අලුත්ගම සිට ජිනීවා දක්වා: අපක්ෂපාත සහ විශ්වසනීය පරීක්ෂණ

| සුනන්ද දේශප්‍රිය

අලුත්ගම මුස්ලිම් විරෝධී ප්‍රහාරය ඇමෙරිකාව  විසින් හැඩි දැඩි කරනු ලබන ශ්‍රී ලංකා තලේබාන් අන්තවාදීන්ගේ ක්‍රියාවකැයි  යැයි ඇමැති චම්පක රණවක කීවේ ය. ආරක්ෂක ඇමැති ගොඨාබය රාජපක්ෂ  ප්‍රංශාවට ලක්කළ "ගෝටාගේ යුද්ධය'' නම් කෘතිය ලියු සම්පාදනය කළ රාජපක්ෂවාදී ලේඛකයකු වන සී.ඒ. චන්ද්‍රප්‍රේම   කියා සිටින්නේ සමස්ත අලුත්ගම සිදුවීම ම පිටුපස ඇමෙරිකානු ආන්ඩුව සිටින්නේ දැයි සැක කළ හැකි බවයි. මේ පිටම ඇමෙරිකාවට තවත් ප්‍රහාරයක් එල්ල කළ  ඇමැති එස් .බී. දිසානායක ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් මහ පාරේ ඇද ගෙන ගොස් තලා පෙළා පහර දී මරාදැමිය යුතු යැයි කීවේ ය. මෙම සියලු කතා එක් හුයකට බඳිමින් ජනාධිපති රාජපක්ෂ කීවේ රට අවුල් කරන විදේශ බලවේග දැන් ක්‍රියාත්මක වී ඇති බවයි.

එපමණක් නොව (අලුත්ගම සිදුවීම) වැනි පුංවි සිදුවීම් වලට වි‍රෝධය පා හර්තාල් කරන මුස්ලිම් පිරිස්, එල්ටීටීඊ ය විසින්  මුස්ලිම් ජනයා ඝාතනය කරත් දී සහ යාපනයෙන් පළවා හරිත් දී සිටියේ කොහේ දැයි කියාත් ජනාධිපති රාජපක්ෂ හම්බන්තොට  දී කළ එම කතාවේ දී  ම විමසා සිටියේ ය. එසේ නමුත් එල්ටීටීඊ ය සිංහල ජනයා ඝාතනය කරත් දීත් ජය ශ්‍රී මහා බෝධියට පහර දෙත්දීත් බොදු බල සේනා හෝ සිංහල රාවය හෝ සිටියේ කොහෝදැයි ජනාධිපති රාජපක්ෂ විමසුවේ නැත.  එමෙන්ම අඩුම වශයෙන් සිව් දෙනෙකු ඝාතනය කරමින් නිවාස සියයක‍ට ආසන්න ප්‍රමාණයක් දවා අලු කරමින් ඇවිල වූ අලුත්ගම ගින්න පුංචි දෙයක් සේ ලුහු කළ එම රාජපක්ෂ ආන්ඩුවම එක් අයකුට මරණය කැදවමින් පකිස්ථානයේ පුෂාපොර් ප්‍රන්ත ගුවන් තොටට 25 වන බදාදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වහාම හෙළා දුටුවේ ය!

රාජපක්ෂවරුන්ගේ මූලිකත්වයන් භයානක ලෙස හාස්‍ය ජනකය.

අලුත්ගම මුස්ලිම් විරෝධී ප්‍රහාරයන්ට පොලිස් සහ හමුදා පිරිස් සම්බන්ධ වූ බවට  සාක්ෂි ගණනාවක් ම දැන් ප්‍රසිද්ධ වී තිබේ. අබ්දීන් නම් විශ්‍රාමික ගුරු මාතාව තමා නිවෙසින් පිටත‍ට ගෙන ගොස් පොලීසියට බාර දී සිය නිවස ගිනි තැබූ හැටිත් එසේ ගිනි තියත් දී පොලීස් විශේෂ කාර්්‍ය බලකාය බලා සිටි සැටිත් ඇය විස්තර කරන්නේ හඩමිනි. එජාප මංත්‍රී තෙවරප්පෙරුම සාක්ෂිය තවත් එකකි. මෙවැනි සාක්ෂි බොහෝ ගණනාවක් දැනට එක්රැස් කර ඇති බව දැන ගන්නට තිබේ. 

එළෙසින් සාක්ෂි මතුවෙත් දී අලුත්ගම මුස්ලිම් විරෝධී ප්‍රහාරයන් සම්බන්ධයෙන් මුස්ලිම් රටවලින් නැගී ආ විරෝධය හමූයේ තමා ඒ පිළිබඳව පරීක්ෂන කොමිසමක් පත් කරන බවට ජනාධිපති රාජපක්ෂ පොරොන්දුවක් දුන්නේ ය. නමුත් අලුත්ගම ප්‍රහාරයට දෙසතියක් ගත වී තිබියදීත් තවමත් එවැනි පරීක්ෂන කොමිසමක් පත් කර නැත.  අලුත්ගම ප්‍රහාර සම්බන්ධ පරීක්ෂණය අපක්ෂපාත සහ විශ්වසනීය විය යුතු බවට අධිකරණ ඇමැති රවුප් හකීම් පවා ප්‍රකාශ කර තිබේ. එවැනි පරීක්ෂණයක් පැවැත්වුව හොත් ආන්ඩුවේ බළල් අතක් වන ඥණසාර (හිමි) ද ‍වරදකරුවකු වනු නියත ය.  එමෙන්ම නීතිය ක්‍රියාවේ නොයෙදවීම සම්බන්ධයෙන් පොලීසිය ද වරදකරුවනු සහතික ය.

එබැවින් දැනට පෙනෙන පරිදි මේ පරීක්ෂන කොමිසමට ද සිදු වනු ඇත්තේ යුද සමයේ සිදු කෙරුණු මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂනයක් පවත්වන බවට රාජපක්ෂවරුන් විසින් අන්තර් ජාතික ප්‍රජාවට දෙන ලද පොරොන්දුවට වූ සන්තැසියම ය. එක්කෝ බොරු කොමිසමක් පත් වනු ඇත. නැතනම් කොම්සමේ වාර්තාව සදාකාලික රහසක් වනු ඇත.  අවසානයේ දී මුස්ලිම් ජනයාට සිදුවනු ඇත්තේ සිය ආරක්ෂාව උදෙසා  අලුත්ගම ප්‍රහාරය සම්බන්ධ සියළු තොරතුරු ඉස්ලාමීය රටවල්  සහ එක්සත් ජාතින්ගේ සංවිධානය වෙත ලබා දිම පමණ ය‍.

රාජපක්ෂවරුන්ගේ ස්වාධින පරීක්ෂන යනු ඇස් බැන්දුම් බව පසුගිය වසර ගණනාව පුරා අපි නොදුටුවෙමු ද?

රටේ කොතැනක හෝ අපරාධයක් සිදු වූ  වහාම ඒ පිළිබඳව රාජපක්ෂවරුන්ගේ නොහොත් රාජපක්ෂ ආන්ඩුවේ මතය ප්‍රකාශක කරන මහතැන් දෙපළක් සිටිති. එක් අයෙක් නම් කට අරින අරින සෑම වතාවක ම වාගේ පුරුද්දට කකුළ කටේ දා ගන්නා ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ය.  අනෙකා නම් කෝළමා යන වචනය සිහි ගන්වන පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ ය.  රාජපක්ෂවරුන් යටතේ කවර හෝ දේශපාලන අපරාධයක් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු නොවන බවට ඇති සාක්ෂිය මේ මහත්තැන් දෙපළ ය.  මේ දෙදෙනාගේ එවැනි ප්‍රකාශ එක් කළ හොත් මැන්චෝසන් චාරිකා පරදවන රාජපක්ෂ චාරිකා යැයි පොත් පිංචක් සකස් කළ හැකි ය.

එක් උදාහරණයක් ගන්නේ නම්  මැන්චෝසන් පොලිස් ප්‍රකාශකගේ  නෝ ලිමිට් හත් පොලේ ගා ගැනීම ගත හැකි ය. ඔහු කියා සිටියේ පානදුරයේ ‍නෝ ලිමිට් ආයතනයට කිසිවකු ගිනි තබා නැති බවත් එය විදුලි කාන්දුවකින් සිදුව ඇති බවත් ය. ඔහු එසේ කීවේ කිසිදු නිසි පරීක්ෂනයකට පෙර ය. ආයතනය ඉදිරිපට තිබූ යතුරු පැදියක් දැවී ගියේ කෙසේ දැයි ඒ න්‍යාය අනුව තේරුම් කල ‍නොහැකි ය. දැන් පා.ම. මංගල සමරවීර විසින් කලු ඇඳ ගත් කන්ඩායමක් නෝ ලිමිට් සාප්පුවට රහසේ ඇතුළු වීම පෙන්නුම් කරන වීඩියෝ සාක්ෂියක් ද ඉදිරිපත් කර තිබේ. ඊට ප්‍රතිචාරයක් ලෙස  දන්නා කාලයක දී පාවිච්චියට ගෙන නැති වසර සියයකට වඩා පැරණි රාජ්‍ය රහස් පනත යටතේ මංගල සමරවීරගෙන් සිය පොලිසිය ප්‍රශ්ණ කරනු ඇති  බව කීවේ ද මේ  පොලිස් ප්‍රකාශක අජිත් රෝහනම ය‍.

කෝළමකු නොවේ නම් අන් කවරරෙක් ද?

සර්කස් සංදර්ශණ වලදී දැක්වෙන ලොමු දැහැ ගැන්වෙන ව්‍ක්‍රම නිසා ඇති වන ආතතිය මඟ හරවනු වස් සිටින කෝළමාකු එම කන්ඩායම්හි  සිටී.  එවැනි කෝළමකු සේ රඟන පොලිස් අධිකාරී අජිත් රෝහණ තරම් නීතියේ පාලනය බල්ලාට දැමූ වෙනත් පොලිස් ප්‍රකාශකයකු ශ්‍රී ලංකාවේ සිට නැත. මේ ‍කෝළමා රාජපක්ෂ ආන්ඩුවේ අපරාධ පරීක්ෂනයන්හි හිස් බව පෙන්වන හොඳම පඹයා ය. අපරාධයක් සම්බන්ධයෙන් ආන්ඩුවේ හෝ පොලීසියේ කවරකුගේ නම ගෑවුනු වහාම සර්කස් සංදර්ශණයක වේදිකාවට පැමිණ බඩ පිනුමක් ගසා පස්සා පස්සා පැත්ත කසා  හිනා කවන කොළමා මෙන් පොලිස් පරීක්ෂක දෙසාබාන්නේ නීතියේ නිසි පරිපාටිය වෙනුවට හිතලු ය.

තවත් මෑත සිදුවිමක් දෙස බලමු.

පස්යාලෙහි දී බීමත් පොලිස් නිලධාරීන් විසින් වෙඩි තබා මරා දමන ලද බවට චෝදනා නැගෙන 23 හැවිරිදි මීරිගම කිතුල්වල ප්‍රදේශයේ පදිංචි ඉන්දික ජයසිංහ සම්බන්ධයෙන් පොලිස් ප්‍රකාශක කීවේ ඔවුන් පැන යාමට උත්සාහ දරත්දී වෙඩි තැබූ බවය. නමුත් වෙඩි වැදී තිබුණේ ඉන්දිකගේ පපුවට ය. ඔහු සමඟ යතුරු පැදියේ ගමන් ගත් සචින් චතුරංග සාක්ෂා දෙමින් කියා සිටියේ යතුරු පැදිය නතර කළ පසු අසළට ආ පොලිස් නිලධාරීන් ඉන්දිකට වෙඩි තැබූ බවයි. නමුත් පොලිස් ප්‍රකාශක එම සාක්ෂිය කුණු බක්කියට දමා කීවේ පොලීසිය බේරා ගැනීමට ගෙතූ කතාව ය.  පොලීසිය විසින් කරනු ලබන සෑම මිනීමැරුමක්ම විළිබිය නැතිව සාධාරණ කරන්නේ ද මේ ‍මහතැන් දෙපොල නොහොත් දෙබාන විසිනි.

ශ්‍රී ලංකාවේ සිදුවන කිසිදු මානව හිමිකම් කෙළෙසීමක් සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනය  යටතේ නිසි පරීක්ෂණයක් නොපැවැත්වෙනු ඇති බවටත් වරදකරුවනට දඩුවම් නොකෙරෙනු ඇති බවටත් ඇති අලුත්ම  සාක්ෂිය බවට පත්වනු ඇත්තේ අලුත්ගම ප්‍රහාරය යි.

රටෙහි ජනයාට එරෙහිව කැරෙන රාජ්‍ය අපරාධ සම්බන්ධයෙන් කිසිදු අපක්ෂපාත, සාධාරණ සහ විශවසනීය පරීක්ෂනයක් නොපවත්වන රාජපක්ෂ පාලනය පිළිබඳ අන්තර් ජාතික පරීක්ෂණය කරළියට එන්නේ එවැනි පසුබිමක් යටතේ ය. පසුගිය බදාදා මානව හිමිකම් කොමිසාරිස්වරිය වන නවී පිලලේ විසින් නම් කරන ලද එම පරික්ෂණයේ විශේෂඥ උපදේශකයින්  තිදෙනා එම පරීක්ෂණයට  අති මහත් විශවසනීයත්වයක් එක් කර තිබේ.

පින්ලන්තයේ හිටපු ජනාධිපති වන මාර්ත්ති අර්තිසාරි ලොව මහත් පිළිගැනීමක් ඇති සාම දූතයෙකි. එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ නියෝජිතයකු ලෙස අප්‍රිකාවෙහි කළක් සේවය කර ඇති අර්තිසාරී සාම සේවය ‍වෙනුවෙන් නොබල් ත්‍යගයෙන් පිදුම් ලද්දෙකි.

සිලිවියා කාට්රයිට් නවසිලනතයේ හිටපු ආන්ඩුකාරවරියක් මෙන්ම අභියාචනා විනිසුරුවරියක ද වෙයි. ස්ත්‍රීන්ට එරෙහි විෂම සැළකීම පිටු දැකීමේ එක්සත් ජාතීන්ගේ කමිටුවෙහි හිටපු සාමාජිකාවක වූ ඇය මැතක් වන තුරුම කාම්බෝජ යුද අපරාධ අධිකරණයේ විනිසුරුවරියක ද වූවා ය.

අස්මා ජහින්ගිර් පතිස්ථාන ශ්‍රෙෂ්ඨාධිකරණයේ නීතිඥ සංගමයේ සහ පකිස්ථාන මානව හිමිකම් කොමිසමෙහි හිටපු සභාපතිනියක වන්නීය. ඇය දෙවතාවක දී  ආගම ඇදහීමේ නිදහස පිළිබඳ මෙන්ම  අනීතික අත් අඩංඟුවට ගැනිම් සහ මිනිස් ඝාතන පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ධුර හෙබවූවා ය.. අල්ලා ගත් අරාබි භුමි ප්‍රදේශයන්හි ඊශ්‍රයල අනවසර ජනාවාස ඉදි කිරීම් පිලිබඳ කරුණූ සෙවීමේ එක්සත් ජාතීන්ගේ කන්ඩායමේ සාමාජිකාවක ද වූවා ය.

මෙම විශේෂඥ උපදේශකයින් අධිරාජ්‍යවාදීන්ගේ ගැත්තන් ලෙස පින්තාරු කිරීම දුෂ්කර වනු ඇති අතර ඔවුන් විසින් ඉදිරිපත් කරනු ඇති වාර්තාව අගතිගාමී වනු ඇතියි කියා සිටීම ද ලෙහෙසි නැත.  මෙම තිදෙනා සතු විශේෂඥ හැකියාවන් බැලු බැල්මටම පුළුල් පරාසයක විහිදී තිබේ. සාමය සම සංහිදියාව ඇති කිරීම (අර්තිසාරී) ,ස්ත්‍රි අයිතීන්, ලිංගික අපරාධ සහ යුද අපරාධ (කාට්රයිට්) සුලුතර ආගමික නිදහස, පැහැර ගැනිම් සහ අනීතික මනුෂ්‍ය ඝාතන සහ බලහත්කාර ජනාවාස (ජහින්ගිර්) ඒ අතර වෙයි.

මේ වනාහී ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් අරභයා කැරෙන වඩාම විසිතීර්ණ සහ ගැඹුරුතම පරීක්ෂණයක මුල් පියවර බවට සැකයක් නැත.

අලුත්ගම සිට ජිනීවා කරා පැමිණෙන පණිවිඩයෙහි සහ වැලිවේරියෙන්, කටුනායකින්, වැලිකඩ බන්ධනාගාරයෙන් යනාදී ලෙස පැමිණි පනිවිඩ අතර වෙනසක් නැත. එනම්  වත්මන් ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් පරීක්ෂනයකට සහ යුක්තිය ලබා ගැනීමට ඉඩක් නැති බවය. එවැනි පරීක්ෂණයක් සිදුවිය හැක්කේ අනතර් ජාතික පමණි. දැන් පැමිණ ඇත්තේ එම හෝරාව ය.