විපාක්ෂික කලාකරුවන්ට තහංචි පැනවීම හෙළා දකිමු - FMM


ravi benaragama
බස්නාහිර පළාත් සභාව සඳහා පැවැත්වෙන මැතිවරණයේදී ආණ්ඩුවට එරෙහිව විපක්ෂ දේශපාලන පක්ෂයකින් තරග බිමට පිවිස සිටින රවීන්ද්‍ර යසස් හා ජගත් බෙනරගම යන කලාකරුවන්ට එල්ලවී ඇති බලපෑම් සහ තහංචි පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තම බලවත් විරෝධතාවය පළකරයි . මේ වනාහී එම කලාකරුවන්ගේ ප්‍රකාශණ අයිතිය මර්දනය කිරීමක් වන අතර සමස්ත මාධ්‍ය මර්දනයේ තවත් අවස්ථාවකි. ‍


මෙවර මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන ජගත් බෙනරගම රඟපාමින් සිටි අයි. ටී.එන් නාලිකාව මගින් විකාශය වූ "පබසරා"නම් ටෙලිනාට්‍යයෙන් ඔහුව ඉවත් කිරීම සඳහාම ඔහු රඟපෑ චරිතය මරා ඇලක දමා ඇතැයි වාර්තා වන අතරම කළුතර දිස්ත්‍රික්කය සඳහා තරග කරන රවීන්ද්‍ර යසස් රඟපාමින් සිටි ,ස්වර්ණවාහිනී නාලිකාව මගින් විකාශය කරන ලද "ඇන්ඩ් කොම්පැනි" වැඩසටහනද කිසිදු හේතුවක් නොදන්වා හදිසියේම නතර කර ඇත .

එසේ වුවද ආන්ඩු පක්ෂය වෙනුවෙන් දේශපාලනය කරන කිසිදු කලාකරැවකුට මෙවැනි තහංචි නොපැමිනෙනවා පමණක් නොව ඔවුන්ට වඩ වඩා ප්‍රචාරය ලබා දීමට ඍජුව සහ වක්‍රව රාජයට යටත් සියළු ජනමාධ්‍ය ක්‍රියා කරති‍.

මෙම සිදුවීම් දෙකම හුදු අහඹු සිදුවීම් නොවන බව අදාළ නිර්මාණ ශිල්පීන් මේ වන විටත් පැහැදිළි ලෙසම ප්‍රකාශ කර ඇති අතර විපාක්ෂික දේශපාලන පක්ෂයක මැතිවරණ අපේක්ෂකයෙකු වීම නිසාම ඉහත කලාකරුවන්ගේ නිර්මාණ දායකත්වයන්ට මේ ආකාරයට බාධා පැමිණවීම් සිදුකර ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විශ්වාසයි .

තමන් කැමති දේශපාලන මතයක් දැරීමටත් ඒ වෙනුවෙන් ක්‍රියාකාරී වීමටත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය තුළ ඕනෑම පුරවැසියෙකුට ඇති අයිතිය ඉහළින් පිළිගන්නා අප සංවිධානය මෙම සිදුවීම් සලකනු ලබන්නේ අන් මතවාදයන්ට ගරු නොකරන හා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරයන් පවා නොපිළිගන්නා පාලනයන් සහිත රටක පමණක් සිදුවිය හැකි බියකරු හා ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවන් ලෙසය .

එබැවින් අප මේ මොහොතේ අදාල බලධාරීන්ගන් ඉල්ලා සිටින්නේ සාමකාමී ලෙස තම දේශපාලන අභිලාශයන් උදෙසා පෙනීසිටීමට පුරවැසියෙකුට ඇති අයිතියට ගරුකරමින් රවින්ද්‍ර යසස් හා ජගත් බෙනරගම යන කලාකරුවන්ටද තම දේශපාලන ක්‍රියාකාරීත්වය බාධාවකින් තොරව කරගෙන යාමට හා කලාකරුවන් ලෙසද නිදහසේ තම කටයුතු සිදුකිරීමට ඇති අයිතිය තහවුරු කරන ලෙසය . ඔව්න‍්ට පනවා ඇති තහංචි ඉවත් කරන ලෙස ය. ශ්‍රී ලංකාව යනු දේශපාලන ක්‍රියාකාරිත්වයන් නිදහසේ සිදුකළ හැකි, අදහස් පළකළ හැකි රටක් බවට පරිවර්ථනය කිරීම ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය තුළින්ම ප්‍රදර්ශනය කරන ලෙසය.

 LANKANEWSWEB