අගමැති සම්බන්ධීකරණ ලේකම් ඉල්ලා අස්‌වෙයි


keerthisriwijesinghe1
රේගුව මගින් කොළඹ වරායේදී අත්අඩංගුවට ගනු ලැබූ කුඩු කන්ටේනරය මුදාහරින ලෙසට අගමැති කාර්යාලයීය ලිපි ශීර්ෂයකින් ලිඛිතව ඉල්ලීමක්‌ කළේ යෑයි චෝදනා ලැබ සිටින අගමැති සම්බන්ධීකරණ ලේකම් කීර්ති ශ්‍රී වීරසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්‌වී ඇත.


කීර්ති ශ්‍රී වීරසිංහ මහතා අස්‌වීමේ ලිපිය පෙරේදා (10 දා) බුද්ධශාසන හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට භාරදී ඇති අතර, එම ලිපිය ලේකම්වරයා විසින් භාරගෙන තිබේ.
සම්බන්ධීකරණ ලේකම් කීර්ති ශ්‍රී වීරසිංහ මහතා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යෑවූ ලිපියේ මෙසේද සඳහන් කර ඇත.
"මාධ්‍ය මගින් පෙන්වා දෙන මත්ද්‍රව්‍ය ආනයනය කිරීමේදී මම විසින් සහයෝගය දැක්‌වූවා යෑයි කරන චෝදනාව ඉතා පැහැදිලිව ප්‍රතික්‍ෂේප කරමි. මෙම කන්ටේනරය මෙරටට ගෙන්වීමේදී සහ රේගුවෙන් නිදහස්‌ කිරීම සඳහා කිසිදු ලිපියක්‌ රේගුව වෙත ලබාදී නොමැති බවත් අවධාරණය කරන්නෙමි.
එහෙත් ගම්පොළ නාගරික මන්ත්‍රීවරයකු වන තරංග විට්‌ටච්චි මහතා මෙම ව්‍යාපාරිකයන් හඳුනන බවත්, නානකාමර උපාංග හා ලිහිසි තෙල් සහිත කන්ටේනරයක්‌ ආනයනය කර ඇති බවත්, එය මුදාගැනීමට නොහැකිව මාස 2 1/2 ක පමණ කාලයක ප්‍රමාද ගුදම් ගාස්‌තු ගෙවීමට සිදුව ඇති බවත්, එසේ වුවහොත් භාණ්‌ඩවල වටිනාකමට වඩා ප්‍රමාද ගුදම් ගාස්‌තු ගෙවීමට සිදුවන බවත්, ඒ සඳහා සහනයක්‌ ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව මා විසින් එම ප්‍රමාද ගුදම් ගාස්‌තු ගෙවීමට ඇති තැ.පෙ. 141, කොළඹ වරාය, කොළඹ ලිපිනයෑති "සවුත් ඒෂියා ගේට්‌ටේ ටර්මිනල්ස්‌ පෞද්ගලික සමාගමට" ලිපියක්‌ ඉහත නාගරික මන්ත්‍රීවරයාගේ ඉල්ලීම පරිදි යවන ලදී.
මෙම ආනයන කටයුත්ත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවට කිසිදු අයුරකින් බලපෑමක්‌ මා විසින් කර නොමැති බව අවධාරණය කරනු කැමැත්තෙමි. වගකීම් සහිත තනතුරු රැසක්‌ හෙබවූ මම ඉහත ලිපිය අදාළ ආයතනය වෙත යොමු කරන ලද්දේ ඉතා සද්භාවයෙනි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් කරන ලද චෝදනාවන්ට මමත්, අගමැති කාර්යාලයත් කිසිදු සම්බන්ධයක්‌ නොමැති බව පැහැදිලිව ප්‍රකාශ කරමි.
නීතියට එරෙහිව කිසිදු කටයුත්තක්‌ කිරීමට හෝ අනුබලයක්‌ දීමට කිසිදු වුවමනාවක්‌ මට නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් දැනට ශ්‍රී ලංකා පොලිසිය හා අදාළ අංශ විසින් කරනු ලබන පරීක්‍ෂණවලට අනුව සත්‍යය හෙළිදරව් වනු ඇත.
ඒ අනුව දැනට කරන පරීක්‍ෂණවලට මගෙන් ඉටුවිය යුතු කාර්යභාරය ඉතා සද්භාවයෙන් ඉටු කරමි. දැනට කරගෙන යනු ලබන පරීක්‍ෂණවලට සහාය හා වඩාත් පහසු වනු පිණිස අදාළ පරීක්‍ෂණ අවසන් වන තෙක්‌ ඉල්ලා අස්‌වන බව දැනුම් දීමට කැමැත්තෙමි."
උපුටා ගැනීම - දිවයින
Lankanewsweb