මාතලේ සමුහ මිනීවළෙන් හමු වූ මළ සිරුරු 200

ආසියානු නීති සම්පත් මධ්‍යස්ථානය විසින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම්  කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලද ලිඛිත ප්‍රකාශනය 

මාතලේ සමුහ මිනීවළෙන් හමු වූ මළ සිරුරු 200කට ආසන්න සංඛ්‍යාවක කොටස් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමේ සහ එම සිරුරු කොටස් ආරක්ෂා කොට  සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව  

1. ALRC (ආසියානු නීති සම්පත් මධ්‍යස්ථානය) සහ එහි සහෝදර  සංවිධානය වන ආසියානු මානව හිමිකම් කොමිසම (AHRC) විසින් බලහත්කාරී අතුරුදන්කිරිම්  විශාල සංඛ්‍යාවක් පිලිබඳ කරුණු  ශ්‍රි ලංකා රජය වෙත සහ එක්සත් ජාතින්ගේ කාර්ය කණ්ඩායම වෙත ලිඛිතව ලබා දී ඇත.
2. ශ්‍රි ලංකාවේ සිදුවන බලහත්කාරී අතුරුදන් කිරීම පිළිබඳ ගැටළුව දැනට බොහෝ කලක සිට කාර්ය කණ්ඩායමේ අවධානයට ලක්වී ඇත.  මෙම ලියැවිල්ල මගින් ALRC  විසින් නිශ්චිතව අවධානයට ලක්කිරීමට අදහස් කරනුයේ මාතලේ ප්‍රදේශයෙන් සොයාගන්නා ලද සහ දැනට රජයේ බලධාරින්ගේ පරීක්ෂණයන්ට යටත්ව පවතින  200කට ආසන්න මළ සිරුරු පිළිබඳවය.  මූලික පරීක්ෂණයන් සිදු කළ වෝහාරික විශේෂඥයන්ට අනුව මළ සිරුරු කොටස්වලට  තුවාල සිදුව ඇති ආකාරය හේතුවෙන් මෙම මළ සිරුරු සොයාගත් ස්ථානය අපරාධයක් සිදුව ඇති ස්ථානයක් ලෙස සළකනු ලබයි. 

3. මේ දක්වා සිදුකරන ලද අනුමාන කිරීම්වලට අනුව මෙම මළ සිරුරු කොටස් ජනතා විමුක්ති‍ පෙරමුණේ විසින් සිදු කරන ලද දෙවන කැරැල්ල ‍ලෙස නැතහොත් දෙවන නැගිටීම සිදු වූ සමයේ අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගේ යැයි සැළකේ‍ . අදාළ කාල සීමාව වනුයේ 1987 -1991 අතරය.  බලහත්කාරී පැහැරගැනීම් පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද කොමිසම්වල වාර්තා අනුව පුද්ගල අතුරුදන්වීම් 30000කට ආසන්න  සිදුවීම් සංඛ්‍යාවක් පිලිබඳව ඒවා වෙත පැමිණිලි ලැබී ඇත.
4. සමූහ මිනීවලක් ලෙස සැළකිය හැකි  එම  ස්ථානයෙන් මළ සිරුරු  කොටස්  සොයාගැනීම කෙරෙහි බලධාරින්ගේ අවධානය දැන් යොමුව ඇති අතර,  මෙම මළ සිරුරුවල  දක්නට ඇති තුවාල විසින් පෙන්නුම් කර  ඇති පරිදි,  සිදුව ඇතැයි සැක කරන  අපරාධයේ සියළු තොරතුරු අනාවරණය කරගැනීමට ඉවහල්වන  විශ්වාසනීය කාර්ය පටිපාටියක් තහවුරු කරමින්  මෙම පුද්ගලයන් මෙම අපරාධයට ගොදුරු වූ හේතු සහ එය සිදු වූ ආකාරය පිළිබඳව  දැඩි විමර්ශනයක් පැවත්වීම රජයට අයත් කාර්යයක් වේ

 5. සිදු කරන විමර්ශන  විසින් මෙම මළ සිරුර කොටස් වල පුද්ගල අනන්‍යතාවන්, ඔවුන් අත් අඩංගුවට ගෙන ඇත්තේ කොහේදි ද යන වග, ඔවුන්ව ඝාතනයට ලක්ව ඇත්තේ අත් අඩංගුවට ගැනීමෙන් පසුවද යන්න, සිදුව ඇති තුවාළවල ස්වභාවය කුමක්ද යන්න  සහ මෙම තුවාළ ඇතිකිරීමට හේතු වූ  සැළකිළිවලට  ඔවුන්ව ලක්වීමට බල පෑ ‍‍ඓතිහාසික හේතු සාධක කවරේද යන්න නිර්ණය කිරීමට සමත් විය යුතුය.  අදාළ තොරතුරු තහවුරු කළ පසුව යුක්තිය ඉටුකරළීම සදහා ගතයුතු ක්‍රියාපටිපාටිය තීරණය කළ හැකිවනු ඇත.

6. කෙසේ වුවද මළ සිරුරු  කොටස් සංරක්ෂණය කර ඇති ආකාරය සහ විමර්ශන සිදු කරන ආකාරය ගැන බරපතල අවධානයක් යොමුව ඇත. යුද අපරාධ, ජන සංහාර, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ආක්‍රමණකාරි අපරාධ යනාදිය පිළිබසිදු කෙරෙන විද්‍යාත්මක විමර්ශනවලදී සවිස්තාරාත්මක ක්‍රියාදාමයක් සහ තාක්ෂණයක් යොදාගැනීම අත්‍යවශ්‍ය වේ.    ඒවා නම් ස්ථාන නිර්ණ විධික්‍රම , ඇගයීම, කැණීම, ප්‍රතිස්ථාපනය සහ සමූහ මිනීවලවල් පිලිබඳ වාර්තා පවත්වාගෙනයාම සහ විපතට පත් පුද්ගලයන්ගේ අනන්‍යතාව, ඔවුන් මරණයට පත්වීමට බල පෑ හේතු සහ ආකාරය  සෙවීමට මිනිස් සිරුරුවල කොටස් සහ අනෙකුත් සාක්ෂි විශ්ලේෂණය යනාදියයි.
7. ශ්‍රි ලංකාවේ මාතලෙන් හමු වූ මිනිස් සිරුරු 200ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවකට අයත්වන  කොටස් පිළිබව, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතින්ගේ  කාර්ය කණ්ඩායම් ඔවුන්ගේ විශේෂඥයන් යොදවා තත්ත්ව අධ්‍යයනයක් සහ පරීක්ෂණයක් සිදු කළ යුතු බවටත්  ඒ පිලිබව සිදු කෙරෙන පරීක්ෂණ ජාත්‍යන්තර ව පිළිගත් ප්‍රමිතීන්ට අනුව සිදුවන බවට වගබලාගැනීමට ශ්‍රී ලංකා රජයට සහයෝගය දිය යුතු බවටත්   ALRC යෝජනා කරයි. එමෙන්ම විධිමත් පරීක්ෂණයක් පවත්වාගෙන යාමට සහ මළ සිරුරු කොටස් යෝග්‍ය තත්ත්වයෙන් සංරක්ෂණය කිරීමට අවශ්‍ය වන  විශේෂඥ සේවා, උපකරණ සහ අවශ්‍ය මුල්‍යමය සම්පත්  ලබා දීම මගින් ශ්‍රි ලංකා රජයට සහායවන ලෙස ජාත්‍යන්තර ප්‍රජාව වෙත ද එය යෝජනා කර සිටී.
8. ඉහත ප්‍රකාශ කර ඇති ආකාරයේ ජාත්‍යන්තර සහයෝගයක් නොලැබෙන්නේ නම් මෙම මළ සිරුරු කොටස් නොතකා හැරීම මගින් ඒවා මුළුමණින්ම හෝ විශාල ප්‍රමාණයක් විනාශවන්නට ඉඩ තිබෙන බවටත්  ඒවා යෝග්‍ය තත්ත්වයන් යටතේ සංරක්ෂණය නොකරන්නේ නම් ඒවායේ සාක්ෂිමය අගය ශීඝ්‍රයෙන් ක්ෂයවන්නටත් ඉඩ තිබෙන බවට  ALRC  අවධානයට යොමු කරයි.


ආසියානු නීති සම්පත් මධ්‍යස්ථානය | Asian Legal Resource Centre

පෙබරවාරි  20, 2013