සීෂේල්ස් මූලෝපාය: දූෂනයක හිම කන්ද

| සුනන්ද දේශප්‍රිය

කුඩා දූපත් මාලාවකින් සමන්විත අප්‍රිකාව ආසන්නයේ පිහිටි  සීෂෙල්ස් රටේ ජනගහණය 90,000කි. රට කුඩා නමුත් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා මහජන බැංකුවට එරට විදේශ ශාඛාවක් තිබේ. එහි ශ්‍රී ලාංකික සේවකයින් නැත. එඑහි අගනුවර වන වික්ටෝරියාව කරා බිලියන ගනනින් පාඩු ලබන මිහින් ලංකා ගුවන් සේවය ගමනක ද  යෙදෙයි. එරට ශ්‍රී ලංකාවේ ආයෝජනයක් නැති අතර එරටට ද ‍ශ්‍රී ලංකාවෙහි ආයෝජනය කිරීමට ශක්තියක් නැත. එනමුත් ජනාධිපති රාජපක්ෂ ම මේ වන විට දෙවරක් සීෂෙල්ස් කරා සංචාරය කර තිබේ. 

පුදුමයි! එත් ඇත්ත. ඒ නිසාම ඇයි කියා අප ඇසිය යුතු නොවේ ද? 

මෙම ප්‍රශ්නයට විස්තරාත්මක පිළිතුරක් සපයන එජාප පාර්ලිමේන්තු මංත්‍රී ආචාර්‍ය හර්ෂ ද සිල්වා පවසන්නේ ඒ අන් හේතුවක් නිසා නොව මේ සියල්ල සිදු වන්නේ සීෂේලස් වනාහී කලු සල්ලි සුදු කිරීමේ ජාවාරම්කාර මධ්‍යස්ථානයක් නිසා බවයි. මුල්‍ය ක්ෂේත්‍රයෙහි මේ  සමස්ත ක්‍රියාවළයට කියන්නේ ශීෂෙල්ස් මූලෝපාය කියා ය.  එරට බැංකුවක එක්සත් ජනපද ඩොලර් මිලියනයක්  තැන්පත් කරන ඕනෑම අයෙකුට ඉන් පසු කිසිම නීතිමය ප්‍රශ්නයකින් තොරව ඇති පදම් කළු සල්ලි එරට දී සෝදා පිරිසිදු කර වෙනත් තැන්හි වුව ආයෝජනය කළ හැකි ය.  ලෝක මුල්‍ය ආයතන ශීෂෙලස් වර්ග කර ඇත්තේ මූල්‍ය විනිවිදභාවයක් නැති අන්තර් ජාතික වශයෙන් මූල්‍ය වගවීමක් නැති රටක් ලෙස ය.

පෙරළා නොදැමුණි නම් ජනාධිපති රාජපක්ෂගේ අන්තර් ජාතික මිතුරන් විය හැකිව තිබූ යුක්රේනයේ අඥාදායක යනුකොවිච් සහ ටියුනීසියාවේ ඒකාධිපති බෙන් අලි සහ ඔහුගේ පුත්‍රයා ශීෂේලස්හි කලු සල්ලි ආයෝජනය කර තිබුණි.

එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ ලඟින්නේ යැයි කියමනක් තිබේ.

ශීෂෙල්ස්හි ආයෝජනය කිරීමට දැවැන්ත ධන සම්භාර සපයා ගත හැක්කේ කෙසේ ද
? විවිධාකාර සළු පිළිවලින් වසන ලද මහා පරිමාණ දූෂන හරහා පමණය.  කෝටි-ප්‍රකෝටි ගණනනින්  කැරෙන කුඩු ජාවාරම් පිටුපස  ආන්ඩුවේ දේශපාලනඥයින් සිටින බව කියන්නේ අප නොව රාජපක්ෂ ආන්ඩුවේම මැති ඇමැතිවරුන් ය. මෑත දී අල්ලා ගන්නා ලද එක් කුඩු ‍තොගයක වටිනාකම රුපියල් ලක්ෂ 7000 ක් බව වාර්තා විය. කුඩු මෙන්ම කැසිනෝ ජාවාරම් ද කොටස් වෙළද පොළෙහි කැරෙන දැවැන්ත දූෂණ මෙන්ම දැවැන්ත යටිතල ජාවාරමේ කොමිස් ද එවැනි  මහා පරිමාණ ධනෝපායන මාර්ග බවට අද පත්ව තිබේ.

ඉහත කී කරුණ විසින්  ශීෂෙල්ස් මූලෝපායට අදාළ තවත් පැතිමානයකට අප ගෙන යයි. එනම් ශ්‍රී ලංකාවේ අප අත්දකිමින් සිටින පරිදි  ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට පත් වන දේශපාලනඥයින් පසුව ප්‍රජාතන්ත්‍රවාදී සළුපිළි උනා දමා පවුල්වාදී අධිකාරවාදයක් ස්ථාපිත කර ගන්නේ ඇයිද යන ප්‍රශ්නය යි. 

සිම්බාබ්වේහි රොබට් මුගාබේ, පිලිපීනයේ හිටපු අඥාදායක පර්ඩිනන්ඩ් මාර්කොස්, බෙලරුස්හි ජනාධිපති ඇලෙක්ස්සැන්ඩර් යුකෂෙන්කෝ යනාදීහු ඒ සඳහා උදාහරණ වෙති.   හිට්ලර් තවත් උදාහරණයකි. ප්‍රජාතන්තුවාදයට ස්තුති වන්නට බලයට පැමිණෙන මෙවැනි රාජ්‍ය නායකයින් පසුව වරදක් බව දැන දැනම  ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කරන්නේ මන්ද?

ඊට ඇත්තේ කෙටි පිළිතුරකි. එනම් දිගටම බලයේ රුදී සිටීමේ ආශාව නිසා ය. දිගටම බලයේ රුදී සිටීමට ලොල් වන්නේ ඇයි? අඩුම වශයෙන් හේතු දෙකක් දැක්ක හැකි ය‍ එකක් නම් රාජ්‍ය බල‍ය යොදා ගනිමින් මහා ධන සම්පත් ගරා ගැනීමත් ධන කුවේර ජීවිත ගත කිරීමටත් ය.  දෙවැන්න නම් උග්‍ර ජාතිකවාදයයි. උදාහරණයක් ගන්නේ  නම් මහජන ජන්දයෙන් බලයට පැමිණි අඥාදායකයකු වූ  ඇඩොලොප් හිට්ලර්ගේ අරමුණ වූයේ යුදෙව් විරෝධය සහ ජර්මානු ජාතිකවාදය මිස ධනය ගරා ගැනීම නොවේ. සිම්බාබ්වේහි මුගාබේ  සුදු ජාතික විරෝධී ජාතිකවාදයේ සහ ධන තන්හාවේ සම්මිශ්‍රනයකි. පිලිපීනයේ මාර්කොස්ට ජාතිකවාදයක් තිබුණේ ම නැත‍‍. ඔහු ඇමෙරිකානු හිතවාදී අඥාදායකයකු විය.

ශ්‍රි ලංකාව යනු රාජපක්ෂ පවුල විසින් පවත්වාගෙන යනු ලබන අර්ධ ඒකාධිපති රාජ්‍යකි. රාජපක්ෂවරුන් 17වන සංසෝධනය අහෝසි කර සියළු ස්වාධීන කොමිසන් සභා සිය අණසකට ගෙන අගවිනිසුරුවරිය පළවා හැර අධිකරණය ද සිය අතට ගත් බව අපි දනිමු. ර‍ටේ සියළු ආර්ථික, දේශපාලන සහ යුද්ධ මර්මස්ථාන ඇත්තේ රාජපක්ෂවරුන් යටතේ ය. ජනමාධ්‍ය නිදහසක් නැත.  සුලුතර ජන ප්‍රජාවන් මර්දනයේ යකඩ සපත්තුවට යට කොට තිබේ.

එවැනි රටක් අර්ධ ඒකාධිපති නොවන්නේ නම් වෙන කුමක් ද?  එහි අරමුණ කුමක් විය හැකි ද?

දූෂණයෙන් සහ භිෂනයෙන් සජ්ජිත මේ අර්ධ ඒකාධිපතිත්වය පවත්වා ගැනෙන්නේ ජාතිය ආරක්ෂා කිරීමේ නාමයෙනි. එ‍ය හුදු ව්‍යාජයකි.  ඒ බව පෙන්වන හොදම සාධකය නම්  බලයට පැමිණීමට පෙර රාජපක්ෂවරුන්ගේ පරාදීසය ඇමෙරිකා එක්සත් ජනපදය වීම ය.  අදත් ඔවුන්ගේ දෙවැනි මව්රට ඇ‍මෙරිකාව ය‍.  බලයට ඒමට පෙර රාජපක්ෂවරුන්ට අද තිබෙන බව පෙන්වන ජාතිආලය තිබුණේ නැත.  ජාතිආලය තිබුණා නම් පරාදීසය සොයා ඇමෙරිකාවේ පදංචියට යන්නේ නැත.

එනයින් තර්කානුකූලව බැස ගත හැකි නිගමනය නම් ශ්‍රී ලංකාව ඥාති සංග්‍රහය මත පදනම් වූ අධිපතිවාදී රාජ්‍යක් බවට පරිවර්ථනය කිරීමේ එකම අභිප්‍රාය අසීමිත ධන තන්හාව බවයි.  බල තන්හාව ඇතිව තිබෙන්නේ ධන කනහිව නිසා ය.

ආචාර්‍ය හර්ෂ ද සිල්වා වත්මන් රාජපක්ෂ ආන්ඩුව මහා පරිමාණ දුෂීත ජාවාරම් වලින් සජ්ජිත වී ඇති  බව පෙන්වා දෙමින් සිටින එක් දේශපාලනඥයෙකි.

මේ එක් උදාහරණයකි.

ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනයාට අයත් අර්ථ සාධක අරමුදල මේ වන විට රුපියල් බිලියන දහසකට ආසන්න ශ්‍රී ලංකාවේ ඇති විශාලතම ධන සම්පතකි.  මෙම අරමුදල 2011 වර්ෂයෙන් පසු එහි විගණක වාර්තා තවම ඉදිරිපත් කර නැත. 2001 වසරෙහි මහා බැංකුවේ අනුදැනුම යටතේ කරන ලද දූෂිත ආයෝජන 58ක් නිසා අරමුදල බිලියන 11.7 ක පාඩුවක් ලැබුවේ ය.

නමුත් ඒ පාඩුවෙන් ලාභ ලැබූ ජාවාරම්කරුවෝ  රොත්තක් ම සිටියහ. ලාභ බිලියන ගණනිනි. ආන්ඩුව කළේ වැඩකට නැති ජාවාරම්කාර සමාගම් වල කොටස් වැඩි මිලකට ( රු 50 කොටස 250කට ලෙස) ගැනීම යි. එමගින් ජාවාරම්කරුවන්ගේ කල්ල මරේ ගිය අතර කොටස් මිල පහල නියම මිලට පහත වැටනු කළ අර්ථ සාධක අරමුදල පාඩු පිට කොටස් විකුණා දැමුවා ය. පාඩුව අර්ථ සාධක අරමුදල විඳ ගත්තා ය. ඇත්ත වශයෙන්ම නම් සිදු වූයේ අදාළ ජාවාරම්කරුවන්ට ආන්ඩුව වක්‍ර ලෙස ධන සම්පත් ලබා දිම යි. 

වෘත්තීය සමිති සිය සාමාජිකයන්ගේ අරමුදල කබානීසියා කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට ගියෝ ය. අප කව්රුත් කවරෙක්දැයි දන්නා  මොහොන් පීරීස් අගිවිනිසුරු ආසනයේ සිට නඩුව වීසි කර දැම්මේ ය.

රාජපක්ෂවරුන්ගේ යටිතල කොන්ත්‍රාත් ලැබීමට වාසනාව ලබා ඇති මහා පරිමාණ ව්‍යාපාරිකයකු වන්නේ ඇක්සස් අධිපති සුමල් පෙරේරා ය‍. ලඟදී දිනෙක තවත් අපූරු ජාවාරමක් සිදු විය.  සුමල් පෙරේරාගේ සමාගම ජනාධිපති රාජපක්ෂ පුතෙකුට රුපියල් මිලියනයක් තෑගි දුන්නේ ය. 2013 වසරෙහි මිලියන1.1ක් තෑගි දුන්නේ ය. ඒ ඔහුගේ රගර් ක්‍රීඩා ජීවිතයට මිලක් වශයෙනි. ජනමාධ්‍ය වාර්තා කර තබූයේ  ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු රගර් ක්‍රීඩකයකුට එවැනි වරමක් ලැබී නැති බවයි.

හරිම වාසනාවකි!  ප්‍රජාතන්ත්‍රවාදී රටක දී නම් මෙවැනි පරිත්‍යගයන්ට තියන්නේ 'රජ පවුලට පගාවක්' කියා ය. ලංකාවේ දී කියන නම නොදනිමු!

දූෂණයේ චක්‍රය එවැනි ය. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කැසිනෝ ව්‍යාපාරිකයා රාජපක්ෂවාදී ජනමාධ්‍ය සඳහා මුදල් ආයෝජනය කරයි. හිරුණිකා කියන්නේ සිය පියාට වෙඩි තැබූ ( දුමින්ද) කුඩු ජාවාරම්කාරයකු බව ය. දුමින්ද පවුල රාජපක්ෂ පවුලේ හිතවතුන් ය. කුඩු ජාවාරම් සඳහා ලියුම් දෙන්නේ අගමැති ය. ආන්ඩුවේ ක්‍රීඩා ඇමැති දූෂනයෙන් හම්බ කර ඇතැයි කියන්නේ ඔහුගේ බිරිඳ ය. ජනාධිපති පවුලේ තානාපති ඥාතියකු රුපියල් මිලියන 45ක් වංචා කර හසුවූයේ ඊයේ පෙරේදා ය. ජනාධිපති රාජපක්ෂය කෝටි ගණනාවක පුද්ගලික අරමුදලක් චීනයෙන් ලබා දුන් බව ලියුවේ සන්ඩේ ලීඩර් ය. ශ්‍රී ලංකාවේ තහනම් කර ඇති වෙබ් අඩවියක් මෑත දී නම් ගම් ඇතිව චෝදනා  කළේ දූෂනයෙන් ඉපයූ  ශ්‍රී ලාංකික ධන සම්පත්  විදේශවල තැන්පත් කිරීමේ පකිස්ථානුවන් මූලිකත්වය දරන ව්‍යපාරික ජාලයක්ම ඇති බවයි‍

ශ්‍රී ලංකාන්ඩුවේ ශීෂෙල්ස් මූලෝපාය අප තේරුම් ගත යුත්තේ එම සන්දර්භය තුළ ය.

ජූනි මාසයෙහි ශ්‍රී ලංකාවෙහි එස් 400 වර්ගයේ බෙන්ස් කාර් 40ක් ලියා පදිංචි කෙරුණි. ඉන් එකක මිල ශ්‍රී ලංකාවේ දී ලක්ෂ 300කට ආසන්න විය යුතුය. මෑත දී රාජපක්ෂවරුන්ගේ විවෘත කිරීමේ උත්සවයට පමණක් ලක්ෂ 300ක් වැය කල බවට වාර්තා වන කොළඹ “Arcade Independence Square”  නම් සුපිරි වෙළද සැළෙහි රුපියල් ලක්ෂ 05 සිට ලක්ෂ 300 දක්වා මිල විය හැකි HUBOLT ස්විස් ඔරලොසු විකිනීමට තිබෙනවා ඇත.

මේසා මුදල් කන්දරා වැය කළ හැක්කේ දේශපාලන පංතියේ ජාවාරම්කරුන්ට හැර අන් කවරකුට ද?  කලු සල්ලි සුදු කැරෙන ශී‍ෂේලස් මූලෝපාය අවශ්‍ය වන්නේ එනිසා ය.

මෙම ධනකුවේරයන් බිහි කැරෙන දූෂිත ආර්ථිකයට තවත් උදාහරණයක් දෙන ආචාර්‍ය හර්ෂ ද සිල්වා පෙන්වා දෙන්නේ ලොව අධිකම මිලැති දුම්රිය මාර්ගය බිහි වන්නේ ශ්‍රී ලංකාවේ බවයි. එනම් මාතර සිට බෙලිඅත්ත කරා ය. එවැනි මඟක කිලෝ මීටරයක සාමන්‍ය පිරිවැය  ඩොලර් මිලියන 2.1කි. රාජපක්ෂවරුන්ගේ පිරිවැය  ඩොලර් මිලියන 14.7ක් නොහොත් හත් ගුණයකි.  සියල්ල පොලියට ගැනෙන්නේ වීනයෙනි. කොතරම් මුදල් කන්දරාවක් කොමිස් ලෙස විසිවනු ඇත් ද?

සීෂෙල්ස් මූලෝපාය අවශ්‍ය එනිසා ය. මතක තබා ගත යුතු අනෙක් කරුණ නම් අපට පෙනෙන්නේ පාවෙන අයිස් කන්දේ මුදුන පමණක් බව ය. මුහුද මතුපිට පෙනේනේ අයිස් කන්දෙන් වැඩිම වශයෙන් හතෙන් එකක් පමණයි. භීෂනයෙන් ඇති කැරෙන දූෂණයක් එවැනි ය.

(පාර්ලිමේන්තු මංත්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් ඉංග්‍රීසි පුවත් පතකට දෙන ලද සම්මුඛ සාකච්ජාවක වූ කරුණූ කිහිපයක් ද ඇසුරු කර ගන්නා ලදී. )