තරග පාවා දීම්: ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඉවත් විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති එන්. සිරිනිවාසන්ට එම ධුරයෙන් ඉවත් වන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර සිදුවූ බව කියන තරග පාවාදීම් සහ ඔට්ටු තැබීම් සම්බන්ධයෙන් වන පරීක්ෂණ අපක්ෂපාතී ලෙස පැවැත්වීම සඳහා සභාපතිවරයා ඉන් ඉවත් විය යුතු බවට අධිකරණය තීරණය කළේ ය.

එන්. සිරිනිවාසන්ගේ බෑණා වන ගුරුනාත් මෙයියප්පන් ද ඔට්ටු තැබීම් සම්බන්ධව චෝදනා ලබා සිටී.
ඔහු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවෙකි.

මෙම කාරණා හේතුවෙන් අදාළ පරීක්ෂණ විනිවිදභාවයකින් පැවැත්වීම සඳහා එන්. සිරිනිවාසන් මහතා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉවත් විය යුතු බවට නීතීඥයින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නියෝගය පැනවීය.