හොරගොල්ලේ හොරගල් ඇහිලීම - උපුල් ජෝශප් ප්‍රනාන්දු


2000 මහ මැතිවරණය කට ළඟ තිබියදී මෙරට විදේශ තානාපති කාර්යාලයක පැවැති සාදයකදී මාතෘකාව වී තිබුණේ බර්ටි ප්‍රේමලාල් දිසානායක අනුරාධපුරයේ යූ.ඇන්.පී.කාරයන්ට ගහමින් යූ.ඇන්.පී.කාරයන්ගේ ගෙවල් පුච්චමින් යකා නටන හැටිය.
 
"දැන් යූ.ඇන්.පී. කාලය ඉවරයි. ඉස්සර ඔය සෙල්ලම කළේ යූ.ඇන්.පී. මහ ඇමැති මහින්දසෝම. අන්තිමේදී මොකද වුණේ? මිනිහා ඇක්සිඩන්ට් වෙලා එක්තැන් වෙලා මැරිලා ගියා. අද ශ්‍රී ල.නි.ප.යේ මහින්දසෝම තමයි බර්ටි. තව අවුරුදු ගණනාවකට බර්ටිව හොල්ලන්නත් බෑ. බර්ටි උතුරු මැද ඉන්නකන් ආණ්ඩුව හොල්ලන්නත් බැහැ. ඒ කාලේ යූ.ඇන්.පී.යේ තිබුණා වගේ හැම පළාතකටම ඡන්ද මැෂිමක් තියෙන්න ඕනෑ.....'
 
මේ එවකට රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානියකු කී කතාවය.

එහෙව් ඡන්ද මැෂිම පසුගිය පළාත් සභා ඡන්දයේදී අක්‍රිය කළේ වෙන කවුරුවත් නොවේ. මහින්දමය. ඒ බර්ටිට මහ ඇමැතිකම නොදීය.

බර්ටිට මහ ඇමැතිකම නොදෙන බව ආරංචි වී ආණ්ඩුවේ ප්‍රබලයකු මරු කතාවක් කියා තිබිණි.
 
'චන්ද්‍රසේනලාට පළාත් සභා ඡන්ද කරල, මහ ඡන්ද කරල තමන්ට මනාප ගන්න පුළුවන්. ජනාධිපතිවරණයක් අදින්න බැහැ. ඒක පුළුවන් බර්ටිට. මෝඩ තීරණයක්....'

මේ ඔහු කිව්ව කතාවය.

කතාව හරිය. යූ.ඇන්.පී.යට උතුරු මැද ජයග්‍රහණයේ නියමුවා මහින්දසෝම නැති වී පල්ලම් බැස්සේය. දැන් ශ්‍රී ල.නි.ප.යට උතුරු මැද ජයග්‍රහණයේ නියමුවා බර්ටි නැති වී ඇත. බර්ටි මිය යන විට මහින්ද හිටියේ නිව්යෝර්ක් නුවරය. මහින්ද එන තෙක් දේහය මිහිදන් කරන්න එපාය කීවත් බර්ටිගේ පවුල එය මායිම් කළේ නැත. බර්ටිගේ පවුල බර්ටිට රාජ්‍ය ගෞරවවත් එපා කීවේය. ආරංචි හැටියට අවමඟුල් උළෙලේ ස්තුති කතාවක්වත් ආණ්ඩුවට නැති පාටය. නොකියා දෙන පණිවුඩය බර්ටි මිය ගියේ මහ ඇමැතිකම නොදුන් නිසා ඇති වුණු වේදනාවට කියන එකය.
 
බර්ටි නැති වෙන සතියේම හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය අසල පුෂ්පෝපහාර දක්වන උත්සවයක් පැවැත්විණි. එතැන තාරකාව වී සිටියේ චන්ද්‍රිකාය. එතැනට ආ අගමැති දි.මු. ජයරත්න කිව්වේ බණ්ඩාරනායක ශ්‍රී මතාණන්ට කළගුණ සැලකීම අප සතු යුතුකමක් යැයි කියාය. එතැන පක්‍ෂයේ ජේ‍යෂ්ඨ ඇමැතිවරු රාශියක් සිටියහ. දි.මු.ගේ කතාවෙන් කීවේ කළගුණ දැක්වීම පිළිබඳ පාඩමකි. ඒ පාඩම උගැන්වූයේ මහින්දටද කියා දන්නේ නැති වුවත් නුවර වැඩිම මනාප ගත් දි.මු.ගේ පුතාට මහ ඇමැතිකම නොලැබෙන බව නම් පේන්න තිබේ.

බර්ටි මිය යෑමේ පුවත ආරංචි වූයේ ඉන් පසුවය. එතැනට ගිය චන්ද්‍රිකා ශ්‍රී ල.නි.ප. පාක්‍ෂිකයන් අතර බැබළුණේ තාරකාවක් ලෙසය. අවමඟුල් උළෙලේදී බර්ටිගේ පුත් දුමින්ද දිසානායක කීවේ මාර කතාවකි. සිය පියා බර්ටි ලෙඩ වෙලා සිටියදී චන්ද්‍රිකා ඔහුව බලන්න ආ බවත්, ලෙඩ වූවාට පසු සිය පියා සතුටින්ම පසු වූ දවස එදවස බවත්ය. අනෙක බර්ටිගේ අවමඟුල සාමාන්‍ය අවමඟුලක් නොවීය. එය මහා ජන සන්නිපාතයක් සහභාගිවූ අවමඟුලකි. එයින් පෙන්නුවේ උතුරු මැද ශ්‍රී ල.නි.ප. පාක්‍ෂික ජනතාව බර්ටිලාට තියෙන ආදරය ය.

මේ ඔක්කොම ගැට ගහල බලනකොට මහින්දට ඇතුළෙන්ම දේශපාලන ගේමක් සෙට් වෙමින් තිබෙන බව පැහැදිලිය.

මෙහෙම ඇතුළෙන් ගේම් සෙට් කරගන්නේ විපක්‍ෂය ගේම් ගහන්නේ නැතිකොටය. හැබැයි විපක්‍ෂය ගහන ගේමකින් රාජ්‍ය නායකයෙක් වීසි වෙනවා නම් වීසි වන්නේ විපක්‍ෂ නායක පුටුවටය. ආණ්ඩුව ඇතුළේ ගහන ගේමකින් වීසි වෙනකොට වීසි වෙන්නේ ගෙදරටය.
 
හොඳම නිදසුන චන්ද්‍රිකාය. චන්ද්‍රිකා 2004දී පාර්ලිමේන්තුව විසිරෙව්වේ නැත්නම් අද රටේ ජනාධිපති රනිල්ය. එහෙනම් චන්ද්‍රිකා අදටත් ශ්‍රී ල.නි.ප. නායිකාවය. එ.ජා.ප. ආණ්ඩුව වීසිවෙන්නේ නැතිව රනිල්ට 2005 ජනාධිපතිවරණයට අගමැති ලෙසම තරග කරන්න ඉඩ දී චන්ද්‍රිකා එවකට විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂව ජනාධිපතිවරණයට ශ්‍රී ල.නි.ප. අපේක්‍ෂක ලෙස දැම්මා නම් මහින්ද දිනන්නේ නැත. මහින්දගේ දේශපාලනය එතැනින් ඉවරය. චන්ද්‍රිකා ශ්‍රී ල.නි.ප. නායිකාවය. චන්ද්‍රිකා මේ දේශපාලනය හරියට ගණන් හදන්නේ නැතිව මංගලලාගේ උපදෙස් මත රනිල්ව විනාශ කරන්න මහා පිස්සුවක් කෙළියාය. ඒ 2004 මහ මැතිවරණයකට පාර කපා ගැනීමටය. රනිල්ව විනාශ කරන්න ශ්‍රී ල.නි.ප., ජ.වි.පෙ. ගහපු ගිවිසුමෙන් ශ්‍රී ල.නි.ප. මන්ත්‍රිවරුන්ට මන්ත්‍රිකම් අහිමි වී පක්‍ෂය නන්නත්තාර විය. මහින්දට අගමැතිකමට පාර කැපිණි. මහින්ද කළේ ශ්‍රී ල.නි.ප., ජ.වි.පෙ. ගිවිසුමෙන් කලකිරුණු ශ්‍රී ල.නි.ප. හිටපු මන්ත්‍රිවරුන් සහ පාක්‍ෂිකයන් චන්ද්‍රිකාට එරෙහිව කුලප්පු කොට චන්ද්‍රිකා සහ ජ.වි.පෙ. අතරත් ගැටුමක් නිර්මාණය කොට පක්‍ෂය ඇතුළෙන්ම චන්ද්‍රිකාට ගේමක් සෙට් කිරීමය. රනිල්වයි යූ.ඇන්.පී.යයි විනාශ කොට හැමදාම බලයේ ඉන්න ගිය චන්ද්‍රිකාට ශ්‍රී ල.නි.ප. නායකත්වයත් නැති වූයේ ඒ ගේමෙන්ය.

අද මහින්ද අදහන්නේත් එදා චන්ද්‍රිකා ඇදහුවා වගේ යූ.ඇන්.පී.යට කවදාවත් බලයට එන්න දෙන්නේ නැහැ කියන ධර්මය ය. එදා චන්ද්‍රිකාගේ කාලයේ රනිල්ට ඡන්ද දිනීම අමාරු වුණත් ඔහු ආණ්ඩුවට ලොකු අභියෝගයක් එල්ල කළ නායකයෙකි. එම නිසා චන්ද්‍රිකා හිතුවේ යූ.ඇන්.පී.ය බලයට ඒම වළක්වන්න නම් රනිල්ව විනාශ කරන්න ඕනෑය කියලාය. අනෙක ඒ කාලේ රනිල් පරාජය වී තිබුණේ මහ ඡන්ද දෙකක් පමණි.
 
අද මහින්ද යටතේ රනිල් ජනාධිපතිවරණ තුනක් මහ ඡන්ද තුනක් පරාජය වූ නායකයෙකි. අද රනිල් බලන්නේ මහින්දව පරද්දන්න හෝ ආණ්ඩුවට අභියෝග කරන්න නොව සිය පක්‍ෂ නායකත්වය ආරක්‍ෂා කරගන්නටය. මහින්ද ඒක දනී. ඉතින් මහින්ද බලන්නේ රනිල්ව තියාගෙන යූ.ඇන්.පී.ය විනාශ කිරීමටය. රනිල්ගේ නායකත්වයට එරෙහිව පැනනඟින කැරැලි ඉදිරියේ රාජ්‍ය මාධ්‍ය සහ මහින්දගේ පාලනය යටතේ පවතින නිදහස් මාධ්‍ය සහ ආණ්ඩුවේ ව්‍යාපාර කරන නිදහස් මාධ්‍ය රනිල්ව ආරක්‍ෂා කරන්න දත කන ආකාරය දිහා බලන විට ඒ බව පැහැදිලිය.
 
මහින්ද රනිල්ව ආරක්‍ෂා කිරීම පසෙකලා යූ.ඇන්.පී.යේ නායකත්ව වෙනසකට ඉඩ දුන්නොත් එය මහින්දට ලොකු තර්ජනයක් වෙනවාට සැක නැත. විපක්‍ෂයෙන් එවැනි තර්ජනයක් එද්දී ආණ්ඩුව ඇතුළේ මහින්දට එරෙහි ගේම් සෙට් වෙන්නේ නැත. හැමෝම එකා වන්ව එක් වී මහින්දව ආරක්‍ෂා කිරීමට ඉදිරිපත් වනු ඇත. ආණ්ඩුවක් ඇතුළේ ගේම් නසන එකම සහ හොඳම බේත විපක්‍ෂයෙන් බලවත් සතුරකු සොයා ගැනීමය.

රනිල්ගේ නායකත්වය වෙනස් වී අලුත් නායකයෙක් ආවොත් යූ.ඇන්.පී.ය ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට තියෙන ඉඩකඩ වැඩිය. එසේ යූ.ඇන්.පී.ය දින්නොත් මහින්දට හෝ රාජපක්‍ෂ පවුලට ගෙදර යන්න වෙන්නේ නැත. නව නායකයෙකුගේ යූ.එන්.පී. ආණ්ඩුවකින් මහින්දගේ ආණ්ඩුවට දුවන්න කන්න වෙන බව නම් ඇත්තය. ඒත් මහින්දව ශ්‍රී ල.නි.ප. නායකත්වයෙන් එළවන්න යූ.එන්.පී. ජනාධිපතිට බැරිය. මහින්ද එතකොටත් ශ්‍රී ල.නි.ප. නායකයාය. පරදින ඡන්දෙට කලින් පක්‍ෂ ලේකම්කම වෙනස් කරගෙන තමන්ට විශ්වාසවන්ත ලේකම් කෙනෙක් දමා ගත්තා නම් 1977 පරාජයෙන් පසු මැතිනිය පුතා අනුරව ගෙනාවා සේ මහින්දට නාමල්ව ගේන්න පුළුවන.

හැබැයි මහින්ද රනිල්ව තියාගෙන පක්‍ෂ ඇතුළේ ගේම් එකකට සෙට් වෙන්න දී ආපහු චන්ද්‍රිකාට පණ දුන්නොත් චන්ද්‍රිකා බලය අතට ගෙන ඉස්සෙල්ලාම ගහන්නේ මහින්දට සහ ඔහුගේ පවුලේ අයටත්, ඔහු වටා සිටින ඩලස්ලා සජින්ලා වැනි අයටත්ය. රනිල්ට දිගටම ඉන්න මහින්ද උදව් කළොත් ඊළඟ ජනාධිපතිවරණයට යූ.ඇන්.පී.ය ඇතුළෙන් ජනාධිපති අපේක්‍ෂකයෙක් එන්නේ නැත. මංගලලා රනිල්ව තියාගන්න දත කන්නේ ෆොන්සේකාව ගෙනාවා වගේ යළි චන්ද්‍රිකාව ගේන්න රනිල් හරහා යූ.ඇන්.පී.ය එකඟ කරගන්නටය. චන්ද්‍රිකා ඇවිත් පළමුව කරන්නේ ශ්‍රී ල.නි.ප.යේ බලය අල්ලා රාජපක්‍ෂ පවුලයි රාජපක්‍ෂ පවුල වටේ ඉන්න අයයි යූ.ඇන්.පී. යයි දෙකම විනාශ කිරීමය. එතකොට මහින්දටයි, නාමල්ටයි, බැසිල්ටයි, ඩලස්ලටයි ඉන්න වෙන්නේ අද චන්ද්‍රිකාලා මංගලලා ඉන්න තැන්වලය. එදාට ආපසු යූ.ඇන්.පී.ය රාජපක්‍ෂලා සමඟ එක්වී චන්ද්‍රිකාව පන්නන්න සටන ආරම්භ කරනු ඇත.