ජනපති ක්‍රමය එ.ජා.පයේ ඓතිහාසික වරදක්‌... - එරාන්

සාකච්ඡා කළේ - බුලිත ප්‍රදීප් කුමාර 
උපුටා ගැනීම : දිවයින ඉරිදා සංග්‍රහය 

වර්තමාන රජයට පාර්ලිමේන්තුවේදීන් ඉන් පිටතදීත් ප්‍රබල විවේචන එල්ල කරන මන්ත්‍රීවරු දෙදෙනෙක්‌ අද විපක්‍ෂයේ හඬ වේදිකාව ඔස්‌සේ අප හමුවෙයි. ඉන් එක්‌ අයෙක්‌ බොහෝ සේ හුරු පුරුදු දේශපාලනඥයෙකි. ජනතා විමුක්‌ති පෙරමුණේ කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඔහුය.

අනෙක්‌ දේශපාලනඥයා මේ දිනවල විපක්‍ෂ දේශපාලන වේදිකාවේ බොහෝ සෙයින් කතා බහට ලක්‌වූ චරිතයකි. නමින් එරාන් වික්‍රමරත්න නම් වූ ඔහු එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුවට ආර්ථික සමාජ දේශපාලන විෂයයන් කේන්ද්‍ර කරගෙන ප්‍රබල විවේචන ගෙන යන මන්ත්‍රීවරයෙකි.

ලන්ඩනයේ සුප්‍රකට ආසියාකර හා අප්‍රිකානු විශ්වවිද්‍යාලයේ මූලික උපාධියක්‌ හා පශ්චාත් උපාධියක්‌ දේශපාලන විද්‍යාව හා ආර්ථික විද්‍යාව විෂය ක්‍ෂේත්‍රවලින් ලබාගෙන 1984 යළි මවුබිමට පැමිණියේ බැංකු ක්‍ෂේත්‍රයේ ආර්ථික උපදේශකයකු ලෙස සේවය අරඹන්නට සිතාගෙනය. ඒ අනුව ජාත්‍යන්තර බැංකුවකින් සේවය අරඹන ඔහු පුද්ගලික මූල්‍ය ආයතන ගණනාවක්‌ හරහා සේවය කර දේශමාන්‍ය කරු ජයසූරියගේ ආරාධනයෙන් දේශපාලනයට පිවිසෙයි. ඒ අනුව 2010 දී බැංකු ක්‍ෂේත්‍රයේ දීර්ඝ කාලීන සේවයකින් විශ්‍රාම ගෙන එරාන් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ එක්‌සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්‌තු මන්ත්‍රීවරයෙක්‌ වෙමිනි. ගැඹුරු දේශපාලන හැදෑරීම්වලට පසුව ඔහු අද යහ පාලනය නොමැතිකම දූෂණය, නාස්‌තිය ඉහවහා යැම යන විෂය ක්‍ෂේත්‍ර ඔස්‌සේ වත්මන් රජයට ප්‍රබල අභියෝග එල්ල කරන දේශපාලනඥයකු වී තිබේ.......

සුනිල් හඳුන්නෙත්ති හා එරාන් වික්‍රමරත්න යන මන්ත්‍රීවරු දෙදෙනාම අද අප සමග කතා බහ කරන්නේ රජයට එරෙහිව මේ දිනවල නැගෙන දූෂණය වංචාව, යහ පාලනය නොමැතිකම හා බලය කේන්ද්‍රගතකරණය ආදී කාරණා පිළිබඳවය.

ප්‍රශ්නය - ඔබ දිගු කලක්‌ පිටරට ඉඳලා තවත් කලක්‌ ලංකාවේ මූල්‍ය ක්‍ෂේත්‍රයේ කටයුතු කරල දේශපාලනයට පිවිසෙන්නේ දේශපාලනය පිළිබඳ හසල පළපුරුද්දක්‌ නොමැතිව. එවකට ඔබගේ තිබුණ දේශපාලනය පිළිබඳ හැඟීම දැනීම මොනවගේ එකක්‌ද?

පිළිතුර - මේ රටේ දේශපාලනය පිළිබඳ මා කළ හැදෑරීම් හඳුනා ගැනීම් හා වටහා ගැනීම්වලට අනුව මට එදා එක්‌ වැදගත් දෙයක්‌ තේරුම් ගියා. ඒ තමයි ශ්‍රී ලංකා රාජ්‍යය ජනරජයකින් රාජධානියක්‌ බවට පත් වෙමින් තිබෙන බව.

ජනරජය කියන්නේ එකක්‌. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන මහජන නියෝජිතයන්ගෙන් තමයි ජනරජය හැදෙන්නේ. නමුත් රාජධානිය ඊට සපුරාම වෙනස්‌. මොකද එහි ඉන්නේ රජෙක්‌.

මෙතෙන්දී මට තේරුම් ගියා රාජ්‍යයක්‌ බවට පත්වීම වැළැක්‌වීමට නම් විපක්‍ෂය ශක්‌තිමත් විය යුතු බව. ඒ අනුව තමයි මම විපක්‍ෂයේ දේශපාලනය බාර ගන්නේ. මොකද රටක්‌ ජනරජයක්‌ වීම වළක්‌වන්න අවශ්‍ය නම් ඒකට ශක්‌තිමත් මන්ත්‍රීවරු විපක්‍ෂයේ ඉන්න ඕන.

ප්‍රශ්නය - ඔබ දේශපාලනයට පැමිණිලා වසර දෙක තුනකින් විපක්‍ෂ දේශපාලන කතිකාවේ ජනප්‍රිය හා ක්‍රියාකාරී චරිතයක්‌ වුණා. වැඩ පෙන්නන්න පටන් ගත්තා. ඒක ඔබ සැලසුම් කළ දෙයක්‌ද?..

පිළිතුර - මම පාර්ලිමේන්තුවේදී කටයුතු කරන කොට පසුගිය කාලයේදී දැකපු දෙයක්‌ තමයි ආණ්‌ඩුවේ සමහර දේවල් විපක්‍ෂය විවේචනය කරනකොට

රජයේ මැති ඇමැතිවරු කියනවා. ඔය කතා කරන්නේ නොදැකනේ. හරි හැටි විස්‌තර නොදැනනේ. එන්න...... මේවා හොඳට බලන්න. සංවර්ධනය දකින්න.. දැකලා කතා කරන්න කියලා. ඒකට විපක්‍ෂයට ආරාධනය කරනවා. මම කල්පනා කළා අපි විපක්‍ෂයේ නිරීක්‍ෂණ කණ්‌ඩායමක්‌ විදියට යන්න ඕන.

ගිහින් මේවා හරිහැටි බලලා අධ්‍යයනය කරලයි කතා කරන්න ඕන. එහෙම කියල කල්පනා කරල තමයි මම රුවන්a විඡේවර්ධන, අජිත් පෙරේරා, අජිත් මාන්නප්පෙරුම රවී කරුණානායක, හර්ෂ ද සිල්වා වගේ පසුපෙළ මන්ත්‍රීවරු එකතුවෙලා නිරීක්‍ෂණ කණ්‌ඩායමක්‌ හදා ගත්තේ. අපි ගිහින් මේ කියන සංවර්ධනය බලමු. බලලා ප්‍රශ්න කරමු. කතා කරමු. අඩුපාඩු පෙන්වා දෙමු. ප්‍රජාතන්ත්‍රවාදීව කියලා අපි සැලසුම් කළා. ඒ අනුව තමයි අපි හම්බන්තොටින්, මත්තලින් අපේ නිරීක්‍ෂණ රාජකාරි ආරම්භ කරන්නේ. අනික ඒක විපක්‍ෂ මන්ත්‍රීවරු විදියට අපට තියෙන අයිතියක්‌.

ප්‍රශ්නය - ඔබ දිගු කලක්‌ බටහිර ඉගෙන ගත්ත කෙනෙක්‌ නේ. ඉතින් ඔබට තේරුමක්‌ නැහැ මේ ආසියාකරයේ දේශපාලනය ගැන. විශේෂයෙන් දකුණු ආසියාවේ, ඔබ හිතුවා බටහිර රටවල වගේ මෙහේත් විපක්‍ෂයට ගිහින් ඕන තැනක ඕන දෙයක්‌ හොයල බලල කුණු අවුස්‌සන්න පුළුවන් කියලා.... එහෙම නේද?

පිළිතුර - ඔබ වැරදියි. ඇයි ඔබ ආසියාව ගැන ඔය තරම් අඩු තක්‌සේරුවකින් කතා කරන්නේ. ඔබ දන්නවාද ඉන්දියාව, පකිස්‌තානය, බංග්ලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින ආදී හැම රටකම නීතිමය අයිතියක්‌ තියෙනවා ජනතාවට තොරතුරු දැන ගැනීමට. ව්‍යවස්‌ථාවේ ඒ අයිතිය හැම වේලාවෙම ඒ අයිතිය මන්ත්‍රීවරුන්ට නොවෙයි. රටේ ජනතාවට දීල තියෙනවා. රජයේ ව්‍යාපෘති විනිවිද දකින්න. තොරතුරු හොයන්න ජනතාවට පුළුවන්. හැබැයි ලංකාවේ එහෙම අයිතියක්‌ නෑ. මේ නිසා අපි කල්පනා කළා ඒ අයිතිය ජනතා නියෝජිතයෝ හැටියට අපට තියෙනවා. අපි ගිහින් හොයලා බලලා ජනතාවට තොරතුරු කියමු කියලා අපි කල්පනා කළේ ඒකයි....

ප්‍රශ්නය - හරි.. ඔබලා හම්බන්තොටට, මත්තලට ගිහින් මොනවද හොයා ගත්තේ.

පිළිතුර - කරන ලද සහ කරමින් ඉන්න අති විශාල වියදම හා සාපේක්‍ෂව ආදායමක්‌ හා ප්‍රයෝජනයක්‌ නැති ආයෝජනයක්‌ ලෙස අපි මත්තල දකිනවා. මතක තියාගන්න. මත්තල ඔය කියන යටිතල පහසුකම් හදන්න විතරක්‌ පළමු අධියරට රජය වියදම් කරලා තියෙනවා. ජනතාවගේ සල්ලි ඩොලර් මිලියන 250 ක්‌ (පසුගිය 23 දා) අපි පාර්ලිමේන්තුවේදී ආණ්‌ඩුවෙන් ප්‍රශ්නයක්‌ ඇහුවා. මත්තල ගුවන්තොටුපළ වැඩිපුරම භාවිත කළ විදේශ ගමන් සේවය කුමක්‌ද ඉන් මේ වසරේÊලද ආදායම කීයද කියලා. එයාලා කිව්වා. "µaලයි ඩුබායි" කියලා දන්නවද මේ මාස 7 ට ආදායම කීයද කියලා. රු. 16,000 යි. ඔන්න වැඩිපුරම ආපු විදේශීය ගමන් සේවය අපට දීපු ආදායම. අපේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා කිව්ව ගුවන් තොටුපළ ඉස්‌සරහා කිරි විකුණන අම්මා කෙනෙක්‌ ඉන්නවා. එයා මාසෙට රු. 16,000 කට වඩා ශුද්ධ ලාභයක්‌ ලබනවා කියල කිරි විකුණලා.

ඔන්න මම ගියා µaලයි ඩුබායි වලින් මත්තලට විශාල ශාලාවක එකම එක නෝනා කෙනෙක්‌ හිටියා. අර ආගමන විගමන වැඩ කරන. මම ඇහුවා ඔබ අත්සන්a ගහලා ලංකාවටම කීදෙනෙක්‌ පිළිගත්තද කියලා. එක්‌කෙනායි කිව්වා. මම අර ප්ලේන්වලට නග්ගවන බස්‌සවන තැනින් ඇහුවා අද මෙතැන හරහා කීදෙනෙක්‌ ගියාද කීදෙනෙක්‌ ආවද කියල.d 25 ක්‌ විතර ආවා 25 ක්‌ විතර ගියා කිව්වා. ඔන්න ඇත්ත තත්ත්වය. අපි මේ ඇත්ත ජනතාවට කියන්න ඕන. ජනතාව මේවා දැක ගන්න ඕන. ජනතාවට බොරු කියල කියලා කියලා රවට්‌ටලයි තියෙන්නේ. බොරු පෙන්නලා මුළා කරලා ජනමාධ්‍යවලින්. ඇත්ත කතාව අද ගුවන් යානා මෙතැනට යන්නේ එන්නේ මෙතැනින් ආදායමක්‌ ඇති නිසා නොවෙයි. මාලදිවයිනට, ඩුබායිවලට යනකොට මෙතැන බාල නග්ගවල යනවා. අපරාදේ සුළු පටු වියදමක්‌ නොවෙයි. ගුවන් යානයක්‌ කටුනායක ඉඳලා ඩුබායිවලට යනකොට දැන් දෙපාරක්‌ නග්ගනවා. දෙපාරක්‌ බස්‌සවනවා. ගුවන් යානයක වැඩිපුරම ඉන්ධන දහනය වෙන්නේ හා කොටස්‌ ක්‍ෂය වෙන්නේ මෙන්න මේ නැග්ගවීම් බැස්‌සවීම්වලට. අඩි 33,000 ට දෙපාරක්‌ නග්ගනවා හා බස්‌සනවා කියන්නේ නිරපරාදේ කරන විශාල වියදමක්‌. ජනතාවට මෙන්න මේ ඇත්ත ලංකාවේ ගුවන් සමාගම් පාඩුq ලබන්න හේතුව, මේවා කඩා වැටෙන්න හේතුව මොනවද කියල කියන එකනේ මහජන නියෝජිතයන් හැටියට අපේ යුතුකම.

ප්‍රශ්නය - මේ රටේ යහ පාලනය නොමැතිකම නාස්‌තිය, දූෂණය සොරකම ගැන ඔබ, රජයට ප්‍රබල ලෙස විවේචන එල්ල කරනවා. මේ චෝදනා ඔප්පුකර පෙන්වීමට හැකි පසුබිමක ඔබලා ඉන්නවාද කියන ප්‍රශ්නය අපට තියෙනවා.

පිළිතුර -ඕවා එකින් එක ගන්නවාට වඩා වැදගත් මේවා වෙන්නේ මොකක්‌a නිසා ද මොන මූලයකින්ද කියලා වටහා ගන්න එක. එතකොට පුළුවන් අපට රෝග නිධානයටම පිළියම් හොයන්න.

අද මුළු රටටම ප්‍රශ්නයක්‌ වෙලා තියෙන්නේ අසීමිත බලයයි. ඒ කිව්වේ ජනාධිපති ළඟ තියෙන පාර්ලිමේන්තුවට වග නොකියන අසීමිත බලය. ඒක රටක ප්‍රගමනයට ලොකු බාධකයක්‌.

බලන්නකෝ මුදල් බලය, ව්‍යවස්‌ථාවේ 148 වැනි වගන්තිය යටතේ රාජ්‍යයේ මූල්‍ය බලතල වගන්තිය ඔක්‌කොම තියෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව තමයි මූල්‍ය පිළිබඳ තීන්දු තීරණ ගන්නේ නමුත් ජනාධිපති ඔහුගේ අසීමිත බලතල යොදලා පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය පැහැරගෙන තියෙනවා. අමාත්‍යාංශ අරගෙන තියෙනවා. ඒ තුළ රටේ අයවැයෙන් අති විශාල මුදල් සම්භාරයක පාලනය තම ආධිපත්‍ය යටතට අරන් තියෙනවා. ඒක කොච්චර වැරදිද.

ප්‍රශ්නය - ඒ එයාලා යටතේ තියෙන අමාත්‍යාංශවල වැය ශීර්ෂවලින්නේ. ඒක වැරදිද.

පිළිතුර -ඔව්. වැරදියි. එයා අමාත්‍යාංශ පවරාගෙන ඒ තුළ මුදල් පාලනය කරන එක වැරදියි. ඒකයි මම කියන්නේ. මේ රටේ ව්‍යවස්‌ථාවම වෙනස්‌ කළ යුතුයි. ජනාධිපති ක්‍රමය වෙනස්‌ කළ යුතුයි.

ප්‍රශ්නය - මේ කතා බහේදී අප ට එක දෙයක්‌ පැහැදිලි වුණා. ඒ තමයි මේ තියෙන ජනාධිපති ක්‍රමය හා විවෘත ආර්ථික ක්‍රමය යන දෙකම රටට ගැළපෙන්නේ නැහැ කියන එක. ඉතින් මේ දෙකේම නිර්මාතෘවරු ආදී කර්තෘවරු එජාපයමනේ. ඔබලාමනේ හදල තියෙන්නේ.

පිළිතුර- ජනාධිපති ක්‍රමය ගත්තාම ඔව්.... ජනාධිපති ක්‍රමය අද මේ රටේ ප්‍රගමනයට වඩා රට රාජාණ්‌ඩුවක්‌ කරා රැගෙන යන්න ඉහල් වෙනවා කිව්වොත් මම පිළිගන්නවා. ඒ නිසා අපට අද මේක වෙනස්‌ කිරීමක්‌ අවශ්‍යයි. අතේ ඇඟිලි 5 ම එක වගේ නැහැනේ. ඇඟිලි විවිධයි. අපි අපේ වැරදි, අපේ අඩුපාඩු පිළිගන්නවා. එසේම ඒවා නිවැරැදි කර ගනිමින් ඉන්නවා. ඒ ඓතිහාසික වරද නිවැරැදි කළ යුතුයි.

හැබැයි විවෘත ආර්ථිකය ගැන කතා කරන විට අපි මීට වඩා සිතිය යුතුයි.

ප්‍රශ්නය - මම කලින් ඇහුවේ ඔබලා රජයට එල්ල කරන නාස්‌තිය, දූෂණය, වංචාව වැනි චෝදනා ඔප්පු කිරීමට තිබෙන සාක්‍ෂි ගැනයි.

පිළිතුර -ඔක්‌කොම කතා කරන්න වෙලාව මදිවෙයි. අපි ගමුකෝ නාස්‌තිය, දූෂණය, වංචාව කියන කාරණා මේ රටේ සංවර්ධන ව්‍යාපෘතිවලින්. මේ රටේ අද ජනතාව දන්නේ නැති ලොකුම මහා පරිමාණ මුදල් වංචා, නාස්‌තිය වෙන්නේ පාරවල් හා අධිවේගී මාර්ගවලින්. අපට ඔය වගේ අධිවේගී මාර්ග හදපු ලෝකයේ වෙනත් රටවල වටිනාකම් හා සස¹ බලන්න පුළුවන්.

අපි මුලින්ම ගමක හදන ධාවන පථයකින් යුත් කාපට්‌ පාරක්‌ ගමු. ඒකෙ එක කිලෝමීටරයක්‌ කාපට්‌ කරන්න නියම මුදලට වඩා විශාල වියදමක්‌ රජය දරනවා. එතකොට දක්‍ෂිණ අධිවේගී මාර්ගය හදන්න වියදම් කළ මුදල. ලොවේ වෙනත් රටවල වැය කළ මුදලට වඩා අති විශාලයි. ඊට වඩා වැඩියි. කටුනායක - කොළඹ මාර්ගයේ එක්‌ කිලෝමීටරයකට ගිය මුදල. ඊටත් වඩා වැඩියි කොළඹ වටරවුම් පාරේ කිලෝමීටරයකට යන මුදල.... මගේ ළඟ හරියටම ගණන් මිනුම් තියෙනවා. ඕන්නම් දෙන්නම්. මේවා සාමාන්‍ය විය හැකි වියදමට වඩා හත් අට ගුණයක්‌ විශාලයි. ඇත්තම කියනවා නම් මේවා විග්‍රහ කරන්න "හොරකම" කියන වචනය පවා මදි. ඊට එහා වචනයක්‌ ඕන. මේ මුදල් කොහාට ද යන්නෙ. කවුද ගන්නේ? පැහැදිලිවම මේ මුදල් කෙනෙක්‌ හෝ කණ්‌ඩායමක්‌ ගන්නවා........

ප්‍රශ්නය - කවුද ගන්නේ... කෙලින් කියන්න........

පිළිතුර - අපි කෙළින් කියනවා. දැන්ම නෙවෙයි. මොකද අපිට තව තොරතුරු තියෙනවා හොයාගන්න. මේ වගේ බරපතළ චෝදනාවක්‌ කරන කොට පුංචි වරදක්‌වත් තියෙන්න බෑ.

ප්‍රශ්නය -ඔබ ලොකු චෝදනාවක්‌ කරනවනේ. මේ මුදල් කොමිස්‌ කුට්‌ටි වශයෙන් සොරකම් කරනවා කියලා. පෙන්නන්නකෝ ඒ මුදල් තියෙන තැන.

පිළිතුර -එහෙම එක පාරටම කියන්න බැහැ. සීයට සීයක්‌ තොරතුරු හොයලා ඉවර කරන්නේ නැතුව. ඕන්නම් එක ඉඟියක්‌ කරන්නම්. ලක්‍ෂ තුන හතරක ජනගහනයක්‌a ඉන්න රටක්‌ වන සී ෂෙල්ස්‌ දිවයිනේ අපි මොකටද ගිහින් අපේ ලංකා බැංකු ගණනාවක්‌ අරින්නේ. මේවා ගැන ගැඹුරින් හිතන්න.

මම ආර්ථික විද්‍යාව පිටරටවල ඉගෙන ගත්ත කෙනෙක්‌.

රට රටවල කළු සල්ලි සුදු කරන හැටි ගැන මම හොඳට දන්නවා. ලෝකෙ තියෙන කළු සල්ලි සුදු කරන්න හොඳම තැනක්‌ තමයි සී ෂෙල්ස්‌ රට. අපි මේවා ගැඹුරින් හොයා බලනවා. සියලු තොරතුරු හෙළිදරව් කිරීමෙන් පසු ජනතාව දැනුවත් කරනවා.