ණය පංගුවෙන් රජය බෙදාගන්නා ප්‍රමාණය ඉහළට


පුද්ගලික අංශයට හිමිවූ ණය වසර තුනකට පසුව අඩුම අගයට වැටේ

මෙරට බැංකු ක්‍රමයෙන් පුද්ගලික අංශය ලබාගත් ණය ප්‍රමාණය වසර තුනකට පසුව වාර්තා වූ අඩුම අගයට වැටී තිබෙන බව හෙළිවේ.

එනම්, ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනාවරණය කරන්නේ 2013 අප්‍රේල් මාසයේදී මෙරට පුද්ගලික අංශය බැංකු ක්‍රමයෙන් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 7.6 ක්වූ බවත් එය වසර තුනකට පසුව වාර්තා වූ අඩුම අගය බවයි.

මෙමගින් හෙළිවන වැදගත්ම කාරණය වන්නේ රටේ වර්ධනයට දායක වන පුද්ගලික අංශයට ලබාගැනීමට තිබෙන ණය ප්‍රමාණය රාජ්‍ය අංශය විසින් ලබා ගනිමින් තිබෙන බවත් රාජ්‍ය ණය අඛණ්ඩව වැඩි වෙමින් තිබෙන බවයි.

අප්‍රේල් මාසයේදී දේශීය බැංකු වලින් මධ්‍යම රජය ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 76.8 ක්වී තිබෙන අතර මේ වනවිට මධ්‍යම රජය බැංකු වලින් ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 851.2 ක් දක්වා වර්ධනය වී තිබේ.

මීට අමතරව, පසුගිය අප්‍රේල් මාසයේදී රාජ්‍ය ව්‍යවසායන් විසින් මෙරට බැංකු ක්‍රමයෙන් රුපියල් බිලියන 9.1 ක් ණය ගෙන ඇත.

“ක්‍රවුඩින් අවුට් ඉෆෙක්ට්“

රටක පුද්ගලික අංශයට ලබා ගැනීමට තිබෙන ණය රජය විසින් ලබාගෙන පුද්ගලික අංශයේ අවස්ථාව උදුරා ගැනීම ආර්ථික විද්‍යාවේදී හඳුන්වන්නේ “ක්‍රවුඩින් අවුට් ඉෆෙක්ට්“ යන නමිනි.

ශ්‍රී ලංකාව තුළද මේ වනවිට දකින්නට ලැබෙන්නේ මෙවැනි තත්ත්වයක් වන අතර පුද්ගලික අංශය ලබාගන්නා ණය ප්‍රමාණය වැඩිවන විට එම මුදල් ආර්ථික ක්‍රියාකාරකම් වලට යෙදවෙන නිසා ආර්ථිකය පිබිදීමට එය හේතුවේ.

විමසුම