‘මාධ්‍ය දඩයමේ තවත් පැත්තක්’- නි.මා.ව්‍යා.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය වැඩ මුළුවකට සහභාගී වීමට යාපනයේ සිට කොළඹ බලා ගමන් ගනිමින් සිටියදී තමන් සිටි වාහනයට ගංජා ස්වල්පයක් සහිත සිගරට් පැකට්ටුවක් දමන ලද්දේ රැවුල වවා ගත් පුද්ගලයකු බවත් ඔහු හමුදා භටයකු බවත් එම වාහනයේ සිටි මාධ්‍යවේදියෙක් බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය.

එහෙත් ඒ ගැන විමසීමක් කළ අවස්ථාවේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය එම ප්‍රකාශය බැහැර කරමින් කියා සිටියේ, යුද හමුදා භටයන් මත්ද්‍රව්‍ය දැමූ බවට කරන ප්‍රකාශයේ කිසිම පදනමක් නොමැති අතර ඒවා සොයා ගෙන ඇත්තේ පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් වන බවයි.

සංවිධානාත්මක වැඩ පිළිවෙලක්

මාධ්‍යවේදී වැඩ මුළුව කැඳවනු ලැබ තිබුණ ශ්‍රී ලංකා පුවත් පත් ආයතනය ඉදිරිපිට අද සෙනසුරාදා එක්තරා සංවිධානාත්මක කණ්ඩායමක් විරෝධතා ව්‍යාපාරයක් ගෙන යමින් සිටි අතර මේ සියලු ක්‍රියාදාමය යම්කිසි සැලැස්මකට අනුව සිදු කරනු ලැබ ඇති බවයි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර බීබීසී සංදේශය කළ විමසීමක දී කියා සිටියේ.

විරෝධතා ව්‍යාපාරය නිසා යාපනයෙන් පැමිණි මාධ්‍යවේදීන් හත් දෙනා ශ්‍රී ලංකා පුවත් පත් ආයතනයෙන් ඉවත් කොට ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට සංවිධායකයන් පියවර ගත් බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර ප්‍රකාශ කරයි.

BBC Sinhala