දේශද්‍රෝහී චෝගම් සහ දේශප්‍රේමී චුයින්ගම්


උපුල් ජෝශප් ප්‍රනාන්දු


'2005දී එල්.ටී.ටී.ඊ.යත් එක්ක සුනාමි සහන මණ්ඩල ගිවිසුම අස්සන් කරපු එක දේශපාලන අත්වැරැදීමක් කියල හිතෙන්නේ නැද්ද.....?'
මේ සති කිහිපයකට කලින් පුවත්පත් සාකච්ඡාවකට චන්ද්‍රිකාව හමුවූ විට මා අහපු ප්‍රශ්නයකි.
සාමයේදී එඩිතර තීරණ ගන්න බය නැති චන්ද්‍රිකා එය අත්වැරැද්දක් ලෙස දුටුවේ නැත.
ඒත් චන්ද්‍රිකාගේ වැටීම 'පී ටොම්ස්' නොහොත් සුනාමි සහන මණ්ඩල ගිවිසුමය.
'මැඩම් සුනාමි සහන මණ්ඩල ගිවිසුම අස්සන් කළොත් මැඩම්ගේ නම නොබෙල් සාම තෑග්ගටත් යෝජනා වේවි......'

මේ ඒ කාලයේ චන්ද්‍රිකා වට කරගෙන හිටපු අය කී කතාවය.
'නොබෙල් සාම තෑග්ග වගේ නෙවේ. මේකට අස්සන් කළොත් ජ.වි.පෙ. කැඩිලා යාවි. ආණ්ඩුවත් නැති වේවි.....'
මේ ලක්‍ෂ්මන් කදිරගාමර්ලා, මංගල සමරවීරලා කී කතාවය.
ඔවුන් කී කතාව හරි ගියේය. චන්ද්‍රිකාගේ ආණ්ඩුව සුනාමි සහන මණ්ඩල ගිවිසුමට අස්සන් කළේය. ජ.වි.පෙ. කැඩුණි. ආණ්ඩුව වැටුණි. හෙළ උරුමය පී ටොම්ස් ගිවිසුමට එරෙහිව රටම ගිනි තිබ්බේය.

'මම ආණ්ඩුව වට්ටවන්නේ නැහැ. යූ.ඇන්.පී.ය ආණ්ඩුව ආරක්‍ෂා කරල දෙන්නම්....'
රනිල් කපටි ආරක්‍ෂකයා ලෙස කීවේය. පී ටොම්ස් අවුලෙන් රනිල් ලාභෙට ජනාධිපති වෙන්න හීන මවන බව ජ.වි.පෙ. සහ හෙළ උරුමයට තේරුණි. රනිල්ව පරද්දන්න ආණ්ඩුව ඇතුළෙන්ම දේශප්‍රේමී නායකයෙක් නිර්මාණය කර ගන්න ජ.වි.පෙ.ට මෙන්ම හෙළ උරුමයටද අවශ්‍ය විය. මහින්ද රාජපක්‍ෂ ආවේ ජ.වි.පෙ. සහ හෙළ උරුමයේ ඒ ඉල්ලීම සපුරාලන්නටය.

එහෙව් මහින්ද අද පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් 54ක නායකයා වෙන්න පී ටොම්ස් පන්නයේ වැඩකට අත ගහන්න සූදානමින් සිටී. ඒ වැඩේ නම් උතුරේ ඡන්දයය. රටවල් 54ක නායකයා වෙන්න පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීම මෙහෙ තියාගන්න ඉන්දියාවේ සහාය ගන්න මහින්ද ඉඩම් සහ පොලිස් බලතල සහිත උතුරු පළාත් සභා ඡන්දය තියන්න සූදානම්ය. ඡන්දය තියන්නේ ඉන්දියාවේ ඇස් ඉදිරිපිටය. හොර බොරුකම් ජිල්මාට් ලේසි නැත. එහෙම ඡන්දය තිබ්බොත් උතුර දිනන්නේ දමිළ ජාතික සන්ධානයය. එතකොට ඉඩම් සහ පොලිස් බලතල එක්ක උතුර දමිළ ජාතික සන්ධානය අතෙහිය. මහින්ද රටවල් 54ක නායකයාය.

'උතුරේ ඡන්දය තිබ්බොත් අපි අයින් වෙනවා.....'
විමල් වීරවංශ කෑ මොර දෙයි.
'අපේ කොන්දේසි යටතේ උතුරේ ඡන්දය තිබ්බේ නැත්නම් අපිත් අයින් වෙනවා.....'
හෙළ උරුමය ගුගුලයි.
'මහින්දත් චන්ද්‍රිකා පැටලුණු ජාත්‍යන්තර උගුලේම පැටලෙන්නද යන්නේ......?'

මොළේ තියෙන ශ්‍රී ලංකාකාරයෝ අසති. චන්ද්‍රිකා පී ටොම්ස් ගිවිසුම අස්සන් කරන කොට රටේ තිබුණේ මහා සිංහල බෞද්ධ රැල්ලකි. ඒ රැල්ල නිර්මාණය වූයේ සෝම හිමියන් අපවත් වීමෙනි. ජ.වි.පෙ. හා හෙළ උරුමය ඒ රැල්ලේ පිහිනුවේ මහින්දව කරේ තියාගෙනය.
අද මහින්ද උතුරේ ඡන්දය තියන්න යනකොට ඒ හා සමාන සිංහල බෞද්ධ රැල්ලක් නිර්මාණය වී තිබේ. ඒ බොදු බල සේනා හා සිංහල රාවය නිර්මාණය කරපු මුස්ලිම් විරෝධය හරහාය. උතුරේ ඡන්දයට එරෙහිව විමල්ගේ ජාතික නිදහස් පෙරමුණත්, හෙළ උරුමයත් පාරට ආවොත් ආයෙත් එන්නේ 2005 සිංහල බෞද්ධ රැල්ලය.
'මේ රැල්ලේ පීනන්න විමල්ලා, චම්පිකලා කරට ගන්නේ කාවද.....?'

ප්‍රශ්නය තියෙන්නේ එතැනය. 2005 ජනාධිපතිවරණයත්, 2014 ජනාධිපතිවරණයත් අතර වෙනස 2005 චන්ද්‍රිකාට තුන්වැනි වතාවට ජනාධිපති ධුරය ඉල්ලන්න බැරි නිසා ආණ්ඩුවට අපේක්‍ෂකයෙක් සොයා ගත යුතු විය. මහින්ද මතු වුණේ එතැනදීය. 2014 එහෙම ප්‍රශ්නයක් නැත. ආණ්ඩුවේ අපේක්‍ෂකයා මහින්දය. යූ.ඇන්.පී. යෙන් රනිල් ඉල්ලුවොත් රනිල් දේශප්‍රේමී රැල්ලේ පීනන්න පුළුවන් අපේක්‍ෂකයෙක් නොවේ. එවිට විමල්ලාට, චම්පිකලාට වෙන්නේ ආණ්ඩුවෙන් එළියට ආවොත් අලුත් අපේක්‍ෂකයෙක් සොයාගන්නටය. ආණ්ඩුව ඇතුළේ ශ්‍රී .ල.නි.ප. දේශප්‍රේමී කණ්ඩායමක් කඩා ගතහොත් විමල්ලාට චම්පිකලාට අලුත් අපේක්‍ෂකයෙක් සොයා ගන්න එක අමාරු නැත.

'ජ.වි.පෙ. කුමක් කරයිද.....?'
මේ දවස්වල ජ.වි.පෙ. කරන්නේ හොරගල් අහුලන එකය. තමන්ට වාසිදායක පරිසරයක් නිර්මාණය වූ විට ජ.වි.පෙ. සන්ධාන ගේමට බහිනු ඇත.
විමල්ලා හා චම්පිකලා තරහ කරගෙන මහින්ද උතුරේ ඡන්දෙ තියල 2014 ජනාධිපතිවරණයකට ගියොත් මහින්දට මුහුණ දෙන්න වෙන්නේ තුන් කොන් සටනකටය. මහින්ද, රනිල් සහ දේශප්‍රේමී අපේක්‍ෂකයෙක් තුන්කොන් සටනට ඉදිරිපත් වනු ඇත. එතැනදී ජ.වි.පෙ. වෙනම සන්ධානයකින් එයිද තුන් කොන් සටනට එක් වෙයිද කියා නිශ්චිතව කිව නොහැකිය. හැබැයි දේශප්‍රේමී අපේක්‍ෂකයා මහින්දට ගහන ප්‍රමාණයට එ.ජා.ප.ය ශක්තිමත් වේ.

2005 ජනාධිපතිවරණයේදී මහින්දගේ ඡන්ද කඩන්න දේශප්‍රේමී තුන්වැනි අපේක්‍ෂකයෙක් දමන්න එ.ජා.ප.ය සහ හෙළ උරුමය අතර සාකච්ඡා පැවැත්විණි. ඒ සඳහා යුද වීරයකු වූ ජානක පෙරේරාගේ නමද යෝජනා විය. එ.ජා.ප.ය බය වූයේ දේශප්‍රේමී අපේක්‍ෂකයා ආණ්ඩු විරෝධී යූ.ඇන්.පී. ඡන්ද කඩයි කියාය. එ.ජා.ප.ය උපක්‍රමශීලීව හෙළ උරුමය දේශප්‍රේමී අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන්න තල්ලු කළා නම් මහින්දව ජයග්‍රහණය කරවපු දකුණේ සිංහල ඡන්ද බෙදල මහින්දව පරාජය කරවන්න හැකියාව තිබිණි.

මහින්ද දේශප්‍රේමී බලවේග තරහ කරගෙන උතුරේ ඡන්දය තිබ්බොත් මෙවර මහින්දට දේශප්‍රේමී අපේක්‍ෂකයෙක්ට මුහුණ දීමට සිදුවනු ඇත. විමල්ලා සහ චම්පිකලා ශ්‍රී .ල.නි.ප.යෙන් ලොකු කුට්ටියක් කඩා ගතහොත් එ.ජා.ප.ය අභිභවා දේශප්‍රේමී අපේක්‍ෂකයා මහින්ද සමඟ මරාගෙන මැරෙන සටනකට වුවද යන්නට ඉඩ ඇත.
'ඩොලර් බිලියන 4.5 කට මේ රට විකුණන්න දෙන්න අපිට බැහැ.....'
මේ විමල් වීරවංශ පි ටොම්ස් ගිවිසුම ගැන කී කතාවය.
'ජාත්‍යන්තර සමුළුවක සභාපතිකමකට මේ උතුර විකුණන්න දෙන්න බැහැ......'

විමල්ලා හා චම්පිකලා හෙට කියනු ඇත්තේ මේ කතාවය.
පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට ඉංග්‍රීසි භාෂාවෙන් කෙටියෙන් කියන්නේ චෝගම්ය. ඒ 'ඛ්ඩ්ර්ණීට්ර්' කියන වචනයටය. මහින්ද ජනාධිපති වුණොත් අද ජනාධිපති පුටුවේ ඉන්නේත් දේශප්‍රේමී චුවින්ගම් හපලාය. දේශප්‍රේමී චුයින්ගම් හැපුවා ඇති කියලා චෝගම්වලට වහ වැටුණොත් මහින්දට වෙන්නේ කොළොම්පුරයේ රජ ගෙදරින් මාගම්පුරයට පල්ලම් බහින්නටය.