විශ්ව විද්‍යාලයට යන්න බැරි උනේ පෙර පිනකට :විමල් වීරවංශ කියයි.



අමිල ගුණරත්න

තමන්ට විශ්ව විද්‍යාලයට යාමට නොහැකි වුයේ පුරුවේ පිනකට බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා පැවසිය. අමාත්‍ය වීරවංශ මේ බව පැවසුවේ පසුගිය මාර්තු 01 වෙනි දින බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ පැවැති කුමාරතුංග මුනිදාස සූරීන් අනුස්මරණ දිනට සමගාමීව සිදු කෙරුණු ‘වැලිපිල්‍ලේ පාඩම්’ ජාතිකගුරු සාහිත්‍ය සම්මාන උළෙල අමතමිනි. වැඩිදුරටත් කථා කල ඒ මහතා මෙසේ පැවසිය. " අම්මපා අද මං සතුටු වෙනවා විශ්ව විද්‍යාලයේ නොගිය එකට.. ගියා නම් විමල් වීරවංශ නෙමෙයි අර අච්චුව දාගත්තු මිනිහෙක් වෙනවා. අර ජාතික අධ්‍යාපන ආයතනයේ ඉන්න පල් මෝඩයෝ ටික දෙන අධ්‍යාපනයෙන් තමයි මගේ ඔළුව පිරෙන්නෙ. ඒකෙන් මම බේරුණා දෙයියෝ බලලා..." විරසංගිලි පනික්කියලාගේ විමලසේන ලෙස උපත ලබා විමලසිරි ගම්ලත් ලෙසත් පසුව විමල් වීරවංශ ලෙසටත් නම වෙනස් කරගත් අමාත්‍යවරයා පාසල් අධ්‍යාපනය ලැබුවේ නව වන ශ්‍රේණිය දක්වා පමණි. පාසල් අධ්‍යාපනය හැර යාමෙන් පසුව 88-89 භීෂණ සමයේ බස්රථ ගිනිතැබීම, ට්‍රාන්ස්ෆෝමර් පිපිරවීම වැනි ආර්ථික ඝාතන ක්‍රියාදාමයක සක්‍රිය සාමාජිකයෙකු ලෙස කටයුතුකළ ඒ මහතා දේශප්‍රේමී තුවක්කුකරුවෙකු ලෙසටද ක්‍රියා කළේය. පසුව යුද හමුදා කඳවුරුවලදී පුනරුත්ථාපානය ලබා ජවිපෙ දේශපාලන මණ්ඩලයට පත් විය. ඉන්පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යටතේ දේශපාලනික සහ ආර්ථික වශයෙන් පුනරුත්ථාපානය ලැබූ විමල් වීරවංශ වර්තමානයේ නිවස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. උසස් අධ්‍යාපනයක් නොමැති වුවද ලෝක බැංකුවේ ප්ලග් ගැලවීම, ගූගල් තහනම , කොකාකෝලා තහනම වැනි දාර්ශනික ප්‍රකාශ නිකුත් කිරීම මගින් විමල් වීරවංශ අමාත්‍යවරයා තම බුද්ධිමත් භාවය ලංකාවේ හුදී ජනයාට පෙන්වා තිබේ.