එඩ්වඩ්ට "කැරකෙන රෝදේ" ලියු හැත්තෑව දශකයේ කොන්දොස්‌තර



"කැරකෙන රෝදේ පුංචි කරත්තේ ඉඳගෙන මම යන්නේ.... "

පදික වේදිකා පසුකර යන්නට තල්ලු කරන් පුතුනේ..."

මෙම ගීතය ගායනා කළ විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා එදා රසිකයන් අතරට පැමිණ මහ ප්‍රසිද්ධියක්‌ ලබාගත්තේ ඉහත ගීතය නිර්මාණකරුගේ සහජ හැකියාව නිසාය.

කැරකෙන රෝදේ පුංචි කරත්තේ ගීතය නිර්මාණය කළ සිරිල් සමරකෝන් නම් රජරට කලාකරුවා සොයා "දිවයින" අපි ඔහු පදිංචි කැකිරාව, අලගොල්ලෑව නම් වූ රිටිගල කඳු පාමුල සුන්දර ගම් පියසට ගියෙමු.

සිරිල් සමරකෝන් මහතා.... "ආයුබෝවන් ...." එන්න අපේ මහත්තයා... යෑයි මුව පුරා සිනාසෙමින් "දිවයින" ඉතා ආදරයෙන් පිළිගත්තේය.

ඉතිං සිරිල් මහත්තයා ඔබ දැන් විශ්‍රාම සුවයෙන්... ළඟදි ගීත එහෙම ලිව්වේ නැද්ද?

"අපොයි මම නිහඬ නැහැ. මා සංගීතවත් කළ ගීත දාසයක්‌ මා සතුව දැන් තිබෙනවා.

ඔබ මුලින්ම ගීත රචනා කළේ...

"මම මුලින්ම ගීත රචනා කළේ හැත්තෑව දශකයේ. ඒ කාලේ මම රචනා කළ ගීත රජරට ගුවන් විදුලියේ බොහොම ප්‍රසිද්ධ වුණා. ඒ වගේම මම පාසල් ගිය අවධියේ අලගොල්ලෑව විද්‍යාලයේ වේදිකා නාට්‍ය කළා. පසුව සංචාරක වේදිකා නාට්‍ය අදටත් මම පාසල්වල කරනවා.

ඔබ දැන් විශ්‍රාමිකයි. ඔබ සේවය කළේ?

"මම ලංගම සේවකයෙක්‌. මුලින්ම ලංගම කොන්දොස්‌තර. ඊළඟට ඩිපෝ පරීක්‍ෂක. පසුව විධායක නිලධාරියෙක්‌ ලෙස අනුරාධපුර ඩිපෝවෙන් විශ්‍රාම ගියා. ඔබ කැරකෙන රෝදේ සිංදුව රචනා කළේ....?

මේ ගීතයට පෙර මම තව ගීත රචනා කළා. ගීත රචනා බැංකුවෙන් එඩ්වඩ් ජයකොඩි මහතා මේ ගීතය තෝරගත්තා.

ඔබ මේ ගීතයෙන් අදහස්‌ කළේ....?

"මම මුලින්ම හැත්තෑව දශකයේ කොන්දොස්‌තර ලෙස සේවය කළේ මොරටුව ඩිපෝවේ. ඒ කාලේ නිතර නිතර පදික වේදිකාවේ දුටු දර්ශනයක්‌ මම මේ ගීතයට ඇතුළත් කළා.

තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ 2013 සාහිත්‍ය උත්සවයේදී ඔබ ගීත රචනයට සහ කෙටි කතාවලට පළමු ස්‌ථානය දිනාගත්තා.

"ඔව් මම පළමුවැනියා වුණා. ඊට පෙරත් මා තමයි, පළමුවැනියා වන්නේ. අලුත් ගීත සීයක්‌ විතර ලියපු පොතක්‌ මම ළඟ තිබුණත් ඒවා ප්‍රසිද්ධ කරගන්න මට මූල්‍ය ශක්‌තියක්‌ නැහැ. රචනා කළ කෙටිකතා දාසයක්‌ මා ළඟ තිබෙනවා. ඊට අමතරව මම 2500 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් "මට මගේ අම්මා වගේ" ගීතය ඇතුළත් කැසට්‌ පටයක්‌ කළා.

සිරිල් සමරකෝන් මහතාගේ ගීත නිර්මාණයක්‌ අ.පො.ස. සා.පෙළ සිංහල භාෂාව හා සාහිත්‍ය පොත සඳහා ද ඇතුළත් කර ඇත. එහි මෙසේ සඳහන් වේ.

අඹර කුරක්‌කන් කලුවේ

ගලවට පිටි කොයි කලුවේ

කර කර කර කර කර කර

දෑතට ගත සවිය පුදා.....



ගල්ලැහැ පැදුරේ ඉඳගෙන

පහන් දැල්ල නිවෙන තුරා

මැදියම් රෑ මං උන්නා

කර කර කර කර කර කර....



පංකා සිහිලැල් පවනේ

ඉසුරු පිරුණු මාදිනියේ

කුරහන් ගල ගොළු වී ඇත

නුඹෙ ගී හඬ කෙඳිරිල්ලක..

මා සනසයි අම්මේ·

සිරිල් සමරකෝන් නම් වූ මේ ගීත රචකයා ස්‌වකීය මෑණියන්ගේ ගුණ සමුදාය නිර්මාණය කරන්නේ යථාර්ථවත් රීතියකිනි. එබැවින් එහි ඇති හෘදයාංගම බව හේතු කොටගෙන අප ළය කම්පා වෙයි. සිත් සතන් සනහාලයි.

"ගීතයේ අභිමානවත් ගමන් මඟ" නම් වූ පාඩමට ඉහත ගීතයේ කොටසක්‌ එසේ ඇතුළත් කර තිබේ.

කුසලතා රැසකින් හෙබි සිරිල් සමරකෝන් මහතා වෙළෙඳ සේවයේ බී ශ්‍රේණිය යටතේත් ස්‌වදේශීය සේවයේ සරල ගී පරීක්‍ෂණයේදී සී ශ්‍රේණියට තේරී පත්ව ඇත.

කැකිරාව - සුදත් ඒකනායක

දිවයින