ශ්‍රී ලංකාව ‘රුසියානු බෙදුම්වාදයට' සහාය පලකරයි!


putin sl flag
යුක්රේනයේ ක්‍රිමියාව තුල 58.5% ක් වූ රුසියානු භාෂාව කතා කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් රුසියාව කරන මැදිහත්වීම යුක්ති සහගත සහ නිවැරදි එකක් බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් යුක්රේන අර්බුදය පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ස්ථාවරත්වය ලෝකයට පැහැදිලි කර දී තිබේ.
යුක්රේනයේ හිටපු ජනාධිපති වික්ටර් යනුකොවිච් ව්‍යවස්ථා විරෝධී ආකාරයට බලයෙන් පහ කිරීමට අනුමත නොකරන බව එකී නිවේදනයේ තවදුරටත් සඳහන් වේ. යුක්රේනයේ හිටපු ජනාධිපතිවරයා බලයෙන් පහ කරන ලද්දේ ව්‍යවස්ථානුකූල ආකාරයට යුක්රේනයේ පාර්ලිමේන්තුව තුලදී මහජන නියෝජිතයින්ගේ වැඩි ඡන්දයෙන් බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයට අමතකවීම මෙම නිවේදනයේ ඇති විශේෂත්වයයි.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිපත්තිය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයුරින් තේරි පත්වූ රාජ්‍ය නායකයන් සමග පමණක් ගණුදෙනු කිරීම බවත් සඳහන් එහි යුක්රේනයේ හට ගෙන ඇති අර්බුදකාරි තත්වය සමනය කිරීම සඳහා රුසියාව මැදිහත් වීම සම්බන්ධයෙන් ප‍්‍රසාදය පළ කරන බවද සඳහන්ය.
යුක්රේනය සම්බන්ධයෙන් මැදිහත්ව සිටින පාර්ශව සාකච්ඡා මගින් එය විසඳා ගත යුතු බවත් නිතිමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයුරින් යුක්රේනයේ ජනතාවට යහපතක් වන ආකාරයට සියළුදෙනා කටයුතු කරනු ඇති බවට විශ්වාස කරන බවත්නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
මේ පිළිබඳව ලංකා නිවුස් වෙබ් වෙත අදහස් දැක්වූ දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධාන නියෝජිතයෙකු සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා රජයේ මෙම තීරණය දෙමළ ඩයස්පෝරාව ඉතාමත් අගය කරන බවයි. ඊට කරුණු විමසීමේදී එකී නියෝජිතයා සඳහන් කර සිටියේ ක්‍රිමියාව තුල රුසියන් භාෂාව කතා කරන බහුතරයක් වූ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් රුසියානු රජය කළ මැදිහත්වීම පිලිගන්නා ශ්‍රී ලංකා රජය ඉතා හොඳ පූර්වාදර්ශයක් ජාත්‍යන්තර ප්‍රජාවට විශේෂයෙන්ම ඉන්දියාවට ලබා දී ඇති බවත් එමගින් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර බහුතරයක් වූ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට මෙය කදිම අවස්ථාවක් කරගත යුතු බවයි.
වැඩි දුරටත් කරුණු දැක්වූ දෙමළ ඩයස්පෝරා නියෝජිතයා සඳහන් කර සිටියේ ක්‍රිමියාවේ ස්වාධීනත්වය පිලිගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට මහත් ලෙස ස්තූති කළ යුතු බවත් ඒ කෙරෙහි දිගටම ශ්‍රී ලංකාව උනන්දුකරවීම දෙමළ ඩයස්පෝරාවේ අරමුණ බවයි.