මිරර් වාරණයෙන් ආණ්ඩුවේ කෙරුවාව පේනවා

|  ෆ්‍රෙඩී ගමගේ

ශ්‍රී ලංකවේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් බරපතල තත්වයක් උදා වී ඇති බව තවදුරටත් සඟවා ලිය නොහැකි කරුණක් ලෙස මේ වන විට එය මතුපිට තලයට පැමිණ තිබේ. ආණ්ඩුව කරවන පර්ශ්වයේ මෙන්ම ඇතැම් විපක්ෂ පර්ශ්වයන්ගෙන්ද ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් එල්ලවී ඇත්තේ තර්ජනයකි.

මේ අතර ජාත්‍යන්තර වශයෙන්ද ශ්‍රි ලංකාවේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ගොඩ නැඟෙමින් පවතින්නේ නරක ප්‍රතිරූපයක් බව මෑතකදී නිකුත් වූ ඇතැම් වාර්තා අනුව පෙනීයයි.

කෙසේ නමුත් මේ තත්ත්වයන් හමුවේ විරුද්ධ පාර්ශ්වයන්ගේ  බලපෑම් වලට යටත් නොවී  පුවත් හා තොරතුරු වාර්තාකරණයේ යේදීමට වෙබ් පුවත් අඩවි ගණනාවක් කටයුතු කරමින් සිටීම ශ්‍රී ලංකාවේ  මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ඉතිරිව තිබූ සුභවාදී භාවිතාව එයම පමණක් වන තරමට බලවත් ව ඇති බවත්  ඊට මේ වන විට එල්ලවෙමින් පවතින තර්ජන ගර්ජන බලපෑම්  ආදී බධා කිරීම් අනුව පැහැදිලිය.

වෙබ් මාධ්‍ය කරණය සම්බන්ධයෙන් එල්ලවූ අලුත්ම තර්ජනය ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියට පිවිසීම අවහිර කිරීමය. මීට පෙර ලංකා ඊ නිව්ස්, ලංකා නිව්ස් වෙබ්, ශ්‍රී ලංකා ගර්ඩියන්, කල්ම්බෝ ටෙලිග්‍රාෆ් , ටැමිල් නෙට් ඇතුලු දෙමළ මාධ්‍ය වෙබ් අඩවි ගණනාවකුත්  ශ්‍රී ලංකාව තුල පිවිසීම අවහිර කර ඇත. එහෙත් අප දන්නා පරිදි මේ කිසිදු වෙබ් අඩවියක් ශ්‍රී ලංකාව තුල පිවිසීම අවහිර කිරීමට හෝ ඒ තහනම් කිරීමට හෝ  එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග මඟින් පියවර ගෙන නැත.

ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියේ සංස්කාරකවරයා තම වෙබ් අඩවියට පිවිසීම අවහිර කිරීම සම්බන්ධයෙන් පවසා තිබුණේ මෙය විදුලි සංදේශන  කොමිසමේ දැනුම් දීමක් මත අන්තර්ජාල සේවා පහසුකම් සලසන්නන් විසින් ක්‍රියාවට නඟා ඇති බවය.

මේ සම්බන්ධයෙන් අප හමුවේ ප්‍රශ්න ‍රැසක් පැන නැඟී ඇත. අන්තර්ජාල පහසුකම් සපයන ආයතන වලට මෙම නියෝගය ලැබුනේ කවර නීතිමය තත්වයක් යටතේද ? ඒ සඳහා ලිඛිතමය සාක්ෂියක් ඔවුන් සතුව තිබේද ? මිරර් වෙබ් අඩවියට පිවිසීම ඇහිරීමට විදුලි සංදේශ නියාමන කොමිසමට ඇති අයිතිය කුමක්ද ? ඒ කවර නීතිමය රෙගුලාසියක් යටතේ ද ?  ඒ වෙනුවෙන් ගත් නීතිමය ක්‍රියාපටිපාටිය කුමක්ද ?

එම වෙබ් අඩවියට එරෙහිව වූ චෝදනාව කවරක්ද ? එම චෝදනාව සම්බන්ධයෙන් පැමිණිල්ල ඉදිරිපත් කළේ කවරකු විසින්ද ? එසේ පැමිණිළි කරුවකු නොවේ නම් එවැනි පියවරක් ගැනීමට විදුලි සංදේශ නියාමන කොමිසමට ලැබී ඇති බලතල කවරේද ?  එමෙන්ම චෝදනා සම්බන්ධයෙන් අදාල වෙබ් අඩවියේ සංස්කාරක වරයා කැඳවා ඒ ගැන විභාගයක් හෝ විමසීමක් හෝ කළේද ?  

වෙබ් අඩවියක පලවන පුවත් හා තොරතුරු සම්බන්ධයෙන්  පැමිණිල්ලක් වුව හෝත් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක් විදුලි සංදේශ නියාමන කොමිසම යටතේ තිබේද ? ඒ කවර නීතියක් යටතේ පිහිටවූවක්ද ?

ශ්‍රී ලංකාවේ ජනමාධය අමාත්‍යංශයේ ලියාපදිංචි වූ වෙබ් අඩවි හා විදුලි සංදේශ නියාමන කොමිසම අතර වන බැඳිම කුමක්ද ?  

අමාත්‍යංශයේ ලියාපදිංචි වී සිටීම කොමිසම ගන්නා ක්‍රියා මාර්ග කෙරෙහි බලපෑමක් නොමැතිද?

එමෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියාමාර්ග හා වෙබ් අඩවි ලියාපදිංචිය අතර සම්බන්ධයක් නොමැතිද?

මෙම ගැටළු වහා විසඳා ගත යුතුව තිබේ. 

එමෙන්ම වෙබ් අඩවිවලට දිගින් දිගටම බාධා කිරීම් හා වෙනත් අභූත චෝදනා නැගීම්  හේතුවෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගෙන් අප සංගමය 08/05/2014 දාතමින්   ලිඛිතව ඉල්ලා සිටි නමුත්  ඊට මේ දක්වා පිළිතුරක් ලැබී නොමැත. මෙය අතිශය කණගා‍ටු දායක තත්වයකි.

කෙසේ නමුත්  මේ තත්ත්වයන් , අප වෙත එල්ලව ඇති පීඩනය  සම්බන්ධයෙන් අන්තර්ජාතිකව මාධ්‍ය නිදහස අරබයා කටයුතු කරන සංවිධාන, තානාපති කාර්යාල, දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන දැනුවත් කිරීමටත් බහුජන ක්‍රියාමාර්ග ගැනීමටත්  අපට බල කෙරී ඇත.