මහින්ද රාපක්ෂ: සෙවැනැල්ලට බිය වීම

| සුනන්ද දේශප්‍රිය

ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් බලයට පැමින ඒකාධිපතිවාදය කර පින්නා ගන්නා ඕනෑම දේශපාලනඥයකු වඩාත්ම බියවන්නේ අන් කවරකුටවත් නොව තමන්ගේම අතීත දේශපාලන සෙවැනැල්ලට ය. අද ජනාධිපති රාජපක්ෂට සිදුව ඇත්තේ එය යි. මහින්ද රාජපක්ෂගේ දේශපාලන සෙවනැල්ලෙහි ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, ජනමාධ්‍ය නිදහස, කම්කරු අයිතිවාසිකම්, ජිනීවා මානව හිමිකම් කවුන්සිලය යනාදී සියල්ලම තිබේ. විපක්ෂයේ සිටිය දී ඒ හැමකකින්ම ප්‍රයෝජන ගත් ඔහු අද ඒ සියල්ලටම බය ය‍. ඔහුගේ ආන්ඩුව විසින් අද තහනම් කර ඇත්තේ එදා ඔහු විසින් පාවිච්චියට ගන්නා ලද අයිතීන් ය‍‍. 


සිවිල් සමාජ සහ රාජ්‍ය නොවන සංවිධානයන්ට පෙර නොවී විරූ තහංචි පනවමින් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද,  නියෝගය අප තේරුම් ගත යුත්තේ ද  එම දේශපාලන සන්දර්භය තුළ ය. ජූලි 01 දා නිකුත් කර ඇති එම නියෝග ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනමාධ්‍ය නිදහස එක එල්ලේ ම උල්ලංගනය වෙයි. මෙම නියෝගයෙහි රාජ්‍ය නොවන සංවිධාන යනු මොනවාදැයි අර්ථ නිරූපනයක් නැති බැවින්  අවශ්‍ය අවස්ථාවන්හි දී ඕනෑම සිවිල් සමාජ සංවිධානයකට එරෙහිව මෙම නියෝග යොදා ගැනීමට දැන් රාජපක්ෂ රිජීමයට හැකි ය. කවර හෝ සංවිධානයක් මර්දනය කරන්නට අවශය වූ විට මෙම නියෝග භාවිතා කරනු ඇති බව රාජපක්ෂ ආන්ඩුවේ භාවිතාව විසින්ම තහවුරු කරයි.

මෙම නියෝග හුදෙක් ගෝඨාභය රාජපක්ෂගේ අඥාන අදූරදර්ශි ක්‍රියාවකැයි අර්ථ දැක්වීම රාජපක්ෂ රිජීමයේ සමස්ත ස්වරූපය  යටපත් කිරීමකි. රාජපක්ෂ බෑයන් ක්‍රියා කරන්නේ එකිනෙකා උෟණ පූරණය කරමින් මිස එකිනෙකාට පටහැනිව නොවේ. රාජපක්ෂ රිජීමය යනු රාජපක්ෂ පවුල සහ එහි අන්තේවාසික දේශපාලනඥයින් ය. වෙන කිසිවකු එහි නැත. රිජීමය නොහොත් රාජපක්ෂ පාලනය සිය බලය පවත්වා ගැනීම පිණිස සමස්තයක් ලෙස කටයුතු කරනවා මිස රාජපක්ෂවරුන් සිය හිතු මතයට පිස්සු නටන්නේ නැත. ඔවුන්ට ඇත්තේ එකම තනුවකි. එය නම් පුරවැසියා මර්දනය කිරීම මගින් සිය බලය පවත්වා ගැනීම යි. රාජ්‍ය නොවන සංවිධාන මර්දනය කිරීමේ ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝගය එම සමස්ත මූලෝපායේ දැති රෝදයකි.  'මහින්ද හොඳයි වැඩේ කන්නේ ගොඨා' යන කතිකාව අවසානයේ දී රිජීමයට ගැලවීමේ මඟක් බවට පත් කර ගත හැකි ය.

රාජ්‍ය නොවන සංවිධාන මර්දනය කිරීම රාජපක්ෂ මූලෝපායේ අභේද්‍ය කොටසක් වන්නේ ඔහු රාජ්‍ය ‍නොවන සංවිධාන ගැන හොදින් දන්නා නිසා ය. ඔහු තරම් රාජ්‍ය නොවන සංවිධාන සමඟ සිය දේශපාලන ක්‍රියාකාරකම් බද්ධ කරගත් අන් දේශපාලනඥයකු ශ්‍රී ලංකාවේ නැති තරම් විය හැකි ය. ඔහු ම ද රාජ්‍ය නොවන සංවිධාන හදා ගත්තේ ය. 1990 ගනන් මුල දී මහින්ද රාජපක්ෂ සහ මංගල සමරවීර එක්ව නායකත්වය දුන් මව් පෙරමුණ ද විවිධ ආධාර ලබා ගත් රාජ්‍ය නොවන සංවිධානයකි. රජයට ලැබුණු සුනාමි අරමුදල් හෙල්පින් හම්බන්තොට නමින් තමා  යටතේ තිබූ රාජ්‍ය නොවන සංවිධානයකට අනීතික ලෙස පවරා ගැනීම ගැන ද මහින්ද රාජපක්ෂට චෝදනා නැගී තිබූ අතර ඉන් ඔහු බේරා ගත්තේ තමා බව හිටපු අගවිනිසුරු ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේ ය. ඔහු ඉන් ගැලවුනේ එම මුදල් යළි මහා භාන්ඩාගරයට ලබා දීම මගිනි.

රිජීමයේ මූලෝපායට අනුව රාජ්‍ය නොවන සංවිධානයන්ට දරුණු සිමා පණවමින් ගෝඨාභය රාජපක්ෂගේ අමාත්‍යංශය විසින් ජූලි 01 දින පනවන ලද නියෝග  ඊට එරෙහිව නැගී ආ විරෝධතාවයන්ට බියෙන් දැන් පියවරක් පස්සට ගෙන තිබෙන බවක් පෙනේනට තිබේ. එනමුත් එම නීති අහෝසි කර නැත. පසු අවස්ථාවක  පාචිච්චියට ගැනීම පිණිස මුවහත් කළ කිණිසි මෙන් ඒවා බඩ තුරෙහි සඟවා ගත්තා පමණය. 

දැන්  ගෝඨාභය රාජපක්ෂ යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශය විසින් එවන ලද එම චක්‍ර ලේඛනය කියවමු.

2014 ජුලි 01 දා
රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය නොවන සංවිධාන පිලිබඳ ජාතික ලේකම් කාර්යාලය
රාජ්‍ය නොවන සංවිධාන තම පමණ ඉක්මවා ක‍්‍රියා කරති.
සියලූම රාජ්‍ය නොවන සංවිධාන වෙත
මාධ්‍ය සාකච්ජා, වැඩමුළු, මාධ්‍යවේදීන් සඳහා වූ පුහුණු කටයුතු සහ මාධ්‍ය ප‍්‍රකාශ බෙදා හැරීමේදී සමහර රාජ්‍ය නොවන සංවිධාන තම පමණ ඉක්මවා කටයුතු කරන බව හෙළිදරව් වී තිබේ.
වහාම ක‍්‍රියාත්මක වන පරිදි සියළුම රාජ්‍ය නොවන සංවිධාන එවැනි අනුමැතිය නොලැබූ ක‍්‍රියාකාරකම් වලින් වැළකී සිටිය යුතු බව අපි අවධාරණය කරමු.
 අත්සන් කළේ
 ඞී.එම්.එස් දිසානායක
 අධ්‍යක්ෂ-ලේඛකාධිකාරී


මතකයේ තබා ගන්න එහි එන 'සියලුම රාජ්‍ය නොවන සංවිධාන' සහ 'අපි අවධාරණය කරමු ' යන යෙදුම්. ප්‍රථම වාක්‍ය කණ්ඩයෙන්  කියැවෙන්නේ මෙම චක්‍ර ලේඛනය සියලුම රාජ්‍ය නොවන සංවිධාන වෙත ඉලක්ක කරන ලද්දක් බව ය. දෙවැනුව එහි අපි යනුවෙන් අදහස් වන්නේ කවරෙක්  විය හැකි ද? එනම් රාජපක්ෂ රිජීමය යි.
දැන් එම ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙහි පසුගිය 08 දා පළ කරන ලද පළ කර ඇති මෙම වාර්තාව කියවමු.

රාජ්‍ය නොවන සංවිධාන සීමා කිරීමට ප්‍රයත්නයක් නැහැ - බ්‍රිගේඩියර් වීරසූරිය

බලාධිකාරය අනුව කටයුතු කිරීමට කැරෙන සිහි කැදවීමක් පමණයි.

ඩී. එම්.එස්. දිසානායක මහතා විසින් යවන ලද ලිපියෙන් කියැවෙන්නේ රාජ්‍ය නොවන සංවිධානයන්ට සිය බලාධිකාරය යටතේ පමණක් කටයුතු කරන සේ  සිහි කිරීමක් පමණක් බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ බ්‍රිගේඩියර් රුවන් වීරසේකර මාධ්‍යට පැවැසී ය.  රාජ්‍ය නොවන සංවිධාන කටයුතු පාලනය කරන්නට යන්නේ යැයි ඇති පැතිරුණු අදහස පැහැදිලි කරමින් ඔහු කීවේ එය මහ ජනයා නොමඟ යැවීමට පතුරුවා හරින බොරු ආරංචි බවයි.

ඔහු තවදුරටත් කීවේ රාජ්‍ය නොවන සංවිධාන පාලනය කැරෙන නීති රාජ්‍ය නොවන සංවිධාන වෙබ් අඩවියේ පහත සදහන් පනත් යටතේ දක්වා ඇති බවයි.

•    1980 අංක 31 දරණ ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන ( ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය) පනත.
•    1998 අංක 8 දරණ ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන ( ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය) සංශෝධන පනත.
•    1999/10/5 දිනැති අංක 1161/14 අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශිත පනත යටතේ නිකුත් කළ රෙගුලාසි.
•    1999/2/26 දිනැති ජනාධිපති ලේකම් ගේ චක්‍රලේඛ ලිපිය.

ඩී.එම්.එස් දිසානායක සහ  බ්‍රිගේඩියර් වීරසූරිය යන දෙ‍දෙනාම කටයුතු කරන්නේ ගෝඨාභය රාජපක්ෂ යටතේ ය. පළමු ලිපියෙහි ඇත්තේ අවධාරනයෙන් කියා සිටින බවය. දෙවැනි කතාවෙන් කියැවෙන්නේ සිහි කැදවීමක් පමණක් බවය. සිහි කැදවීමක් වීමට නම් මෙයට පෙර මෙවැනි සීමා පවතින බව රාජ්‍ය නොවන සංවිධානයන්ට දන්වා තිබිය යුතු ය. එවැනි දැනුම් දීමක් මෙයට පෙර රාජ්‍ය නොවන සංවිධාන වෙත රාජපක්ෂවරුන් විසින් කර නැත. එමතු ද නොව බ්‍රිගේඩියර්  වීරසූරිය සදහන් කරන ලේඛන හතරෙන් කිසිවක රාජ්‍ය නොවන සංවිධානයන්ට එවැනි සීමා පනවා  ද නැත.

ඉදින් මේ අන්ද කයිප්පු කතාවල තේරුම කුමක් ද? එහි තේරුම පුරවැසි පිරිස් මුලා කිරීම ය.

අප මතක තබා ගත යුත්තේ බ්‍රිගේඩියර් වීරසූරිය, ඩී.එම්.එස්. දිසානායක මහතාගේ නියෝග ඇතුළත් ලිපිය ප්‍රකිත්ෂේප නොකරන බවයි. ඔහු ව්‍යංගයෙන් එම ලිපියේ ඇති කරුනු සනාථ කරයි.  ආරක්ෂක අමාත්‍යාංශයේ  එම ලිපිය තවමත් වළංඟු ය.  අප දැන් කියා සිටිය යුත්තේ එම නියෝග ඇතුලත් ලිපිය අහෝසි කරන ලෙස යි.
දිසානායක මහතාගේ මර්දන නියෝගය පයිසයකට හෝ මායිම් නොකර නීතිවේදී සහ ජනමාධ්‍යවේදී සංවිධාන පුවත් පත් නිවේදන නිකුත් කරමින් අරගලයේ පෙරමුණ ගත්හ. අනතුරුව රාජ්‍ය නොවන සංචිධාන ගණනාවක්ම සාමුහික පුවත් පත් සාකච්චාවක් පවත්වමින් රාජපක්ෂ මර්දන නියෝගයන්ට අභියෝග  කළෝ ය‍.  මෙම නියෝගය නිකුත් වූයේ මහින්ද රාජපක්ෂ විපක්ෂයේ සිටි අවධියේ නම්  මෙම නියෝග ඔහු විසින් ප්‍රසිද්ධියේ ඉරා ගිනි තබන්නට පෙරමුණ ගන්නට ඉඩ තිබුණි. වත්මන් ශ්‍රී ලංකාවේ ඛෙදවාචකය නම් එතැන ගත හැකි ජවසම්පන්න දේශපාලනයක් සහ චරිතයක් නොමැති වීම ය‍.