ඉක්වදෝරයේ හිටපු ජනපති හිරේට

| නිශානි දිසානායක

ඉක්වදෝරයේ හිටපු ජනපති ජමීල් මහුඩ් එරට අධිකරණයක් විසින් පසුගියදා වසර දොළහකට සිරගෙට යවන ලදී. ඔහුට විරුද්ධව එල්ලවී ඇති චෝදනාව නම් 1999 වසරේදී ඉක්වදෝර බැංකු ගිණුම් අත්හිටුවීමයි. මේ තීන්දුව දෙන ලද්දේ ජාත්‍යන්තර ‍පොලීසිය ඉක්වදෝරයේ ඉල්ලීමකට අනුව හිටපු ජනපතිවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කොට දින දෙකකට පසුවය.

මහුඩ්ට විරුද්ධව නීති මගින් කටයුතුකිරීම වසර 2000 දී ඇරඹුන අතර 2011 වසරේදී ජාතික අධිකරණය මගින් ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝග කරන ලදී. තමාට පනවා ඇති දඬුවම ගැන සඳහන් කරමින් හිටපු ජනපතිවරයා මෙය දේශපාලන පළිගැනීමක් බවත් තම නීතිඥයින් මගින් ඊට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කරන බවත් කියා සිටියේය. කෙසේවුවද මෙය දේශපාලන පළිගැනීමක් බවට වන චෝදනාව වත්මන් ජනපති රෆායල් කොරෙයා ප්‍රතික්ෂේප කරයි.

“මෙය නීතිමය කටයුත්තක් පමණයි. මහුඩ්ගේ රජය විශාල පාඩු රටට සිදුකළා. තවමත් අපට ඒවට ගෙවන්න වෙලා.” ඔහු වැඩිදුරටත් කියා තිබිණි. තීන්දුව දෙමින් විනිසුරුවරයා ඊට හේතුව ලෙස පවසන්නේද වත්මන් ජනපතිවරයා කියන දේමය. ඊට පිළිතුරු දෙන හිටපු ජනපතිවරයා මෙය සාධාරණ නොවන තීන්දුවක් බවත් 1999 දී බැංකු ගිණුම් අත්හිටුවීම මගින් තමා හෝ තම පවු‍ලේ අය වාසියක් නොලැබූ බවත් කියා තිබේ.ආර්ථික අවුල්වලට මුහුණ දෙන වෙනත් ඕනෑම රජයක් සිදුකරන ආකාරයෙන් තමාද කටයුතු කළ බව කියන ඔහු හදිසි නීතිය පිට දමා අනෙක් රටවල  ජනපතිවරුන්ට නම් තමාට මෙන් දඬුවම් පනවා නැති බවත් කියයි.

1999 දී රටේ ආර්ථික අවපාතයක් හේතුවෙන් බැංකු රැසක් වසා දැමුණු අතර හිටපු ජනපතිවරයා අදාළ තීරණය ගත්තේ එවිටය. ඒ මොහොතේ ජනප්‍රිය තීරණයක් නොවුවද ජනතාවගේ ගැලවීම සඳහා කළ හැකිව තිබුණේ එපමණක් බවද හිටපු ජනපතිවරයා කියා තිබේ. 1998 සිට 2000 වනතුරු ඉක්වදෝරයේ ජනපති පදවිය දැරූ මහුඩ් වර්තමානයේදී ඇමෙරිකාවේ බොස්ටන් නුවර වෙසෙන අතර ඔහුට පාලන බලය අහිමි වූයේ දින ගණනාවක් රට පුරා පැවැති කැරලිවලින් අනතුරුව හමුදාව රටේ බලය අල්ලාගත් විටය. 2000 වසරේදී ඔහු එරට මුදල ඇමෙරිකානු ඩොලර් භාවිතයට මාරුකළ අතර ඉන් රට තුළ විශාල ආර්ථික අර්බුදයක් ඇතිවිය.