නැඟිටීම ඩලස් සහ චම්පික - උපුල් ජෝශප් ප්‍රනාන්දු


'අවසානයක ආරම්භය' 1994 දකුණු පළාත් සභා මැතිවරණයේ ශ්‍රී ල.නි.ප. ප්‍රමුඛ පොදු පෙරමුණේ සටන් පාඨය වුණේ ඒකය. එම මැතිවරණයේදී යූ.ඇන්.පී. ආණ්ඩුවේ අවසානයක ආරම්භය සහතික කරන්න චරිත දෙකක් අපූරු රංගනයක් කළහ. ඉන් එක්කෙනෙක් ඩලස් අලහප්පෙරුමය. ඔහු පළමුවැනි වරට ඡන්දය ඉල්ලුවේ 1994 දකුණු පළාත් සභා මැතිවරණයෙනි.
 
'මරණයේ දේශයට

ජීවිතය ගෙන යන

ඩලස්....'

ඩලස්ගේ සටන් පාඨය වුණේ ඒකය. ජ.වි.පෙ. හිතවාදී විකල්ප මාධ්‍යවේදියකු වූ ඩලස් 1994 දකුණු පළාත් සභා ඡන්දය දිනන්න අවශ්‍ය තරුණ ජවය යහමින් දුන්නේය.
 
එක් පැත්තකින් ප්‍රේමදාස ආණ්ඩුවේ මර්දනයට හසුවූ මාධ්‍යවේදීන්ගේ නිදහස සඳහා වූ අරගලයද, අනෙක් පැත්තෙන් ජ.වි.පෙ. අරගලයද ඔහු සංකේතවත් කළේය. 1994 දකුණු පළාත් සභා ඡන්ද අපේක්‍ෂකයන් අතර ආස්වාදජනක චරිතය වූයේ ඩලස්ය.
 
දෙවැනි චරිතය නිරූපණය කළේ චම්පික රණවකය. ප්‍රේමදාස ආණ්ඩුව ජ.වි.පෙ. මර්දනය කළාට පසු චම්පිකලා විශ්වවිද්‍යාල හරහා ජාතික චින්තන සංකල්පය කර ගහගෙන තරුණ රැඩිකල් දේශප්‍රේමී ව්‍යාපාරයක් සංවිධානය කරමින් සිටියහ. පසුව මෙය 'ජනතා මිතුරෝ' ලෙස වෙනස් විය. චම්පික ඔහුගේ ජනතා මිතුරෝ බලවේගය දකුණු පළාත් සභාවේ ඡන්ද ව්‍යාපාරයට දැම්මේය. ජනතා මිතුරෝ ශ්‍රී .ල.නි.ප.ය ප්‍රමුඛ පොදු පෙරමුණ පිටුපස අදිසි හස්තයක් ලෙස අප්‍රකටව ගෙන් ගෙට යමින් නිවෙස්වල රැස්වෙමින් යූ.ඇන්.පී. විරෝධී ජන බලය ශක්තිමත් කළා පමණක් නොව වර්ණවත් කළේය. එවකට තහනම් අකුරු තුනක් වූ ජ.වි.පෙ.ට ළැදි ගමේ තරුණ තරුණියන් ජ.වි.පෙ. මර්දනය කළ යූ.ඇන්.පී. ආණ්ඩුවට පාඩමක් උගන්වන්න තමන් අකැමැති පොදු පෙරමුණට ඡන්දය දෙන්න මෙහෙයවූයේ චම්පිකලාගේ ජනතා මිතුරෝය. ඡන්ද කාලයේ පාරට බහින්න බය වෙලා අවුරුදු 17ක් ගේ අස්සේ හිටපු ශ්‍රී ල.නි.ප. පාක්‍ෂිකයන් එළියට ආවේ ජනතා මිතුරෝ හයියෙනි. නිල් කොඩි කපපු නිල් පෝස්ටර් ඉරපු යූ.ඇන්.පී.කාරයන්් ගෙවල්වල හැංගුණේ ජනතා මිතුරෝ පෙන්වපු හයිය නිසාය.
 
1994 දකුණු පළාත් සභාව පරාජයට පත් වූවාට පසු එවකට අගමැති රනිල් පාර්ලිමේන්තුවේදී කීවේ දකුණු පළාත් සභා ඡන්ද ජයග්‍රහණය පිටුපස අදිසි හස්තය ජනතා මිතුරෝ යැයි කියාය. පළාත් සභා ජයග්‍රහණයෙන් පසු චන්ද්‍රිකා විවෘත ආර්ථිකය පිළිගෙන එයට මානුෂික මුහුණුවරක් දීමට කතා කිරීමෙන් ජනතා මිතුරෝ පාවාදී ඇතැයි ඔහු චෝදනා කළේය.
 
කෙසේ හෝ ඩලස්ලා චම්පිකලා මහින්ද රාජපක්‍ෂලා චන්ද්‍රිකාව කරේ තියාගෙන ගිහින් චන්ද්‍රිකා රැල්ලක් හදල දකුණ දිනා ගත්හ. දකුණින් අවසානයක ආරම්භය සහතික කරල චන්ද්‍රිකා 1994 රටම දිනා ගත්තාය. ඇය බලයට ඇවිත් වාර්ගික ප්‍රශ්නය විසඳන්න දේශපාලන පැකේජයක් හදන විට ඩලස් පැකේජයට පක්‍ෂව මල්බෙරි තරුණ මන්ත්‍රි කණ්ඩායම හැදුවේය. චම්පිකලා ජනතා මිතුරෝ සංවිධානය හෙළ උරුමය නම් වූ පක්‍ෂයක් බවට පත් කරගෙන පැකේජයට එරෙහිව පාරට බැස්සාහ. මහින්ද මැදට වෙලා වෙන්නේ මොකක්ද කියල බලාගෙන සිටියේය.

මහින්දටත් ඩලස්ටත් දකුණේ පොදු සතුරෙක් සිටියේය. ඒ මංගලය. දකුණේ නායකත්වයට මහින්ද සහ මංගල අතර සටනක් තිබිණි. මාතර නායකත්වයට මංගල සහ ඩලස් අතර සටනක් තිබිණි. එවකට ජනාධිපති චන්ද්‍රිකාට සමීප සගයකු ලෙස මංගල තමාට සතුරු මහින්දවත් ඩලස්වත් ආණ්ඩුවෙන් කොන් කළේය. ඩලස් සහ මහින්ද එකට එකතු වුණේ එතැනදීය. නැතිනම් මුලින් මහින්ද චන්ද්‍රිකා විරෝධී පිලේ සිටියදී ඩලස් හිටියේ චන්ද්‍රිකාගේ පිලේය. ඔහු මල්බෙරි කණ්ඩායම හැදුවේත් චන්ද්‍රිකාව ශක්තිමත් කරන්නටය.
 
එකල ඩලස්ගේ සමීප දේශපාලන සගයා වූයේ එස්.බී.ය. චන්ද්‍රිකා සමඟ ගැටුම් ඇති කරගෙන එස්.බී. 2001 ආණ්ඩුවෙන් යන කොට ඩලස් ද චන්ද්‍රිකාගේ කෙනෙහිලිකම් නිසා ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණය කර තිබිණි. එස්.බී. එ.ජා.ප.යට ගියේය. ඩලස් රට හැරලා ගියේය.

2001 වන විට පැකේජයට එරෙහිව සටන් කොට චම්පිකලා මහින්ද සමඟ මිත්‍ර සන්ධානයක් හදාගෙන තිබිණි. ඩලස් මංගලට එරෙහිව සටන් කරලා මහින්ද එක්ක මිත්‍ර සන්ධානයක් හදා ගෙන තිබිණි. මහින්ද මේ දෙන්නාටම බලාපොරොත්තුවක් දී තිබිණි. එනම් තමන් ශ්‍රී ල.නි.ප. නායකත්වයට පත්වන තෙක් ඉවසා ගෙන ඉන්නය කියන බලාපොරොත්තුවය. 2000 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ චම්පික 2001 මහ මැතිවරණයේදී පාර්ලිමේන්තු අසුන අහිමි වී දේශපාලන වශයෙන් නන්නත්තාර වී සිටියේය. ඩලස් දේශපාලනයෙන් සමුගෙන විදේශගත වී තමන්ගේ වැඩක් බලාගෙන සිටියේය. ඒ වෙලාවේ මේ දෙදෙනාම රනිල්ට සහ එ.ජා.ප. ආණ්ඩුවට හදවතින් සහාය දුන්හ. ඩලස් සහාය දුන්නේ එ.ජා.ප.ය චන්ද්‍රිකාව විනාශ කොට මහින්දට පක්‍ෂ නායකත්වයට පාර කපයි යැයි හිතාගෙනය. අනෙක ඩලස්ගේ සමීප දේශපාලන සගයා වූ එස්.බී. හිටියේ එ.ජා.ප.යේය. චම්පිකලා සහාය දුන්නේ එ.ජා.ප.ය ලවා චන්ද්‍රිකා සහ ජ.වි.පෙ. විනාශ කොට මහින්ද පක්‍ෂ නායකත්වයට පත්වූ විට ශ්‍රී ල.නි.ප.ය එක්ක සන්ධාන ගහ ගන්නටය.
 
2004 මහ මැතිවරණයෙන් මහින්ද අගමැති වූ විට ඩලස් සහ චම්පිකලා මහින්දව ජනාධිපති කරන සටනට බැස්සෝය.

2005 සිට මහින්දව දේශප්‍රේමී රැල්ලට මෙහෙයවූයේ චම්පිකලාය. ඩලස්ලා ඒ රැල්ලේ මහින්දව කරේ තියාගෙන සහ 2005 ජනාධිපතිවරණය දිනල ලක්‍ෂ්මන් කදිරගාමර්ගේ හිස් වූ ආසනයට මහින්ද පත් කළේ ඩලස්වය. 2005 ජනාධිපතිවරණය දිනන්න මහින්දලා සහ ඩලස්ලා තමාව පාවිච්චි කළාය කියල මංගලට තේරුම් ගියේ එතකොටය. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ මංගල සිටියේ කොතැනද තම ආණ්ඩුවේ එතැන සිටිය යුත්තේ ඩලස් යැයි මහින්ද සිග්නල් එක දුන්නේ ඒ වෙලාවේදීය.
 
කොහොම හරි ඩලස්ලා චම්පිකලා විසින් එකට එක් වී දේශප්‍රේමී රැල්ලේ මහින්දව කර තියාගෙන ගොස් 2010දීත් ජනාධිපති පුටුවේ වාඩි කරවනු ලැබූහ.

චම්පිකලා මහින්දව කරේ තියාගත්තේ තම ප්‍රතිපත්තිය වූ දේශප්‍රේමය ගොඩදා ගන්නටය. ඩලස් මහින්දව කරේ තියාගෙන ගියේ මහින්දව ගොඩදමලා තමනුත් ගොඩ යන්නටය. මහින්දවත් ගොඩදාගෙන තමන්ද ගොඩ යන්නට නම් දේශප්‍රේමී රැල්ලට එරෙහිව ලොව පුරා නැඟෙන සාමවාදී ජාත්‍යන්තර රැල්ලේ පීනන්න මහින්දව පුරුදු පුහුණු කළ යුතු බව ඩලස්ට වැටහුණි. කොහොමත් ඩලස් චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ සිටම සාමවාදියෙක් වූ නිසා ඔහුට මේ රැල්ලට පුරුදු වෙන්න එතරම් අමාරු නොවීය. මේ දේශප්‍රේමී රැල්ලේ ගියොත් රටට ආර්ථික සම්බාධක ඇවිත් රටම ආර්ථික අර්බුදයකට ගොස් ඉන්දියාවෙනුත් හොඳ පරිප්පුවක් කන්න වේ යැයි ඩලස්ට ඉව වැටුණි. උතුරේ පළාත් සභා ඡන්දය පවත්වන්න මහින්දගේ හිත වෙනස් කරන්න ඔහුද කාර්යභාරයක් ඉටු කරන්න ඇත. ඉන්දියාව තරහ කරගෙන පවතින්න බැහැ කියා ඔහු වරක් දෙවරක් නොව කිහිපවරක්ම කීවේ එහෙයිනි. ඔහු නාවිපිල්ලේට සුදු හුනු ගාන්නේත් පිල්ලේ තරහ කර ගත්තොත් ආණ්ඩුව අමාරුවේ වැටෙන බව දැනගෙනය.

දේශප්‍රේමී රැල්ලේ තමන්ගේ කර පිටින් පිහිනපු මහින්ද දැන් හොරාට ඩලස්ගේ කරට නැඟලා ජාත්‍යන්තර රැල්ලේ බඩ පිනුම් ගහන බව චම්පිකට තේරුම් නොගියා නම් පුදුමය. චම්පික 13 වෙනස් කරන තේරීම් කාරක සභාවෙන් නැඟිට යන්න ඇත්තේ ඒ නිසා විය යුතුය.

2005දී මංගල තේරුම් නොගත් දෙයක් චම්පිකලාත් තේරුම් ගෙන නැත. 2005 සුනාමි සහන මණ්ඩල ගිවිසුමට අස්සන් කොට ජාත්‍යන්තර සුනාමියෙන් බේරුණේ නැත්නම් තමාත් ආණ්ඩුවත් දෙකම ඉවර යැයි හිතාගෙන චන්ද්‍රිකා තම අග්‍ර පුරෝහිත මංගලවත් හලලා ගිවිසුමට අස්සන් කළේ තම පැවැත්මටය. ඒ වෙලාවේ චන්ද්‍රිකා මංගලගේ තැනට දමා ගත්තේ ඩිලාන්වය. මහින්දත් තම පැවැත්මට ජාත්‍යන්තර සුනාමියෙන් බේරෙන්න 13 වෙනස් නොකර පිල්ලේ කියන ඒවා කරල චම්පිකලා හැලුවත් පුදුම වෙන්න දෙයක් නැත. හැබැයි මහින්දට තරු පේන්නේ 2005 චන්ද්‍රිකාට ගහන්න මහින්දව හැදුවා වගේ චම්පිකලා 2014 මහින්දට ගහන්න මහින්ද කෙනෙක් හැදුවොත්ය.