කතරගම දෙවියන්ටත් කතරගම එපා කරන යාචක සිටුවරු

* දවසක ආදායම රුපියල් 5000 යි
* සමහර දරුවෝ දවසකට 1000 ක්‌ හොයලා හවසට කසිප්පුත් බොනවා!
* අනාගත කතරගම අපායක්‌..!



කතරගම යනු දෙස්‌ විදෙස්‌ බැතිමතුන් පැමිණෙන පූජා භූමියකි. ඊට සමගාමීව කතරගම පුදබිම ඇසුරෙහි වෙළෙඳපලක්‌ නිර්මාණය වේ. දිනපතා පැමිණෙන බැතිමතුන්ට සේවා සහ භාණ්‌ඩ අලෙවියන් පිරිසක්‌ ජීවත්වෙන අතර තවත් පිරිසක්‌ වන්දනා කරුවන් ගේ අනුකම්පාව ලබාගෙන සිඟා කති. සිඟා කා ජීවත් වෙති.
ෙ€දවාචකය වන්නේ මෙම පිරිස්‌ අතර කුඩාදරුවන් උපයෝගී කර ගනිමින් මුදල් උපයන අම්මලා සිටීමය. පාසල් යා යුතු දරුවන් පාසල් නොයවා හිඟමනෙහි යෙදවීමේ කාලකණ්‌ණි කම වඩාත් ප්‍රකට වන්නේ කතරගම පුදබිම ඇසුරෙහි වීමය. වැඩිම වීථි දරුවන් ප්‍රමාණයක්‌ කුඩා බිම් ඒකකයකින් හමුවන්නේ කතරගම පුදබිම ඇසුරෙහි වීමය.

කතරගමට පැමිණෙන බොහෝ පිරිසක්‌ මෙම යාචකයින් හා වීදි ළමුන් දකිති. මේ දකින්නේ කතරගම දුගී මනුෂ්‍යයෝ යෑයි සිතා රැවටෙති.

ඇත්ත නම් මේ පිරිසෙන් වැඩි ප්‍රමාණයක්‌ කතරගම වැසියන් නොවීමය. සති අන්ත දිනයන්හි හා නිවාඩු දිනයන්හි "පාර්ට්‌ ටයිම්" ජොබ් එකට හිඟා කෑම සඳහා කතරගමට එන අයවලුන් වීමය.

කතරගම පොලිසියට මේ වන විට ඇති වී ඇති ප්‍රබල ගැටලුවක්‌ වන්නේ මේ යාචක ප්‍රශ්නයයි. ඒ හා සබැඳි වීදි ළමුන් සම්බන්ධ ගැටලුවයි.

මේ සම්බන්ධව අදහස්‌ දැක්‌වූ කතරගම පොලිස්‌ ස්‌ථානාධිපති ලක්‌සිරි චන්දිමාල් පැවසුවේ මෙවැනි කතාවකි.

වීදි දරුවන් හා යාචක වෙස්‌ ගත් පුද්ගලයන් මේ වන විට අපට විශාල ගැටලු ප්‍රමාණයක්‌ නිර්මාණය කරලා තියෙනවා. කතරගම ප්‍රදේශයේ නොවන මෙම පිරිස අභිමානයක්‌ ඇති කතරගම උපන් ජනයාටද ගෙන දෙන්නේ අපුලක්‌. මේ වන විට රන්මිණිතැන්න, බෙරළිහෙළ, තණමල්විල, යන ප්‍රදේශවල කාන්තාවන් කුඩා දරුවන් රැගෙන විත් වන්දනාකරුවන් සිsටින පූජා භූමියේ සිට අසරණ දරුවන්ටද හිරිහැරයක්‌ වන අයුරින් සිඟමනේ යෙදෙනවා.

රාත්‍රිය, දවාල, වැස්‌ස, සීතල, මේ කිසිදෙයක්‌ මේ මිනිස්‌සු හිතන්නෙ නෑ. දරුවන්ට මුහුණ දෙන්න වන කටුක පරිසරය ගැන කල්පනා කරන්නේ නෑ. මුදල් පමණක්‌ මුල් කරගෙන සිඟමනේ යෙදෙනවා.

මෙයට අමතරව රිදියගම ප්‍රදේශයේ අසරණ සරණ නිවාසයෙන් පැන එන පුද්ගලයන් කතරගම නගරයේ සැරිසරමින් වන්දනාකරුවන්ට ඉතාම හිරිහැරකාරී ලෙස ජීවත්වෙනවා. මේ අයුරින් හැසිරෙන පුද්ගලයන් පිළිබඳව කතරගම පොලිසිය විශේෂ සමීක්‍ෂණයක්‌ කළා. එහිදී අපි මේ පිරිස්‌ ගෙන්නුවා. ගෙන්නලා මේ අයුරින් බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමන් නොයෙදෙන ලෙස අවවාද කළා. දරුවන්ට හිරිහැර වන ලෙස තැන්a තැන්වල සැරි සැරීම නතර කරන ලෙස ඉල්ලා සිටියා. ඒත් මේ අය පුරුදු වූ ක්‍රමයෙන් වෙනස්‌ වෙන්න කැමති නැහැ. ඒක නිසා මෙම අය අල්ලා අධිකරණයට යොමු කිරීමට කටයුතු කරනවා. කතරගම පොලිsස්‌ ස්‌ථානාධිපති ලෙස මම කතරගමට එන බැතිමතුන් ගෙන් ඉල්ලා සිටින්නේ මේ අයට කෑම බීම දීමත්, මුදල් දීමත් සිදු නොකරන ලෙසයි.

දානයක්‌ දෙනවා නම් වැඩිහිටි නිවාස තිබෙනවා. ඒවාට දෙන්න හැකියි. මේ වනවිට කතරගම පොලිසිය හා කතරගම ජනයා එක්‌ව බුද්ධි ප්‍රබෝධ නමින් පදනමක්‌ පිහිටුවා තිබෙනවා. පාසල් නොයන දරුවන් අධ්‍යාපනයට යොමු කරන පැහැදිලි වැඩපිළිවෙළක්‌ තියෙනවා. ඒවට උපකාර කිරීමෙන් ඉතා හොඳ සමාජ සත්කාරයක්‌ සිදුවෙනවා. කතරගම පොලිස්‌ ස්‌ථානාධිපති ලක්‌සිරි චන්දිමාල් පවසන්නේය.

මේ වන විට පාසල් යන වයසේ සිටින, පාසල් අධ්‍යාපනයට යොමු නොකරන දරුවන් 175 ක්‌ කතරගම සිටී. මෙම දරුවෝ පූජා වට්‌ටි ඇදීමටත් කඩ සාප්පුවල සේවයටත් යොදවති. ඇතැම් දරුවන් බැතිමතුන් ගේ පාවහන් සොරකම් කිරීමත් ගමන් මලු ඇදගෙන දිවයැම වැනි සොරකමේ හා කොල්ලකෑමේ මුල් ක්‍රියාකාරකම් කරති.

තවත් පිරිසක්‌ වන්දනා කරුවන්ට අත පා උපයන මුදල සිය දෙමාපියන් වෙත ලබා දෙති. තමන්ට මුදල් උපයා දෙන නිසා දරුවන්ට නිසි අධ්‍යාපනයක්‌ ලබා දීමට මේ දෙමාපියන් නැඹුරු වන්නේ නැත.

කතරගම එන බොහෝ පිරිසක්‌ නිවෙස්‌වල ඇඳ පරණ වූ ඇඳුම් පැළඳුම් රැගෙනවිත් කතරගම මග දෙපස සිටින පිරිස්‌ වෙත ලබා දීමට හුරුව සිටිති.

මෙයට අමතරව හාල් ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය විශාල ලෙස මග දෙපස සිටින කාන්තාවන්ට හා පුද්ගලයන්ට දෙන අතර මේ අයුරින් බඩු ලබා ගන්නා බොහෝ පිරිස්‌ මෙය ව්‍යාපාරයක්‌ කරගෙන සිටිති.

ඇතැම් පුද්ගලයන් යහපත් ජීවිතයක්‌ සහිත නිවාස ගේ දොර හිමි අතමිට සහිත වූවන්ය. ඔවුහු මෙම ව්‍යාපාරය සඳහා පමණක්‌ මාර්ගය අසල අනවසර ඉදිකිරීමක්‌ සිදු කරගෙන නැති බැරි බව පෙන්වා සිඟමන් යෙදෙන අයුරු දැකගත හැකිය.

ඇතැම් පිරිස්‌ වන්දනාකරුවන් ලබාදෙන මෙම වියළි ආහාර ද්‍රව්‍ය එකතු කර අඩු මුදලට විකුණා මුදල් කර ගැනීමද සිදු වේ.

කතරගම සිටින සාමාන්‍ය වීදි දරුවකු සති අන්තයේදී දිනකට රුපියල් 1000 ක්‌ පමණ උපයයි. කටේ කිරිසුවඳ නොගිය මේ පොඩි උන් මෙම මුදල් මත්පැන් පානයට පවා යොදවන බව කතරගම පොලිසිය කරන ලද පරීක්‍ෂණයකදී සනාථ විය.

මෙයට අමතරව විවිධ පුද්ගලයන් විසින් පිසූ ආහාර පාර්සල් විශාල ලෙස කතරගම පුදබිම වෙත රැගෙන එති. එම ආහාර සමහර යාචක වෙස්‌ගත් පුද්ගලයන්ට ලබා දෙයි.

සමහර යාචකයන් යාචක චණ්‌ඩිය. උන් හිතන්නේ උන්ට සෑම බැතිමතෙක්‌ම මුදල් ලබා දීමට බැඳී සිටින බවය.

උදාහරණය කතරගම අංක (02) දෙක පාළම අසල සිටින යාචක ගැහැනු හා පිරිමිය. මුදල් ඉල්ලා නොදෙනු ලැබුවහොත් බැතිමතුන්ට සිදුවන්නේ යචකයන්ගේ පරුෂ වචනයෙන් බැණුම් අසන්නටය.

කතරගම, සෙල්ල කතරගම මාර්ගවල හා පූජා භූමි තුළ සිටින මෙවැනි යාචක වෙස්‌ගත් පුද්ගලයින් දිනකට රුපියල් 5000 වැනි මුදලක්‌ උපයන ආකාරය පොලිසිය පවසයි. ඔවුන්ගේ සවස්‌ කාලය ඉතාම රසවත් එකකි. එම සන්ධ්‍යා සාද ඉස්‌තරම් මත් පැන්වලින් හා රසවත් බයිට්‌ සහිත ඉහළ කෑමවේලකින් සමන්විතය.

පූජා භූමියේ සිටින ඇතැමුන් මවුවරුන් ලෙස පෙනී සිටින බොරුකාරියන්ය. ඔවුන් ගෙන එනු ලබන දරුවන් ඔවුන්ගේ නොවේ. වන්දනා කරුවන්ගේ අනුකම්පාව ලබා ගැනීම පිණිස දරුවන් හඬවා මුදල් ආධාර ලබා ගන්නා මේ ගැහැනුන් තම අත සිටින දරුවන්ට තේ කහට උගුරක්‌ තරම් දෙයක්‌ ලබා දෙන්නේ නැති බව දන්නේ කතරගම ඉන්නා අයයි.

කතරගම පොලිසිය මීට පෙරදී එක්‌ දිනක්‌ තුළ නගරයේ නිකරුණේ ගැවසුණු ගැහැනු පිරිමි දරුවන් 35 කු අල්ලා ගනු ලැබීය. එහිදී ඔවුන්ගේ දෙමවුපියන් පැමිණ දරුවන් ගේ අයිතිවාසිකම් දක්‌වා දරුවන් ඉල්ලා සිටියහ. මෙහිදී ප්‍රකට වුණ වේදනාත්මක කතාව ලියා තැබිය යුතුය. සමහර දෙමාපියන්ට දරුවාගේ සම්පූර්ණ නමවත් කියා ගැනීමට නොහැකි විය. දරුවන්ද සිය මවුපියන් ගේ සම්පූර්ණ නම් දැන සිටියේ නැත. අවුරුදු 10 තරම් වයසින් යුතු පිරිමි දරුවකු පැවසුවේ තමන් පාසල් යන බවත් 7 වසරේ ඉගෙනුම ලබන බවත්ය. ඔහුගේ මවගෙන් විමසීමේ දී ඇය පැවසුවේ දිනපතාම පාසල් යවන බවත් 4 වසරේ ළමයා ඉගෙනුම ලබන බවත්ය. මව සහ දරුවා කිව්වේ නොගැලපෙන කතාය. මෙහිදී මව ඇමතූ පොලිස්‌ නිලධාරීන් පාසල වෙත ගොස්‌ විදුහල්පතිගෙන් පැමිණීමේ වාර්තාවක්‌ රැගෙන එන ලෙස පැවසුවේය. ඒ අනුව මව පාසල වෙත ගියාය. දරුවා ඉගෙනුම ලබන පංතිය හා සම්පුර්ණ නම පවා කියා ගැනීමට පාසලේදීත් ඇය අපොහොත් වූවාය. මේ කතරගම වීථි දරුවන් බවට පත්Êදරුපැටවුන් හා වුන්ගේ දෙමවුපියන් අතර ඇති සබඳතාවේ තරමය.

කතරගම ප්‍රදේශයේ පාසල්වල විදුහල්පතිවරුන් රැසක්‌ පැවසුවේ ඇතැම් දරුවන් මාසයකට එක්‌ දිනක්‌ පමණක්‌ පාසල් පැමිණි බවයි. සති අන්ත නිවාඩු දිනයන් හි පූජා වට්‌ටි දේවාලයට රැගෙන ගොස්‌ මුදල් ඉපයීමත් සිය දෙමාපියන්ගේ ව්‍යාපාරයන්ට උපකාර කිරීමත් පිණිස මේ දරුවන් පාසල් නොයා නතර වී තිබිණි. තවත් දරුවෝ බොහෝ දෙනෙක්‌ පාසල් ගමන අතරමග නවතා දමා සිටියහ.

මේ සම්බන්ධව අදහස්‌ දැක්‌වූ රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්‌ත්‍රපති කපුගම සරණතිස්‌ස හිමියන් පැවසුවේ කතරගම සිටින මෙම යාචක වෙස්‌ ගත් පිරිස්‌ නිසා කතරගම ජනයාටද මහත් වූ අගෞරවයක්‌ සිදුවෙන බවය. ඇතැම් දෙමාපියන් විසින් දරුවන්ගේ අධ්‍යාපනය අතරමග නවතා දැමීම මත අනාගතයේ කතරගම සොරුන් මංකොල්ලකරුවන් සහිත චෞර දේශයක්‌ වීමට ඉඩ ඇති බවය. අධ්‍යාපනය නොලබන දරුවන්ට නිසි අධ්‍යාපනයක්‌ ලබාදීම සිදු කළ යුතු බවය. දෙමාපියන් දරුවන් ලවා හම්බකරගන්නා නින්දා සහගත පුරුද්ද නීති මගින් හෝ නැවැත්විය යුතු බවය.

දීර්ග කාලයක පටන් කතරගමට පිළිකාවක්‌ව ඇති වීදි දරුවන් හා යාචක වෙස්‌ගත් පුද්ගලයන් සම්බන්ධව නිසි ක්‍රියා මාර්ගයක්‌ ගෙන කතරගම පුදබිමේ පවිත්‍රතාවය අභිමානය රැක ගැනීමට සැලසුම් සකස්‌ කිරීමට කාලය එළඹ තිබේ.

ඒ සඳහා කතරගමට පැමිණෙන දහස්‌ සංඛ්‍යාත බැතිමතුන්ද දන් පිං දීමට සුදුස්‌සන්, හැඟීමෙන් නොව, බුද්ධියෙන් තෝරාගතයුතුව තිබේ. තමන්ට මෙන්ම රටටත් වැඩදායි පුණ්‍යකර්මයක්‌ කළ හැක්‌කේ එවන් අවස්‌ථාවලදී පමණය.

කතරගම 
කේ. ඩී. දේවප්‍රිය

දිවයින