හිටපු අගවිනිසුරුවරියගේ ගැටලුව මානව හිමිකම් සැසිවාරය ඉදිරියේ

මෙම සතියේ ජිනීවාහිදී ආරම්භ වීමට නියමිත ජගත් මානව හිමිකම් කොමිසමේ 26 වන වාර්ෂික සැසිවාරයේදී, හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක තනතුරින් පහ කිරීමට සිදුකල විමර්ශනය සහ ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් අවධානයට ගැනීමට නියමිතය.

ආසියානු නීති සම්පත් මධ්‍යස්ථානය (The Asian Legal Resource Centre) සහ රාජ්‍ය නොවන සංවිධාන සම්මේලනයේ (Conference NGOs) යෝජනා අංක 03 යටතේ මෙය අවධානයට ගැනීමට නියමිතය. 

ආසියානු අධිකරණ ක්‍ෂේත්‍රයේ ස්වාධීනත්වය, ආසියාවේ මිරිඟුව යන තේමාවෙන් යුත් වාර්තාවක් සැසිවාරයේදී ඉදිරිපත් කිරීමට නියමිතය. එම වාර්තාව දැනටමත් මානව හිමිකම් කොමිසමේ සාමාජික රටවල නියෝජිතයින්ට බෙදාහැර ඇති බව ආසියානු නීති සම්පත් මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත.

2013 වසරේ තම අභිමතයට තනතුරින් පහකල ශ්‍රී ලංකාවේ හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, ආසියාවේ ප්‍රථම අගවිනිසුරුවරිය බවත්, ඇය කලාපීය අධිකරණ ක්‍ෂේත්‍රයේ ස්වාධීනත්වය නියෝජනය කල අයෙකු බවත් ආසියානු නීති සම්පත් මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ පවතින තත්වය සම්බන්ධයෙන් ආසියානු නීති සම්පත් මධ්‍යස්ථානය අවධානයට ගැනීමට නියමිත  අතර, ඉන්දියාව, නේපාලය, බංගලාදේශය සහ පකිස්තානය යන රටවල මෙවැනිම තත්වයක් නොමැති නමුත්, මෙම රටවල් සියල්ලෙහි අධිකරණ ක්‍ෂේත්‍රයේ දුර්වලතා ඇති බව සඳහන් කර ඇත.

මෙම රටවල ඇති අධිකරණ ක්‍ෂේත්‍රයේ ආයතන වලට තම තීන්දුව ස්වාධීනව ලබාදීමට නොහැකි වී ඇත. ශ්‍රී ලංකාව සහ බංගලාදේශය යන රටවල බල අරගලය හේතුවෙන්, අධිකරණ ක්‍ෂේත්‍රයේ කටයුතු දුර්වල වී ඇති බවත්, එම රටවල රජයන්ගේ සහායක ආයතන බවට ඒවා පත්ව ඇති බවත් ආසියානු නීති සම්පත් මධ්‍යස්ථානය සඳහන් කර ඇත.