පිපිරෙයිද?

'මට කෙළින්නයි හදන්නේ.....'
මෛත්‍රිපාල මේ කතාවෙන් ඇඟිල්ල දික් කරන්නේ කාටද?
'මෛත්‍රිපාල නොකියා කියන්නේ මේක පිටිපස්සේ ඉන්නේ මහින්ද කියලානේ......'
මේ යූ.ඇන්.පී. කාරයෙක් කිව්ව කතාවකි.
ඒක නම් කියන්න දන්නේ නැත.


මහින්ද කියන්නේ ශ්‍රී ල.නි.ප. නායකයාය. මෛත්‍රිපාල කියන්නේ ශ්‍රී ල.නි.ප. මහලේකම්ය.
'මේ දෙන්නා මෙහෙම හැප්පෙන්න ගියොත් මොනවායින් මොනවා වෙයිද....?'
ශ්‍රී ලංකාකාරයොත් මෙහෙම අහන්නේ අන්ද මන්ද වෙලා වගේය.
මහින්දට ඕනෑ නම් මෛත්‍රිපාලගේ පුතාව තද කරල මෛත්‍රිපාලට පාඩමක් උගන්වන්නත් පුළුවන්. නැතිනම් මර්වින්ගේ පුතාව බේරා ගත්තා වගේ මෛත්‍රිපාලගේ පුතාව බේරගෙන මෛත්‍රිපාලගේ තටු කපන්නත් පුළුවන්.....'
මේ මහින්දගේ සමීප මිත්‍රයෙක් කළ විග්‍රහයකි.


මෛත්‍රිපාල තටු ගහල ඉගිළෙන්න දඟලනවා වැඩියි කියල මහින්දට හිතුණේ මර්වින් සිල්වා රූපවාහිනියට ගිහින් යකා නටපු වෙලාවේ මර්වින්ට එරෙහිව විනය පරීක්‍ෂණයක් සිදු කරන්න ඕනෑ යැයි කියා මෛත්‍රිපාල හඬ නඟපු නිසාය.
ඉන් පසු දුමින්ද සිල්වාට එරෙහිව මෛත්‍රිපාල පක්‍ෂයේ අනෙක් ජේ‍යෂ්ඨයන් සමඟ භාරත ලක්‍ෂ්මන්ගේ පැත්ත ගැනීමද මහින්ද දැක්කේ තමාගේ මිනිස්සු අතර ප්‍රශ්න හැදීමක් ලෙසය.
මෛත්‍රිපාලට නොදන්වා සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රශ්නවලට මැදිහත් වීමෙන්ද මහින්ද පෙන්වන්න හැදුවේ මෛත්‍රිපාලට අමාත්‍යංශය කර ගන්න බැහැ වගේ කියන එකය.
ඒත් මෛත්‍රිපාල ඉවසාගෙන සිටියේය. මෛත්‍රිපාලයි මහින්දයි කියන්නේ ඉඳිකට්ටට නූල වගේය. ඒක හරියට චන්ද්‍රිකා සහ එස්.බී.ගෙයි හවුල වගේය.
චන්ද්‍රිකාව ශ්‍රී ල.නි.ප.යට ගෙන එන්නටත් චන්ද්‍රිකා 1994දී අගමැති අපේක්‍ෂිකාව කරන්නටත් 'ගේම් ප්ලෑන්' එක හැදුවේ එස්.බී.ය. එස්.බී. ඒ 'ගේම් ප්ලෑන්' එක හැදුවේ අනුර අවුට් කරලාය.


2000දී ශ්‍රී ල.නි.ප. ලේකම් ධර්මසිරි මිය ගිය විට එස්.බී.ට ශ්‍රී ල.නි.ප. ලේකම් වෙන්න අවශ්‍ය වූ විට චන්ද්‍රිකා එයට සහාය පළ කළාය. ඒ වෙලාවේ එස්.බී.ව පරාජය කරන්න මෛත්‍රිපාල සිරිසේනට මහ ලේකම්කමට තරග කරන්න කියල කිව්වේ මහින්දය. ශ්‍රී ල.නි.ප.ය ඇතුළේ මහින්ද මෛත්‍රිපාල හවුල හැදුණේ එහෙමය. මේ හවුලට පාඩමක් උගන්වන්න 2000 මහ මැතිවරණයේදී එස්.බී.ගේ ඡන්ද මැෂිම එහාට මෙහාට කරකවල මහින්දගේ හම්බන්තොට දිස්ත්‍රික්කයත් මෛත්‍රිගේ පොළොන්නරු දිස්ත්‍රික්කයත් පරාජයට පත් කළේය.
එස්.බී. ඒ වෙලාවේ එම සේවය කළේ චන්ද්‍රිකාටය. 1999 ජනාධිපතිවරණයත් 2000 මහ මැතිවරණයත් ඡන්ද මැෂිමෙන් දිනවල දීලා එස්.බී. අගමැති වෙන්න හීන මැව්වේය. ඒත් චන්ද්‍රිකා එස්.බී. තටු ගහල ඉගිළෙන්න දඟලනවා වැඩියි කියල එස්.බී.ගේ තටු කැපුවේය. එස්.බී. ආණ්ඩුවෙන් විපක්‍ෂයට ගියේ චන්ද්‍රිකාට පාඩමක් උගන්වන්නටය.
චන්ද්‍රිකා මෛත්‍රිපාලව පක්‍ෂ ලේකම්කමට පත් කළේ එස්.බී. ගියාට පසුවය. එතැන් සිට මහින්ද, මෛත්‍රිපාල හවුල 'ගේම් ප්ලෑන්' එක හැදුවේ මහින්ද ජනාධිපති කරල මෛත්‍රිපාල අගමැති වෙන්නටය.


2002දී මහින්දව විපක්‍ෂ නායක කිරීමටත් මෛත්‍රිපාල ලොකු ගේම් එකක් ගැහුවේය. ඒ වගේම 2004 මහින්දව අගමැති කරවන ගේම ගැහුවෙත් මෛත්‍රිපාලය. ඒක ලස්සන කතාවකි.
2004 මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූවාට පසු පොළොන්නරුවේ සිටි මෛත්‍රිපාලට චන්ද්‍රිකාගෙන් දුරකතන ඇමැතුමක් ලැබිණි. තමන් දැන් පොළොන්නරුවට චොපර් එකක් එවන බවත් ඒකේ නැඟී කෙළින්ම ජනාධිපති මන්දිරයට ඇවිත් තමා හමුවෙන ලෙසත් මෛත්‍රිට දැනුම් දුන්නාය.
මෛත්‍රි යන විට ඇයත් සමඟ විදේශ ඇමැති කදිරගාමර් සහ ජනාධිපති ලේකම් බාලපටබැඳි සිටියහ.
'හෙට අගමැති දිවුරුම් දෙන්න ඕනෑ. අපි කාවද අගමැති කරන්නේ? මොකක්ද මෛත්‍රි ඔයාගේ අදහස! කෙළින් කියන්න'
චන්ද්‍රිකා ඇසුවාය.


'අපි ඡන්දෙ කරන කොට මේ රටේ ජනතාවගේ මතයක් තිබුණා මහින්ද අගමැති විය යුතුයි කියලා. ඒක තමයි පක්‍ෂයේත් මතය. ඒ නිසා අපි මහින්දව අගමැති කරමු.'
මෛත්‍රිපාල කියාගෙන ගියේය. එවිට ලක්‍ෂ්මන් කදිරගාමර් මහින්දව අගමැති කිරීම පිළිගත නොහැකි බවට ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලය ගෙන ඇති තීන්දුව ගැන සඳහන් කළේය.
'මහින්දට අගමැතිකම දුන්නොත් ආණ්ඩුව ඇතුළේ ලොකු අර්බුදයක් ඇති වෙයි.'


කදිරගාමර් එලෙස කීවේ කදිරගාමර්ව අගමැති ලෙස පත් කළ යුතු බවට ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලය ගෙන තිබූ තීරණය චන්ද්‍රිකාත්, මෛත්‍රිත්, බාලපටබැඳිත් දන්නා බව දැනගෙනමය.
'ඒ වුණත් සර් අපි ජනමතය තේරුම් ගන්න ඕනෑ'
මෛත්‍රිපාල කාරුණික ලෙස කීවේය. එයින් කදිරගාමර් නොසන්සුන් විය.
'අපිට ජේ.වී.පී. එක තරහ කරගෙන යන්න බැහැ'
ඔහු එලෙස කියමින් පුටුව ගස්සා දමා නැඟිට සිටියේය.
'අපි මේක තව ටිකක් හිතමු කදිර්. මම ඔයාට කෝල් එකක් දෙන්නම්.'


චන්ද්‍රිකා එලෙස කී විට කදිරගාමර් නැඟිට ගියේය. සැණෙකින් චන්ද්‍රිකා මෛත්‍රිට සහ බාලපටබැඳිට කදිරගාමර් පස්සෙන්ම ඔහුගේ ගෙදර ගිහින් මහින්ද අගමැතිකමට පත් කිරීමට ඔහු එකඟ කර ගන්නා ලෙස කීවාය. මෛත්‍රි සහ බාලා, කදිරගාමර් පසු පසින් ඔහුගේ ගෙදරටම ගොස් මහින්ද අගමැති කිරීමේ අවශ්‍යතාව තේරුම් කර දී කදිරගාමර් එයට එකඟ කර ගත්තේය.


මේ කතාවේ ලස්සනම කොටස කදිරගාමර්ව අගමැති ලෙස නම් කරන මෙන් නියෝග කරමින් ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලය ගත් තීන්දුව ගැන සඳහන් කොට ජ.වි.පෙ. ලේකම් එවා තිබූ ලිපියය. එම ලිපියේ කදිරගාමර්ගේ සුළු ජාතික ප්‍රශ්නය ඔහු අගමැති කිරීමට බාධාවක් නම් අගමැති ධුරයට සිංහල බෞද්ධයකුව ඕනෑ නම් තවත් නම් දෙකක් අගමැතිකමට යෝජනා කොට තිබිණි. එක නමක් නම් අනුර බණ්ඩාරනායකය. අනෙක් නම මෛත්‍රිපාල සිරිසේනය. (මේ ලිපිය 'සන්ඩේ ටයිම්ස්' පුවත්පතේ පළ කොට තිබිණි.)


ඒ අවස්ථාවේ චන්ද්‍රිකා සහෝදරකම නිසා අනුරට අගමැතිකම නොදෙන හෙයින් කදිරගාමර්ගෙයි මහින්දගෙයි දෙන්නගෙම බෙල්ල කපලා ජ.වි.පෙ. නාම යෝජනා ප්‍රයෝජනයට ගෙන මෛත්‍රිපාලට අගමැතිකම හිමිකර ගැනීමට හැකියාව තිබිණි. එහෙත් ඔහු ඒ අවස්ථාව අහිමි කරගෙන මහින්දට 'චාන්ස් එක' අරන් දුන්නේය.
මෛත්‍රිපාල තමාට මහින්ද චාන්ස් එකක් දෙයි කියල 2005 මහින්ද ජනාධිපති වුණ වෙලාවේ හිතුවේ නැත. 2005 මහින්දට තිබුණේ මහින්දගේ ආණ්ඩුවක් නොව 2004දී චන්ද්‍රිකා ජ.වි.පෙ. එක්ක එකතු වෙලා හදා ගත්ත ආණ්ඩුවක්ය. ඉතින් මෛත්‍රිපාල හිතුවේ ඒ ආණ්ඩුව විසුරුවල මහා ඡන්දයක් තියන දවසක මහින්දගේ ආණ්ඩුවක් යටතේ අගමැති වෙන්නටය.


'මෛත්‍රි යුගයක් අරඹමු.....'
මෛත්‍රිපාල 2010 මහ මැතිවරණයේදී තම ඡන්ද සටනේ තේමාව කර ගත්තේ ඒකය. ඒ අගමැතිකම ගැන හීන මවමින්ය.
ඒත් මහින්ද අගමැතිකම දුන්නේ දි.මු. ටය. දි.මු. ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහුණ විට මෛත්‍රි ආපහු අගමැති වෙන්න හීන මවන්න පටන් ගත්තේය. ඒත් මහින්ද දි.මු.ව අගමැතිකමේ තියාගෙන ආපහු මෛත්‍රිට චාන්ස් එක නැති කළේය.
අද මෛත්‍රි ඉන්නේ 2001 එස්.බී. හිටපු තැනය.
'කොච්චර කළත් වැඩක් නැහැ. අපිටමයි කෙළින්නේ....'
මේ එස්.බී. සහ ඔහුගේ ගෝලබාලයෝ 2001 චන්ද්‍රිකා ගැන කී කතාවය.
අද මෛත්‍රිගේ කතාව ඊට වඩා වෙනස්ය. අද අමාරුවේ වැටිලා ඉන්නේ මෛත්‍රිගේ පුතාය.


මේ වෙලාවේ මහින්ද මෛත්‍රිගේ පුතාව බේරා ගත්තත් ආණ්ඩුවේම මාධ්‍ය මෛත්‍රිපාලගේ පුතාගේ සිද්ධිය පුම්බලා මෛත්‍රිගේ තටු කපල ඉවරය. මෛත්‍රි ඒක දනී. අනෙක මේක මෛත්‍රිගේ පුතාගේ ප්‍රශ්නයකි.
'ඔයා දර දිය ඇදල අපේ පවුලටමනේ ගැහුවේ.....'
මෛත්‍රිට පවුල ඇතුළෙන් එන ප්‍රෙෂර් එක දරා ගන්න එක ලෙහෙසි පහසු නැත.
මෛත්‍රිට පවුල ඇතුළෙන්ම මේ ප්‍රෙෂර් එක එනකොට තටු කපපු තුන්දෙනෙක් තටු ගහන්න වෙලාවක් එන තෙක් බලා සිටී.


එක්කෙනෙක් සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත්ය. ඔහුගේ තෙල් ඇමැතිකමට තට්ටු වුණේ පසුගිය අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදීය. දුමින්දට එරෙහිව භාරත ලක්‍ෂ්මන්ව උසිගන්වා තමන්ගේ මිනිස්සු අතර ප්‍රශ්න හදන්න හැදුවා යැයි චෝදනාවක් ඔහුටත් තිබේ.
අනෙකා මහින්දට මෙරට සිංහල බෞද්ධ ප්‍රතිරූපයක් හදල දුන්න චම්පික රණවකය. ඔහුට ඔහු වැඩ පෙන්නපු විදුලි බල ඇමැතිකම නැති කළේය.
තුන්වැන්නා ෆවුසිය. චන්ද්‍රිකාගේ ගෝලයකු වුවත් චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ මහින්ද වෙනුවෙන් පෙනී සිටින්න ගොස් තටු කපාගත්ත ෆවුසිව කපන්න මහින්ද පසුගියදා ෆවුසිගේ ආසනය වූ මැද කොළඹට සම සංවිධායකයෙක් පත් කළේය. ඔහු එ.ජා.ප.යෙන් ආ ෆයිසර් මුස්තාෆාය. ෆවුසි කෙළින්ම මහින්දට විරෝධය පළ කොට තිබිණි.
බොදු බල සේනා කියන්නේ චම්පිකලාගේම ජාතිකවාදී බලවේගයේ එක් බලයකි.


'ආණ්ඩුවේ දේශප්‍රේමී බෞද්ධ බලය දෙකඩ කරන්න කුමන්ත්‍රණයක් තියෙනවා.....'
මහින්ද පසුගිය දා කැබිනට් මණ්ඩලයේදී කීවේ බොදු බල සේනාවට රට තුළ තියෙන බලයත් ඕනෑම වෙලාවක තටු කපපු චම්පිකට තටු දෙන්න බොදු බල සේනාවට පුළුවන් බවත් දැනගෙනය.
ෆවුසි නියෝජනය කරන්නේ බොදු බල සේනාවෙන් බැට කන මුස්ලිම් බලයය. ඊළඟ ජනාධිපතිවරණය දිනන්න මහින්දට මුස්ලිම් බලය තීරණාත්මකය. සිංහල ඡන්ද දෙකට බෙදුණොත් මුස්ලිම් ඡන්ද නැතුව දිනන්න බැරිය.


මෛත්‍රි සහ සුසිල් නියෝජනය කරන්නේ ශ්‍රී ල.නි.ප. යේ මුදුන් මුලය. ඔවුන් කලකිරුණොත් ඡන්ද දිනල ඉවරය.
"චම්පික බොදු බල සේනා පිහාටුවලින්, ෆවුසි මුස්ලිම් පිහාටුවලින්, මෛත්‍රි සහ සුසිල් නිල් පිහාටුවලින් ඉගිළෙන්න හැදුවොත් කොහොමද.....?"
ඉගිළෙන්නම ඕනෑ නැත. මහින්දට ඉගිළෙන්න තටුව හදල තියෙන සිංහල බෞද්ධ පිහාටු, මුස්ලිම් පිහාටු, නිල් පිහාටු ගලවල තටු කැඩුවොත් යන්න වෙන්නේ හොට බිම ඇනගෙනය.