"විමර්ශණය ස්වාධීන වීමට නම් එය ජාත්‍යන්තර එකක් විය යුතුම යි’’

- පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම් ඒ සුමන්දිරන්

ස්තුතියි නියෝජ්‍ය කතානායක තුමනි,

ගරු අභ්‍යන්තර කටයුතු අමාත්‍යතුමා සිය කතාව අවසන් කළේ මේ ප‍්‍රශ්නයත් සමඟ යි: ‘‘මෙය නිවැරැදිද? එක්සත් ජාතීන්ගේ කි‍්‍රයාවලිය විසින් අපේ මව්බිමට සලකනු ලැබ ඇති ආකාරය ගැන අපට සතුටු විය හැකිද?’’ ප‍්‍රශ්නය - වඩාත් ම අදාළ ප‍්‍රශ්නය සහ වඩාත් බැරෑරුම් ප‍්‍රශ්නය - එය නොවන බව යෝජනා කිරීමට මා කැමතියි. අපට, මේ රටේ ම පුරවැසියන් කොටසක් වන අපට, අපේ මව්බිම සැළකිය යුත්තේ මේ විදියටද?

හුදෙක් අප සංඛ්‍යාවෙන් සුළුතරය වන නිසාම, සංඛ්‍යාවෙන් බහුතරය අපට මේ රටේ දෙවැනි පන්තියේ පුරවැසියන් ලෙසට, නැතිනම් වඩාත් නරක ලෙස තුන්වැනි පන්තියේ පුරවැසියන් ලෙසට සැළකිය යුතුද? ඔබ කියන පරිදි ඔබට අර ප‍්‍රශ්නයට හොඳ හෘදය සාක්ෂියක් ඇතිව පිළිතුරු දිය හැකිනම්, මේ ප‍්‍රශ්නවලින් බොහොමයක් ද විසඳිය හැකිවනවා ඇති.

ගරු අභ්‍යන්තර කටයුතු අමාත්‍යතුමා කතාකරන්නට තෝරාගත් භාෂාව වුණේ තමන්ට හොඳින් හුරුපුරුදු රැජිනගේ ඉංග‍්‍රීසිය යි. එතුමාට තමන් ගේ මව්භාෂාවත් ඒ තරමටම හෝ ඊටත් වඩා හුරුපුරුදුයි. එහෙත් එතුමා අද කතාකරන්නට තෝරාගත්තේ බටහිර භාෂාවක් වන ඉංග‍්‍රීසියයි. එතුමා බටහිර අධ්‍යාපනයෙන්, ඒ වගේ ම බටහිර ශිෂ්‍යත්වයකින්ද ප‍්‍රතිලාභ ලැබූ කෙනෙක් වන අතර බටහිර ශිෂ්ටාචාරයට නින්දා අපවාද කිරීමත් ඔහු තෝරාගත්තා.

ඔහු කියන පරිදි මේ යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වූ රටවල් ගණන් කිරීමේදීවත් ඔහු අළුත්ම තොරතුරු දන්නේ නැතිවීම ගැන මා කණගාටු වෙනවා. සමහර විට එහි සිදුවන්නේ මොනවාදැ යි කියා ජිනීවා සිටින එතුමාගේ සහකාරයා එතුමාව හරිහැටි දැනුවත් නොකළා වෙන්නට පුළුවන්. ඒ සහකාරයා නොවෙයි, එතුමායි එහි ඉන්න තිබුණේ. ඇත්තට ම රටවල් 43ක් යෝජනාවට සම අනුග‍්‍රහ දක්වද්දී එසේ කළේ රටවල් 32ක් බව කී පුවත්පත් එතුමා කියවා තිබුණා වෙන්නත් පුළුවන්.
 
ගරු ඇමැතිතුමනි, මට වාර්තාව නිවැරැදි කරන්න ඉඩදෙන්න. රටවල් 43ක් යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වූවා. නිසැකව ම ජිනීවා සිටින ඔබේ සහකාරයා එහි සිදුවන්නේ කුමක්ද කියන එක ගැන ඔබතුමාව කලට වේලාවට දැනුවත් කර නැහැ. ඔබතුමා දවස් දෙකක් ප‍්‍රමාදයි. නිසැකවම ඔබතුමාට තොරතුරු ලැබෙන්නේ නැහැ. ඔබතුමා පුවත්පත් කියවලා තමයි තොරතුරු හොයාගන්නෙ. 

යෝජනාවට අනුග‍්‍රහය දක්වන්නේ කවුදැයි යන්න ගැන ඔබතුමා ගේ පැමිණිල්ල - ශ‍්‍රී ලංකාව මේ සියලූ සහතික කිරීම් ලබාදුන් 2009 යෝජනාවට අනුග‍්‍රහය දැක්වූයේ කවුද? අද ඉදිරිපත්වන යෝජනාව ගැන 2009 යෝජනාවේ සඳහන් කර තිබෙනවා. පසුගිය අවුරුද්දේ මාර්තු මස 23වැනිදා සම්මත වූ යෝජනාවත් 2009 යෝජනාවේ සඳහන් කර තිබෙනවා. මේ යෝජනාවලට අනුග‍්‍රහය දැක්වූයේ කවුද? අද මේ යෝජනාව සැළකිල්ලට ගන්නා විට සියලූ මහද්වීපවල රටවල් මේ යෝජනාවට සහයෝගය දී ඇති බව දැනගන්නට ලැබීම ගැන ඔබතුමා පුදුම වෙනවා ඇති.

(බාධා කිරීම්)
 
තමන් කතාකරන විට බාධාකරන්න එපායැයි ගරු ඇමතිතුමා අපෙන් ඉල්ලා සිටියා. එතුමා ඒ ඉල්ලීම කළාට පසු අපි එතුමාට බාධා කළේ නැහැ. අපටත් ඒ ලෙසින් ම සළකන්න කියා තමන් ගේ පසුපෙළ මන්ත‍්‍රීවරුන්ට කියන්න තරම් ශිෂ්ටකමක් එතුමාට නැහැ. මේ තමයි ඔබලා ඔබේ රටේ සුළු ජාතිකයන්ට සලකන හැටි. ඔබතුමා වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් මතු කළා: ඔබතුමාව නිවැරැදි කරනවිට ඔබතුමා කලබල වුණා. ඔබතුමා කතාකරන විට අප ඔබට ගරු කළා. ඔබ කතාකරන විට නිශ්ශබ්දව ඉන්නැයි ඔබ ඉල්ලා සිටියාට පසු අප වචනයක්වත් කතාකළේ නැහැ. ඒත් ඔබේ පසුපෙළ මන්ත‍්‍රීවරුන් අපට මේ විදියට සළකන විට ඔබතුමා තුෂ්නිම්භූතව බලාගෙන ඉන්නවා. මේක තමයි ඔබේ ප‍්‍රශ්නය. හරියට ම කිව්වොත් මේක තමයි මේ රටේ ප‍්‍රශ්නය. අප සංඛ්‍යාත්මක ව සුළු ජාතියක් වන නිසා අපට හඬක් නැහැ කියා ඔබ සිතනවාද? අපට කතාකරන්න බැහැ. සීමාවක් නැති අහංකාරය...... (බාධාකිරීම්)

කතානායක : ගරු අෂ්වර් මැතිතුමා, කරුණාකරලා වාඩිවෙන්න.

එම් ඒ සුමන්දිරන් : ඔබේම ප‍්‍රජාවට සිද්දවෙමින් තියෙන්නේ මොනවද කියලා ඔබ දන්නේ නෑ. ඔබතුමා මිලට ගත්තු භාණ්ඩයක්. 

කතානායක : ගරු සුමන්දිරන් මන්ත‍්‍රීතුමා, එතුමාට පහර ගහන්න එපා. ඔබතුමාගේ මාතෘකාව මත කතාකරන්න. 

එම් ඒ සුමන්දිරන් : නෑ, ඔහු මිලට ගත් භාණ්ඩයක්.

අද ඉදිරිපත් කර ඇති සංශෝධනය නැවත පදිංචිකිරීමේ අධිකාරියේ වලංගු කාලය අවුරුදු 6 සිට 9 දක්වා දිගුකිරීමට පමණයි. අභ්‍යන්තර කටයුතු පිළිබඳ ගරු අමාත්‍යවරයා මේ පනත ගැන කතාකරනවා වෙනුවට ජිනීවා යෝජනාව ගැන කතාකරන්නට තෝරාගත්තා. මම පළමුව මේ පනත ගැන කතාකරලා පසුව ජිනීවාවල මොකද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් එතුමා මතුකළ කාරණා කිහිපයක් ගැන කතාකරන්නම්. සමහර විට ඔහුට ඒ සභාවේ අවසර ලැබුණේ යන්තම් තමන්ගේ හැඟීම් කියාගන්න පමණක් වියහැකි නිසා තමන් ගනුදෙනුකරන කාරණා සමඟ ඍජු සම්බන්ධයක් නැතත්, තමන්ට ඇති එකම සභාව නිසා ඔහු ඒ සඳහා මේ පාර්ලිමේන්තුව තෝරාගන්න ඇති.

ගරු හම්බන්තොට දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්තීවරයා නැඟූ ප‍්‍රශ්නවලට නැවත පදිංචිකිරීම් පිළිබඳ ඇමැතිවරයා සිය කතාවේ දී ඉතාම නිවැරැදිව පිළිතුරු ලබාදෙමින් සත්‍යයන් ගණනාවක් නිරාවරණය කළා. නැවත පදිංචිකිරීමේ ඇමතිවරයා ගැන අපතුළ ඉහළ ම ගෞරවයක් තිබුණා. ඔහු මේ තනතුරට පත්කළ අවස්ථාවේ සිටම ඔහු තෝරාගත්තා, ඒ වගේ ම ඔහු පරීක්ෂාකාරී වුණා අපව ඇතුළත් කරගන්නට හා අපෙන් උපදෙස් ගන්නට. මට මතකයි හරියට ම පහුවැනිදා ඔහු පණිවුඩයක් එව්වා අප සමඟ සාකච්ඡාවක් පවත්වන්න අවශ්‍යයි කියා. ඔහු ක‍්‍රියාකළේ ඒ තරම් හොඳ උනන්දුවකින්. ගරු හම්බන්තොට මන්ත‍්‍රීවරයා ඔහුට ඉදිරිපත් කළ ප‍්‍රශ්නයටත් ඔහු ඒ තරම් ම උනන්දුවකින් සත්‍යවාදී ව උත්තර දුන්නා. ආණ්ඩුව විසින් අවුරුදු 4ක් තුළ නිවාස 470ක් ගොඩනඟා ඇතිබව ඔහු කීවා. මුළුමනින් ම ලජ්ජා සහගතයි. ඔබේ නැවත පදිංචිකිරීම එය නම්, නිසැකව ම ඔබට තව අවුරුදු 3ක් ප‍්‍රමාණවත් නැහැ. නිවාස 250,000කට වඩා බිමට සමතලා කර තිබිය දී ඔබට කළහැකි දේ එපමණය’යි මේ සභාවට කියන්නට ඔබට ලජ්ජාවක් නැතිද? අප මේ කාරණය 2010 සිට මතුකරනවා - 2010 ‘මිනි බජට්ටුවේ‘ සිට. ආණ්ඩුව මේ ගැන කුමක්ද කරමින් ඉන්නේ? අපට ඉන්දියාවෙන් ඉල්ලා සිටින්න සිදුවෙනවා. ඉන්දියාව නිවාස 50,000ක් පොරොන්දු වුණා. මේ දක්වා ඉදිකර ඇත්තේ 1000ක් පමණයි.

(බාධාකිරීම්)

වෙළෙඳ ඇමැතිතුමා මැදිහත් වෙමින් ඉන්නවා. ඔහු ගේ හා උතුරේ තවත් ඔහු ගේ අමාත්‍ය මණ්ඩල සගයෙකුගේ මැදිහත්වීම් නිසා උතුරේ නිවාස ඉදිකිරීම කි‍්‍රයාවට නැංවීම තවත් පමාවී තිබෙනවා. ප‍්‍රතිලාභීන් ගේ ලැයිස්තුව මෙපමණ කාලයක්, අවුරුදු 4ක් ගතවී තිබියදීත් සැකසීමට බැරිවී තිබෙනවා.

(බාධාකිරීම්)

ජිනීවාහි ඡුන්දය ලබාගෙන තිබෙනවා. මා කැමතියි මේ සතුටුදායක ආරංචිය ගරු අභ්‍යන්තර කටයුතු ඇමැතිතුමාට දැනුම් දෙන්න. ඉතා ම ඉහළ වැඩි ඡුන්ද සංඛ්‍යාවකින් යෝජනාව සම්මත වී තිබෙනවා. ඊට විරුද්ධ ව ලැබී ඇත්තේ ඡුන්ද 13ක් පමණයි.

(බාධාකිරීම්)

මන්නාරම් දිස්ත‍්‍රික්කයේ මඩු මාර්ගයේ නිවාස කිහිපයක් ඉදිකර තිබෙන බව නැවත පදිංචිකිරීමේ කටයුතු පිළිබඳ ගරු ඇමැතිතුමා සිය කතාවේ දී සඳහන් කළා. ඒක ඇත්ත, නිවාස 52ක් ඉදිකර තිබෙනවා. අපි දැන් මේ ප‍්‍රශ්නය ඇසුවා - 2011 ඔක්තෝබර් මාසයේ 23වැනිදා මා මේ සභාවේ දී මේ නිවාසවල ඡායාරූප පවා අඩංගු වාර්තාවක් සභාගත කළා. මම ඒ ගැන එක ප‍්‍රශ්නයක් ඇමැතිතුමාගෙන් අහන්න කැමැතියි. මේ නිවාස 52න් දෙමළ ජාතිකයන් කීදෙනෙකුට නිවාස ලබාදී තිබෙනවාද? එකක්වත් නැහැ. අනෙකුත් ප‍්‍රජාවන්ට නිවාස දීම ගැන මගේ ප‍්‍රශ්නයක් නැහැ. මා එයට විරුද්ධ නැහැ. මා හිතනවා උතුරේ විසූ අනෙක් ප‍්‍රජාවන් - සිංහලයන් - පැමිණ ජීවත් වියයුතු යි. ආපසු පැමිණ එහි ජීවත් වෙන්නැ’යි අපි ඔවුන්ට සාදරයෙන් ආරාධනා කරනවා. 

ඉතා ම වැරදි සහගත ලෙස උතුරෙන් පළවා හැරි මුස්ලිම් ජාතිකයන් නැවත ආපසු පැමිණ ජීවත් විය යුතුයි. අපි ඒ ක‍්‍රියාවලියට උදව් කරනවා. ඇත්ත වශයෙන්ම මගේ පක්ෂ නායකයා එය ඉන්දියාවට ලිඛිතව පවා ලබාදුන්නා. ඔවුන් බෙදා වෙන්කරන නිවාසවලින් මුස්ලිම් පුද්ගලයන්ටත් නිවාස ලබාදිය යුතුයැයි කියමින්. ඒත් මා මේ ප‍්‍රශ්නය අහනවා, මේ නිවාස 470 අතුරින්, මා දන්නවා නිවාස 52කින් යුත් එක් සමූහයකින් එකම දෙමළ පවුලක්වත් නිවසක් හිමිවීමේ ප‍්‍රතිලාභය ලබා නැහැ. ඇයි ඒ? ඇයි ඔබ දෙමළ ජනයාට මේ විදියට සළකන්නේ? එහෙම කරන ඔබ ඊළඟට මහත් ශෝකයෙන් පැමිණිලි කරනවා එක්සත් ජාතීන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධානය හා වගවීම වර්ධනය කරන්න යෝජනාවක් සම්මත කරමින් සිටිනවා කියා. 

ගරු ඇමැතිතුමා ප‍්‍රශ්නයක් ඇසුවා..... ඔහු මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය විවේචනයට ලක් කළා. මෙය ජිනීවාවල දී පවා සිදුවුණා, මහකොමසාරිස්වරිය සම්බන්ධයෙන් ඔහු ගේ සගයා අශිෂ්ට ලෙස හැසිරීමෙන්. වැවිලි කර්මාන්ත පිළිබඳ ගරු ඇමැතිවරයා අශිෂ්ට ලෙස හැසිරුණු බවට අවම වශයෙන් එක් රටක් හෝ කවුන්සිලය තුළදී ම විරෝධය දැක්වූවා. විදේශ කටයුතු ඇමැතිවරයා මෙහි වාඩිවී සිටිද්දී, වැවිලි කර්මාන්ත ඇමැතිතුමා ජිනීවා යනවා. විදේශ කටයුතු ඇමැතිවරයාත් පරෙස්සම් විය යුතුයි. ඔහු නිරන්තරයෙන් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ‘‘නවනාදන් පිල්ලෙයි’’ ලෙස හැඳින්වූවා. ඇය ‘නවනාදන් පිල්ලෙයි’ නොවෙයි. පුද්ගලයකු ගේ නම නිවැරැදිව උච්චාරණය කළයුතු යි කියන එක මූලික ම ප‍්‍රතිපදාවක් බව ඔබ දැනගත යුතුයි. ඔබ ඒ පුද්ගලයාට ගරුකරන්නේ ඒ අන්දමට යි. ඇය ‘නවනීදම් පිල්ලෙයි’. ‘නවනාදන් පිල්ලෙයි’ නොවෙයි.

ඔහු කීවා ඇය ගෝල් කනුව එහා මෙහා කරමින් ඉන්නවා කියා. ඇය ගෝල් කනුව එහා මෙහා කරමින් සිටිනවා කී ඔහු පසුව සිය කතාවේ දී පිළිගත්තා යුද්ධය අවසන් වී දින හතකින් ඇය ජාත්‍යන්තර විමර්ෂණයක් අවශ්‍යය යි කී බව. එහෙමනම් ඇය ගෝල් කණුව එහා මෙහා කරමින් ඉන්නේ කොහොමද? 2009 මැයි 26වැනි දා ඇය ජාත්‍යන්තර විමර්ෂණයක් අවශ්‍ය බව කීවා. 2013 මාර්තුවේදීත් ඇය කියනවා. ඇය ගෝල් කනුව එහා මෙහා කරමින් ඉන්නෙ කොහේටද? 2009 මැයි 26වැනි දා ජාත්‍යන්තර විමර්ෂණයක් කැඳවූවා නම් ඇමැතිවරයා ඉදිරිපත් කරන පැමිණිල්ල කුමක්ද? ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා විමර්ෂණයට ලක්කරන බවට සහතික කරමින් ඒකාබද්ධ ප‍්‍රකාශයකට අතිගරු ජනාධිපතිතුමා ම එක්සත් ජාතීන් ගේ මහලේකම්වරයා සමඟ කොළඹ දී අත්සන් කළා. එසේ නම් ඔබේ ම ජනාධිපතිවරයා පවා පිළිගත්තා විමර්ෂණයට ලක්කළ යුතු එවැනි චෝදනා තිබූ බව. 

’ජාත්‍යන්තර’ යන වචනය සම්බන්ධයෙන් මෙතරම් නොමනාපයන් ඉදිරිපත් ව ඇති නිසා දැන් මට ජාත්‍යන්තර විමර්ෂණයක් ගැන ද යමක් කීමට අවශ්‍ය යි. 

යුද්ධයේ නියැලූණු දෙපාර්ශවයට ම එරෙහිව විශ්වාසනීය චෝදනා එල්ලවී තිබෙනවා. එකක් එල්ටීටීඊ සංවිධානය. අනෙක ශ‍්‍රී ලංකා ආණ්ඩුව. මේ චෝදනාවට ලක් වූ දෙදෙනාගෙන් කවුරුන් හෝ මෙහෙයවන විමර්ශණයක් ඔබට පවත්වන්න පුළුවන්ද? එය සැමදාටම භාරගත හැකිද?  ඕනෑම විමර්ශණයක් ස්වාධීන විය යුතුයි, ඒ ගැන කිසිවකුටත් මතභේදයක් තියෙන්න බැහැ.  ඕනෑම විමර්ශණයක් ස්වාධීන විය යුතුම යි. මේ සිද්ධියේ දී විමර්ශණය ස්වාධීන වීමට නම් එය ජාත්‍යන්තර එකක් විය යුතුම යි. චෝදනාවට ලක් වූ එක් පාර්ශ්වයක් ශ‍්‍රී ලංකා ආණ්ඩුව වනවිට ඔබට දේශීය වශයෙන් විමර්ශණයක් පැවැත්විය හැක්කේ කෙසේද? එසේ ම 2009 මැයි මස 26වැනි දා අත්සන් කරන ලද ඒකාබද්ධ ගිවිසුමේ දී වෙන කිසිවකු නොව, අතිගරු ජනාධිපතිතුමා ම මේ කාරණය පිළිගෙන තිබෙනවා. 

මේ සිද්ධියේ දී විමර්ශණය ස්වාධීන වීමට නම් එය ජාත්‍යන්තර එකක් විය යුතුම යි.

ඔහු අයුතු බලපෑම් ගැන කතාකරනවා, අයුතු බලපෑම්වලට ලක්වූ රටවල් ගැන. රට තුළ අයුතු බලපෑම්වලට ලක්වී ඇත්තේ කවුද? රට තුළ අයුතු බලපෑම්වලට ලක්වී ඇත්තේ කවුද? එක ම එක දවසක දී යාපනයේ දී ලද තමන්ගේම අත්දැකීම් ගැන ගරු විපක්ෂ නායකතුමා විස්තර කළා. ඔබේ හමුදා බුද්ධි අංශ පිරිස් වෙතින් එහි ජනතාව අයුතු බලපෑම්වලට ලක්වෙමින් සිටිනවා. ඔබට එහි එක ම රැස්වීමක්වත් තියන්න බැහැ. මුස්ලිම් ස්ත‍්‍රියකට තමන් ගේ සාම්ප‍්‍රදායික ඇඳුම ඇඳගෙන අද මේ රටේ පාරක බැහැලා යන්න බෑ. මනම්පිටියේ දී ගරු ඇමැතිතුමනි, අබායා ඇඳුමින් සැරසුණු තරුණ ගැහැණු ළමයෙක් පාරේ ඇවිදගෙන යමින් සිටියා. ඇය පහර කෑමට ලක්වුණා. ඇය පොළොන්නරුව පොලීසියේ පැමිණිල්ලක් දමා තිබෙනවා. මත්තල ගුවන් තොටුපොළ විවෘත කළ දා රාත‍්‍රියේ අවාසනාවන්ත ලෙස ආගමික නායකයන් - බෞද්ධ භික්ෂූන් - නායකත්වය දුන් කලහකාරී පිරිසක් වීරකැටිය පල්ලියකට පහරදුන්නා. එහෙම කරන ඔවුන් ගරු භික්ෂූන්වහන්සේලා දෙනමක් තමිල්නාඩුවේ දී ප‍්‍රහාරයට ලක්වුණාය යි කියමින් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටට ගොස් විරෝධතා දක්වනවා. අප මේ ප‍්‍රහාරයන් හෙළාදකිනවා. අප ඒවාට සහාය දක්වන්නේ නැහැ. කිසිදු භික්ෂුවක තමිල්නාඩුවේ දී ප‍්‍රහාරයට ලක්විය යුතු නැහැ. ඒත් ඇයි ඔවුන් වෙනත් රටක් දෙස බලන්නට කලින් ඔබේම රටේ, වීරකැටියේ දී පල්ලියකට ප‍්‍රහාරයක් එල්ලවීම ගැන පැමිණිලි නොකරන්නේ? මහපාරේ මුස්ලිම් ස්ත‍්‍රීන් ප‍්‍රහාරයට ලක්වීම ගැන ඇයි ඔවුන් විරෝධතා පලකරමින් පෙළපාලි නොයන්නේ? ඔබ ඒවාට පෙළපාලි යන්නේ නැහැ, ඔබට පැමිණිලි තිබෙන්නේ අනෙක් රටවල් ගැන පමණයි. පළමුව ඔබ දෙස, අභ්‍යන්තරය දෙස බලන්න. ඔබ ඔබේ දේවල් හරියට තබාගන්න. ඔබ ඔබේ දේවල් හරියට තබාගන්නවානම් වෙනත් කිසිවකු කවදාවත්ම ඔබට ඇඟිල්ල දිගුකිරීමට සමත් නොවනු ඇති. මේ දේවල් සිදුවෙමින් තිබෙන්නේ ඔබේ රටේයි. ඔබ සංඛ්‍යාත්මකව සුළුතරය වන ජනතාවට කුණු කසල ලෙස සලකා කිසිදු ශීලාචාරකමක් නැතිව නැගීසිටිමින් ජාත්‍යන්තර මැදිහත්වීම් අයුතු බලපෑම් ලෙස හඳුන්වමින් වාගාඩම්බර කියනවා. ඔබේ ම බෙහෙතෙන් ඩිංගක් ඔබේ කටේ ගෑවුණාම ඔබට දැවිල්ල ඇති වෙනවා. එහෙත් මේ රටේ කුණු කන්දල් ලෙස සැලකීම අපට කොපමණ දැනෙනවාද කියා ඔබට තේරුම් ගන්නට බැහැ. ඔබ ගෝල් කනුව එහා මෙහා කිරීම ගැන කතාකරනවා. ඔබේ ආණ්ඩුව කළේ කුමක්ද? ඔවුන් අප සමඟ සාකච්ඡා කිරීම ඇරැඹුවා. ඔබ අප සමඟ සාකච්ඡා කළ දූත කණ්ඩායමේ සිටියා. 2011 ජනවාරි 10, 2011 පෙබරවාරි 03, 2011 මාර්තු 18. මේ තුන් වතාවේම අප ඔබට අපේ යෝජනා ලබාදුන්නා. ආණ්ඩුව ඔබ යි. ඔබට කියන්නට දෙයක් නැහැ. ඔබට දෙන්නට යෝජනා නැහැ. ඔබ අවම වශයෙන් අපේ යෝජනාවලට ප‍්‍රතිචාර දැක්වූයේවත් නැහැ. මාස 5ක් තිස්සේ රැස්වීම් 7කට ඔබ පැමිණ එහි වාඩිවී සිටියා. 

(බාධාකිරීම්)

නැවත පදිංචිකිරීමෙන් ඔබ අත්කරගෙන ඇති ප‍්‍රගතිය කුමක්ද? උගත් පාඩම් හා ප‍්‍රතිසංවිධාන කොමිසම පරිච්ඡේද 9.134න් ඉතා ම පැහැදිළිව කියනවා ‘‘ආණ්ඩුව හැකිතරම් කඩිනමින් ආරක්ෂක හමුදාවන් සිවිල් පරිපාලනයට සම්බන්ධ කි‍්‍රයාකාරකම්වලින් ඉවත් කළ යුතුයි’’ කියා. මෙය ඉටුකර නැහැ. ජනතාව නැවත පදිංචිකිරීම සිදුවී නැත්තේ ආරක්ෂක හමුදා එම කටයුතුවලින් මුදවා නැති නිසා සහ ඔවුන් භූමිය අත්පත් කරගෙන සිටින නිසා යි. නැවත පදිංචිකිරීම් භාර ගරු ඇමැතිතුමා කෙලින් කතාකරන කෙනෙක්. කෙප්පාපිලව් පිළිබඳ කතාකරමින් ඔහු කීවා, ‘‘මට බලයක් නැහැ. ඔවුන් එහි නැවත පදිංචිකිරීමට හැකි අවස්ථාවේ මට එය කළ හැකියි. එහෙත් දැනට ඔවුන් සිටින්නේ තාවකාලික ස්ථානවල යි’’ ඇයි ඔවුන් තාවකාලික ස්ථානවල ඉන්නේ? කෙප්පාපිලව් හි විශාල හමුදා කඳවුරක් ඉදිකරනු ලැබ ඇති නිසා ජනතාව ප‍්‍රදේශයෙන් ඉවත්කර තිබෙනවා. මුල්ලිකුලම්හි දී සිදුවී ඇත්තේ කුමක්ද? මන්නාරම් දිස්ත‍්‍රික්කය පිළිබඳ ගරු ඇමැතිතුමා දැනගන්නවා ඇති මුල්ලිකුලම් හි සිදුවී ඇත්තේ කුමක්ද කියා. වලිකාමම් උතුරේ සිදුවී ඇත්තේ කුමක්ද? සාම්පූර් හි සිදුවී ඇත්තේ කුමක්ද? ජනතාව නැවත පදිංචිකර නැත්තේ ඇයි?

2009 මැයි 26වැනි දා ඒකාබද්ධ ප‍්‍රකාශයට අත්සන් කරන විට අතිගරු ජනාධිපතිතුමා දුන් දෙවැනි සහතිකය වුණේ සියලූම අවතැන් වූවන් ඒ වසර අවසන් වීමට පෙර ඔවුන් ගේ මුල් පදිංචි ස්ථානවල නැවත පදිංචි කරන බව යි. ඒ වසරේ, එනම් 2009 වසරේ. දැන් ඔබ 2013 මේ සභාවට ඇවිත් කියනවා නැවත පදිංචිකිරීමේ අධිකාරියේ කාලය තවත් වසර 3කින් දීර්ඝ කරන්න අවශ්‍යයි කියා. අතිගරු ජනාධිපතිතුමාගේ නියමිත කාලය අවසන් වී වසර 4කට පසු ඔබ ඇවිත් නැවත පදිංචිකිරීමේ අධිකාරියට තවත් වසර තුනක් ඉල්ලනවා. නැවත පදිංචිකිරීමේ අධිකාරිය මොනවාද කරමින් ඉන්නේ? මුකුත් නැහැ. හැම දෙයක් ම පාලනය කරන්නේ ජනාධිපති කාර්ය සාධක බලකාය යි. නැවත පදිංචිකිරීමේ අධිකාරිය කියා එකක් ඇත්තේ නැහැ. නැවත පදිංචිකිරීම් පිළිබඳ ඇමැතිවරයාට මේ අධිකාරියේ කාලය දිගුකිරීමට අවශ්‍ය ඇයිදැ’යි මා දන්නේ නෑ. නැවත පදිංචිකිරීම අවසන් නැහැ. ඔහු පිළිගන්නවා 200,000ක ජනතාවක් තවමත් නැවත පදිංචිකර නැහැ කියලා. නැවත පදිංචි කළාය කියන අනෙක් අයට පවා සිදුවෙලා තියෙන්නේ කාපට් පාරවල් සහ පාලම් දෙස බලා සිටීමට යි. ඒ සියල්ල කිරීමට ආණ්ඩුවට මුදල් ඇතත් ඔවුන් ගේ හිසට සෙවනක් හා දිවිපෙවෙත වැනි ප‍්‍රමුඛතාව වෙනුවෙන් මුදල් වියදම් නොකරන බව ඔවුන් දන්නවා.

ස්තුතියි.

......................................................

2013 මාර්තු 21 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැති නැවත පදිංචිකිරීමේ අධිකාරියේ පනත පිළිබඳ විවාදයේ දී එම්. ඒ. සුමන්දිරන් මන්ත‍්‍රීවරයා පැවැත්වූ කතාවේ සිංහල අනුවාදයකි.