්‍ය රජය විසින් කරන ලද මානව අයිතීන් උල්ලංඝනය කිරීමේ චෝදනා ඉදිරියේ ද එම රජය බේරා ගැනීමට සුදුහුණු ගෑම සම්බන්ධයෙන් ද චෝදනා ඇති පුද්ගලයෙක්.

1989 උතුරු අයර්ලන්තයේ සිදුවූ ප්‍රසිද්ධ මිනී මැරීමක් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්‍ෂණයක් කරන්නට බ්‍රිතාන්‍ය රජය බාර දී තිබුනේ  ශ්‍රීමත් ද සිල්වාට.

එංගලන්තයේ 12/20/12 ගාර්ඩියන් පුවත්පතට අනුව ජෙරල්ඞීන් ෆිනුකේන් මහත්මිය තම ස්වාමිපුරුෂයාගේ මිනීමැරුම සම්බන්ධයෙන් ද සිල්වාගේ වාර්තාව සම්පූර්ණ බොරුවක් හා සුදුහුණු ගෑමක් ලෙස ප්‍රතික්‍ෂේප කර තියනවා.

රජයත් ඇමතිවරුනුත් බේරා ගැනීම සඳහා කරන ලද මහා වංචාවක් ලෙස මෙම වාර්තාව හඳුන්වා දී තියනවා.

ජෙෆ්රි නයිස්:ගඩාපිගේ නීතිඥයා

ජෙෆ්රි නයිස් නීතිය සම්බන්ධයෙන් මහාචාර්යවරයෙක් වන අතර රාජ්‍ය නායක මුක්තිය සම්බන්ධයෙන් විශේෂඥයෙක්.

ලිබියාවේ මොහොමඞ් ගඩාෆි ජාත්‍යන්තර අපරාධ උසාවියට යොමු කිරීමට තීන්දු කළ අවස්ථාවේ තමන් වෙනුවෙන් පෙනීසිටීමට ගඩාෆි තෝරා ගත්තේ නයිස් මහතාවයි.

ඊට ප්‍රථම ගඩාෆි එම රටේ ජනාතාව විසින් ඝාතනය කරන ලද නිසා එසේ පෙනී සිටීමට නයිස්ට අවස්ථාවක් නොලැබුණ ද ගඩාෆිගේ පුත් සයිෆ් ගඩාෆි වෙනුවෙන් පෙනී සිටින්නේ ද මෙම නයිස් මහතා යි.

ඒකාධිපතීන් බේරා ගැනීමේ විශේෂඥයෙක්

ආචාර්ය ක්‍රේන් මහතාගේ පසුබිම දෙස බැලූ විට ද ඔහු යුද අපරාධ චෝදනාවලට ලක් වූ ඒකාධිපතීන් බේරා ගැනීමේ විශේෂඥයෙක්.

2009 සැප්තැම්බර් 28 දින ගිනී රටේ ඒකාධිපති වශයෙන් කටයුතු කළ ජනාධිපති මූසා ඩඩිස් කමාරා විසින් සාමකාමී විරෝධතාවයක් පවත්වන ලද විපක්‍ෂයේ ක්‍රියාකාරීන් 156කට වඩා වැඩි ප්‍රමාණයක් ඝාතනය කළා. මේ සම්බන්ධයෙන් ඇති වූ ජාත්‍යන්තර විරෝධය මධ්‍යයේ මූසා රජය විසින් ම යුද අපරාධ පරීක්‍ෂණයක් 2010 දී පත්කළා.  එම පරීක්‍ෂණයේ වාර්තාව සකස් කලේ  ආචාර්ය ක්‍රේන් .

එම පරීක්‍ෂණයේ දී එම අපරාධවල සම්පූර්ණ වගකීම පහළ මට්ටමේ හමුදා නිලධාරියෙක් මත පටවා, මොහු  ජනාධිපති කමාරා ව චෝදනාවලින් නිදහස් කර වාර්තාවක් ලබාදුන්නා.

ජනාධිපතිවරයා හමුදාවට විරුද්ධ පාක්‍ෂිකයන් සිටින ස්ථානයට ඇතුළුවීමට පවා එපා කියද්දීත් එම හමුදා ඒකකයේ ප්‍රධානියා ඒ ඉල්ලීම උල්ලංඝනය කරමින් කටයුතු කළ බවට පෙන්වමින් ඒකාධිපතිවරයා අපරාධවලින් නිදහස් කර ගන්නට මොහු කටයුතු කළා.

මේ අනුව අණ දෙන ඉහළ අය බේරා ගනිමින් හමුදාවේ පහළ අයව පාවා දෙන ඉතිහාසයක් මොහුට ද පැහැදිලිව තියනවා.

මේ අනුව කිසිම රණවිරුවෙකුට කරදරයක් වීමට ඉඩ නොදෙන බවටත් රණවිරුවන් වෙනුවෙන් විදුලි පුටුවට පවා යන්නට සුදානම් යැයි කියමින් වේදිකාවක් වේදිකාවක් ගානේ රඟන  රාජපක්‍ෂ ජනාධිපතිවරයාත්, ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයාත්,  හමුදාව පාවා දීමේ මහා කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින බවට රටේ ජනතාව දැන්වත් වටහා ගත යුතුව තියනවා....''