ප්‍රෙමදාසගේ අවතාරය

 උපුල් ජෝශප් ප්‍රනාන්දු

1988 ඉන්දීය නිදහස් දින සමරුවට ආරාධිත අමුත්තෙක් ලෙස සහභාගි වෙන්න ආරාධනා ලැබ ජේ.ආර්. ඉන්දියාවට ගියේය. එහිදී එවකට ඉන්දීය අගමැති රජීව් ජේ. ආර්.ව හමුවිය. රජීව් - ජේ.ආර්.ගෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම නම් 1988 ජනාධිපතිවරණයට ඉල්ලන්න කියන එකය.

'ඉන්දු - ලංකා ගිවිසුම සාර්ථක කර ගන්න ඔබ ජනාධිපති ධුරයේ තව වසර 6ක් සිටිය යුතුයි...'
රජීව් කීවේය. ජේ. ආර්. ලංකාවට පැමිණ 1988 ජනාධිපතිවරණයට තරග කරන්න බැරි ලෙස තමාම පනවපු ව්‍යවස්ථා බාධාව ඉවත් කරන්න ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම ගැන හොයා බලන්න කමිටුවක් පත් කළේය.

වැඩි දවසක් ගියේ නැත. ජ.වි.පෙ. විසින් එ.ජා.ප. මහ ලේකම් හර්ෂ අබේවර්ධන ඝාතනය කරනු ලැබුවාට පසු මහ ලේකම් පදවිය භාර ගන්න හැමෝම බිය වෙද්දී ජීවිතය පරදුවට තියා පක්ෂ ලේකම්කම භාර ගත් රන්ජන් විජේරත්න හදිසියේම ජේ.ආර්.ගේ බි්‍රමාර් නිවෙසට කඩාගෙන ආවේය.
'ඔබ ඡන්දය ඉල්ලුවොත් පරදිනවා. ඔබ විතරක් නෙවේ පක්ෂයත් පරදිනවා. මේ වෙලාවේ අපි දිනන්න පාවිච්චි කරන්න ඕනා ප්‍රේමදාස කාඩ් එක...'
මේ රන්ජන් දුන්න උපදෙසය.

මේ වගේම උපදෙසක් ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂ සභාපති රාජ්නාත් සිං 2013දී පක්ෂ නායක අද්වානිට දුන්නේය. ඒ වෙනකොට අද්වානි 2004 මහ මැතිවරණයත් 2009 මහ මැතිවරණයත් යන දෙකම පරාජය වී තිබිණි.
'ඔබ ඉල්ලුවොත් මේ පාරත් පරදිනවා. එතකොට අපි අවුරුදු 15ක් විපක්ෂයේ. අපි මේ වෙලාවේ මෝඩි කාඩ් එක පාවිච්චි කරල දිනමු...'
රාජ්නාත් සිං අද්වානිට කීවේය. 1988 රන්ජන් ඔය කතාව ජේ. ආර්.ට කියද්දී ජේ. ආර්. අකැමැත්තෙන් එකඟ විය. ඒත් අද්වානි එකඟ වූයේ නැත.

'මේ පක්ෂයේ අය තමන්ගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජනවලට පක්ෂය පාවිච්චි කරනවා. මමයි අමාරු වෙලාවේ පක්ෂය ආරක්ෂා කර ගත්තේ. පක්ෂයට හොඳ කාලය එනකොට මාව කරපිංචා ගානට දමන්න යනවා...'
අද්වානි කීවේය. ඒත් රාජ්නාත් සිංලා ඒ කතාව ඇසුවේ නැත. පළමුවෙන්ම මෝඩිව මැතිවරණ ප්‍රචාරක කමිටුවේ සභාපති ලෙස ප්‍රකාශයට පත් කරන්න පක්ෂ සම්මේලනයක් කැඳවන්න තීරණය කළේය. මෙයට අද්වානි වගේම පක්ෂයේ ජේ‍යෂ්ඨයෝ විරෝධය පළ කළහ. විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් ද ඒ අතර විය. සමහරු මෝඩිගේ කුලය අදින්න පටන් ගත්හ.

'මෝඩි ජාතික දේශපාලනයක් කරල නැහැ...'
'මෝඩිට මුස්ලිම් ජාතිකයන් විරුද්ධයි...'
'මෝඩිට ජාත්‍යන්තර සම්බන්ධතා නැහැ.'

ඔවුහු කීහ. ඒත් රාජ්නාත් සිංට ඕනෙ වුණේ භාරතීය ජනතා පක්ෂය තුන් වැනි වරට පරදින එක වළක්වන්නටය.
'තව අවුරුදු 5ක් විපක්ෂයේ ඉන්න පුළුවන්ද? එතකොට ඔක්කොම 15යි...'
මෝඩිගේ වැරැදි හොයන අයගෙන් රාජ්නාත් සිං ඇසුවේය.
'අද්වානි විරුද්ධ නිසා පක්ෂය දෙකඩ වෙයි.'

ඔවුහු තවත් හේතුවක් හොයා ගත්හ.
'අද්වානිව මම බලා ගන්නම්. අපි එකතු වෙලා මෝඩිව මැතිවරණ සභාපති කරමු. පස්සේ අගමැති අපේක්ෂක කරමු...'
රාජ්නාත් සිං කීවේය. හැමෝම අකැමැත්තෙන් කැමැති විය. මෝඩිව මැතිවරණ ව්‍යාපාර සභාපති කරන පක්ෂ රැස්වීමට අද්වානි ආවේ නැත. මෝඩිව පත් කළාට පස්සේ රාජ්නාත් සිං අද්වානිව හමුවිය.
'පක්ෂ නායකයා ලෙස පක්ෂය දිනවල ගෞරවය ගන්නවාද? නැතිනම් පරාජිත නායකයෙක් ලෙස ගෙදර යනවාද?'
ඔහු අද්වානිගෙන් ඇසුවේය. අද්වානිත් අකැමැත්තෙන් කැමැති විය.

1988 රන්ජන් විජේරත්න ප්‍රේමදාසව අපේක්ෂකයා ලෙස පත් කරන්න මේ වගේම සටනක් ගෙන ගියේය.
'ප්‍රේමදාසගේ කුලය ප්‍රශ්නයක් වෙයි...'
'අපිට පුළුවන්ද එයාට සර් කියන්න...'
මේ පක්ෂ ජේ‍යෂ්ඨයෝ කී කතාය. ප්‍රේමදාසට සර් කියන්න බෑ කියල පක්ෂ ජේ‍යෂ්ඨයකු වූ නිශ්ශංක විජේරත්න දේශපාලනයෙන් අයින් විය.
ප්‍රේමදාස කෙහෙල්වත්තේ සාමාන්‍ය පවුලක හැදුණ වැඩුණ අයෙකි. මෝඩිත් තේ කඩයක් කළ පවුලක හැදුණ වැඩුණ අයෙකි. ගුජරාටයේ උසස් කුලයකට අයත් නොවූ පවුලක උපන් මෝඩිගේ පළමු රැකියාව බස් නැවැතුම්පොළේ තේ කඩයක් කිරීමය. ඔහු දේශපාලනයට එන්නේ භාරතීය ජනතා පක්ෂයට අනුබද්ධ ශිව සේනා සංවිධානයේ ආපන ශාලාවේ තේ විකුණලාය.
'මෝඩි දන්නේ තේ හදන්න විතරයි...'

කොංග්‍රසයේ උසස් යැයි සම්මත කුලයේ නායකයන් මෝඩිට අපහාස කළේ එසේය.
වරක් බණ්ඩාරනායක පවුලේ ඔටුන්න හිමි කුමාරයා අනුර බණ්ඩාරනායක ප්‍රේමදාසට ලැවරියා වික්ක කොල්ලා යැයි අපහාස කළේය.
'මේ පුතා අද මෙතැන නැහැ. මම එයාට කියන්න ඉන්නේ, නුවරඑළිය - මස්කෙළිය දෙවැනි මන්ත්‍රි (අනුර බණ්ඩාරනායක) මේ කතා කරන්නේ කෙහෙල්වත්තේ ලැවරියා වික්ක කොල්ලයි කියල. අපේ කතානායකතුමනි මට කෙසෙල්වත්තේ ලැවරියා විකුණන්න වාසනාවක් නොලැබීම ගැනයි මම කනගාටු වන්නේ. මේ ගොල්ලෝ පහත් කොට සලකන අපේ මුඩුක්කු ප්‍රදේශයේ හොඳ මවුපියන්ට සහජාතව දරුවෙක් හැටියට උපදින්න ලැබිච්ච එක මම අගේ කොට සලකනවා'
මේ ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී පාවිච්චි කළ වචනය.

මේ වගේම ගාන්ධි පවුලේ එකම දෝණි ප්‍රියංකා ගාන්ධි මෝඩිට නීචයා කියා අපහාස කළාය.
'මට මෝඩිව දකිද්දී මතක් වන්නේ ප්‍රේමදාසවමයි...'
මේ ප්‍රේමදාසට සමීපව ආශ්‍රය කළ අයකු කී කතාවය.
'මෝඩි ප්‍රේමදාසගේ අවතාරයක්ද...?'
මේ ප්‍රේමදාස විරෝධී දේශපාලන විචාරකයෙක් නඟපු ප්‍රශ්නයකි.
'ඇයි එහෙම කියන්නේ?'
මාධ්‍යවේදියෙක් ඔහුගෙන් අසා තිබිණි.

'නෑ... ඒ දවස්වල අපි මහින්ද රාජපක්ෂලාගේ, ශ්‍රී ල.නි.ප.ය එක්ක එකතුවෙලා ප්‍රේමදාස චරිතය නොමරා මැරුවා.
ප්‍රේමදාස මැරුණේ නැත්නම් මහින්ද කියල ජනාධිපති කෙනෙක් නැහැ. එහෙනම් ශ්‍රී ල.නි.ප.ය 94 බලයට එන්නෙත් නැහැ. ප්‍රේමදාස පොළොවේ පස් කාගෙන මැරුණට ඒ ආත්මය තමන්ව නොමරා මරපු ශ්‍රී ල.නි.ප.යෙන් පළි ගන්න කොහේ හරි සැරිසරනවා ඇති කියල මට හිතුණ වාර අනන්තයි...'
මේ දේශපාලන විචාරකයා එලොවටත් මෙලොවටත් නැතිව කළ විග්‍රහයය.
'ඉතින් මෝඩි බලයට ආවේ ඉන්දියාවෙනේ...'
මාධ්‍යවේදියා කීවේය.

'ඔව්... 1980 ඉන්දිරා ගාන්ධි බලයට ආවේත් ඉන්දියාවේ. එයයි පුතයි තමයි ජේ.ආර්.ව විනාශ කළේ...'
ඔහු කියාගෙන යයි.
'මෝඩි මොනවා කරන්නද? අනෙක ආණ්ඩුව කියන්නේ මෝඩිගේ තනි බලය නිසා ජයලලිතාගේ හුළං බැස්සා කියලනේ...'
මාධ්‍යවේදියා කීවේය.

'ලංකාව ගැන ඉන්දියාවේ ප්‍රතිපත්තිය විග්‍රහ කරන ලංකාවේ හිටපු ඉන්දියානු සාම සාධක හමුදාවේ ඔත්තු සේවා ප්‍රධානි කර්නල් හරිහරන්ගේ ලිපිය කියවන්න. ඒකේ ඔහු කියනවා මෝඩි සිංහල බෞද්ධයන්ට වඩා හින්දු දමිළයන්ට ඇල්මක් දක්වයි කියල. අනෙක ජයලලිතා කියන්නේ අද ඉන්දියාවේ තුන්වැනි බලවේගය. ඒකයි මෝඩි දින්න විගස ජයලලිතාට කතා කළේ. මෝඩිට ජයලලිතා නැතිව ආණ්ඩු කරන්න පුළුවන්. හැබැයි තමිල්නාඩුව නැතිව ආණ්ඩු කරන්න බෑ. මීට කලින් බලයට පත්වුණ ආණ්ඩුවල තමිල්නාඩුව නියෝජනය කරන්න ඒ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු හිටියා. ඒත් මේ පාර ජයලලිතා ආසන 39න් 37ක් ගත්තා. ජයලලිතා මේ ජයග්‍රහණයෙන් පෙන්නුවා තමිල්නාඩුවට අදාළ ප්‍රශ්න විසඳද්දී ඇය ළඟට එන්න වෙනවා කියන එක. ඒ කියන්නේ ලංකාවේ ප්‍රශ්නය සාකච්ඡා කරද්දී මෝඩිට අනිවාර්යයෙන්ම ඇයගේ මතය අහන්න වෙනවා. මොකද මෝඩිට ඔහුගේම බලයක් තමිල්නාඩුවේ නැහැ...'

මේ ඔහු ඊට දුන්න උත්තරය.
ඔහු කියන කතාවේ ඇත්තක් තිබේ. කොහොමත් ඉන්දියාවේ ජනප්‍රිය ශක්තිමත් නායකයන් මතු වූ කාලවල ලංකාවට හොට දැමීම් වැඩි විය. ප්‍රතාපවත් නේරු කොතලාවලට බලපෑම් කළේය. නිර්භීත ඉන්දිරා ජේ.ආර්.ට බලපෑම් කළාය. ඇගේ ඝාතනයෙන් ජනප්‍රිය ශක්තිමත් නායකයෙක් වූ රජීව් ගාන්ධි ජේ.ආර්.ට බලපෑම් කළේය. රජීව්ට පසු ආ ශක්තිමත්ම ජනප්‍රිය නායකයා මෝඩිය.
මහින්ද ලංකාවේ ජනප්‍රිය සහ ශක්තිමත්ම නායකයා වනවිට ඉන්දියාවේ අගමැති වූ ගාන්ධි පවුල නටවන රූකඩය වුණේ අහිංසක දුර්වල මන්මෝහන් සිංය. දැන් මහින්දගේ ජනප්‍රියත්වය සහ ශක්තිය පිරිහෙන වෙලාවක ඉන්දියාවෙත් ජනප්‍රිය ශක්තිමත් නායකයෙක් මතු වී තිබේ.

උතුරේ දමිළ ජාතිවාදය බිහි කළ ත්‍රස්ත නායකයා ප්‍රභාකරන් නසන්න දකුණේ සිංහල ජාතිකවාදය බිහිකළ ප්‍රජාතන්ත්‍රවාදී නායකයා මහින්දය. මෝඩි කියන්නේ ඉන්දියාවේ හින්දු ජාතිකවාදය බිහි කළ නායකයෙකි.
'ඒ කියන්නේ මෝඩි, මහින්දට - මහින්දවම හමු වුණා වගේද...?'
එහෙම වෙන්න බැරිකමක් නැත. මහින්ද ප්‍රභාකරන්ව විනාශ කළ දින ලෝකයාට කීවේ ප්‍රභාකරන්ට ප්‍රභාකරන්ව හමු වුණ දවස කියලාය.